Minneriya National Park. (26th June 2025)
ලොව දිගම මුද්දරය අපෙන්...
ඓතිහාසික සෙංකඩගල පුරවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අසිරිය ලොවට කියාපාමින් ලොව දිගම මුද්දරය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් මහනුවර ජනාධිපති මන්දිරයේ දී 2024.08.20 වන දින අති උත්කර්ෂවත් අයුරින් නිකුත් කරනු ලැබුවා.
එම මුද්දරය සහිත මුල්දින කවරය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ සුරතින් පිරිනැමුණා.
එම අවස්ථාවට දළදා මාළිගාවේ දියවඩන නිළමේ තැම්පත් ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර, තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ප්‍රධානී නියෝජ්‍ය තැපැල්පති ඩී.ඒ.රාජිත කේ. රණසිංහ යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් එක්ව සිටියා. මෙම සුවිශේෂී මුද්දරය හා සමගාමීව ශ්‍රී දළදා මාළිගාව සහ බෞද්ධ සංස්කෘතිය අලලා නිකුත් කෙරුණු මුද්දර, සිහිවටන පත්‍රිකා සහ මුල්දින කවර එකතුවක් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල වෙත පිරිනැමීම සිදුවූවා. එම සමරු දළදා මාළිගා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා ඉදිරියේ දී එක්වීමට නියමිතයි.
පසෙකින් ශ්‍රී දළදා මාළිගාවේ පත්තිරුප්පුව ද, ඇසළ පෙරහැර කරඬුව රැගත් අලි ඇතුන් සහ සාම්ප්‍රධායික නර්තනාංග ද ඇතුළත් සිතුවමකින් හැඩ වූ මෙම මුද්දරයට පොත්පිටියගේ ඉසුරු චතුරංග සහ රුවන් ඉන්ද්‍රජිත් උපසේන යන නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ දායකත්වය හිමි විය. මුල්දින කවරය පී. ඉසුරු චතුරංග නිර්මාණ ශිල්පියාගේ සැලසුමකින් අලංකාර වී ඇත.
දිගින් 205mmක් ද, පළලින් 30mmක් ද වන මෙහි මුහුණත වටිනාකම රු 500.00කි. මෙම මුද්දරයට සමගාමීව දර්ශනීය මුල්දින කවරයක් සහ ෆෝල්ඩරයක් නිර්මාණය වූ අතර එම සමරු, මුද්දර කාර්යංශයෙන් මිල දී ගැනීමට දැනටමත් කටයුතු සලසා අවසන්.
මෙම ඇසළ පෙරහැර මුද්දරය නිකුත්වීමත් සමඟ පිලිපීනය විසින් නිකුත් කර තිබූ ලොව දිගම මුද්දරය (200mm) අභිබවනය වන බැවින්, එහි කිරුළ ශ්‍රී ලංකාව නමින් මෙතැන් සිට ලියැවෙනු ඇති. ඔබත් ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් ලොව දිගම මුද්දරයක සාඩම්බර හිමිකරුවෙකු වන්න.
සැ.යු :- 2024.08.20 වන දින ලොව දිගම මුද්දරය ලෙස ශ්‍රී ලංකාවේ මහනුවර ඇසළ පෙරහැර මුද්දරය කිරුළු පැළදුවත් එහි උණුසුම යන්නටත් පෙර නැවතත් පිලිපීන තැපැල් පරිපාලනය විසින් 2024.11.30 දින නත්තල් සමරුම සඳහා දිගින් 234mm යුතු මුද්දරයක් නිකුත් කරනු ලැබුවා. (වැඩි විස්තර සඳහා පහත දී ඇති "ලොව දිගම මුද්දරය නැවතත් පිලිපීනයෙන්" යන ලිපිය කියවන්න.)
සටහන :
ප්‍රදීප් එම්. පිටිගල ආරච්චි.
ඡායාරූපය අන්තර් ජාලයෙන්.