කථිකාචාර්ය -හේමන්ත රත්නායක
අපගේ සිතට කයට දැඩි වේදනාවක් හදිසියේ දැනුන හොත් මුවින් පිටවන විශේෂ වචන කීපයක් ඇත. ඒවා නම්,”බුදු අම්මෝ.... අම්මා..... අම්මෝ.... යන වදන් මේ අතර ප්‍රධාන වෙයි. ළමා දිනය සමරන මෙවන් මොහොතක ළමයා ගැන නොකියා මව ගැන සිහිපත් කරන්නේ ඇයි ද යන්න ඔබට ගැටළුවක් වි ඇතැයි මම සිතමි.ළමා ලෝකය ගැන කතා කරන සැම විටකම එහි යටිපෙළින් ඇදි යන ස්වර්ණ රේකාව මව බව මගේ විශ්වාසයයි. දරුවන්ගේ ලෝකය තනන්නේ මවගේ ජීව රුධිරයෙනි. අම්මාගෙන් වෙන් වු ළමා ලෝකයක් ගැන කිසිවෙකුටත් කතා කළ නොහැකිය. යම් හෙයකින් දරු උපත සිදුවන දිනයදීම මව මිය ගිය දරුවෙකුගේ ජීවිතයේ රික්තකය වන්නේද මවගේ ලෝකය බව අපි දනිමු. එබැවින් ළමා දිනය සමරන මේ මොහොතේ මාතෘත්වය පිළිබද සිහිපත් කිරිම ද වරදක් නැතැයි මට හැඟේ.
මවගේ ආදරය ළමයා වෙත ගොඩ නැගෙන්නේ දරුවාගේ උපතටත් පෙර සිට බව මනෝවිද්‍යාත්මක මතයයි.මව් පිය දෙපලගේ මානසික ප්රීණනය සමග ලිංගික සබඳතා පවත්වන මොහොතේ සිට මේ දාරක ප්‍රේමය උත්පන්න වන බව මනෝවිද්‍යාඥයින්ගේ අදහසයි. ඔවුන්ගේ අදහස් පැතිරෙන්නටත් පෙර භාරතීය සමාජය තුළ මේ අදහස් පැතිර තිබුණි. මව් දරු සෙනෙහස පිළිබද විවාහ දිවියේ ආරම්භයත් සමග පැන නැගෙන බව වේද ශාස්ත්‍රවල සඳහන් ය. මිනිසාට මෙන්ම කුස තුළ වැඩෙන්නාවු කළලයට ද කයක් හා මනසක් ඇත.වෛද්‍ය විද්‍යාවට අනුවත් මනෝවිද්‍යාඥයින්ගේ පර්යේෂණ අනුවත් පිළිගන්නා කරුණක් නම් කුස තුළ වැඩෙන කලලයට කායික මෙන්ම මානසික චලනයන් සිදු කළ හැකි බවයි. මානසික සංවර්ධනයක් සිදුවන බවයි.මේ පිළිබද පළමුව ලොවට හෙළි කරන ලද්දේ ගෞතම බුදුරජානන්වහන්සේ ය.
බුදුරජානන් වහන්සේගේ විවිධ දේශනා ඇසුරෙන් ප්‍රකාශිත අදහස් වලින් මාතෘත්වයේ ශ්‍රේෂ්ඨත්වය අපට ඉගෙනිමට පුළුවන. එම දේශනා අධ්‍යයනයේදි හැගි යන්නේ මව් ගුණ ගැයෙන රසවත්ම ගීතාවලියා ගයා ඇත්තේ ගෞතම බුදුරජාණන්වහන්සේ බවය.
මාතා යන වචනය ගතහොත් එහි නිරුක්තිය බ්‍රහ්මජාල සුත්‍ර වර්ණනාවේ මෙසේ දක්වා ඇත. “මාතා මත්තං මාතාති වදංති “ - මෙහි අර්ථය නම්,
“ මාතා යන වචන මාත්‍රයෙහි මාතා ඉති කියනු ලැබේ.මාතෘත්වය හඟවමින් මගේ කියන මමායනය ඇති කරවන අර්ථයෙන් මව යැයි කියනු ලැබේ.” යනුවෙනි. මෙහි මමායනය හෙවත් මගේ යන වදන් මවකගේ දාරක සෙනෙහසේ බන්ධනය පෙන්වන්නකි. තම දරුවා කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳී ලෝක අපවාදයෙන් මුදවා ගෙන මහා වරදවල්වලින් මුදවා ගෙන අනන්ත වු දුක් ගැහැට විදිමින් තම දරුවන් රකින්නිය මව මිස වෙන කවුද ?..තම දරුවා උණහපුලු පැටියෙක් වුවද මගේ පුතා මගේ එකා යනුවෙන් දරුවා වෙනුවෙන් හඬ නගන්නේ මවක මිස වෙන කවරෙක්දැයි මට නම් සිතා ගත නොහැකිය. දරුවන් මාතෘකා කොට ගෙන දරුවෝ තම ඉදිරිපිට තබා ගෙන අපි තමයි දරුවන්ට ආදරේ ... යැයි මොරගාන මිනිසුන් පිරි උත්සව බොහොමයක් මම දැක ඇත්තෙමි.ඒ සැම විටම මා මටම තර්ක කර ගත්තේ මවක් සේ මොවුන් දරුවන්ට සැබෑම ආදරෙයි ද? යන්නය.
