කථිකාචාර්ය නන්දන අල්ගෙවත්ත
කෙටි නාට්‍ය කලාවේ ලක්ෂණ පිළිබඳ කතා කිරීමේ දී කෙටි නාට්‍ය යනු කුමක් ද යන ගැටළුව අප අතරට එයි. කෙටි නාට්‍යයක් වන්නේ හුදෙක් කාලය කෙටිවී ම නිසා ද එසේ නොමැති නම් එය දිගු නාට්‍යයට පරස්පර වූ වෙනම කලා මාධ්‍යයක් ද කාලය කෙටි වන හෙයින් එහි කෙටි නාට්‍ය ලක්ෂණ පවතී ද කෙටි නාට්‍යක දී වේදිකා තාක්ෂණය, පිටපත, රංගනය ආදීය ඇතුළත් අනුශංගික කෙබඳු විය යුතු ද ආදී අනේක විධ ප්‍රශ්න අප හමුවේ මතු වෙයි. අද ලංකාවේ කෙටි නාට්‍ය කලාවේ ලක්ෂණ කෙබදු විය යුතු ද යන්න පිළිබඳ ව නිශ්චිත නිර්ණායකයන් මෙතෙක් ඉදිරිපත් වී නොමැත. එසේම එය මේ ආකාරයෙන්ම සිදු විය යුතු යැයි නිශ්චිත නිගමනයකට එළඹීම ද දුෂ්කර කාර්යයකි.
ලංකාවේ කෙටි නාට්‍ය භාවිතය ඉතා ඈතට දිව යන්නක් බව පෙනේ. රාජ්‍ය අංශයට සම්බන්ධ විශ්ව විද්‍යාල, සෞඛ්‍ය, අධ්‍යාපන, ජල, පරිසර, දුම්රිය ආදී දෙපාර්තමේන්තු සහ ආයතන විසින් ද ඊට අමතරව පෞද්ගලික සංවිධාන හා පෞද්ගලික ව එක් එක් නිෂ්පාදකවරුන් විසින් ද කෙටි නාට්‍ය නිෂ්පාදනය කරමින් කෙටි නාට්‍ය උළෙලවල් ද සංවිධානය කොට ඇත. මෙසේ එම් කෙටි නාට්‍ය කලාව පිළිබඳ අපට දිගු ගමන් මඟක් තිබුණ ද ඒ පිළිබඳ ව ලියැ වුණු පොත පත මෙන්ම පර්යේෂණ ආදිය ද දුබල වීම එහි වර්ධනයට මහත් බාධාවක් වූ බව පෙනේ. දැනුදු හමුවන්නේ කෙටි නාට්‍ය පිළිබඳ ව ලියවුණු යම් දත්ත ස්වල්පයක් පමණි. ඒ අතරින් ද කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ මහාචාර්ය රෝලන්ඩ් අබේපාල මහතා නූතන කෙටි නාට්‍ය කලාවේ ලක්ෂණ කෙබඳු විය යුතු ද යන්න පිළිබඳ වැදගත් අදහසක් ප්‍රකාශ කරයි.
“දිගු නාට්‍ය නව කතාවට සමාන වන්නේ නම්, කෙටි නාට්‍ය සමීපවන්නේ කෙටි කතාවට ය. නවකතාව හා කෙටි කතාව අතර වෙනස මෙන්ම, දිගු නාට්‍යය හා කෙටි නාට්‍ය අතර වෙනස ද අප විසින් අවබෝධ කරගත යුතු මනාය. යම් චරිතයක් චරිත කිහිපයක් යම් සිදුවීමක් හෝ සිදුවීම් කිහිපයක් කේන්ද්‍ර කොටගත් නාට්‍යකරණයේ මූලික අංගය වන පිටපත කේන්ද්‍ර කොටගත් රූපණය හා නාට්‍යෝචිත බව යන සංකල්ප තුළින් විනාඩි පහළොවක්, තිහක් හෝ උපරිමව හතළිහක් වැනි කාලසීමාවක් තුළ නිරූපණය වන ඒකාංග රංගනය කෙටි නාට්‍ය වශයෙන් අර්ථකථනය කර ගැනීම යුක්ති යුක්ත යැයි හැඟිමි.” ( මහාචාර්ය රෝලන්ඩ් අබේපාල )
ඉහත විග්රහයයට අනුව කෙටි නාට්‍ය ලක්ෂණ කෙටි කතාවක ලක්ෂණවලට සමාන කර ඇත. මේ අනුව කෙටි කතාවක තිබිය යුතු අංග ලක්ෂණ උපයෝගී කර ගැනීමෙන් සාර්ථක කෙටි නාට්‍යයක් බිහි කිරීමට හැකියාව ඇතැයි හැඟේ. එසේම ඒකාංගික රංගනය කෙටි නාට්‍යයේ දී වැදගත් මූලධර්මයක් වශයෙන් ද එහි සඳහන් ය. යම් පිටපතක් රංග පරම භාවයෙන් යුක්ත නොවන්නේ නම් හොඳ නිෂ්පාදනයක් බිහි නොවෙයි. ඒ අනුව පිටපත රූපීය හා නාට්‍යෝචිත බව යන සංකල්ප වලින් ද යුක්ත වීම වැදගත්ය. නූතන මිනුම් දණ්ඩට අනුව කෙටි නාට්‍යයෙහි කාලය විනාඩි පහළොවක්, හතළිස් පහක් අතර කාල පරාසයකට සීමා වන බව ගම්‍යමාන වෙයි. හුදෙක් මෙම කාලය පිළිබඳ නිර්ණායකය පදනම් වන්නේ ලංකාවේ දැනට පවත්වනු ලබන නාට්‍ය උළෙල පදනම් කරගෙනය. එය විශේෂයෙන් ම යෞවන සම්මාන උළෙල හා රාජ්‍ය නාට්‍ය උළෙල පාදක කොට ගත් බව සිතිය හැක.
