කථිකාචාරීණී ශිරාණි ලංකාතිලක
වර්තමාන සමාජයට අතීතය ස්පර්ශ කරමින් ඥාන ගවේෂණයක යෙදෙමින් අතීත අත්හදා බැලීම් නැවත නැවත කිරීමට වෙහෙස විය යුතු නැත්තේ,අතීත ඥාන සම්භාරය වටිනා උරුමයක් වශයෙන් අද දක්වා කවුරුන් විසින් හෝ සම්ප්‍රේෂණය කොට ඇති බැවිනි. වර්තමානිකයා යාත්‍රා කළ යුත්තේ එතැන් සිට ඉදිරියට ය. දැනුම ආස්වාදනය කළ හැක්කේ ‘ භාෂාව ‘ නැමති මාධ්‍යයෙනි.
පුද්ගලයා තුළ භාෂා සංවර්ධනය සදහා ඔහු තුළින් පැන නගින ශාරීරික,මානසික, චිත්තවේගික සාධක මෙන්ම පරිසර සාධක ද බලපානු ලැබේ. පරිසරයෙන් ලබන විවිධ හා විචිත්‍ර අත්දැකීම් නිසා බිළිදා තුළ සවන් දීමේ හා කථනයේ කුසලතා වැඩෙන්නට පටන් ගනී. ඉතා සරල ව දක්වතොත්, භාෂාවේ වාංමාලාව බිළිදා ස්පර්ශ කරන්නේ,පරිසරයෙනි.භාෂා වර්ධනයට අවශ්‍ය පුද්ගල සාධක මැනවින් සපිරී ඇතත්,ඔහුගේ පරිසර තත්ත්වය භාෂා වර්ධනයට හිතකර නොවේ නම්,සාර්ථක ව භාෂා වර්ධනය සිදු වෙතැයි අපේක්ෂා කළ නොහැකිය. එබැවින් ළමයාගේ භාෂා වර්ධනයට පදනම් වන පරිසර සාධක සැපිරීම ඉතා ප්‍රයෝජනවත් වෙයි.
භාෂාවක වර්ධනයෙහි ලා දරුවාගේ සමීපතම ආසන්නතම පරිසරය සිය පවුල යි. එ තුළත් දරුවාට මුලින් ම බලපාන්නේ මව හා පියා ය. ක්‍රමයෙන් සෙසු අයගේ ආභාසය ද ලබමින් වාංමාලාව හා උච්චාරණ විලාස උගනී. සිය දිවියේ පළමු වසර පහ ඇතුළත ළමයාගේ වාංමාලාවේ සංවර්ධනය පිළිබද, මැඩෝනා ස්මිත්ගේ පර්යේෂණ අනාවරණ බස හැසිරවීමෙහි ලා බිළිදා තුළ ඇති නිසග ශක්‍යතාව සදහා පරිසරය කොතෙක් දුරට පිටිවහල් වන්නේ ද යන්න සනාථ කරන්නකි. සිය පවුලේ ඉගැන්වීමකින් තොරවම භාෂාවකට අත්පොත් තබන දරුවා ක්‍රම ක්‍රමයෙන් සිය ඕනෑ එපාකම් , හැගීම් හා සාමාන්‍ය අදහස් ප්රකාශනයට සමත් වෙයි. මෙය මානව පැටියා ලබන අපූර්ව මෙන් ම විස්මිත කුසලතාවකි
ළමයාගේ භාෂා සංවර්ධනය සම්බන්ධයෙන් පවුල් පරිසරයේ ඇති වැදගත්කම මින් විද්‍යමාන නොවේ ද ? බ්‍රිතාන්‍ය අධ්‍යාපනඥයකු වන ඇල්ෆ්‍රඩ් වයිට්හෙඩ්ට අනුව භාෂාවක් ඉගෙනුම වැනි සංකීර්ණ කාර්යයක් සිය දිවියේ පළමු වසර පහ ඇතුළත සිදු කරන්නට හැකි වී ම වනා හී මනුෂ්‍යයා පිළිබද අපුර්ව සිද්ධියකි. වයස අවුරුදු තුන පමණ වන විට සමාජ පරිසරයට අනුගත වී මට දරුවාට මෙම බස හැසිරවිමේ කුසලතාව වඩා දායක වෙයි.