Minneriya National Park. (26th June 2025)
රුවන්පුරය බබළවන මිණි කැට
උතුම් වූ සිරිපා පහසින් හා නිල්ල නිලන කදුවැටි අතරින් ගලා බසින්නා වූ දිය දහරාවන්ගෙන් වටවූ සුමන සමන් දිවයරාජයාගේ ඇල්ම බැල්මෙන් සශ්‍රීක වූ ඒ මනස්කාන්ත පුණ්‍ය භූමිය රුවන්පුරයයි. කාල සීමාවකින් තොරව ඕනෑම මොහොතක ඇද හැලෙන පොද වැස්ස හා ලොවක් මවිත වන සොබා දහමේ අපූර්ව නිමැවුමක් වූ වර්ණවත් මිණි කැට රුවන්පුරයට ගෙන දෙන්නේ අභිමානයකි.
මැණික් යන නාමය සමඟ බද්ධ වූ රුවන්පුරයේ සෑම බිම් අඟලක් පාසා වටිනා ඛණිජ වර්ගවලින් සුලභ වී ඇත්තේ එහි ඇති එකිනෙකට වෙනස් වූ දේශගුණික හා පාරිසරික සාධක නිසාමය.
මැණික් හා ඒ ආශිත කර්මාන්ත බහුතරයක් රුවන්පුර වැසියන්ගේ ප්‍රධාන ආදායම් උත්පාදන මාර්ගය වෙයි. පතල් කර්මාන්තය, මැණික් කැපීම හා ඔප දැමීම, මැණික් යොදා ආභරණ නිපදවීම ඒ අතරින් ප්‍රධාන වෙයි.
වසර දස දහස් ගණනක් භූ අභ්‍යන්තරයේ අධික තාපයට හා පීඩනයට ලක් වී සිදුවන විපර්යාස මඟින් විවිධ රසායන සංයුතීන්ට අනුව මැණික් වර්ග බිහි වෙයි. මෙම ඛණිජවල ඇති රසායනික සංයුතිය මඟින් එහි දෘඩතාවය හා වර්ණය ලැබෙයි.
මැණික් වල ඇති දුර්ලභ බව හා වර්ණවත් බව නිසා එයට ඉතා ඉහළ වටිනාකමක් ලැබී ඇත. රත්නපුර අවට භූමියේ දැනට ප්‍රධානම මැණික් වර්ග 10ක් පතල් කර්මාන්තය මඟින් මතු කර ජාත්‍යන්තරය දක්වා තම අණසක විහිදුවමින් සිටී.
01. Alexandrite - පසිංගල්
ස්වාභාවිකව කොළ පැහැයක් ගන්නා අතර සූර්ය ආලෝකයේ දී දම් පැහැයට හුරු රත් පැහැයකින් දිස්වන දුර්ලභ හා මිලෙන් වැඩි මැණික් විශේෂයකි.
02. Andalusite - ගිනි බොකු තෝර
තරමක තද කොළ පැහැයකින් යුක්ත වන අතර දුර්ලභ හා මිලෙන් වැඩි මැණික් විශේෂයකි.
03. Aquamarine - දියතරිප්පු
සුදට හුරු ලා නිල් පැහැයක් ගන්නා, සුලභව හමුවන වටිනාකමින් අඩු මැණික් විශේෂයකි. රජ දවසේ සිට අක්ෂි දෝෂ සඳහා කාච සැකසීමට යොදාගෙන ඇත.
04. Blue Sapphire - නිල් මැණික්
ඉතා තද නිල් පැහැයකින් යුක්ත තරමක් දුර්ලභ හා මිලෙන් වැඩි මැණික් විශේෂයකි. නිල් පැහැගේ තීවෘතාවය අනුව මිල අඩු වැඩිවීම සිදු වෙයි.
05. Moonstone - චන්ද්‍රකාන්ති
චන්ද්‍රයාගේ කිරණ පෘතුවියට ලැබුණු විට මෙම පාෂාණය බිහි වන බව පැරැණ්නන්ගේ මතයයි. වටිනාකමක් නොමැති වුවත් ඉතාම අලංකාරවත් ඉතාම දුර්ලභ මැණික් විශේෂයකි.
06. Sinhalite - පුෂ්පරාග
ඉතා දීප්තිමත් කහ පැහැයකින් යුක්ත වන අතර රත්නපුර අවට සුලභව හමුවන මිලෙන් වැඩි මැණික් විශේෂයකි.
07. Spinel - කිරිංචි
රතු, නිල්, දම් වැනි විවිධ වර්ණ වලින් දක්නට ලැබේ. පතල් කර්මාන්තයේ දී ඉතා සුලභව හමුවන වටිනාකින් අඩු මැණික් විශේෂයකි.
08. Taaffeite - ටාෆයිට්
ඉතාම දුරලභ මිලෙන් ද ඉතා ඉහළ 1945 වර්ෂයේ දී විද්‍යාත්මකව හඳුනා ගත් නිල් දම් මිශ්‍ර වර්ණයකින් යුක්ත මැණික් විශේෂයකි. මෙහි ද්විත්ව වර්ථනාංකයක් ඇති නිසා අධික දීප්තියකින් යුක්ත වෙයි.
09. Topaz - පඩියම්
සුදු කහ මිශ්‍ර වර්ණයකින් යුත් වටිනාකමක් නොමැති මැණික් විශේෂයකි. රසායණික පිලිස්සීම මඟින් එයට තද කහ වර්ණයක් ලබා ගත හැක. ආභරණ නිපදවීම සඳහා යොදා ගනී.
10. Zircon - ජාගුන් / තෝර
කොළ, කහ , දුඹුරු වර්ණ වලින් යුක්ත වන අතර වර්ථන අංකය ඉහළ අගයක් ගන්නා නිසා අධික දීප්තියක් ඇත. වර්ථන අංකය හා දීප්තිමත් බව අනුව මිල තීරණය වෙයි.
මුද්දර තතු :
නිකුත් කරන ලද දිනය - 2021.11.06
වටිනාකම - රු. 15.00 x 10
ප්‍රමාණය - මි.මී 30 x 30
හැඩය - සමචතුරස්‍ර
මුද්‍රණය - ඕෆ්සෙට් ලිතෝග්‍රැෆි
විදමන් - 13 1⁄4
වර්ණ - සිව් වර්ණ
මැලියම් - PVA මැලියම්
මුද්‍රණ ප්‍රමාණය - මුද්දර 300,000 x 10, කුඩා පත්‍රිකා 30,000
සැලසුම්කරු - වත්මී ද සොයිසා
සටහන :
ජේ. ඩී. සී. ඉරෝෂන්
ඡායාරුප අන්තර්ජාලයෙන්