මාතා යන පදය විවිධරුත් ගන්නා බව පෙනේ.අස්සලායන සුත්ත වණ්නනාවේ ,
“ජනිතා මාතාති යාය තුම්හෙ ජනිතා සාවෝ ජනිතා මාතා” යනුවෙන් ප්‍රකාශකරයි. මෙහි අර්ථය නම්,නුඹ යම් කෙනෙකු ජනිත කරවන්නෙ නම් ඇය උපදවන අර්ථයෙන් මාතා යයි කියනු ලැබේ.මනාව ජනිත කරවනා යන අර්ථයෙන් මාතා යැයි කියනු ලැබේ. අම්මා යන වචනය සිංහල භාෂාවේ නියුක්ත වචනයක් ලෙස හදවතටම කිදා බැස ඇති සේ ය. එහෙත් දමිළ භාෂාවෙන් බිදි ආ වචනයක් ලෙස “අම්මා” යන පදය පෙන්විය හැකිය. ඉංග්‍රිසි භාෂාවෙන් හදුන්වන්නේ MOTHER යනුවෙනි. පාළි භාෂාවේ මාතෘ යන වදනට සිංහල අරුත් ගැන්වනෙ වචනය නම් මව යන්නයි.
මව්කුසෙහි බිහිවන කළලය පිළිබඳ අද බොහෝ දේ දනිති.ඒ තාක්ෂණයට හා විද්‍යාවට පිංසිදු වන්නටය. බුදුරජානන් වහන්සේ ලෝ පහළ වු යුගයේ විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුවක් ගැන අප අසා නැත. එවැනි යුගයක මව් කුසෙහි හට ගන්නා කළලය පිළිබඳ බුදුරජානන් වහන්සේ මසැසින් දුටු අයුරු පුදුමය.
පඨමං කලලංහෝති
- කලලහොති අබිබුදං
අබිබුදා ජයතෙ පෙසි
- පොසියා නබ්බත්තතෙ සනො
සනා පසා බජ යන්ති
- කෙසා ලෝමා නඛාපිච
මෙහි සරලාර්ථය නම් මව සෘතු විමෙන් හට ගන්නා පරිණත ඩිම්බය සංවාසයේදි පුරුෂ ප්‍රජනන ශෛල සමග එක් වේ. එසේ එක් වි කලලයක් සාදයි. ඉන්පසු අම්බුජයයි. පසුව විවිධ පේශි වැඩෙයි.අත්පා ආදිය වැඩෙයි.කෙස් නිය ලොම් වැඩෙයි.විඤ්ඤාණයක් සමග මිනිස් ජිවියෙකු සේ දැඩිව බැදි පවති. මවගේ ආහාරයෙන් පෝෂණය ලබයි.
සැබැවින් ම බුදුන් වහන්සේ කලලවිද්යාඥයෙකුටත් වඩා ප්රඥාගෝචර බව මෙයින් පෙනේ.
කෙසේ වෙතත් මවගේ ආදරය ලබන ළමයා ට මුව පුරා පුතා යැයි අප සමාජයේ ඇමතිම සිරිතය. එම පදයද මවගේ ගුණය ප්‍රකාශිත වදනක් බව බොහෝ දෙනා නොදන්නා සේ ය. “ පු” යනු අපායයි. “ත්ර” යනු වැටෙන්නට නොදි රකින යන අර්ථයයි. පුත්‍ර යනු මව්පියන් විසින් වරදින් වලකා රකින්නා යන අර්ථය ලබා දෙයි.පාලි භාෂාවේ මේ විවරණය අපගේ පවුල් සංස්ථාව තුළ මෙන්ම සමාජ සංස්ථාව තුළ ද ක්‍රියාකාරිව ඇගයිමට ලක්කෙරේ. දෙමාපියන් අතරින් මව තම දරුවන් ආරක්ෂා කිරිම යහපතෙහි යෙදවීම ආදි වගකීම් දරන්නේ අම්මා විසිනි. යාන්ත්‍රික ඒකාබද්ධ සමාජයක් තුළ මවගේ මේ කාර්ය දැඩි අභියෝගයකට ලක්ව ඇත.රැකි රක්ෂා කටයුතු වලට මව යාම හේතු කොට ගෙන මව් සෙනෙහස ලබා දිම නිශ්චිත කාලයකට සීමා වී ඇත. එසේම රැකවරණය ආදරය ද මවගෙන් වෙන්වි බාහිරින් ලබා ගැනීමට සිදු වි ඇත. එනිසා ළමා මනස ව්‍යාකූල වු දරුවන් සමාජ ගතවීමේ ප්‍රවණතාව වැඩි වි ඇත. ආදරය කරුණාව රැකවරණය හදුනන ප්‍රමාණය අඩු වි ඇත. මේවා සමාජ ප්‍රශ්න ලෙස පාසලේ දි ගුරුවරයාට හමු වෙනු ඇත.
