CTO මුද්දර හඳුනා ගනිමු.
Minneriya National Park. (26th June 2025)
CTO මුද්දර හඳුනා ගනිමු.
CTO මුද්දර හඳුනා ගනිමු.
මුද්දර එකතු කරන අප කාටත් විවිධ වර්ගයේ මුද්දර දකින්නට ලැබෙනවා නේද? ඒ සෑම මුද්දරයක්ම අපේ මුද්දර එකතුවට එකතු කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද? නමුත්, වසරකට විශාල මුද්දර ප්‍රමාණයක් ලෝකයට නිකුත් වෙන නිසා ඒ සෑම මුද්දරයක්ම අපට එකතු කරගන්න පුළුවන්කමක් නැහැ. එහෙත් අපට මව්බිමේ සම්පූර්ණ මුද්දර එකතුවක් හදාගන්න පුළුවන්. එයට අමතරව කිසියම් රටක හෝ තේමාවකට අනුව මුද්දර එකතු කරන්නත් අපට පුළුවන්.
විනෝදාංශයක් විදියට මුද්දර එකතු කරනවා කියන්නේ අපේ ජීවිතයේ ලස්සනම කාලපරිච්ඡේදය විදිනවා කියන එක. මේ විදියට ජීවිතය විදින ඔයාලා අපි හැමෝම මුද්දර ප්‍රදර්ශනයක් හෝ සල්පිලක් මග හරින්නේම නෑ. කොහොම හරි එතනට ගිහිල්ලා හිතට වදින ලස්සන මුද්දර ටිකක් තෝර ගන්නවා හිතේ හැටියට. මේ විදියට මුද්දර එකතු කරද්දි අපි අපේ තේමා අනුව හෝ මුද්දර නාමාවලි පිළිවෙලට මුද්දර එක්කාසු කරන්න උනන්දු වෙනවා. ඔන්න ඔය අතරේ දැන හෝ නොදැන CTO මුද්දරත් අපි මිල දී ගන්නවා. ඇත්තටම මොනවද මේ CTO මුද්දර කියන්නේ? ඒවායේ වටිනාකමක් තියෙනවද? අපි ඒ ගැන විමසා බලමු.
CTO - Cancel to Order
CTO මුද්දර කියලා කියන්නේ ඇණවුම් කිරීම සඳහා අවලංගු කරන ලද, එසේත් නැතිනම් නිකුත් කරන තැපැල් සේවය සඳහා අවලංගු කර ඇති මුද්දර වන නමුත්, තැපැල් සේවා හරහා ගමන් නොකළ මුද්දර විශේෂයක්. ඉතාමත් සරලව කිව්වොත් CTO මුද්දර කියන්නේ යම් තැපැල් කටයුත්තක් සඳහා ගාස්තු ගෙවූ පසු ඒ වෙනුවෙන් මුදල් ගෙවූ තැනැත්තාට තැපැල් කාර්යාලය විසින් ලබා දෙනු ලබන, එහෙත් තැපැල් භාණ්ඩය හා ගමන් නොකරන මුද්දර විශේෂයකට. ඇතැම් මුද්දර ප්‍රවීණයන් මේවා ලේබල් ලෙස අර්ථකතනය කරනවා.
CTO මුද්දර නිර්මාණය වීමේ පසුබිම.
මෙම මුද්දර 19 වන සියවසේ අග භාගයේ දී ආරම්භ වුවා සේ සැලකෙන අතර, ඇතැම් රටවල මේවා මුද්දර එකතු කරන්නන්ගේ ඉල්ලුමට ප්‍රතිචාරයක් ලෙස නිකුත් කරයි. බොහෝවිට CTO මුද්දර සඳහා එකම අවලංගුකරණය භාවිතා කරන අතර, එය එකවර මුද්දර හතරක කෙළවරෙහි ඉතා පිළිවෙලකට යොදයි. ඇතැම් CTO මුද්දර සඳහා අවලංගු කිරීම මුද්දරයේම කොටසක් ලෙස යොදා ඇති අවස්ථා දැකිය හැකි වේ. එවැනි මුද්දරවල, මුද්දර මුද්‍රණය වන අවස්ථාවේ දීම අවලංගු කිරීම මුද්‍රණය කෙරේ.
ඇතැම් මුද්දර එකතු කරන්නන් Mint තැපැල් මුද්දර (භාවිතා නොකළ) අගය කරන අතර තවත් සමහරෙක් Used තැපැල් මුද්දර (භාවිතා කළ) එකතු කිරීමට කැමැත්තක් දක්වයි. ඇත්ත වශයෙන්ම, තැපෑලෙන් එවන ලද ලියුම් කවරවලින් මුද්දර ඉවත් කිරීමෙන් වඩාත් හොඳ විස්තීර්ණ මුද්දර එකතුවක් ගොඩනඟා ගැනීමට කාලය ගතවන අතර එමෙන්ම අපහසු කාර්යකි.