කෙටි නාට්‍ය කලාවේ ලක්ෂණ හඳුනා ගැනීම සඳහා විවිධ රටවල එය භාවිත කරන පරමාර්ථ හා ඔවුන් විසින් යොදා ගනු ලබන ශිල්පීය මූලධර්මයන් ද විමසීම වැදගත් වෙනු ඇත. මේ පිළිබඳ අදහස් දක්වන මහාචාර්ය සෝමරත්න බාලසූරිය මහතා මෙසේ දක්වයි.
“ප්‍රංශයේ කෙටි නාට්‍ය රඟ දක්වන අනෙක් ව්‍යාපාර දෙක නම් (Café Theatre) කෝපි ශාලාවල රඟ දක්වන නාට්‍ය කණ්ඩායම් හා සංචාරක නාට්‍ය කණ්ඩායම්ය. කෝපි ශාලාවල බෙහෙවින් රඟ දක්වනු ලබන්නේ සම්භාව්‍ය කෙටි නාට්‍ය හෝ කෙටි කතා ඇසුරින් නිපැයුණු නාට්‍යයයි. කෝපි ශාලා වලට එකතු වූ පිරිස් නාට්‍ය රඟ දක්වන ශාලාව (මෙය නාට්‍ය ශාලාවක් නොවේ) කෝපි හලේ වඩා ඉඩකඩ ඇති ස්ථානයකි. බොහෝවිට ප්‍රේක්ෂකයෝ බිම වාඩි ගනිති. නළු නිලියො රඟන්නේ සාලාව මැදැයි ප්‍රේක්ෂකයෝ ඉදිරියේම නළු නලියන් තම තමන් විසින්ම වෙස් ගන්නා ගනු ලබයි. බොහෝ විට රඟපෑමට යන නාට්‍ය පිළිබඳ හෝ වෙනයම් දෙයක් ගැන හෝ විහිළු තහළු වලින් ද නාට්‍ය ආරම්භයට පෙර ප්‍රේක්ෂක නළු නිළි සංවාදයක් ඇති වේ. ඇතැම් අවස්ථාවල සුළු චරිත සඳහා ප්‍රේක්ෂකයෙකු, දෙන්නෙකු යොදා ගන්නා අවස්ථා ද තිබේ. එය සමහර විට නාට්‍ය මැද දී ක්ෂණිකව සිදුවේ. අඩු නළු නිළි පිරිසකගෙන් නාට්‍ය රඟ දක්වන නිසා එක් චරිතයක් රඟපාන නළුවෙක්, නිළියක තවත් චරිතයක් රඟපායි. වේදිකා සැරසිලි හෝ වර්ණ විරලය. නාට්‍ය අවසානයේ ඊළඟට රඟ දැක්වීමට අපේක්ෂිත නාට්‍ය දැනුම් දෙනු ලබන අතර තම තොප්පියට මුදල් එකතුකර ගනු ලැබේ.” ( මහාචාර්ය සෝමරත්න බාලසූරිය )
ප්‍රංශයේ කෝපි ශාලාවක (Café Theatre) රඟ දක්වන කෙටි නාට්‍යය පිළිබදව මෙහි සඳහන් කිරීම වටී. මෙහි කෙටි කතා ඇසුරින් කෙටි නාට්‍යය නිෂ්පාදනය කරන බවක් පෙනේ. කෙටි නාට්‍යයෙහි වෙස් මෝසතර රචනය සඳහා එතරම් ප්‍රමුඛතාවක් නොමැති බව නළු නිළියන් විසින්ම ප්‍රේක්ෂකයන් ඉදිරියේ ම වෙස් ගන්වා ගැනීමෙන් පැහැදිලි වේ. කෙටි නාට්‍යයක තිබිය යුතු තවත් ලක්ෂණයක් වශයෙන් අඩු නළු නිළි සංඛ්‍යාවක් යොදා ගැනීම ද දක්නට ලැබෙයි. මේ අනුව ක්ෂණිකව, පහසුවෙන් රඟ දැක්වීමට උචිත අයුරින් ආනුශංගික කලා භාවිත කරන බව පෙනේ. කෙටි නාට්‍යයක දී කාලය, අවකාශය සීමා සහිත බැවින් ඔවුන් එයින් උපරිම ප්‍රයෝජන ගන්නා බවක් ඉහත සඳහනට අනුව ඉස්මතු කොට පෙන්විය හැක.
හසිනිකා කරල්ලියද්ද සහ බනුර මලිත් හෙට්ටිආරච්චි
නන්දන අල්ගෙවත්ත ගේ දණ්ඩේ කිරි පතට උරා කෙටි නාට්‍ය
කෙටි නාට්‍ය කලාවේ ප්‍රවර්ධනය උදෙසා 1996 වර්ෂයේ සිට රාජ්‍ය නාට්‍ය උළෙලට ද කෙටි නාට්‍ය අංශයක් සම්බන්ධ කොට තිබේ. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ නාට්‍ය අනු මණ්ඩලය කෙටි නාට්‍ය පිළිබඳව දක්වන මතය ද මෙහි දී ඉතා අගය කොට සැලකිය හැකිය.
