Minneriya National Park. (26th June 2025)
මුද්දර එකතු කිරීමේ විනෝදාංශයේ පවතින විවිධාංගීකරණය හේතුවෙන් විවිධ තේමාවන් කරා යොමු වෙමින් තැපැල් අයිතමයන් එකතු කිරීමට බොහෝ එකතු කරන්නන් පෙළඹී සිටිති. ඒ අතරින් මුද්දර එකතු කිරීම ප්‍රධාන තැනක් ගත්ත ද තැපැල්පත් හා විසිතුරු තැපැල්පත් එකතු කිරීමට ද බොහෝ දෙනා ප්‍රිය කරති. මෙහිදී තැපැල්පත් එකතු කිරීමේ විනෝදාංශය නිවැරදිව සිදුකිරීමට හා අධ්‍යනය කිරීමට නම් තැපැල්පත් පවුලේ සාමාජිකයන් හඳුනා ගැනීම ඉතාමත් වටී.
ඉතිහාසය...
ඔස්ට්‍රියා-හංගේරියාවේ වියානාහි ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන ආචාර්ය එමානුවෙල් හර්මන් ලිපියක් ලිවීමට ගතවන කාලය හා ශ්‍රමය යවන ලද පණිවිඩයට සාපේක්ෂව සමානුපාතික නොවන බව පෙන්වා දෙමින් කෙටි හා වඩා කාර්යක්ෂම සන්නිවේදනයක් සඳහා වඩාත් ප්‍රායෝගික සහ ලාභදායී ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතු බව යෝජනා කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔස්ට්‍රියානු තැපෑල 1869.10.01 වන දින ලොව ප්‍රථම තැපැල්පත නිකුත් කිරීමට එළඹුනි. (1 වන රූපය) මෙම තැපැල්පතෙහි ඉදිරිපස ලිපිනය ලිවීම සඳහා ද, පිටුපස පණිවිඩය ලිවීම සඳහා ද ඉඩ වෙන්ව තිබූ අතර, එහි ඉහළ දකුණු කෙළවරේ මුද්‍රණය කරන ලද 2 kreutzer මුද්දරයකින් සමන්විත විය. මෙම තැපැල්පත ලා දුඹුරු පැහැයෙන් නිර්මාණය වූ අතර 8.5cm x 12cm ප්‍රමාණයේ සෘජුකෝණාස්රාකාර නිමාවකින් යුක්ත වේ. ජර්මානු හා හංගේරියානු භාෂා වලින් යුක්ත ය.
ප්‍රථම තැපැල්පත නව සන්නිවේදන මාධ්‍ය ඉදිරියේ අතිමහත් ජනාදරයට පාත්‍ර වනු දුටු ස්විට්සර්ලන්තය, ලක්සම්බර්ග්, එක්සත් රාජධානිය සහ ජර්මනියේ ඇතැම් ප්‍රාන්ත වහා එය වැළඳගනිමින්, එය නිකුත් කිරීමෙන් වසරකටත් අඩු කාලයක් තුළ එනම් 1870 දී තමන්ගේම තැපැල්පත් නිකුත් කිරීමට පියවර ගත්හ. ලිපියකට වඩා තැපැල්පතේ ඇති සන්නිවේදනයේ පහසුව සහ ඉක්මන් බව හේතුවෙන් තැපැල්පත් නිෂ්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීමට බොහෝ රටවල් කටයුතු කරන ලදි.
1871 දී බෙල්ජියම, ඕලන්දය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ස්වීඩඩනය, නෝර්වේ සහ කැනඩාව තැපැල්පත් නිකුත් කිරීමට පියවර ගත් අතර, 1872 දී රුසියාව, චිලී, ප්‍රංශය සහ ඇල්ජීරියාව ඊට එක් විය.
මේවන විට එක්සත් රාජධානිය තැපැල්පත් නිකුත් කිරීම ආරම්භ කර තිබූ හෙයින් ලංකාවට ද එහි වාසි අත්කර දීමේ අවශ්‍යතාවය ඉස්මතුවෙමින් තිබිණ. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1872 දී ලංකාවට ආසියාවෙන්ම පළමු තැපැල්පත නිකුත් කීරීමේ ගෞරවය දිනා ගැනීමට හැකිවිණ.
1873 දී ප්‍රංශය, සර්බියාව, රුමේනියාව, ස්පාඤ්ඤය, ජපානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය තමන්ගේම තැපැල්පත් නිකුත් කළ අතර, 1874 දී ඉතාලිය, රුමේනියාව සහ සර්බියාව ද ඊට එක් විය .