එබැවින් බොහෝ රටවල තැපැල් පරිපාලනය විසින් CTO මුද්දර (දැනටමත් අවලංගු කර ඇති නව මුද්දර) නිකුත් කිරීමෙන් මුද්දර එකතු කරන්නන්ට පහසුකම් සලසා ඇත. ඉන් Used තැපැල් මුද්දර එකතු කරන්නන් සඳහා ඇති වාසිය නම්, ප්‍රායෝගිකව තැපෑල හරහා යාමේ ඇතිවන අවධානම පහව ගොස් Mint තත්වයේ මුද්දර (තැපෑලේ දී අවධානමට ලක් නොවූ - CTO) එකතු කළ හැකි වීමයි. එසේම, තැපැලේ ගමන් කළ ලිපියකට සාපේක්ෂව සැහැල්ලු හා පැහැදිලි අවලංගු කිරීමේ ලකුණු ඒ තුළින් දැකිය හැකි වීමයි. මෙම කරුණු මත තේමා මුද්දර එකතු කරන්නන් CTO මුද්දර සඳහා වැඩි කැමැත්තක් දක්වයි. ඉන් ඔවුන්ගේ එකතුවට නැවුම් බවක් ගෙන එයි.
CTO මුද්දර නිකුත් කරන රටවල් අතර, රුසියාව, හංගේරියාව, බල්ගේරියාව සහ ලයිබීරියාව වැනි රටවල් ප්‍රධාන තැනක් ගනී. මෙම මුද්දර බොහෝවිට එවැනි රටවල තේමා එකතු කරන්නන් වෙනුවෙන් නිකුත් කරයි. ඇතැම් රටවල් CTO මුද්දර සඳහා තැපැල් රෙගුලාසි සකස් කර ඇති නමුත් තවත් සමහරක් රටවල් ඒවා තහනම් කර ඇත. මෙවැනි මුද්දර බොහෝ රටවල් ප්‍රතික්ෂේප කළ නමුත්, ඇතැම් මුද්දර නාමාවලි ඒ සඳහා වෙනම ඉඩක් ලබා දී ඇත.
CTO මුද්දර හඳුනා ගන්නේ කෙසේද?
CTO මුද්දර අපට පහසුවෙන් හඳුනා ගත හැකි ක්‍රම කිහිපයකි. මෙම මුද්දර මැලියම් සහිතව ලබාගත හැකි විම නිසා අවලංගු කර තිබුණ ද, නැවුම් මුද්දරයක විලාශය ගනී. එනම්, Mint තත්වයේ පවතී. ඔබ සතුව ඇති මුද්දර දින මුද්‍රාවකින් අවලංගු කර තිබියදීත් තවදුරටත් මැලියම් සහිත නම් එය CTO මුද්දර ලෙස නිර්වචනය කිරීම යෝග්්ය වේ. තවදුරටත් එය පැහැදිලි කරගැනීමට අවශ්‍ය නම් අවලංගු කර ඇති දින මුද්‍රාව හොඳින් අධ්‍යනය කළ යුතු වේ. ඉහත සඳහන් කළ පරිදි එහි අවලංගු කිරීම මුද්දරයේ කෙළවර ඉතා පැහැදිලිව පිළිවෙලකට සලකුණු කර ඇත්නම් එය තවදුරටත් CTO මුද්දරයක් ලෙස නිර්වචනය කිරීම යුක්ති සහගත ය. එම කරුණු අධ්‍යනය තුළින් CTO මුද්දර ඉතා පහසුවෙන් අපට හඳුනා ගන්න පුළුවන්.
කාලීන ගැටළු
තේමා මුද්දර බොහෝ සිත්ගන්නා සුළු බැවින් මුද්දර එකතු කරන්නන් අතර වඩාත් ජනප්‍රිය වී ඇත. එම අවශ්‍යතාවය හඳුනාගත් බොහෝ රටවල් ඔවුන් වෙනුවෙන් CTO මුද්දර විශාල වශයෙන් නිකුත් කිරීමට පෙළඹී ඇත. ඉන් විශාල වශයෙන් මුදල් ඉපයිය හැකි බැවින් එම රටවල් තව තවත් CTO මුද්දර වෙළදපොලට නිකුත් කරමින් සිටී.
එහි ප්‍රතිඵලයක් වශයෙන් වෙළඳපොල පිළිබඳ නිරතුරු අවදියෙන් සිටින ව්‍යාජ මුද්දර නිර්මාණකරුවන් CTO මුද්දර ව්‍යාජ ලෙස නිර්මාණය කර සීඝ්රයෙන් වෙළඳපොලට මුදා හරී. එමඟින් විශාල ලෙස මුදල් ඉපයීම ඔවුන්ගේ අපේක්ෂාවයි. මෙම තත්වය ඉතා සෝචනීය වන අතර නිවැරදි CTO මුද්දර හඳුනා ගැනීමට පවා එමඟින් අපහසු වී ඇත. ඉන් වසරකට තැපැල් පරිපාලනයට ඉමහත් පාඩුවක් සිදුවන බව CTO මුද්දර නිකුත් කරන තැපැල් බලධාරීන්ගේ මතයයි.