“ දැනට අපේ නිරීක්ෂණයට අනුව කෙටි නාට්‍යය නිෂ්පාදනයට යොමු වන ආධුනික නිර්මාණකරුවන් බහුතරයක් කෙටි නාට්‍ය මැයෙන් වේදිකාවට ගෙන එන්නේ සම්මත වේදිකා නාට්‍යයේ ම කෙටි අනුරුවක් නොහොත් සාරාංශගත මහා නාට්‍යයක්ම ය. පිටපතේ ව්‍යුහය සම්බන්ධයෙන් ද මහා නාට්‍ය ආකෘතිය ආශ්‍රිතව දැනට තහවුරුව ඇති එළඹුම් ඒ හැටියෙන් ම අනුකරණය කරන සෙයකි. එපමණක් නොව කෙටි නාට්‍ය නිෂ්පාදනයට මැදිහත්වන නිර්මාපකයන් අති බහුතරයක් විසින් ප්‍රකාශිත අදහස් වලින් කියවෙන්නේ රාජ්‍ය නාට්‍ය උළෙලට අභිනවයෙන් ඇතුළත් කරන ලද කෙටි නාට්‍ය තරඟය සපුරාම මහා නාට්‍ය තරගයේ ලා දැනට තහවුරු ව පවත්නා සංකල්ප ඉසව් හා ප්රමිතීන් ඒ හැටියෙන්ම අනුකරණය කරමින් සකස් කළ යුතු බවකී.
අපට මේ ප්රවේශයේ ගැටලුවක් ඇති බව පෙනෙයි. අප නම් විශ්වාස කරන්නේ කෙටි නාට්‍ය ව්‍යාපාරය අපගේ සන්දර්භයේ ගැටලු ගැන විමර්ශනාත්මක එළඹුමකින් සන්නද්ධව වඩා දියුණු නාට්‍ය සංස්කෘතියක් පෝෂණය කිරීමේ අරමුණු ඇතිව, නව මං සොයාගෙන ගමනට බසිමින් තීරණාත්මක මෙහෙයක් ඉටුකළ යුතු බවයි. ලාංකීය “සැහැල්ලු” නාටක විධීන් සොයා යන එවැනි ගවේෂණාත්මක හා නිර්මාණාත්මක ව්‍යාපාරයකට ලෝකයේ අනෙකුත් නාට්‍ය සමාජ විවිධ අභියෝගාත්මක තත්ත්වයක් තුළ හදාවඩා නගාගත් “කෙටි” හා “චූල” නාට්‍ය සංකල්ප හා නාට්‍ය විධීන් උදාහරණ චූල නාටක,(Little theatre)අවම නාටකය(Minimalist Theatre) විවිධ පර්යේෂණ නාටක(Laboratory Theatre/experimental Theatre) ආශ්රයෙන් යම් ආභාසයක් සහ උත්තේජනයක් ලබා ගත හැකි බවට සැකයක් නැත.” (සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ, නාට්‍ය අනුමණ්ඩලය.)
මෙහි සඳහන් දිළිඳු නාටකය (Poor Drama) යන සංකල්පය මෙරට කෙටි නාට්‍ය කලාවේ අධ්‍යයනයකට මහත් අනුබලයක් ලබා දෙනු ඇත. දිළිඳු නාට්‍ය යන සංකල්පයෙහි ලක්ෂණ අධ්‍යයනයේ දී එහි සැරසිලි, උපකරණ, ඇඳුම් පැළඳුම්, ආලෝකකරණය ආදී වේදිකාවේ භාවිතයන් අවම කිරීමත් එහි අවකාශය රංගනයෙන් හා නළුවා ප්‍රේක්ෂකයා අතර සම්බන්ධතාවයන් පරිපූර්ණ කළ යුතු බවත් නො හැඟවෙයි. නාට්‍ය ආරම්භයේ දී වේදිකාවේ නොතිබුණු කිසිවක් අතරතුරදී වේදිකාවට ගෙන ඒමෙන් වැළකීම ඕනෑම අවස්ථාවකට ප්‍රමාණවත් සේ භාවිතයට ගන්නා අවම පිරිස් හා උපකරණ මගින් රිද්මය, ශබ්දය, කාලය, අවකාශය ආදිය මෙහි ලක්ෂණ වශයෙන් පෙන්වා දී තිබේ.
කෙටි නාට්‍ය ලක්ෂණ පිළිබඳව රූපක මාධ්‍යයෙන් විස්තර ගෙනහැර දක්වීම එය අවබෝධ කර ගැනීමට මනා පහසුවක් ලැබෙයි. කෙටි නාට්‍යකරුවෙකු වූ ධනංජය කරුණාරත්න එසේ රූපකයක් මගින් කෙටි නාට්‍ය කලාව පිළිබඳ කරනු ලබන විග්‍රහය ද මෙහි දී වැදගත්ය.
