Minneriya National Park. (26th June 2025)
'STAMP' යන වචනය හැදුනේ මෙහෙමයි.
"මුද්දරය" (Stamp) යන්න ඇතමෙකුට ඒ තරම් හැඟීමක් ඇති කරන දෙයක් නොවන්න පුළුවන්. එහෙත් මුද්දර ලෝලියෙකුට නම් මුද්දරයක් යනු අමිල වස්තුවක්. දැනුම, විනෝදය මෙන්ම සතුට ගෙනෙන උල්පතක්. මේ විදියට මුද්දර එකින් එක එකතුවෙලා ගොඩ නැඟෙන මුද්දර එකතුවක් කියන්නේ සිතට අමුතුම ආකාරයේ නිරාමිස සුවයක් එක් කරන අපූරු වත්කමක්.
ඉතින් කොහොමද හොඳ මුද්දර එකතුවක් ගොඩනඟා ගන්නේ? හොඳ මුද්දර එකතුවක් ගොඩනඟා ගන්න නම් අපට කරුණු කිහිපයක් සම්පූර්ණ කරගැනීමට සිදු වෙනවා. මේ කරුණු මතක තියාගන්න පහසු වෙන්නත් එක්ක STAMP යන වචනය හැදුන හැටි බලමු.
හොඳයි. එහෙමනම් උත්සාහ කරල බලමු මේ කරුණු ටික ඔයාලටත් මතක තියාගන්න පුළුවන් ද කියල.
මුද්දරය, එහෙම නැත්නම් STAMP කියන වචනයේ පළවෙනි අකුර (S) අපි මුලින්ම අර ගනිමු.
මුද්දර එකතුවක් ගොඩනඟා ගැනීමට අපේක්ෂා කරනවා නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දේ තමයි මුද්දර.
S - STAMP
හොඳ මුද්දර එකතුවක් ගොඩනඟා ගන්නෙ කොහොමද මුද්දර නැතිව. මුද්දර එකතුවක් ගොඩනඟා ගන්නට නම් අනිවාර්යයෙන්ම අපට හැකි උපරිමයෙන් මුද්දර රැස් කරන්න සිදු වෙනවා.
S - Stamps
දෙවැනි අකුර තමයි T. මොකක්ද T අකුරෙන් කියැවෙන්නේ. Time කියන එකද? එක අතකින් බැලුවහම මුද්දර විනෝදාංශය සඳහා අපට කාලය අවශ්‍ය වන බව ඇත්ත. ඒ වගේමයි ඉවසීමත්. එහෙත් T අකුර සඳහා ගොනු කරල තියෙන්නෙ මුද්දර විනෝදාංශයට නැතුවම බැරි දෙයක්.
T - Tools
හොඳ මුද්දර එකතුවක් ගොඩනඟා ගන්න නම් අපට මුද්දර එකතු කිරීමේ දී උපකරණ, එහෙමත් නැත්තම් Tools කිහිපයක් භාවිතා කරන්නට සිදුවෙනවා.
මුද්දර අඬුවක් - Stamp tongs / Stamp Tweezers
විශාලන කාචයක් - Magnifying Glass
ඔබ ආධුනික මුද්දර එකතු කරන්නෙක් නම් ඔය උපකරණ ද්විත්වය වුවත් ප්‍රමාණවත්. නමුත් පරිණත මුද්දර එකතු කරන්නෙක් සඳහා තවත් උපකරණ කිහිපයක අවශ්‍යතාවය ඇති වෙනවා.
විදමන් ආමානයක් - Perforation Gauge
වර්ණ දර්ශකයක් - Stamp Colour Key / Colour Guide
දියසළකුණු දර්ශකයක් - Watermark Detector
මීට අමතරව අප ජීවත් වන ඩිජිටල් යුගයට සරිලන අන්දමට මුද්දර පිළිබඳ සටහන් තබා ගැනීමට හෝ මුද්දර කළමනාකරණය පහසු කරගැනීම සඳහා ඒ වෙනුවෙන් ම නිපැයුණු පරිගණක මෘදුකාංග (Stamp Management Software) හෝ ස්මාර්ට් ජංගම දුරකථන සඳහා වන යෙදවුම් (Smart Phone Application) ද අවශ්‍ය වෙනවා.
T - Tools
ඊළඟට තියෙන්නේ A අකුර. මොකක්ද ගැන ද A අකුරින් කියැවෙන්නේ.
A - Album
ඔබ විසින් විවිධ ක්‍රම ඔස්සේ එක් රැස් කර ගන්නා මුද්දර, ක්‍රමවත්ව සුරැකිව තබාගන්නට නම් ඒ සඳහා ම විශේෂයෙන් සැකසු මුද්දර සුරැකුම් පොතක් (Album) අවශ්‍ය වෙනවා.