එවක පටන් සම වයස් මිතුරන්ගේ ඇසුර සමග සවන් දීම , කථනය යන මූලික කුසලතා වඩා ගනියි. මේ සම්බන්ධ ශීඝ්‍ර වර්ධනයක් දරුවාට තම කුඩා මිතුරු කැළ ඇසුරින් ලැබිය හැකිය. සෙල්ලම් ගෙවල්, බෝනික්කන් නැරඹීම, පවුලක භූමිකා අනුකරණ, සෙල්ලම් කඩ, විවිධ ක්‍රීඩා හා කෙළි සෙල්ලම් ආදියෙහි නිරත වන දරුවා වින්දනයක් සමග භාෂා හැකියා ද වර්ධනය කර ගනියි. දරුවන් තුළ හට ගන්නා මෙම හැකියා, ලැදියා හා අභිලාෂ අන් මගකට යොමු නොකර ඊට අවකාශ සලසා දි ම මේ අවස්ථාවේ දෙමාපිය හා වැඩිහිටි වගකීම වේ. වර්තමාන සමාජයේ මෙබදු අවස්ථා අපේක්ෂාවෙන් සිටින දරුවාගේ එම ඉඩ හසර අවුරා දැමිම හෝ සීමා කිරීම හෝ ඊට බාධක පැනවිම හෝ තුළින් සිදු වන්නේ දරුවා ඉච්ඡා භංගත්වයට පත් වී මානසික ව්‍යාකූලත්වයට පත් වී මයි.සුන්දර ළමා විය අහිමි වීම ළමයාගේ ඉදිරි ජීවිතයට අහිතකර ව බලපාන බව මනෝ විද්‍යා පර්යේෂණවලින් පවා අනාවරණය කොට තිබේ. මෙබදු වින්දනිය හා සාමූහික එකතුවීම්තුළින් දරුවා වර්ධනය කර ගන්නේ,බසක් හැසිරවිම පමණක් නොව සිය පෞරුෂයයි.මෙම කාලයේ පෞද්ගලික පන්තියකට යොමු කර භාෂාවක් ඉගෙනුමට යොමු කරනවාට වඩා සමිප අතිශය ප්රීතිජනක අත්දැකීම් දරුවාට හිමි වන බැවින් ,මෙබදු මුසු විම් දරුවන්ට උදා කර දීම දෙමාපිය වගකීම හා යුතුකම ද වේ.මින් නොනැවතී පාසලට ප්‍රවේශ වන ළමයා සම්බන්ධයෙන් ද ඔහුගේ මෙම නිසග අභිලාෂ ම ප්‍රයෝජනයට ගනිමින් වඩා විධිමත් ව සැලසුම් කළ ක්‍රියාකාරකම් ඔස්සේ ළමයාගේ භාෂා සංවර්ධනයට පදනම දැමීමට පාසල ද ක්‍රියාත්මක විය යුතුය. භාෂා ශක්‍යතාව සමග පාසල්ගත වන දරුවාගේ එම කුසලතාව වඩා වර්ධනය වී මට හිතකර පරිසරය හා පදනම පාසල විසින් සැකසිය යුතු ය. චතුර්විධ භාෂා කුසලතා සංවර්ධනය පාසලේ ප්‍රධාන කාර්යය ද වේ.මෙහි ලා විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කිරිමට පාසලට සිදු වේ.පන්තියට නිර්දේශිත විෂයමාලාව මෙන් ම විෂය සමගාමී ක්‍රියාකාරකම් ද සංවිධානය කළ හැකිය.
නිවාස පරිසරය ඇසුරින් භාෂා කුසලතාව අත් කර ගෙන එන ළමයාගේ චතුර්විධ භාෂා කුසලතා සංවර්ධනයට පාසල විසින් සැලසුම් කර ක්‍රියාවට නැංවිය හැකි ඉගෙනුම් අවස්ථාවක් බලමු.