“ සියලු දෙනාගේ සම්පූර්ණ ශරීරයම පෙනෙන සමූහ ඡායාරූපයක් දිගු නාටකයට සමාන කළ හොත් කෙටි නාට්‍යයක් යනු එම සමූහ ඡායාරූපයේ එක් පුද්ගලයකු හෝ එක් පුද්ගලයෙකුගේ ඇහැක් වැනි එක් අවයවයක් එම ඡායාරූපය ප්‍රමාණයට විශාල කිරීමය. විශාලත්වය අනුව ඡායාරූප දෙකම එක සමානය. ඒ කියන්නේ එකක් අනෙකට වඩා සුළු නොවන බවයි. ආනන්දයයෙන් හා ප්‍රඥාවෙන් ද එය එසේමය. අනෙක් අතට කෙටි නාට්‍යයක වින්දනය දිගු නාට්‍යයක් වින්දනය හා සංසන්දනය කිරීම ද වැරදියි. එවිට එය මාධ්‍ය දෙකක වින්දනයක් සංසන්දනය කිරීමක් වැනිය. ඉතින් සමූහ ඡායාරූපයෙන් එක් පුද්ගලයකුගේ අවයවයක් එම ඡායාරූපයේ තරමටම විශාල වීමේ දී එම කුඩා අවයවය තුළ පෙර සමූහ ඡායාරූපයෙ නොපෙනුන බොහෝ සියුම් තැන් මෙන්ම සංකීර්ණතා ද අපට වඩා පුළුල්වත් ප්‍රබල වත් පෙනෙන්නට ගනී. ඒ සමගම සමූහ ඡායාරූපයේ දී පෙනුණු සියළුම විස්තරාත්මක තත්වයන් අවයව පමණක් පෙනෙන ඡායාරූපය තුළ දැකිය නොහැකිය.” ( ධනංජය කරුණාරත්න )
“කෙටි නාට්‍යයක් යනු අන්ධකාර රාත්‍රියක ක්ෂණයකින් ඇතිවන විදුලි කෙටීමක් වැනිය. එය මොහොතක දී ඇතිවී, පුළුල් ප්‍රදේශයක් ආලෝකමත් කරයි. එය ක්ෂණයකින් නැතිවී ගිය ද, ඉන් ලැබෙන ආලෝකය සුළුපටු නොවේ. කෙටි නාට්‍යයක ඝට්ටනය, ජීවන අත්දැකීම එක ධාරණාවකි. එය එක් දෙයක් පිළිබඳව අවධාරණය කරයි. ඒ එක් දෙයින් තවත් බොහෝ දේ ගම්යවන්නට පුළුවන. නමුත් එක් සිද්ධියක් වටේ එය බැඳී පවතී. කෙටි නාට්‍යයක් තුළින් කතා කරන්නෙ කෙටි කාලයක් තුළ එක මානයක, එක සංකීර්ණ අවස්ථාක් හෝ සිදුවීමක් පමණි. සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟයක හා ටෙස්ට් ක්‍රිකට් තරඟයක වෙනස ඔබ හදුනන්නේ නම් කෙටි නාට්‍ය හා දිගු නාට්‍ය අතර වෙනස ද හදුනාගැනීමට පහසු වනු ඇත.” ( නන්දන අල්ගෙවත්ත )
මෙවැනි විග්රහයන් පාදක කොට ගනිමින් කෙටි නාට්‍ය කලාවේ ලක්ෂණ පිළිබඳ ව අධ්‍යයනය කිරීමට හැකියාව ලැබෙයි. මූලිකවම නාට්‍ය සඳහා පිටපතක් අවශ්‍ය වේ. කෙටි නාට්‍ය පිටපත එයටම විශේෂිත වූ අංග කීපයක් දැක්වීමට පුළුවන. සංවාද වල කෙටි බවක් තිබීම වැදගත්ය. සංවාද ඉතාමත් සැලකිල්ලෙන් මෙන්ම ප්‍රවේශමෙන් භාවිත කළ යුතුය. යම් අදහසක් දීර්ඝ වශයෙන් විස්තර කරනවාට වඩා එම අදහසම කෙටියෙන් අවසන් කිරීමට හැකියාව ඇත්නම් හොඳය. දිගු නාට්‍ය මෙන්ම කෙටි නාට්‍ය ද රංග පරම භාවයෙන් යුක්ත විය යුතුය. රංගය සඳහා නාට්‍ය පිටපත උචිත නොවන්නේ නම් එයින් ඇති ප්‍රතිඵලයක් නැත. වෙනත් සාහිත්‍ය කෘතියක් නම් නව කතාව කෙටි කතාව ආදිය කියවා රස විඳිය හැකි මධ්‍යන්‍ය. නමුත් නාට්‍ය එසේ නොවේ එය බලා රස විඳින මාධ්‍යයකි. එබැවින් කෙටි නාට්‍යයක භාවිත වන වචන ශ්‍රව්‍ය ගෝචර භාවයෙන් යුක්ත විය යුතුය. එසේම එය රංග සඳහා ලියන ලද්දකි. නාට්‍ය පිටපත කියවා එයින් නියම රසයක් ලබා ගැනීමට නොහැක. නව කතා කරුවන්ට කෙටි කතා කරුවන්ට තම අනුභූතිය විස්තරාත්මකව ඉදිරිපත් කිරීමේ හැකියාව තිබේ. මෙසේ මෙවැනි අවස්ථාවක් නාට්‍යකරුවාට නොලැබෙයි. එයිනුත් දිගු නාට්‍ය කරුවාට වඩා කෙටි නාට්‍යයක දී එය සීමා වෙයි. එහි දී කියන දෙය හැකි තරම් හකුළුවා කිව යුතුය. දිගු නාට්‍යකරුවාට මෙන් හතර මායිම් සෙවීමට අවස්ථාවක් කෙටි නාට්‍යකරුවාට නොලැබෙයි. එය ඊ ගහක වේගයෙන් කියා අවසන් කළ යුතු යැයි හැඟේ.