1874 දී ස්විට්සර්ලන්තයේ අගනුවර වන බර්න් හි දී සාමාන්‍ය තැපැල් සංගමය (පසුව විශ්ව තැපැල් සංගමය ලෙස හැඳින් වූ - UPU) පිහිටුවීමත් සමඟ එහි සාමාජික රටවල් සඳහා ගිවිසුම් හා කොන්දේසි අනුමත කරගන්නා ලදි. එහි සඳහන් පරිදි සාමාජිකයන් අතර යවන ලිපි සඳහා සම්මත තැපැල් ගාස්තුවක් නියම කෙරුණු අතර, එම අනුපාතයෙන් අඩක් තැපැල්පත් සඳහා අය කළ යුතු බව තීරණය විය.
19 වන සියවසේ අඟ භාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේ දී තැපැල්පත් භාවිතය අතිශයින් ජනප්‍රිය වූ අතර, ඊට රුචිකත්වයක් දක්වන පිරිස් ඒවා එකතු කිරීමට නැඹුරු විය. තැපැල්පත් එකතු කරන ප්‍රවීණයන් ඒවා කාලවකවානු අනුවත්, මිල හා වර්ණ වෙනස්වීම් අනුවත්, පොදුවේ විවිධ වෙනස්කම් අනුවත් වර්ගීකරණය කරමින් වඩාත් විදිමත් තැපැල්පත් එකතුවක් දක්වා වර්ධනය කර ගැනීමට උත්සාහයක යෙදේ.
(1 වන රූපය) ලොව ප්‍රථම තැපැල්පත - 1869 දී ඔස්ට්‍රියාවෙන් නිකුත් කරන ලදි.
තැපැල්පතේ සාමාජිකයෝ...
පොදුවේ මුද්දර එකතු කරන්නන් සඳහාත්, තේමාවක් ලෙස තැපැල්පත් එකතු කරන්නන් සඳහාත් තැපැල්පත් විවිධාංගීකරණය කරන්නේ කෙසේදැයි වටහා ගැනීම සඳහා මෙම ලිපිය ඉතා වැදගත් වේ.
තැපැල්පත්... (postcards)
තැපැල් පතක් යනු අදහස කෙටියෙන් ලිවීමට හැකි, තැපැල් කිරීම සඳහා සුදුසු වන, තැපැල් ගාස්තුව සඳහන් සෘජුකෝණාස්රාකාර ඝන කාඩ්බෝඩ් කැබැල්ලක් හෝ තුනී කඩදාසි කැබැල්ලකි. ඇතැම්විට සෘජුකෝණාස්රාකාර නොවන හැඩතල ද භාවිතා කළ හැකි නමුත් ඒවා අතිශයින් දුර්ලභ වේ.
තැපැල්පත (Postcard) සහ තැපැල් කාඩ්පත (Postalcard) වශයෙන් විදේශීය තැපැල්පත් එකතු කරන්නන් ඒවා වෙන් වෙන් වශයෙන් වර්ගීකරණය කරනු ලැබුව ද, බොහෝ සෙයින් මේවා එකිනෙක සමාන වේ. ප්‍රවීණ මුද්දර එකතු කරන්නන්, මුද්දරයක් මුද්‍රණය කර නොමැති ඒවා තැපැල්පත් ලෙසත්, මුද්දරයක් මුද්‍රණය කර ඇති තැපැල්පත් තැපැල් කාඩ්පත් ලෙසත් වෙන්කර හඳුනා ගනී. නමුත් අප පොදුවේ එම වර්ගීකරණය නොසලකා හැර ඒ සියල්ලම තැපැල්පත් ලෙස සලකා එකතු කිරීම සිදු කරනු ලබයි.
බොහෝවිට රාජ්‍ය නොවන ආයතන හා සංවිධාන මඟින් නියමිත තැපැල් ගාස්තුව සඳහා ඉඩක් වෙන්කර තැපැල්පත් නිකුත් කිරීම සිදුකරනු ලබයි. එසේ වෙන් කළ ස්ථානයේ නියමිත තැපැල් ගාස්තුව සඳහන් මුද්දරයක් ඇලවීමෙන් තැපැල් කටයුතු සඳහා යොදා ගැනීමට අවස්ථාව සැලසේ. මුල් කාලයේ දී තැපැල්පත් සඳහා පින්තූර එක් වී නොතිබූ අතර ඒවායේ ලිවිය හැකි ස්ථාන පිළිබඳ නීතිරීති පවා පනවා තිබුණි.
ලංකාවේ ප්‍රථම තැපැල්පත 1872 අගෝස්තු 3 වන දින නිකුත් වූ අතර, එය ආසියාවෙන්ම පළමු වරට නිකුත් කළ තැපැල්පත වීමෙන් එසේ නිකුත් කළ ආසියාවේ පළමු රට ලෙස ගෞරවාදරය හිමි කරගැනීමට ලංකාවට හැකිවිණි. (2 වන රූපය) මෙම තැපැල්පත දම් පැහැයෙන් දිස් වූ අතර වික්ටෝරියා රැජිනගේ උඩුකය රුව සහිතව CEYLON POSTAGE යනුවෙන් හා එහි වටිනාකම TWO CENTS යනුවෙන් සඳහන් වී තිබුණි.