මව්බස විෂයය සදහා නිර්දේශිත සෙල්ලම් කඩය 1 ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා චතුර්විධ භාෂා කුසලතා සංවර්ධනය වන ආකාරයට සැලසුම් කළ හැකි අවස්ථාවක් බලමු.
සෙල්ලම් කඩය
භාෂා කුසලතා
සවන් දිම - ආශ්රිත පරිසරයට සවන් දීම, සංවාදවලට සවන් දීම, ඉල්ලීම්වලට සවන් දීම
ද්‍රව්‍ය හා උපකරණවලින් නැගෙන ශබ්දවලට සවන් දිම, අන් අයට සවන් දීම
සුහද හා ආචාරශීලී කතාබහට සවන් දීම
මුදල් ,කඩදාසි,මලු ආදිය හැසිරවීමේ දී නැගෙන නාද හා ශබ්දවලට සවන් දීම
කථන කුසලතා - සුහද හා ආචාරශිලි කථනය, අවස්ථානුකූල සිදුවීම් ඇතුළත් සංවාද
උපකරණ හා ද්‍රව්‍යවල මිල කීම, ආරාධනා කිරීම / කැදවීම
අත්දැකීම් ප්‍රකාශන, හැගීම් හා සිතිවිලි ප්‍රකාශ කිරිම
ද්‍රව්‍ය හා උපකරණවල ගුණ කථනය / තේමාවට උචිත කව්, ගී ගායනය හා කතාන්දර, චරිතාරෝපිත කථන ආදී....
කියවීමේ කුසලතා - කාඩ්පත්වල සදහන් මිල ගණන් කියවීම, ද්‍රව්‍ය හා උපකරණවල නම් කියවීම
ලේබල් කියවිම, පින්තූර බලා කියවීම, උපදෙස් කියවීම, ෆෝස්ටර් කියවීම,සංඛ්‍යා කියවීම
ලිවීමේ කුසලතා - අකුරු ලිවීම, රූප බලා නම් ලිවීම, වචන ලිවිම, සංඛ්‍යා ලිවීම, ද්‍රව්‍යවල නම් ලිවීම
උපදෙස් පත්‍රිකා ලිවීම,ෆෝස්ටර් , ලිපි / රචන ලිවීම, අත්දැකීම් ලිවිම, දෙබස් හා සංවාද ලිවීම
නිර්මාණාත්මක ලේඛනය
මේ සමස්තය හරහා ගොඩ නැගෙන සමාජ කුසලතා
ඉවසිමෙන් සවන් දීම
සුහදත්වය
සමගිය සහයෝගය
දැන හදුනා ගැනීම
මිත්‍රත්වය
බෙදා හදා ගැනිම
අවස්ථාවෝචිත චර්යා ප්‍රදර්ශනය
යහපත් හා අවශ්‍ය සිරිත්
සන්නිවේදන කුසලතා
ගරු කිරිම ආදී...........
මෙසේ එක් ඉගෙනුම් අවස්ථාවක් හෝ සංකල්පයක් චතුර්විධ භාෂා කුසලතා සංවර්ධනය වන ආකාරයට ගොඩ නැංවීම තුළින් භාෂා කුසලතා පමණක් නොව, බොහෝ සමාජ කුසලතා ද ශිෂ්‍යයාට අත් කර ගත හැකි වනු ඇත. ලෝකයට කතා කිරීමට පෙර ළමයා ලෝකයට සවන් දිය යුතු ය. සවන් දීම බිළිදකු භාෂා අත්දැකීම් ලැබීමේ පළමු අවස්ථාවයි. මානව
සමාජයක භාෂාවේ ප්රභවයට පවා සවන්දීම මූලික වන්නට ඇතයි අනුමාන කළ හැක්කේ, උපතින් ම සවන් දීමේ හැකියාව නොමැති අයකුට කතා කිරීමට ද නොහැකි බැවිනි. මේ නිසා භාෂා සංවර්ධනයෙහිලා, වඩා වැදගත් ම අවස්ථාවක් ලෙස සවන් දීම හැදින්විය හැකිය. මේ සමගම තවත් මේ හා බැදි කාරණයක් වන්නේ, සවන් දීමේ අත්දැකීම් ක්‍රියාත්මක වන්නේ ද සෙසු භාෂා අත්දැකීම් සමග බව ද පිළි ගත යුතුය.