වර්තමානයේ දී දිගු නාට්‍යයක අංක තුනක් දක්නට ලැබෙයි. මුල මැද අග වශයෙනි. මෙහිදී පළමු අංකයේ දී රංගය හා අදාළ පසුබිම විස්තර කිරීමත් දෙවන අංකයේ දී එම තත්වය සංකීර්ණ විය යුතු බවත් තුන්වන අංකයේ දී එම තත්වය විසදී නාට්‍ය අවසන් විය යුතු යැයි ද සැලකේ. මේ මුල මැද අග යන අංශ කෙටි නාට්‍යයට වඩාත් උචිත බව පෙනේ. නමුත් දිගු නාට්‍ය මෙන් නොව ඉලක්කයකට විදින්නා සේ රේඛීය ගමන් මාර්ගයක යන්නේ නම් වඩාත් උචිතය. එය ප්‍රස්තාරයක් මගින් මෙසේ දැක්විය හැක.
රංගය ආරම්භ වී කිසියම් සිදුවීමක් හේතුකොට ගෙන කුතුහලය රැක ගැනීමට කෙටි නාට්‍ය පිටපත් සමත් විය යුතුය. දිගු නාට්‍ය මෙන් නොව එය කෙටි නාට්‍යයක දී ඉතා වැදගත් වෙයි. ප්‍රේක්ෂකයාට නාට්‍යයෙන් නෙත් ඉවතට ගැනීමට අවකාශයක් නො තිබිය යුතුය. යම් හෙයකින් නාට්‍යයෙන් වියුක්ත වූවා යැයි කියන්නේ ඔහුට හෝ ඇයට නැවත කෙටි නාට්‍යයේ සමස්ත නිර්මාණයෙහි අත්දැකීම වින්දනය කිරීමට නොලැබෙනවා යන්නයි.
මීළඟට දිගු නාට්‍යයක මූලධර්මය කෙටි නාට්‍ය රචනයේ දී කොතෙක් උපයෝගී වන්නේ ද යන්න සලකා බැලීම වටී. මෙහි සඳහන් කරන්නට යෙදෙන මූලධර්මයන් නිශ්චිත නිගමනයන් වශයෙන් සැලකීම නොවටී. එය ඕනෑම විටෙක විවිධ නිර්මාපකයන් අනුව වෙනස් වන්නට පුළුවන. බටහිර විචාරකයන්ට අනුව නාට්‍යයක ඝට්ටනය පහත සඳහන් අයුරින් දැක්විය හැක.
මිනිසා ස්වභාව ධර්මය සමග ගැටුම
මිනිසා අදෘෂ්‍යමාන බලවේග සමග ගැටුම
මිනිසා මිනිසා සමග ගැටුම
මිනිසා සංකීර්ණ ස්වකීයත්ත්වය සමග ගැටුම
මිනිසා සමාජ වටපිටාව සමග ගැටුම
සමාජ බලවේගයක් තවත් සමාජ බලවේගයක් සමග ගැටුම
මෙම මූලධර්මය දිගු නාට්‍යයකට මෙන්ම කෙටි නාට්‍යයකට ද පොදු වූ මූලධර්මයක් වශයෙන් සැලකිය හැකිය. කෙටි නාට්‍යයක ඝට්ටනයක් නොතිබුනහොත් අනුභූතිය තීව්ර කිරීමට අපහසු වෙනු ඇත. නාට්‍යයක ඝට්ටනය කෙටි නාට්‍යයක නම් එහි ජීවයයි. ප්‍රෙක්ෂක නෙත බැහැරට නොයැවීමට එය මහෝපකාරී වෙයි. ‘ගැටුමක් නැති තැන නාට්‍යයක් නැත’ යන මූලධර්මය සියයට සියයක් ම කෙටි නාට්‍ය සම්බන්ධයෙන් සත්‍යයකි.
දිගු නාට්‍යයක මෙන් කෙටි නාට්‍යයක අංක කිහිපයක් නොතිබිය යුතුය යන්න පෞද්ගලික හැඟීමයි. දිගු නාට්‍යයක නම් සෑම අංකයක අවසානයේ ම ඉන් ඉදිරියට සිදු වන්නේ කුමක් ද යන දෙගිඩියාව, හැඟීම ප්‍රේක්ෂකයා තුළ ඇති කරයි. කෙටි නාට්‍යයක මෙම දෙගිඩියාව සැම දෙබසක් පුරාම, සෑම චලනයක් පුරාම රඳවා තබාගත යුතුය.එය රඳවා
තබාගත් තරමට කෙටි නාට්‍ය සාර්ථක වේ. ඉන් අනතුරුව විඝටනය වැදගත් වෙයි. නාට්‍ය උපරිම අවස්ථාවට ගෙන ඒම, මෙහි දිගු නාට්‍යයට මෙන් එතරම් කාලයක් කෙටි නාට්‍ය කරුවාට නොමැති බැවින් එයින් ප්‍රයෝජන ගැනීම නාට්‍යකරුවා සතුය. මීට අමතරව නාට්‍ය පිටපතක ශිල්පීය ධර්ම වන නාට්‍යෝචිත බව හා නාට්‍ය පිටපත රූපීය බව යන සංකල්පයන් ගෙන් ද සමන්විත වන්නේය.
