Minneriya National Park. (26th June 2025)
නීති විරෝධි මුද්දර යනු නීත්‍යානුකූල රටක හෝ ප්‍රදේශයක නමක් භාවිතා කරමින් එරට තැපැල් පරිපාලනය විසින් නිකුත් කළ හෝ නොකළ, ලෝකයේ ඕනෑම තැනක තැපැල් ගාස්තුව සඳහා වලංගු නොවන වංචනික ලෙස මුද්දර එකතුකරන්නන් සහ සාමාන්‍ය ජනතාව නොමඟ යැවීම සඳහා මුදා හැර ඇති තැපැල් මුද්දර හා සමාන ලේබල් හෝ පත්‍රිකා වේ.
මෙහි ආරම්භය 1990 දශකයේ මුල් භාගයේ දී සිදු වූ බව සැලකෙන අතර, සෝවියට් සංගමය විවිධ ස්වාධීන රාජ්‍යයන් ගණනාවකට බෙදීයාම මෙහි පසුබිම නිර්මාණය වීමට හේතු වී ඇති බව ප්‍රවීණ මුද්දර විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. එවැනි රාජ්‍යයන්හි දේශපාලන තන්ත්රයේ ව්‍යාකූලත්වය ප්‍රයෝජනයට ගත් ව්‍යාජ මුද්දර නිෂ්පාදකයින් ලාබ ලැබීමේ අපේක්ෂාව ඇතිව නීති විරෝධී මුද්දර විශාල වශයෙන් වෙළඳපොළට මුදා හරින ලදි. ඒ සඳහා ඔවුන්ට කළ යුතුව තිබුණේ සන්නිවේදන සහ නෛතික සම්පත් හීනව අවදානමට ලක්විය හැකි, සංවර්ධනය වෙමින් පවතින රටක් තෝරා ගැනීම පමණි. විශ්ව තැපැල් සංගමයෙහි (UPU) දත්තයන්ට අනුව වසරකට වෙළඳපොළට අවම වශයෙන් ඩොලර් මිලියන 500ක පමණ නීති විරෝධි මුද්දර එකතු විය හැකි බව ගණනය කර ඇත. එහෙයින්, දේශපාලන ව්‍යාකූලත්වයක් පවතින ඕනෑම රටක් ව්‍යාජ මුද්දර වසංගතයට ගොදුරුවීමේ අවදානමක පවතින බව කිව යුතු වේ.
පැරණි සෝවියට් සංගමයේ ප්‍රාන්ත මෙන්ම ඇන්ගෝලා, බෙනින්, කොමරෝ දූපත්, කොංගෝ, ජිබුටි, හයිටි, ලයිබීරියාව, මාලි, මලාවි, රුවන්ඩා, සෝමාලියාව, ටිමෝරය සහ ටාචඩ් වැනි රටවල් අතරින් ඇතැම් රටවල් පාලන තන්ත්රයේ ව්‍යාකූලත්වය හේතුවෙන් වාර්ෂිකව සිදුකරන මුද්දර නාමාවලි යාවත්කාලීන කිරීමට අපොහොසත් වී ඇත. එහෙයින්, ඒ ඒ රටවල තැපැල් පරිපාලනයට පවා නීත්‍යානුකූල මුද්දර කුමක්දැයි එකවිට තහවුරු කිරීමට නොහැකි වී තිබේ. මෙම තත්වය ව්‍යාජ මුද්දර නිර්මාණයට පහසු වී ඇති බව කිව යුතුය.
නීති විරෝධී මුද්දර සෑමවිටම පවතින රටක හෝ ප්‍රදේශයක නමකින් නිකුත් කර ඇති අතර, ඒවා නීත්‍යානුකූල මුද්දරවල සැලසුම ආදර්ශයට ගනිමින් ඒ හා සමාන මුහුණුවරක් යොදා ගෙන ඇත. මෙම ව්‍යාජ මුද්දර නිර්මාණයේ අපේක්ෂාව අවම පිරිවැයකින් උපරිම ලාබයක් ලැබීම බැවින් මුහුණත වටිනාකම ඉහළ අගයන් දක්වා විහිදි යයි.
නීති විරෝධී මුද්දර බොහොමයක් Imperforates සහ Color proof set ලෙස දැකිය හැකි අතර සමහරක් ව්‍යාජ මුල් දින කවර ලෙස ද පවතී. බොහොමයක් සිහිවටන පත්‍රිකා තනි තනිව අලෙවියට තබා ඇත. ව්‍යාජ මුද්දර වෙළෙන්දන් යම් යම් කූඨ උපක්‍රම භාවිතා කරමින් තම නීති විරෝධී මුද්දර අලෙවි කර ගැනීමට උත්සාහ ගනී. ඇතැම්විට සිහිවටන පත්‍රිකාවෙන් මුද්දර වෙන්කර අලෙවිය සඳහා මුදා හැර ඇති බව දැකිය හැකිය. තවත් සමහරක් සින්ඩරෙල්ලා, ලේබල් හා ප්‍රාන්ත මුද්දර ලෙස වර්ග කර වෙළඳපොළට සූදානම් කර ඇත. මෙම උපක්‍රම සියල්ල විශ්ව තැපැල් සංගමයේ (UPU) චක්‍රලේඛ මඟ හැරීම සඳහා වංචනිකයන් භාවිතා කරන උපක්‍රම ලෙස හඳුනා ගෙන තිබේ. Scott නාමාවලිය ඔවුන්ගේ මුද්දර නාමාවලියේ නීති විරෝධී මුද්දර ලැයිස්තුගත කරමින් නීති විරෝධී මුද්දරවලට එරෙහිව සටන් කිරීමට උත්සාහ කළ ද විශාල ව්‍යාජ මුද්දර තොග හමුවේ එම වෑයම අසාර්ථක වී ඇත.
