Minneriya National Park. (26th June 2025)
මුද්දර එකතුවට අලුත් පෙනුමක් හා විවිධත්වයක්...
මුද්දර එකතු කරන විට නොයෙක් ආකාරයේ මුද්දර අපිට හමුවෙනවා. අවලංගු කළ මුද්දර වගේම අවලංගු නොකළ මුද්දරත් ඒ අතර හමුවෙන්න පුළුවන්. අපි ඒ ලැබෙන හැම මුද්දරයක්ම ලැබෙන පරිදි මුද්දර පොතේ පිටු අතර රඳවන්න අමතක කරන්නේ නැහැ. නමුත් එවැනි මුද්දර එකතුවක් ක්‍රමවත් මුද්දර එකතුවක් වෙන්නේ නැහැ. ක්‍රමවත් මුද්දර එකතුවක් හදාගන්න අවශ්‍ය කරුණු Stampමේනියා වෙබ් පිටුවේ ඉදිරි ලිපිවල දී ඉදිරිපත් කරන්න මා බලාපොරොත්තු වෙනවා.
අද මම කියා දෙන්න යන්නේ මුද්දර පොතකට මුද්දර තුළින් අලුත් පෙනුමක් හා විවිධත්වයක් ලබාදෙන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඔයාලත් මේ ක්‍රමය අනුගමනය කරලා මුද්දර පොතට නව ආරක් ලබාදෙන්න උත්සාහ ගන්න. එමඟින් ඔයාලට ඒ ඒ මුද්දර කාණ්ඩ පිළිබඳව හොඳ අවබෝධයක් මෙන්ම පුළුල් දැනුමක් ලබාගන්න පුළුවන්.
ලංකාවේ මුද්දරවලට අමතරව විවිධ රටවල් විසින් නිකුත් කළ මුද්දර ඔබ සතුව තිබෙන්න පුළුවන්. ඔයාලා මුලින්ම කරන්න ඕන ඔයාලාගේ මුද්දර පොතේ තිබෙන සියලුම මුද්දර කාණ්ඩ වශයෙන් වෙන්කර ගන්න එක.
මොනවද ඒ කාණ්ඩ?
ලංකාවේ මුද්දර හා විදෙස් මුද්දර මුලින්ම වෙන්කර ගන්න. ඉන් පසුව ඒ බෙදා ගත් කාණ්ඩවල ඇති අවලංගු කළ මුද්දර (Used), අවලංගු නොකළ මුද්දර (Mint), ආදායම් මුද්දර (Revenue), අති මුද්‍රණය කළ මුද්දර (Overprint), CTO මුද්දර හා සින්ඩරෙල්ලා මුද්දර වෙන වෙනම වෙන්කර ගන්න. දැන් ඔයාලට මුද්දර පොතේ පිළිවෙළකට ඒ ඒ කාණ්ඩ යටතේ මුද්දර රඳවන්න පුළුවන්.
අපිට වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ අපේ මව්බිමේ භාවිතා කළ මුද්දර (Used stamps). එම මුද්දර නිකුත් කළ වර්ෂයන් අනුව හා දිනය අනුව පෙළ ගස්වන එක තමයි වඩාත් නිවැරදි ක්‍රමය. ඒ සඳහා මුද්දර නාමාවලියක් භාවිතා කරන්න වෙනවා. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර නාමාවලිය හෝ ස්ටැන්ලි ගිබන්ස් නාමාවලිය ඒ සඳහා යොදා ගන්න ඔබට පුළුවන්. මුද්දර නාමාවලියක් නැතිනම් අන්තර්ජාලය හරහා ඒ ඒ මුද්දර නිකුත් කළ වර්ෂයන් හා දින සොයා ගන්නත් පුළුවන්. ඒ සඳහා Colnect වෙබ් අඩවිය භාවිතා කිරීම වඩාත් සුදුසුයි.