කෙටි නාට්‍යයක් වශයෙන් සලකනු ලබන්නේ එය කාලයෙන් කෙටි වන නිසා නොවේ. එය සම්මත වේදිකා නාට්‍යයකට (දිගු නාට්‍යයක් වශයෙන් හඳුන්වන) සාපේක්ෂව නම් කාලයෙන් කෙටි නිසා කෙටි නාට්‍යයක් වශයෙන් හැඳින්වීම උචිතය. නමුත් එය අර්ථ දැක්වීමට වඩා උචිත වන්නේ ඒකාංගික වශයෙනි. ඇන්ටන් චෙකොෆ්, යුජින් අයනෙස්කෝ, කොබෝ ආබේ, සැමුවෙල් බෙකට්, හැරල්ඩ් පින්ටර්, ඔස්කා වයිල්ඩ් ආදීන්ගේ පටන් මේ දක්වා ලෝකයේ පහළ වූ සාර්ථක කෙටි නාට්‍ය කරුවන්ගේ කෘති ගැන විමසීමේ දී මේ ඒකාංගික බව මනාව පැහැදිලි වේ. ඇන්ටන් චෙකොෆ් විසින් සිය කෙටි නාට්‍ය හඳුන්වා ඇත්තේ වෝඩිවිල (Vaudeville) ප්‍රාසාංගික රචනා වශයෙනි. මෙම වෝඩිවිල (Vaudeville) 1880 වකවානුවේ ඇමෙරිකාවේ ආරම්භ වී 1930 දශකය වන විට අභාවයට ගිය බව පෙනේ. විශේෂයෙන් විනෝදාත්මක ප්‍රසංග ප්‍රභේදයක් ලෙස මෙය හැඳින්විය හැකි අතර චෙකෝප් මෙම වෝඩිවිල වැදගත් නිර්මාණ ලෙස සැලකීමට කිසිම අවස්ථාවක උත්සාහ නොකළේය. නමුත් අපේ අධ්‍යයනයේ දී වැදගත් වන්නේ එම කෙටි නාට්‍ය සියල්ලක් ම පාහේ ඒකාංගික ලක්ෂණයෙන් යුක්ත වන්නේ ද යන්න සෙවීමය. භාවිතාව අනුව එම කෙටි නාට්‍ය ඒකාංගික ලක්ෂණයෙන් යුක්ත බව සඳහන් කළ හැක. මෙහිදී කාලය පිළිබඳ ප්‍රශ්නයක් මතු නොවෙයි. කාලය දිගු හෝ කෙටි වන්නට පුළුවන. නමුත් කෙටි නාට්‍යයක දී කතා කරන්නේ එක් අංගයක් එක් අවස්ථාවක් පමණි. ජීවිතයේ යම් එක් සිදුවීමකි. එහිදී නොදැනුවත්වම කාලය කෙටි වනු ඇත.
දිනාල් අසංක නිල්දියවර සහ ප්‍රසන්න උඩගේ ආරච්චි
නන්දන අල්ගෙවත්ත ගේ ගිවිසුම කෙටි නාට්‍ය
මෙම ඒකාංගික යන සංකල්පය විග්රහ කර ගැනීමේ දී ඇරිස්ටෝටල් පඬිතුමා ග්‍රීක නාට්‍ය පිළිබඳව සඳහන් කරනු ලබන ත්‍රිවිධ ඒකත්වය ද කෙටි නාට්‍යය රචනයේ දී වැදගත් මූලධර්මයක් වශයෙන් ගවේශණය කළ හැක.
ස්ථානය ඒකත්වය ( Unity Of Place )
කාල ඒකත්වය ( Unity Of Time )
ක්‍රියා ඒකත්වය ( Unity Of Action )
“මෙහි දී නාට්‍යයේ සසිද්ධි වින්‍යාසයේ ඒකීයත්වයක් ( Unity) තිබිය යුතුය. අතුරු කතා(Sub Plot) ඈදීමක් නොමැතිව අවසාන අන්තරය කරා තුඩු දෙන, ඒ සමගම අත්‍යන්තයෙන් ම ගැළපෙන සිද්ධි පමණක් අඩංගු විය යුතුය. යන්න ඇරිස්ටෝටල්ගේ මතය විය. ක්‍රියාදාමයන් ගේ ඒකතග්වය ( Unity Of Action ) යනුවෙන් ඔහු අදහස් කළේ මෙයයි. එමෙන්ම කාලයේ ඒකීයත්වයක් ( Unity Of Time ) ද කතා වින්‍යාසයේ අඩංගු විය යුතු බව ඇරිස්ටෝටල්ගේ මතය විය.”
මෙම ත්‍රිවිධ ඒකත්වයෙන් කෙටි නාට්‍ය නිර්මාණකරුවාට යම් පාඩමක් උගත හැක. ත්‍රිවිධ ඒකත්වයේ මූලික ලක්ෂණයන් කෙටි නාට්‍ය නිර්මාණයේ දී යොදාගත හැකි වුව ද කෙටි නාට්‍ය ත්‍රිවිධ ඒකත්වයෙන් යුක්ත විය යුතු යැයි මෙහි දී අදහස් නොකරන බව සැලකිය යුතුය. ත්‍රිවිධ ඒකත්වය ප්‍රයෝජනයට ගැනීමෙන් කෙටි නාට්‍යයක දී කාලය විනාශවීම වළකාලීම, කතා වින්‍යාසය ගොඩ නැගීම, රංගය තීව්ර කිරීම ඇතුලු අභියෝග රැසක් ජය ගැනීමට නිර්මාණකරුවාට හැකියාව ලැබෙයි.