ගම් පතුරු හෙවත් මුද්දර රඳවන ආධාරයෙන් මුද්දර රඳවා තබන මුද්දර පොත් (මේවායේ ප්‍රස්ථාර කොළවල මෙන් කුඩා කොටු අවපැහැයෙන් මුද්‍රණය කර තිබෙනු දැකගත හැකිය) මෙන්ම අවශ්‍ය පරිදි අවශ්‍ය ප්‍රමාණයට පත්‍රිකා එකතු කරගත හැකි loose leaf වර්ගයේ ඇල්බමයන් ද ඒ අතර වනවා. මේවායින් තමන්ට ගැලපෙන මුද්දර ඇල්බමයක් තෝරා ගැනීමට ඔබ කල්පනාකාරී විය යුතුයි.
ලංකාවේ මුද්දර සුරැකුම් පොත් (Stamp Album) ලෙස විකුණන බොහොමයක් ඇල්බම් සැබවින්ම මුද්දර සුරැකුම් පොත් නොව මුද්දර රැඳවුම් පොත් (Stock Book) බව කියන්න ඕන. සුරැකුම් පොතක මුද්දරයට නියමිත ස්ථානයක් ලබාදෙන තෙක් එම මුද්දර රඳවා තබන්නට මුද්දර රැඳවුම් පොත් භාවිතා කරනවා.
A - Album
STAMP යන වචනයේ හතරවැනි අකුර තමයි M. මොනවද M වලින් අදහස් කරන්නේ?
නිසැකවම M වලින් අදහස් වන්නේ Money යැයි ඔබට සිතෙනු ඇති. විශේෂයෙන්ම මුද්දර, මුද්දර ආශ්රිත ද්‍රව්‍ය මෙන්ම මුද්දර එකතු කිරීමේ දී අවශ්‍ය වන ආම්පන්න මිල දී ගැනීමට සඳහා මුදල් අවශ්‍ය වේ. ඒ අනුව එක් අතකින් එසේ සිතීමේ වරදකුත් නැහැ. එසේ නම් බලමු M වලින් අදහස් වන්නේ කුමක්ද කියා.
M - Mounts and Hinges
මෙයින් අදහස් වන්නේ මුද්දර රඳවා තබන රැඳවුම් තීරු හා ගම් පතුරු ය. මෙසේ රැඳවුම් තීරු (Mounts) තුළ මුද්දර රැඳවා තැබීම මේවන විට ජනප්‍රියම ක්‍රමයයි. මෙම ක්‍රමය තුළ මුද්දර හොඳින් ආරක්ෂා වී පැවතීමත් කලු පැහැති පසුබිම තුළ මුද්දර වඩා හොඳින් කැපි පෙනීමක් සිදුවේ. රැඳවුම් රාමුවේ මතුපිට විනිවිද පෙනෙන තුනී පොලියෙස්ටර් පටලයකින් සමන්විත වන අතර පසුපස තීරුව කළු පැහැ පොලියෙස්ටර් තීරුවකින් සමන්විත වේ. මුද්දර ඇතුල් කළ යුතු ආකාරය අනුව හා පසුබිම් වර්ණය කළු හෝ අවර්ණ වශයෙන් ද Mounts වර්ග කිහිපයකින් ලබාගත හැකිය.
ගම් පතුරු නැතිනම් මුද්දර රඳවන (Hinges) මඟින් මුද්දර සුරැකුම් පොතේ රඳවා තැබීම අනාදිමත් කාලයක සිට මුද්දර එකතු කරන්නන් අතර ජනප්‍රියව පැවති ක්‍රමයයි. මේවා සකස් කර ඇත්තේ එක් පසෙක වියලි මැලියම් තට්ටුවක් ආලේප කර කුඩා දිගැටි හැඩයේ තෙල් කඩදාසි පටි තීරු වශයෙනි.
M - Mounts and Hinges
අවසාන අකුර ලෙස P අකුර ගනිමු. මින් අදහස් කරනුයේ මුද්දර පිළිබඳ තොරතුරු ඇතුළත් පත පොත යනාදිය වේ.
P - Publications
මුද්දර පිළිබඳ අනගි තොරතුරු ලබාදෙන මුද්දර නාමාවලි (Stamp Catalogue), වාර සඟරා මෙන්ම විවිධ පත පොත ද මේ යටතට ගැනේ. මුද්දර ගැන හොඳ දැනුමක් නොමැතිව හොඳ මුද්දර එකතුවක් ගොඩ නගා ගත නොහැකිය. එබැවින් මෙවැනි මුද්දර ආශ්රිත ප්‍රකාශන පරිහරණයට පුරුදු පුහුණු වීම ද හොඳ මුද්දර එකතුවක් ගොඩ නගා ගැනීම සඳහා අතිශයන් ම වැදගත් වේ.