සැබැවින්ම ගුරුවරු යනු ස්ථානීය දෙමාපියන් ය. ඔවුන්ගේ වගකීම වන්නේ ද යට කි දෙමාපියන්ගේ වගකීම් සම්භාරයයි. එයට තව ඉගැන්වීම ඇතුළු කරුනු රැසක් අන්තර් ගතව ඇත. මවගේ ආදරය කරුණාව දයාව යම් ක්රමවේදයක්යටතේ දරුවා වෙත ලබා දිමේ බාරදුර කාර්ය පැවරි ඇත්තේ ගුරුවරයා ටය. එයිනුත් පන්තියක් භාර ගුරුවරයෙක් වු කළ වගකිම් සම්භාරයක් ඇත. ප්‍රාථමික ගුරුවරයාට ද සුවිශේෂි කාර්යභාරයක් දරුවන් වෙනුවෙන් සිදු කිරිමට නියමිත ය. ආර්ථික දරිද්‍රතා හමුවේ පියවරු නිවසේ රැදි සිට මව්වරු පිටරට ගෘහ සේවය සඳහා යාම තවමත් බහුලව සිදු වන්නකි. ඔවුන් විදේශීය ගෘහසේවයට යනුයේ කැමැත්තකින් නොව තම කුසින් උපන් දරුවන්ට සරු අනාගතයක් උරුම කර දිමට මුදල් සෙවිම සඳහාය. වර්තමානය වන විට මෙරටේ ප්‍රධාන ආදායම වුයේ ද විදේශිය ගෘහ සේවයයි. මෙරට රැකියා ක්ෂේත්රයේ සේවා සපයන සියලු දෙනාට වැටුප් ගෙවුයේ එකි දාඩිය මහන්සියෙන් මෙරටට එවන ලද ඩොලර් නිසාය. එහෙත් වැටුප් ලබා ගත් වගකිව යුතු කිසිවෙකු මේ මව්වරුන්ගේ දරුවන් කෙරෙහි ප්‍රමාණවත් සොයා බැලීමක් හෝ අතහිත දිමේ ජාතික මෙහෙවරක් සිදු කලේ නැත. දිනකට පමණක් සිමා වු සැමරුම් ගොන්නක් පමණක් නොඅඩුව දක්නට ලැබුණි. එය හෙට ද එසේම වනු ඇත. එහෙත් ගුරුවරයෙකු ලෙස සමාජ ගතවිමට සිටින ඔබ ද ළමා දිනය දිනකට පමණක් සිමා කරයි නම් එය ජාතියේ තවත් ඛේදාන්ත අනාගතයක පෙරනිමිති වැන්න.
එබැවින් ළමා ලෝකය සුන්දර කළ හැක්කේ මව් ගුණයට දෙවන වන ගුරුවරයාගේ කාර්ය භාරය මැනවින් අවබෝධ කර ගත්තොත් පමණකියි යන්න මෙදින සිහිපත් කළ යුතුම කරුණකි. එය අප සිතන තරම් පහසු නොවනු ඇත. ගුරුවරයාට අනන්ත කැප කිරිම් කිරිමට සිදු වනු ඇත. කෙටියෙන් කියතොත් ඔබ ගුරුවරයෙකු වීම පමණක් මෙයට සෑහෙන්නේ නැත. අවශ්‍ය වන්නේ ගුරු දෙවියෙකු වීමය.
“ ආදරයේ අවශ්‍යතාවය මිනිස්දරුවාට තරම් වෙනත් කිසිම සත්වයකුට අවශ්‍ය නොවේ “යැයි ඇනා ප්‍රොයිඩ් ප්‍රකාශ කර ඇත. එසේම “ළමයා මිනිසාගේ පියා “යැයි වර්ඩ් වර්ත් ප්‍රකාශ කරයි.මෙය ළමා දින සැමරුමක අපේ අවධානය නොඅඩුව ලැබිය යුතු ගැඹුරු අදහස් දෙකකි. සමාජ ගත වන ළමයා දිනක සමාජයට ද්වේශ කරන අයෙකු නොවිය යුතු ය. ඒ සඳහා සියලු දෙනාගේ ආදරය ළමා ලොවට ලබා දිය යුතු ය. එහෙත් අනාගතයේ යම් ළමයෙක් වැඩිහිටියෙක් වි සමාජයට ද්වේශ කරයි ද සැබැවින් ම එය සමාජයට නොව සිය මවට කරන ද්වේශයකැයි අප සිතිය යුතුය.