සවන් දෙමින් කතා කරයි..............
සවන් දෙමින් කියවයි....................
සවන් දෙමින් ලියයි...................... ආදී වශයෙනි.
මේ නිසා ප්‍රාථමික ළමයාට භාෂා අත්දැකීම් ලබා දීමේ දී, ඒවා භාෂාමය සෙසු අත්දැකීම් සමග සම්බන්ධ කිරීම අවශ්‍ය හා වැදගත් වේ. උපන් මොහොතේ සිට සවන් දෙන දරුවා ක්‍රමයෙන් ශබ්ද, නාද, වචන හදුනා විභේදනය කර ගැනීමට ද සමත් වෙයි. ඉන් නොනැවතී මෙම කුසලතා පාසලට ද රැගෙන එයි. එම නිසා මෙම කුසලතා වැඩි දියුණු කිරීම පාසලේ වගකීම යි. භාෂාව විෂය නිර්දේශයේ වෙන ම විෂයයක් වුව ද සෙසු විෂයයන් හැදෑරීමේ මාධ්‍යය වන්නේ ද භාෂාවයි. මේ නිසා ප්‍රාථමික පාසලේ භාෂා ක්‍රියාකාරකම් සංවිධානය කළ යුත්තේ, භාෂාව හුදකලා විෂයයක් වශයෙන් ගෙන නොවේ. ළමයාට වැඩි භාෂා කුසලතා හා අත්දැකීම් සමුහයක් ලැබෙන අයුරිනි.උක්ත ව සැලසුම් කළ ‘ සෙල්ලම් කඩය ‘ පළමු වන ශ්‍රේණිය සදහා පාසලේ නිර්දේශ වූවක් වුව ද මෙහි එය යෝජනා කර ඇත්තේ සියලු ම ප්‍රාථමික ශ්‍රේණි සදහා ය.ළමයා තුළ ක්‍රමයෙන් චතුර්විධ භාෂා කුසලතා විස්තීර්ණ වෙමින් වැඩෙන ආකාරයට මෙබදු අවස්ථා සැලසුම් කළ හැකිය. එසේ ම මෙය මෙතැනින් නතර නොකර සෙසු විෂයයන් දක්වා ද ව්‍යාප්ත කරමින් සමෝධනිත ඉගෙනුම් අවස්ථා සම්පාදනයට ද අවස්ථාවක් කොට ගත හැකිය.විශේෂ භාෂා කුසලතා ප්‍රගුණ කළ යුතු බැවින්භාෂාව වෙන ම විෂයයක් වශයෙන් පන්ති කාමරයේ සැලසුම් කළ යුතු වුව ද,භාෂාව හුදකලා විෂයයක් නොවන බව මතක තබා ගත යුතු ය. එබැවින් ඉගෙනුම් ක්‍රියාකාරකම් හි දි උචිත තැන ඊට ලැබිය යුතු ය. යම් යම් කුසලතා සංවර්ධනය කළ යුතු හෙයින් සවන් දීම, කථනය, කියවීම, ලිවීම වෙන වෙන ම සැලසුම් වුව ද සාමාන්‍ය අවස්ථාවන්හි දී මෙම සියලු භාෂා කුසලතා ක්‍රියාත්මක වන්නේ එකටම ය. මේ නිසා පන්ති කාමරයේ භාෂා ක්‍රියාකාරකම් සංවිධානය කිරීමේ දි කිසියම් තේමාවක් වටා මෙම සියලු කුසලතා ඇතුළත් ක්‍රියාකාරකම් ගොනු කිරීම වැදගත් වේ.