නූතනයේ දිගු නාට්‍යය අංක කිහිපයකින් යුක්තය. නූතන නාට්‍යයක දර්ශන වෙනස් කිරීමට වේදිකා පසුතලය, ආලෝකය, තීරය ආදිය ද භාවිතයට ගනිමින් ස්ථානය, කාලය ආදී වෙනස් කරනු ලබයි. කෙටි නාට්‍යයක කාලය හා ස්ථානය ඉතා වැදගත් සාධකයන්ය. එහි ඒකාංගික බැවින්ම පසුතල වෙනස් කිරීම, ආලෝක අඳුරු කිරීම ආදිය හේතුවෙන් නාට්‍යයෙහි සමස්ත නිර්මාණයට හානි ගෙන දෙන්නට පුළුවන. එය බොහෝ විට පැය කීපයක් තුළදී එක ස්ථානයක සිදුවන සිද්ධියකි. දීර්ඝ ඉතිහාසයක් පිළිබඳව, සිද්ධි දාමයක් ගෙන කතා කිරීමට ඒ තුළින් අවකාශය නොලැබෙති.
එක මොහොතක නාට්‍ය ක්‍රියාවලිය සිද්ධවන හෙයින් ඒ සඳහා චරිත සංඛ්‍යාව සීමා කිරීමට ද සිදුවෙයි. චරිත බහුලව යොදාගැනීම හානිදායක විය හැක. නාට්‍යයේ කාලසීමාව විනාඩි තිහක්, හතළිහක් වන්නේ නම් චරිත තිහක්, හතළිහක් යොදා ගැනීමෙන් එම චරිත ප්‍රේක්ෂකයාට හඳුනා ගැනීමට වත් අවස්ථාවක් නොලැබී යනු ඇත. නමුත් නූතනයේ විශාල නළු නිළි සංඛ්‍යාවක් යොදාගෙන සාර්ථක වූ කෙටි නාට්‍ය ද අප අතර නැත්තේ නොවේ. චරිත සුළු සංඛ්‍යාවක් යොදා ගත යුතු යැයි ප්‍රමිතියක් නැත නමුත් කෙටි නාට්‍ය සූක්ෂම අධ්‍යයනයක් හෙයින් එවැනි ප්‍රමිතියක් ඇතිවීම වලකාලිය නොහැක.
කෙටි නාට්‍යයක අත්දැකීම, ඝට්ටනය, ජීවන අත්දැකීම එක ධාරණාවකි. එය එක් දෙයක් පිළිබඳව අවධාරණය කරයි. ඒ එක් දෙයින් තවත් බොහෝ දේ ගම්යවන්නට පුළුවන. නමුත් එක් සිද්ධියක් වටේ එය බැඳී පවතී. කෙටි නාට්‍යයක් තුළින් කතා කරන්නෙ එක මානයක, එක සංකීර්ණ අවස්ථාක්, සිදුවීමක් පමණි.
රවීන්ද්‍ර රණවීර සහ හෂාන් ධනලත් රණසිංහ
නන්දන අල්ගෙවත්ත ගේ සව්සිරි නයිට් හොටෙල් කෙටි නාට්‍ය
කෙටි නාට්‍යයක දී එයට අයත් ආනුශංගික කලා භාවිතාව කෙසේ විය යුතු ද යන්න විමසීම ද වැදගත් වෙයි. කෙටි නාට්‍ය හෝ වේවා වෙනත් ඕනෑම නිර්මාණයක එය භාවිත කරනු ලබන්නේ එහි ඖචිත්‍යය අනුවය. කෙටි නාට්‍ය ඒකාංගික හෙයින් ඒ තුළ රංගය ආරම්භ වූවාට පසුව යමක් එකතු කිරීමට හෝ ඉවත් කිරීමට අවකාශයක් නොලැබේ. මේ අනුව වෙනස් නොවන දර්ශන වශයෙන්, ස්ථාන, කාල වශයෙන් ඉවත් නොකරන වේදිකා පසුතල භාවිත කිරීම උචිතය. එය හුදෙක් සරල යන්නට සමාන කිරිමට නො හැක.එය ඖචිත්‍ය අනුව යොදාගැනීමකි. විනාඩි තිහක වැනි කෙටි නාට්‍යයක් සඳහා දින කීපයක් හෝ පැය කීපයක් හෝ ගත කිරීමෙන් වේදිකා පසුතල වේදිකාව මත සකස් කිරීමට සිදුවන්නේ නම් එය ද ගැටලු සහගත ය. එසේ වුව ද මෙම අභියෝගය නිර්මාපකයාගේ පරිකල්පන ශක්තිය හා නිර්මාපී බව අනුවම ජය ගැනීමේ අවකාශය කෙටි නාට්‍ය නිර්මාණකරුවා මත ම පවතී. හුදෙක් ම කෙටි නාට්‍ය කලාව මෙසේ විය යුතු යැයි තහංචි, අණ පනත්, කෙටුම්පත් ඉදිරිපත් කිරීම අනාගත කෙටි නාට්‍ය කලාවේ ප්‍රවර්ධනයට, නිර්මාණාත්මක ප්රවේශයන්ට හානිකර යැයි, පෞද්ගලිකව මා සිතනා කාරනාවකි.