P - Publications
සටහන :
එස්.කේ මිල්ලගල
අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු ඇසුරින් සකස් කල ලිපියකි.
ඡායාරූප අන්තර්ජාලයෙනි.
අලෙවිය තහනමට ලක් වූ පිල්ලේ මුද්දරේ...
ඒ 1983 වර්ෂයයි.
මැයි 22 දිනට යෙදුනු ‘ජාතික වීර දිනය’ වෙනුවෙන් මුද්දර පහකින් යුතුව නිකුත් කළ ශත 50 මුද්දර කට්ටලයේ මේ නොසිතු විරූ ජරමරයට බඳුන් වූ පිල්ලේ මුද්දරය සැඟව තිබුණි.
C.W. තමෝදරම්පිල්ලේ යනු උතුරේ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් මාහැඟි සේවාවන් රැසක් සිදුකළ ද්‍රවිඩ නායකයෙකි. එතුමා සිහිකොට මෙදින මුද්දරයක් නිකුත් වුවද සිදුවුයේ නොසිතු විරූ අකරතැබ්බයකි.
C.W. තමෝදරම්පිල්ලේ මැතිතුමා
නිල වශයෙන් මුද්දරයක් නිකුත් කිරීමට පෙරාතුව ඊට කලින් දිනයේ පුවත්පත් දැන්වීමක් පල කිරීම එකල සිරිතකි. මෙය නෙතු දුටු පිල්ලේ මහතාගේ මුණුබුරෙකුට එහි ඇති රුව තම මිය ගිය සීයාගේ නොවන බව සක්සුදක් සේ තහවුරු විය. ඔහු වහාම මුද්දර කාර්යංශය ඇමතීය. සිදුව ඇති සියල්ල පැහැදිලි කළේය. එහෙත් ඒවන විට රට පුරාම පාහේ මුද්දර බෙදා හැරීම් කටයුතු ලහි ලහියේ සිදුවෙමින් පැවතිණි.
වැරදුන මුද්දරය
1983.05.22
වහාම අලෙවිය තහනම් නියෝග පැනවිණි.
එදා අද මෙන් නොව ඈත එපිට දුෂ්කර ගම්මානවල තැපැල් කාර්යාල මඟින් පවා නිකුත් කළ දිනයේ ම මුද්දර මිල දී ගැනීමේ කාර්යක්ෂම සේවාවන් පැවතුණි. පිල්ලේ මුද්දරය වෙළඳ තහනමට ලක් වූ පුවත ප්‍රධාන තැපැල්හල්වලට ලැබෙද්දී උප තැපැල් කාර්යාලවලට පවා මෙම මුද්දර යැවී තිබිණි.
පණිවිඩය ලැබෙද්දි මෙම අපූරු මුද්දරය මිල දී ගැනීමේ වාසනාව එකල මුද්දර ලෝලීන්ට උදාවිණි. මම ද එයින් එක් අයෙකු වීම අපමණ භාග්‍යයකි.
නිවැරදි මුද්දරය
1983.10.01
වරද නිවරද කරමින් සැබෑ රුව සහිත පිල්ලේ මුද්දරය එම වසරේම ඔක්තෝබර් 1 වෙනි දින නැවත කළ එළි බැස්සේය.
වත්මනෙහි ව්‍යාජ පිල්ලේලා රජ වෙන්නට උත්සාහ දරනු ඇත.
එහෙත් තහනමට ලක් වූ මෙම පිල්ලේ මුද්දරය වටා වත්මනෙහි ගෙතෙන ප්රබන්ධවලට වඩා සියැසින් දුටු පුවත් පත් වාර්තාවල මතකයන් තුළින් මේ ලිපිය සකස් කළෙමි.
එම පුවත් පිටු පවා මා ළඟ සුරැකිව තබා තිබුණ ද ඒවා පසු කාලයක දී විනාශව ගොස් තිබීම බලවත් පාඩුවකි.
"A fifth design to commemorate C.W. Tharnotheram Pillai was prepared for this set. but was withdrawn at the last moment when it was realised that the wrong portrait had been used. It is understood, however, that supplies were sold at some rural post offices where the instruction was not received in time. A corrected version was later issued, see No 825."
From :
Stanley Gibbons Stamp Catalogue.
Sri Lanka
සටහන :
එස්.කේ මිල්ලගල
ඡායාරූප කතෘතුමන්ගෙන් හා අන්තර්ජාලයෙනි.