ලෝකය සමග කතා කිරීමට ප්‍රසන්න, පැහදිලි, ප්‍රමාණවත් මෙන් ම අර්ථවත් හඩක් ළමයා සතු විය යුතු ය. දරුවා තුළ කථන කුසලතා සදහා මූලික පදනම වැටෙන්නේ ද මව කේන්ද්‍ර කොට ගත් පරිසරයෙනි. ඉන් අනතුරුව පරිසරයේ තමන් ප්‍රිය කරන වස්තූන් , ද්‍රව්‍ය , සෙල්ලම් බඩු සමග කථනයේ යෙදෙයි. තොරතෝංචියක් නැතිව කතා කරන, කථනයෙහි මධ්‍යස්ථ මෙන් ම කතා කිරීමට නොපෙළඹෙන ළමයි පන්ති කාමරයට සිව් දෙසින් පැමිණෙති. මෙබදු ළමුන්ගේ කථන කුසලතා ඔප මට්ටම් කිරීම සඳහා ආස්වාදනීය කථන අවස්ථා හා ක්‍රියාකාරකම් සැලසුම් කළ හැකිය.
උදාහරණ -
මල් වත්තට චාරිකාවක්
විනෝද ගමනක මිහිර
තමන් ප්‍රිය කරන සුරතලුන්ට කතා කිරීම
සංවාද
සිදුවීම් ඇසුරින් පුවත් ප්‍රකාශ කිරිම
ඍජු අත්දැකීම් ප්‍රකාශ කිරීම
චරිතාරෝපිත කතා
විස්තර කථන
ඇසූ දුටු දේ කීම
හදුන්වා දීම්
සරල ප්‍රබන්ධ
කතාන්දර කීම ආදි කථන ක්‍රියාකාරකම් සැලසුම් කළ හැකිය. තමන් අභීමුව ඇති ලෝකය සමග කතා කිරීමට පන්ති කාමරයේ අද මේ මොහොතේ සැලසුම් කරන ක්‍රියාකාරකම හේතු වනු ඇත. මේ සදහා ළමයා භාෂා පරිචය ලැබිය යුතු ය.චතුර්විධ භාෂා කුසලතා එහි ලා ප්‍රධාන වේ.
දැනුම කෝෂ්ටාගාරයට පිවිසෙන දොරටුව කියවීම යි. මේ දොර විවර නොවන තාක් මේ දැනුම කෝෂ්ටාගාරය රාක්ෂයකු අරක් ගත් පුෂ්කරණියක් හා සම වනු ඇති. විශ්විය ඥාන සම්භාරය උකහා ගැනීමට නම් කියවීමේ දොරටුව බාලයාට විවර කර දිය යුතු ය. වේගයෙන් පැතිරෙන නුතන ඥාන සම්භාරය අත්පත් කර ගැනීමේ සුලබ,සරල මෙන් ම පහසු හා සියුම් වූ ද මාවත කියවීමයි.මේ නිසා ලෝකය කියවීමට සූදානම් වන ළමයා ප්‍රාථමික අවස්ථාවේ සිට ම කියවීමේ කුසලතාව වඩා ගත යුතු බව අවිවාදාත්මක ය. කියවීම සාර්ථක ඉගෙනුමක පදනම ද වෙයි.
ළමයා වෙනත් විෂයයන්ට කොතෙක් දක්ෂ වුව ද,එම විෂයයන් ආශ්රිත ගැටලු කියවා අවබෝධ කර ගැනීමට තරම් භාෂා ඥානය නැත්නම් ඔහුට එම විෂයයන් සම්බන්ධ දක්ෂතා ද වඩා වර්ධනය කර ගැනීම අසීරු වේ. දැනුම ලැබීමේ ප්‍රධාන මාවත කියවීම යැයි සනාථ වන තරමට ම කියවිම වැදගත් වී තිබේ. මේ නිසා ප්‍රාථමික ශිෂ්‍යයාගේ කියවීමේ කුසලතා සංවර්ධනයට පදනම පන්ති කාමරයෙන් විධිමත් ව බිහි විය යුතු ය.