මෙවැනි පසුබිමක් තුළ බොහෝ එකතු කරන්නන් අව්‍යාජ CTO මුද්දර නොසලකා හරින තත්වයක් උදා වී ඇති අතර, ඇතැම් මුද්දර නාමාවලි ඒවා වෙන වෙනම දැක්වීමටත් සමහර නාමාවලි ඉන් ඉවත් කිරීමටත් කටයුතු කරමින් සිටී. එවැනි මුද්දර හඳුනා ගත නොහැකි තැන Stanley Gibbons වැනි ප්‍රකට මුද්දර නාමාවලි ඇතැම් රටවල නව නිකුත් කිරීම් ලැයිස්තුගත කර ඇත්තේ අවලංගු කරන ලද (Used) ඒවා ලෙස පමණි.
මුද්දර මත අවලංගු කිරීම් අනිසි ලෙස භාවිතා කිරීම.
CTO මුද්දර හා සම්බන්ධ නීත්‍යානුකූල නොවන ක්‍රියාවන් ද පවතී. එනම්, යම් මුද්දරයක් භාවිතා කර ඇති බව පෙන්වීමට අවලංගු කිරීමේ සලකුණු හිතාමතාම Mint මුද්දර මත අනිසි ලෙස භාවිතා කිරීමයි. මෙහිදී දුරස්ථ ස්ථානවලින් නිකුත් කළ මුද්දර හෝ කෙටි කාලයකට පමණක් භාවිතා කළ මුද්දර මෙම අවධානමට ලක් වී තිබේ. භාවිතා කරන ලද මුද්දර (Used) භාවිතයට නොගත් (Mint) ඒවාට වඩා වටිනා විය හැකි අවස්ථාවක හෝ මුහුණත වටිනාකමේ විශාලත්වය අනුව මෙවැනි නීත්‍යානුකූල නොවන අනිසි අවලංගු කිරීම් සිදුවිය හැකිය. මෙවැනි ව්‍යාජ මුද්දර සඳහා දුර්ලභ වර්ගයේ අවලංගු කිරීමේ තැපැල් සලකුණු හා අසාමාන්‍ය දිනයන් ඇතුළත් කිරීමට එවැන්නන් කටයුත් කරයි.
CTO මුද්දර සඳහා ප්‍රවීණ මුද්දර එකතුකරන්නන් අතර ඉල්ලුමක් සහ වටිනාකමක් නොවූවත් එම මුද්දර එකතු කරන මුද්දර ලෝලීන් නැතුවා ද නොවේ. තේමා මුද්දර එකතු කරන විට වැඩි වශයෙන් හමුවන්නේ CTO මුද්දර වීම ඊට ප්‍රධානතම හේතුව වේ. මෙම මුද්දර ඉතා ආකර්ෂණීය වන අතර නිරායාසයෙන්ම සිත් බැඳ ගනී. ඇතැම් තේමාත්මක මුද්දර එකතු කිරීමේ දී CTO මුද්දර එකතු කළ යුතු තත්වයක් නිර්මාණය වී තිබෙන අතර, එක් පැත්තකින් CTO මුද්දර ද තම එකතුව තුළ එකතුවක් ලෙස පවත්වා ගෙන යාම වරදකුත් නැති තරම් ය. මන්ද, ඒවා ද යම් තැපැල් සේවයක් සඳහා නීත්‍යානුකූලව ඒ ඒ රටවල් නිකුත් කරන බැවිනි.
තේමා එකතුවකට CTO මුද්දර අපි එකතු කළත්, ජාත්‍යන්තර හා ජාතික මට්ටමේ මුද්දර ප්‍රදර්ශනවලට CTO මුද්දර ප්‍රදර්ශනය කිරීම සඳහා යොදා ගන්නේ නැහැ. ජාත්‍යන්තර මුද්දර සම්මේලනය (International Philatelic Federation - FIP) විසින් මුද්දර ප්‍රදර්ශනය සඳහා CTO මුද්දර අනුමත කර නැහැ. එයට හේතුව CTO මුද්දර ඇත්ත වශයෙන්ම තැපෑල හරහා ගමන් නොකරන බැවිනි. එමෙන්ම ඇතැම් රටවල් CTO මුද්දර නීත්‍යානූකූල මුද්දර නොවන, ලේබල් විශේෂයක් ලෙස නොසලකා හරින බැවිනි.
සටහන :
ප්‍රදීප් එම්. පිටිගල ආරච්චි
ඡායාරූප :
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තැපැල් පහසුකම් යටතේ නිකුත් කළ CTO මුද්දර 12කින් යුත් පත්‍රිකා කොටස මාගේ එකතුවෙනි.
දෙවන ඡායාරුපය අන්තර්ජාලයෙනි.