තැපැල්පත් අධ්‍යයනය කිරීම සහ එකතු කිරීම Deltiology ලෙස 1945 වසරේ දී නම් කළ අතර, ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ ඔහියෝහි මහාචාර්ය රෙන්ඩෙල් රෝඩ්ස් සහ ඔහියෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලය යි. (ග්‍රීක භාෂාවේ ‘ඩෙල්ෂන්’ යන වචනයේ තේරුම මේ සඳහා යොදා ගැනීමට ආසන්නතම හේතුව වන අතර, ‘කුඩා නිදර්ශන ටැබ්ලටය’ හෙවත් ‘කාඩ්පත’ ඉන් අදහස් වේ යැයි පිළිගැනේ.)
2019 දී තැපැල්පතේ 150 වන සංවත්සරය සාර්ථකව සැමරීමෙන් පසු Postcrossing, Finepaper හි සහාය ඇතිව සෑම ඔක්තෝබර් 1 වන දිනකම ලෝක තැපැල් දිනය දියත් කිරීමට තීරණය කරන ලදි. ඉන් පසු 2020 වසරේ දී බ්‍රිතාන්‍ය තැපැල්පත් සඳහා 150 වන සංවත්සරය උදා විය.
ආසියාවේ ප්‍රථම තැපැල්පත හෙවත් ලංකාවේ ප්‍රථම තැපැල්පත
1872.08.03 (2 වන රූපය)
1990 දශකයේ දී ශ්‍රී ලංකාවේ භාවිතා කළ තැපැල්පතකි.
ලෝක තැපැල් දින සමරු මුද්‍රාව ලෝක තැපැල්පත් දිනය - ඔක්තෝබර් 01
විසිතුරු තැපැල්පත්... (Maximacards)
තැපැල්පත් එකතු කරන්නන් සිත් ඇද ගන්නා සුළු පෙනුමක් ඇති විසිතුරු තැපැල්පත් එකතු කිරීමට ද වැඩි කැමැත්තක් දක්වයි. විශේෂයෙන් විසිතුරු තැපැල්පත් නිර්මාණය වීම තෝමාන්විත වන අතර, විවිධ තේමා එකතු කරන පිරිස් ඊට ලැදිකමක් දක්වයි.
විසිතුරු තැපැල්පතක දැකිය හැකි විශේෂ ලක්ෂණය වන්නේ මුද්දරයේ තේමාවට ගැළපෙන ලෙස තැපැල්පත, මුද්දරය සහ තැපැල් සලකුණ නිර්මාණය කර තිබීමයි. මෙම අවස්ථා තුනම සමාන වන අවස්ථාවක දී විසිතුරු තැපැල්පතක් නිර්මාණය වේ. එය මුද්දරයේ නිර්මාණය කර තිබෙන රූපයේ විශාල කිරීමක් පමණක් නොවන අතර, මුද්දරය හා තැපැල්පතේ පින්තූරය අතර සමීපතාවයකින් යුතු වේ. සැමවිටම එසේ නොවිය හැකි අවස්ථා ද පවතී. උදාහරණයක් ලෙස කලා කෘතියක් හෝ සිතුවමක් එහි සම්පූර්ණ ස්වරූපයෙන් තැපැල්පතේ සහ මුද්දරය මත පෙන්විය යුතු වේ. එසේ නොවී කලා කෘතියෙන් කොටසක් හෝ අඩක් තැපැල්පතේ නිරූපණය කිරීමෙන් එම කලා කෘතියට හා සිතුවමට සාහසික අසාධාරණයක් වේ.
ඉතිහාසයේ සඳහන් වන පරිදි පළමු විසිතුරු තැපැල්පත 1893 දී ඊජිප්තු සංචාරකයෙකු විසින් ජර්මනියේ ඔහුගේ මිතුරෙකු සඳහා යවා ඇත. එය පින්තූර සහිත තැපැල්පතක් වන අතර පිරමීඩයක් සහ ස්පින්ක්ස් මුද්දරයක් අලවා මුද්‍රා තබා ඇත. ඔහු අහම්බෙන් තැපැල්පතේ දර්ශනය සහිත පැත්තේ මුද්දරය අලවා තිබෙන අතර එය ඔහුගේ අත්වැරැද්දකින් සිදුවුවත් ලොව ප්‍රථම විසිතුරු තැපැල්පත උපත ලැබීමට එම අඅත්රැද්ද හේතු විය.