නීති විරෝධී මුද්දර මෙතෙකැයි කියා ලඝුකර දැක්විය නොහැකි බැවින් එහි නාමලේඛනයක් දැක්වීමට උචිත නොවන අතර කලාපීය හෝ රටවල් වශයෙන් ඉදිරිපත් කිරීම සුදුසු වේ. ඒ ඒ කලාපීයේ දැනට හඳුනාගෙන ඇති රටවල ව්‍යාජ මුද්දර සංඛ්‍යාව දෙස බැලීමේ දී ව්‍යාජ මුද්දර කොපමණ ප්‍රමාණයක් වෙළඳපොළ තුළ සංසරණය වනවා ද යන්න ගැටළුවකි. ඒ සෑම එකක්ම සැබෑ මුද්දර නිකුතුවකින් වෙන්කර හඳුනා ගත හැකි දැයි ප්රශ්නයකි.
කලාපීය වශයෙන් නීතිවිරෝධී මුද්දර වෙළඳපොළ ආක්‍රමණය කිරීම.
අප්‍රිකානු කලාපය
ඇන්ගෝලා, බොට්ස්වානා, බුරුන්ඩි, කැමරූන්, චැඩ්, කොමරෝස්, කොංගෝ, ඊජිප්තුව, ඝානාව, කෙන්යාව, ලයිබීරියාව, මැඩගස්කරය, මලාවි, මාලි, මොසැම්බික්, නැමීබියාව, සියෙරාලියොන්, සෝමාලියාව, ටෝගෝ, උගන්ඩාව, සෙනෙගාල්, සුඩානය, ටැන්සානියාව, සැම්බියාව, සිම්බාබාවේ…
ආසියානු කලාපය
ඇෆ්ගනිස්ථානය, භූතානය, ඊජිප්තුව, ඉන්දියාව, ඉරානය, ඉන්දුනීසියාව, ඉරාකය, ඊශ්‍රායලය, ජපානය, මියන්මාරය, කසකස්තානය, දකුණු සහ උතුරු කොරියාව, ලාඕසය, මැලේසියාව, මාලදිවයින, මොංගෝලියාව, ඕමානය, පකිස්ථානය, පිලිපීනය, රුසියාව, ශ්‍රී ලංකාව, සිරියාව, ටජිකිස්තානය වියට්නාමය, උස්බෙකිස්තානය…
ඇමරිකානු කලාපය
ඇන්ටිගුවා සහ බාබුඩා, බ්‍රිතාන්‍ය ගයනා, චිලී, ග්‍රෙනාඩා, ෆෝක්ලන්ඩ් දූපත්, ගයනා, හයිටි, මෙක්සිකෝ, පේරු, පැරගුවේ, ඇමරිකා එක්සත් ජනපදය ...
යුරෝපීය කලාපය
බෙලරුස්, බොස්නියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, නෙදර්ලන්තය, නෝර්වේ, පෝලන්තය, පෘතුගාලය, රුමේනියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, උතුරු මැසිඩෝනියාව, යුක්රේනය, එක්සත් රාජධානිය, මෝල්ඩෝවා, එස්තෝනියාව, කොසෝවෝ, ලැට්වියාව, ස්ලෝවේනියාව, ක්‍රොඒෂියාව...
සාගරික කලාපය
නැගෙනහිර ටිමෝරය, ඉන්දුනීසියාව, කිරිබති, මාෂල් දූපත්, නවසීලන්ත ටොංගා, ටුවාලු, වනුවාටු...
මෙහිදී ඒ ඒ කලාපයට අයත් රටවල පිළිගත් නාමය දක්වා ඇතත් ව්‍යාජ මුද්දරවල බොහෝවිට සඳහන් වන්නේ ප්‍රාන්ත හෝ ප්‍රධාන නගරයන් හි නාමයන් බව කිව යුතු වේ. මෙම දත්ත තුළ ශ්‍රී ලංකාව ද තිබීමෙන් ගම්‍ය වන්නේ අපගේ දේශපාලන තන්ත්රයේ ව්‍යාකූලත්වය හා සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ලෝකය හමුවේ පසුගාමී වීමයි.
මෙම ලිපියේ 2 වන කොටස කියවීමට මෙතනින් පිවිසෙන්න.