වේදිකා පසුතල තුළ ප්‍රකාශන ශක්තියක් ගැබ්ව ඇත. මේ අනුව කෙටි නාට්‍යයෙහි මුඛ්‍යාර්ථයට උචිත අන්දමින් එය භාවිත කළ යුතුය. උදාහරණ වශයෙන් මා විසින් නිෂ්පාදනය කරන්නට යෙදුන “දණ්ඩේ කිරි පතට උරා” (රාජ්‍ය නාට්‍ය උළෙල -1998) නැමැති කෙටි නාට්‍යයෙහි පසුතල වශයෙන් මේසයක්, පුටුවක්, බංකුවක් හා ජනේලයක් පමණක් භාවිතයට ගැණුනි. වේදිකාවේ භාවිත වන මේ පසුතල වල වර්ණයන් සුසංයෝගීව පවතින ආකාරය සැලකිල්ලට බඳුන් කළ යුතුය. සාමාන්‍යයෙන් අප අඳින පළඳින ඇඳුම් පැළඳුම් ද අප තෝරාගන්නේ වර්ණයට වර්ණය ගැලපෙන අන්දමිනි. මේ අනුව මා ද මෙම නාට්‍යයෙහි ඒ සියලු පසුතල වල ඒකාබද්ධතාවය ආරක්ෂා කර ගතිමි. කෙටි නාට්යයන දී තිරය ඇරීම හා වැසීම ආදිය එතරම් සුදුසු නොවන්නට පුළුවන. එය නාට්‍යයේ අංග වශයෙන් සැලකීම වැරදිය. අනවශ්‍ය කාලයක් ඒ කාර්ය සඳහා වෙන් වන්නට ද පුළුවන. කෙටි නාට්‍යයක දී සෑම තත්පරයක් ම අනවශ්‍ය යැයි සිතිය නොහැක. එම අපතේ යන තත්පර සංඛ්‍යාව අවම කරගත යුතු වන්නේ කෙටි නාට්‍ය කලාව සූක්ෂම කලාවක් වන හෙයිනි.
කෙටි නාට්‍යයක දී වේදිකාව මෙසේ භාවිත කළ යුතු යැයි මිනුම් දඬු සෙවීම අපහසු නමුත් නූතනයේ නාට්‍ය රඟ දක්වන ප්‍රොසීනියම් වේදිකාව (පින්තූර රාමු වේදිකාව) කෙටි නාට්‍ය සඳහා යොදා ගැනීමේදී ඒ සඳහා සුවිශේෂිත ක්‍රම ශිල්ප භාවිත කිරීම උචිතය. කෙටි නාට්‍යයක් කාලය කෙටිවීම හා එක සිද්ධියක් වීම ආදිය නිසා මේ පිළිබඳ ව සිතීම තවත් වැදගත්ය. ඊට අමතරව රඟපාන ප්‍රදේශය පිළිබඳව සැලකිලිමත්වීම වටී. මෙහි විද්‍යාත්මක පදනමක් ද තිබෙන හෙයින්, ප්‍රේක්ෂකයන්ගේ දර්ශන පථයට හසු වන කොටස පිළිබඳව හොඳ අවබෝධයකින් කෙටි නාට්‍ය නිෂ්පාදනය කළ යුතුය. දිගු නාට්‍යයකට වඩා කෙටි නාට්‍යයක දී මේ පදනම ඉතා වැදගත් වෙනු ඇත.
ඇතැම් කෙටි නාට්‍ය රචකයන් රූපයේ ශක්තිය, වර්ණයේ ශක්තිය ආදී සියල්ල සංවාද මගින් වේදිකාව මත දිග හරිනු දක්නට ලැබේ. එය එසේ විය යුතු නැත. විවිධ මාධ්‍යයන් මගින් ප්රකාශනයන් කළ හැකි බැවින් එය නිසියාකාරව ප්‍රයෝජන ගැනීමෙන් වේදිකාවේ සීමාවන් ජය ගැනීමට පුළුවන.
කෙටි නාට්‍යයක දී විටින් විට වේදිකාව අදුරු කිරීමට යාමෙන් සමස්ත නිර්මාණයට හානියක් වන්නට පුලුවන. ආලෝකය භාවිතයේ දී දිගු නාට්‍යයක දර්ශන, ස්ථාන ආදිය වෙනස් කිරීම සඳහා ආලෝකය මහත් මහත් පිටිවහලක් වනු ඇත නමුත් කෙටි නාට්‍යයක දී එය එසේ නොවන්නට පුළුවන.ආලෝකය වුව ද භාවිත කළ යුක්තේ එයට ම සුවිශේෂ අයුරිනි. කෙටි නාට්‍යයක ආනුශංගික කලා මේ මේ අයුරින් විය යුතු යැයි නම් කිරීම අපහසුය. නමුත් මේ සියලු අංග දිගු නාට්‍ය ට වඩා ඉතා පරිස්සමෙන්, ඉතා සියුම්ව අධ්‍යයනය කොට භාවිත කිරීම, නිර්මාණයෙහි සාර්ථකත්වයට හේතුවේ.
සමස්ථයක් වශයෙන් ගත් කල කෙටි නාට්‍ය පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීමේ දී පෙනී යන්නේ එය ඒකාංගික වන බව, සංෂිප්ත භාවයෙන් යුක්ත වීම, එක් සිද්ධියක් වටා ගෙතී තිබීම, එක ස්ථානයක සිදුවීම, නාට්‍ය කාලය කෙටිවීම, චරිත සීමාවීම, ජීවිතේ එක් ඇසිල්ලක් හෝ අවස්ථාවක් ගෙන එහි සංකීර්ණතා අධ්‍යයනය කිරීම ආදී වශයෙන් ගොනු වූ ලක්ෂණයන්ය. මේ සියල්ලක් ම ගොනුකොට ගත හැකිවන්නේ අතීත හා වර්තමාන කෙටි නාට්‍ය කලාවේ භාවිතාවන් අනුවය. නමුත් කෙටි නාට්‍ය කලාව තුළ දේව භාෂිතයන් නොමැති හෙයින්, මේ සියල්ල පසෙකලා අලුතෙන් හිතන්නට,අලුතෙන් නිර්මාණ කරන්නට නිර්මාපකයාට නිදහසක් ඇත.