1978 දී, ජාත්‍යන්තර මුද්දර සම්මේලනය (FIP) මැක්සිමාෆිලි මුද්දර ශාඛාවක් නිල වශයෙන් ආරම්භ කළ අතර ඉන් නීත්‍යානුකූල තත්වයක් විසිතුරු තැපැල්පත් සඳහා නිර්මාණය විය.
විසිතුරු තැපැල්පත් එකතු කිරීම හා අධ්‍යනය කිරීම Maximaphily ලෙස හඳුන්වන අතර, තේමාත්මක මුද්දර එකතු කිරීම සමඟ සමීපතාවයක් මෙහි පවතී. එම නිසා බොහෝ තේමා එකතු කිරීම් සඳහා සුදුසු වන ලෙස විසිතුරු තැපැල්පත් නිර්මාණය කිරීමට තැපැල් බලධාරීන් අවධානය යොමු කර ඇත.
ජාත්‍යන්තර මුද්දර ප්රදර්ශනවලදී තරඟකාරී ලෙස Maximaphily ප්‍රදර්ශනය කිරීම ජනප්‍රිය වී ඇති හෙයින් එවැන්නක් විනිශ්චය කිරීමට සහය වීම සඳහා FIP (Fédération Internationale de Philatélie - ජාත්‍යයන්තර මුද්දර සංගමය) විසින් විශේෂ නිතිරීති මාලාවක් සකස් කර ඇත. එම කොන්දේසි අධ්‍යනය කිරීමෙන් හා පිළිපැදීමෙන් වඩාත් සාර්ථක විසිතුරු තැපැල්පත් ප්‍රදර්ශනයක් සඳහා දායක විය හැකිය.
නිකොලොයි ගොගොල්ගේ ජන්ම ද්වීශත සංවත්සරය වෙනුවෙන් නිකුත් කළ විසිතුරු තැපැල්පතකි.
PHQ තැපැල්පත්...
PHQ වලින් ගම්‍ය වන්නේ එංගලන්ත තැපැල් මුලස්ථානය (Postal Headquarters) වන අතර, එම තැපැල් කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන සියලුම මුද්දර අයිතම සඳහා අකුරු උපසර්ගයක් සහිත අංකනයක් ලබා දෙයි. එය PHQ Number ලෙස හැඳින්වේ. බ්‍රිතාන්‍ය තැපැල් මුලස්ථානය විසින් නිකුත් කරනු ලබන ඔවුන්ගේ සමරු මුද්දරවල මෝස්තර නිරූපණය කිරීම සඳහා මෙම තැපැල්පත් යොදා ගෙන ඇති බව පෙනේ. PHQ තැපැල්පතේ මුහුණත බොහෝවිට විසිතුරු තැපැල්පතක මුහුණතට සමාන වේ.
මෙම තැපැල්පත් සාමාන්‍යයෙන් එංගලන්තයේ නිකුත් කරනු ලබන සෑම මුද්දර කට්ට්ලයක් වෙනුවෙන්ම නිකුත් කරනු ලබයි. යම් මුද්දරයක් නිකුත් කිරීමේ දී ඊට සති 2කට පෙර එංගලන්ත ප්‍රධාන තැපැල් කාර්යාලවලින් අදාළ PHQ තැපැල්පත් මිල දී ගැනීමට එරට තැපැල් පරිපාලනය පහසුකම් සලසා ඇත. එමඟින් තැපැල්පත් එකතු කරන්නන් හට මුද්දරයක් නිකුත් කිරීමට පෙර නව නිකුතුවක් පිළිබඳ නිවේදනයක් ලැබෙන අතර ඔවුන් ඒ සඳහා සූදානමින් සිටී. එම තැපැල්පතට අදාළ මුද්දරය නිකුත් කරන දිනයේ දී මුද්දරය තැපැල්පතේ අලවා නිකුත් කිරීමේ දිනය සහිත තැපැල් මුද්‍රාව සටහන් කිරීමට හැකිවීම එහි ඇති විශේෂත්වයි.
පළමු PHQ තැපැල්පත - PHQ 1
වෙනත් තොරතුරු :
1908 දී මිචිලන්හි වෙළඳ ව්‍යාපාරිකයෙකු වූ ඊ.අයි. ඩේල් විසින් කැරකෙන තැපැල්පත් රාක්කයක් නිර්මාණය කළ කරන ලදි. එය කැරකැවීමෙන් ගනුදෙනුකරුවන්ට තැපැල්පත් තෝරා ගැනීමට සහ නැරඹීමට හැකි විය. අද අපට තැපැල් කාර්යාලවල එවැනි කැරකෙන රාක්ක දැකිය හැකි ය.