භාවිතා නොකළ මුද්දරත් (Mint stamps) ඒ ආකාරයටම වෙනත් ඇල්බමයක පෙළ ගස්වන්න උත්සාහ ගන්න. භාවිතා කළ මුද්දර හා භාවිතා නොකළ මුද්දර එකට රැඳවීමෙන් භාවිතා නොකළ මුද්දර විනාශ වී යන්න පුළුවන්. විවිධාකාර මැලියම් වර්ග හා විවිධ දිලීර වර්ග Mint මුද්දරවලට හානිදායක විය හැකි නිසා ඒවා වෙනම ඇල්බමයක රැඳවීම වඩාත් සුදුසුයි. ඒ වගේම භාවිතා නොකළ මුද්දර මුද්‍රිත තත්වයෙන්ම ආරක්ෂා කරගැනීම ඉතාමත් වටිනවා. ඒ සඳහා Acid free පොලිතින් කවර භාවිතා කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මුද්දරයක මැලියම්වල තත්වය ද මුද්දරයේ වටිනාකම තීරණය කරන්න උදව් වෙන බව මතක තබාගන්න. ඒ වගේම Mint මුද්දරයක ස්වභාවය ඒ ඒ තත්වයන් යටතේ මුද්දරයේ වටිනාකමට බලපෑම් කරනවා.
ආදායම් මුද්දරයකි.
ආදායම් මුද්දර (Revenue stamps) සමරු මුද්දරවලට සාපේක්ෂව එතරම් අපට හමුවන්නේ නැහැ. එම මුද්දර පිළිබඳවත් වටිනා තොරතුරු ටිකක් Stampමේනියා වෙබ් පිටුව තුළින් ගෙන ඒමට මා බලාපොරොත්තු වෙනවා. මෙම මුද්දරත් වර්ෂයන් අනුව එකතු කරන්න පුළුවන් නම් හොඳයි.
Stampමේනියා වෙබ් පිටුව තුළින් ඉදිරියේ දී ආදායම් මුද්දර පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු රැගෙන එන්න මා අදහස් කර සිටිනවා. එතෙක් මෙම ලිපියට අදාළ කරුණු පමණක් විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි.
අති මුද්‍රණය කළ මුද්දරයකි.
අති මුද්‍රණය කළ මුද්දරත් නාමාවලියට අනුව එකතු කරන්න පුළුවන්. ඒ වගේම මා ඉහතින් දැක් වූ අති මුද්‍රණය කළ මුද්දර කාණ්ඩය යටතේ ද වෙනම රඳවන්නත් පුළුවන්. එසේ වෙන වෙනම මුද්දර රැඳවීම තුළිින් මුද්දර විෂයේ වෙනම ම පැතිකඩක් නිර්මාණය වන බව ඔබට පෙනෙනු ඇත.
මෙම මුද්දර අවශ්‍යතාවයට අනුව නැවත මුද්‍රණය වන නිසා නිකුත් කළ දිනය අනුව හා සංශෝධනය වී ඇති විස්තර ද ඇතුළුව මුද්දර නාමාවලියේ වෙනම ඉඩක් වෙන් කිරීම සුදුසුයි. මෙම මුද්දර වර්ග සීමිත ප්‍රමාණයක් නිකුත් වන නිසා එහි විශේෂත්වයක් හා වටිනාකමක් පවතිනවා.
Stampමේනියා වෙබ් පිටුව තුළින් ඉදිරියේ දී අති මුද්‍රණය කළ මුද්දර පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ගෙන එන්න මා අදහස් කර සිටිනවා.
CTO මුද්දරයකි.