සිසුන්ට රුචි දෙයින් කියවීම ආරම්භ කිරීම
කියවීමට පොළඹවන සරු පරිසරයක් ඇති කිරීම
කුඩා කියවිමේ සමාජයක් ඇති කිරීම
පන්ති පුස්තකාලය සක්‍රීය කිරීම
විශේෂිත අවස්ථාවල දී පොත් පරිත්‍යාග කිරීමට පෙළඹමක් ඇති කිරීම
කියවීමේ අගය සරල බසින් ප්‍රදර්ශනය
කියවීමේ තරග සංවිධානය
කියවීම ඇසුරින් වෙනත් වින්දනීය හා ආකර්ෂණීය ක්‍රියාකාරකම්
ආදී වශයෙන් කියවීම සම්බන්ධයෙන් දිගු ඇල්මක් ඇති වන සවිමත් පදනම පන්ති කාමරයෙන් ආරම්භ කළ යුතු ය. කියවීම යනු එක් පසෙකින් මානසික ව්‍යායාමයකි. කායික හා මානසික විනයකි. තව ද ශික්ෂණයකි.කියවීම නිසරු පරිසරයක වසන ළමයකුට වුව ද කියවීම සදහා පොළඹවන පරිසරය පාසල තුළ ඇති කිරිමෙන් ඔහු කියවීමට යොමු කළ හැකිය. පෙළඹවිය හැකිය. දරුවන් ප්‍රිය කරන මෙන් ම පාරිසරික සෞන්දර්ය ඔපවත් කරන
හද මාමා,
රාත්‍රී අහස,
කුරුල්ලන් සමග ඉගිලෙමු,
වහු පැටියා එක්ක සෙල්ලම්,
සමනලයාගේ ශ්‍රී පාද වන්දනාව,
මල් හිනැහෙනවා,
කුරුලු ගෙදර,
සුන්දර උදය වැනි රසාලිප්ත තේමා චිත්‍රයට නගා උචිත ලෙස රසවත්ව ලියා කියවීමට දිය හැකිය.
මේ සමගම තවකකු විසින් කියැවෙන දේ අසා ද ළමයා තුළ කියවීමේ රුචිය ඇති විය හැකිය.මෙම පදනම ඇති වන්නේ ද තම ගෙදරිනි. මේ සදහා අවැසි සමුච්චය නිරතුරුව ඇස ගැසේ නම් කියවිමේ රුචිය දරුවා තුළ තවදුරටත් වැඩේ.දෙමාපියන් තම දරුවාට ඇසෙන සේ කව් ගී සිංදු ගැයේ නම් ද,රස කතා, ජන කතා, බණ කතා, ගැමි කතා,උපහැරණ කතා,හාස්‍යෝත්පාදක කතා, ජාතක කතා දිග හැරේ නම් ද එය ශ්‍රවණය වන ළමයාගේ වින්දනීය හදවත අවදි වෙයි. මනස ප්රමෝදයට පත් වේ. පාසල් ඉගෙනුමෙන් මේ සියල්ල එලෙස ම ඉටු වෙතැයි සිතීම අනුවණකමකි. පාසලින් සියලු ඉගෙනුම් පරිපූර්ණ වේ ය යන මිථ්‍යාවෙන් බැහර විය යුතුය. දරුවන්ට කියවීමට පොත් ලබා දීමේ දී දරුවන්ට අනර්ථදායී පොත් ලබා දීමේ බරපතලකම ජාත්‍යන්තර සම්මේලනවල දී පවා කතාවට ලක් වී ඇත.අර්ථදායී හා ළමා සාහිත්‍යය ඇසුරු කිරීමට පෙළඹෙන ආකාරයේ පොත් කියවීමට දි මේ වැදගත්කම වරින්වර විශ්ව සාහිත්‍යයෙන් පවා මතු කර ඇත.වීර චරිත, ශ්‍රේෂ්ඨ චරිත, විශිෂ්ට චරිත හා සුන්දර චරිත ඇතුළත් කතා, කිසි දිනක හමු නොවන මන:කල්පිත ලොවක් දරුවා අභියස මවනවාට වඩා අතිශයින් වැදගත් වේ.
මේ සමගම ළමයා තුළ ලිඛිත කුසලතාව ද සංවර්ධනය කළ හැකිය.ලිවීමේ පූර්ව ක්‍රියාකාරකම්වලින් පසු ලිවීම අරඹන දරුවාට ක්‍රමයෙන් වැඩෙත් ම සම්ප්‍රදායික ලිවීම ම නොව,
සිත් ගත් දේ ලිවීම,
නිර්මාණාත්මක ලිවීම,
අත්දැකීම් ලිවිම,
හැගීම් ලිවීම,
විදි මිහිර ලිවීම,
නිරීක්ෂණයන් ලිවීම,
ආදරණීයයන් ගැන ලිවීම මෙන් ම
ළමා ලෝකය විචිත්‍රවත් කරන දෑ ලිවීම
දක්වා ප්‍රසාරණය කළ හැකිය. ලිවීම යනු මානසික අභ්‍යාසයකි. එය මනස සෝදා පවිත්‍ර කරන්නකි. ශාස්ත්‍රීය ලේඛනය වැඩිමනක් බුද්ධිය අවදි කරන අතර නිර්මාණාත්මක ලේඛනය හදවත අවදි කරන්නකි.ශාස්ත්‍රීය ලේඛනයෙන් පමණක් වෙහෙසට පත් ව සිටින සමාජයට විරාමයක්දී වින්දනය ලැබ දීම සදහා උචිත ලේඛන බිහි කිරීමේ පදනම වැටෙන්නේ මෙතැනිනි.
ජින් ජෑක්ස් රූසෝ ප්‍රකාශ කළේ සොබා දහමට අනුගත ව ළමයාට ඉගෙනීමට ඉඩ දිය යුතු බවය.නූතන සංකීර්ණ සමාජයේ පන්තියෙන් හා පාසලින් බැහැර ඉගෙනුම් අවස්ථා ඉතා විරල බැවින් හැකි සෑම විට ම සොබාදම පාදක ව ඉගෙනුම් අවස්ථා සැලසුම් කළ යුතු ය.හැකි සෑම විට ම සොබාදම පන්ති කාමරයට රැගෙන ආ යුතු ය. පන්ති කාමරයට සොබාදම කැදවිය හැකි එබදු අවස්ථාවක් නිදසුන් කොට ගනිමු.
කා සදහා ද ? ප්‍රාථමික පාසල් සිසුන් සදහා
ක්‍රියාකාරකමේ නම - කුරුලු විමන
ස්ථානය - පන්ති කාමරයේ තෝරා ගත් කුඩා ඉඩක් හෝ එළිමහනේ පවිත්‍ර නිදහස් තැනක්
හදන්නේ කොහොම ද ?
කුරුලු ආකෘති, කුරුලු චිත්‍ර, කුරුලු පින්තූර,කුරුලු පිහාටු, කුරුලු කූඩු,
කුරුල්ලන්ගේ විවිධ චර්යා ඇතුළත් රූප රාමු, කුරුල්ලන්ට වතුර,
කුරුල්ලන් ප්‍රිය කරන ආහාර ආදී එකතුවක් ගෙන, උචිත ලෙස ස්ථානගත කරන්න.කුඩා අතු, දැව කදන්, ඒවායේ කුඩා බෙනවල මෙම කූඩු හා කුරුල්ලන් රදවා ඔවුන් ප්‍රිය කරන ආහාර හා පානීය ජලය ද, ස්නානය සදහා ජලය ද තබන්න.කුරුලු පරිසරයකට උචිත යැයි සිතන තවත් දේ මේ සදහා එකතු කර ගත හැකිය.කුරුල්ලන් පිළිබද රසවත් කතා, සිදුවීම්, ගීත මෙන්ම කුරුලු ලොවේ අසිරිමත් සිදුවීම් ද තවදුරටත් කුරුලු විමනට එකතු කළ හැකිය.මේ අයුරින් සුන්දර කුරුලු විමන සැලසුම් කළ හැකිය.