ඇතැම් ප්‍රවීණ මුද්දර එකතු කරන්නන් තමන්ගේ එකතුව තුළ CTO මුද්දර සඳහා ඉඩක් ලබා නොදුන්න ද බොහෝ රටවල් CTO මුද්දර නිකුත් කරනු ලබන්නේ මුද්දර එකතු කරන අය සඳහාමයි. එම නිසා CTO මුද්දර නොමැතිව මුද්දර එකතුවක් තේමාවන් යටතේ සහ සියලු වර්ගීකරණයන් යටතේ සංවිධානය කරන්න බැහැ. එම නිසා CTO මුද්දර මිලෙන් අධික අවස්ථා ද අපට හමුවනවා.
මෙම CTO මුද්දර ගැන ලිපියක් දැනටමත් Stampමේනියා වෙබ් පිටුවේ මා පළ ඇති නිසා ඒ පිළිබඳව ඔබ දැනටමත් දැනුවත් වී ඇතැයි සිතමි. ඔබගේ මුද්දර එකතුව තුළ CTO මුද්දර වෙනම තබා ගනිමින් ඒ පිළිබඳව අධ්‍යනය කරන්න සොයා බලන්න උත්සාහ ගන්න.
මතක තබා ගන්න. CTO මුද්දර නැතිව විදේශීය තේමාත්මක මුද්දර එකතු කරන්න අපහසු බව. CTO මුද්දර ඒ ඒ රටවල නීත්‍යානුකූල තැපැල් බලධාරීන් නිකුත් කළ ද තැපෑල හරහා ගමන් නොකළ මුද්දර විශේෂයක්.
නමුත් මුද්දර ප්‍රදර්ශනයකට මෙම මුද්දර ප්‍රදර්ශනය කරන්නේ නැහැ. ඒ ගැන විස්තර "CTO මුද්දර හඳුනා ගනිමු" යන මාගේ ලිපියෙන් කියවන්න පුළුවන්.
සින්ඩරෙල්ලා මුද්දරයකි.
සින්ඩරෙල්ලා මුද්දර ඔබේ එකතුවේ ඔබ නොදැනීම තිබෙන්න පුළුවන්. ඒවා සොයා ගෙන වෙනම කාණ්ඩයක් ලෙස පවත්වා ගෙන යාම වඩාත් සුදුසුයි. මන්ද, ඇතැම් සින්ඩරෙල්ලා මුද්දර සඳහා අධික ඉල්ලුමක් සහ වටිනාකමක් පවතින නිසා. සින්ඩරෙල්ලා මුද්දර ගැන රසබර තොරතුරු ඉදිරියේ දී Stampමේනියා වෙබ් පිටුවෙන් ගෙන එන්නම්.
මේ විදියට කාණ්ඩ වශයෙන් මුද්දර බෙදා ගෙන එකතු කිරිම තුළ ඒ ඒ මුද්දර නිවැරදි හඳුනා ගැනීමක් ඔබට නිරායාසයෙන්ම ලැබෙනවා. මුද්දර එකතු කිරීම යනු අනාගත ආයෝජනයක් බැවින් නිසි ක්‍රමවේදයකට අනුව මුද්දර එකතු කිරීමට ඉගෙන ගැනීමෙන් ඔබට ආර්ථික වාසි අත්කර ගන්න පුළුවන්.
මුද්දර එකතු කරන්නෙක් ළඟ ඉහත සියලු කාණ්ඩයන් එකතු වන්නේ නම් ඉතාමත් සර්ව සම්පුර්ණ මුද්දර එකතුවක් ලෙස නිගමනයකට එළඹෙන්න පුළුවන්. එය මුද්දර ඉතිහාසය නිවැරදිව ගැළපීමක් ද වෙනවා. ඉතිහාසය හදාරණ ඉතිහාසඥයන් සදහා අගනා මූලාශ්‍ර ඉන් සපයනවා.
එම නිසා ඔබේ මුද්දර එකතුවට අලුත් පෙනුමක් හා විවිධත්වයක් ලබාදීමට ඉහත කරුණු සැලකිල්ලට ගැනීම ඉතා වැදගත් කොට මා සලකනවා.
සටහන :
ප්‍රදීප් එම්. පිටිගල ආරච්චි