මෙසේ නිම වූ කුරුලු විමන ප්‍රාථමික ශිෂ්‍යයාගේ චතුර්විධ භාෂා කුසලතා සංවර්ධනයට සුන්දර හා විවිධත්වයෙන්ද, අර්ථවත්ව ද යොදා ගත හැකිය.කුරුලු හඩ, නාදය, නාද රටාවලට සවන් දීම, නාදවල විවිධත්වය ඇසුරින් විභේදන කුසලතා සංවර්ධනය,කුරුලු තොරතුරුවලට සවන් දීම, කුරුල්ලන් පිළිබද නෑසූ කතා හා පුවත්වලට සවන් දීම,කුරුල්ලන් වසන පරිසරයට සවන් දීම, කුරුල්ලන් පිළිබද ගැයෙන ගීත හා පද්‍යවලට සවන් දීමට සිසුන් යොමු කිරීම තුළින් ඔවුන් තුළ සවන් දීමේ කුසලතා හා ශ්‍රවණ විභේදන කුසලතා මූලික වශයෙන් සංවර්ධනය කළ හැකිය. අවබෝධයෙන් හා අවධානයෙන් සවන් දීම,ඇසූ දේ මතකයට නැගීම,සවන් දුන් දේ සටහන් කිරීම ආදි ලෙස සවන් දීමේ ක්‍රියාකාරකම් සැලසුම් කළ හැකිය. සියොතුන් හා එම පරිසරය පිළිබද ව කතාකිරීමට, කුරුලු සුරතලුන් ඇමතීමට, කුරුලු දසුන් තුළින් විදි අත්දැකීම්ප්රකාශනයට,සුන්දර පරිසරය පිළිබද ව එකිනෙකා සමග මිමිණිමට,සංවාදයේ යෙදෙමින් අත්දැකීම් හුවමාරුවට, කුරුල්ලන් පිළිබද ඇතිතොරතුරු ගොනුවලින් සොයා ගත් විස්තර අන්‍යයන්ට පැවසීමට,තමසිත් ගත් පක්ෂීන් තෝරා ඔවුන් පිළිබද ව කතා කිරීමට, කව් කතා කීමට,සාකච්ඡාවට, බුහුටි ලෙස කතා කිරීමට,චතුර කථනයට,නිර්මාණාත්මක කථනයට අවස්ථා ලබා දෙමින් ශිෂ්‍යයාගේ කථන කුසලතා සංවර්ධනයට පසුබිම සැකසිය හැකිය.
මේ සුුන්දර හා විචිත්‍රවත් අවස්ථාව තවදුරටත් වර්ණවත් හා අර්ථවත් කිරීම් වස්,කියවීමේ අවස්ථා මීට ඇතුළත් කළ හැකිය. කුරුල්ලන් පිළිබද ව රැස් කර තිබෙන තොරතුරු ගොනුවට සමීප ව මෙම අත්දැකීම ලබා ගත හැකිය. කුරුලු ලොව අසිරිමත් පුවත්, විරල තොරතුරු,ගීත හා ඒවා හා බැදි තකා, කතාන්දර,වෙනත් ආවේණික විශේෂතා, කාඩ් පත්වල සදහන් කර ඇති කුරුල්ලන්ගේ නම් කියවීම,හැඩ ඇතුළත් චර්යා රටා, අවස්ථාවන්ට අනුගත වන ස්වරූප හා ඇවතුම් පැවතුම් ද, නාද අනුකරණය ද ඇසුරින් කියවීමේ කුසලතා සදහා අවස්ථා ලබා දිය හැකිය.තවදුරටත් අරුත් හැගවෙන සේ කියවීම, අර්ථය අවබෝධ කර ගනිමින් කියවීම,කරුණු හා තොරතුරු රැස් කර ගැනීම සදහා නිහඩ කියවීම,වින්දනය සදහා කියවීම ආදී ව ඉහළ ට ව්‍යාප්ත වන ආකාරයට සැලසුම් කිරීමෙන් ප්‍රාථමික පාසලටම මෙය යොදා ගත හැකිය. මේ ආකාරයට පන්තිමට්ටම අනුව අකුරු, වචන, වාක්‍යය, නිර්මාණාත්මක කියවීම ආදියට දරුවා යොමු කළ හැකිය.
ලිවීමේ යාන්ත්‍රික දක්ෂතා වර්ධනය, ලිඛිත බසට නැඹුරු ලේඛනය කුරුල්ලන්ගේ නම් ලිවීම, ඒ ආශ්රිත අත්දැකීම් ලිවීම,කව් ගී, සංවාද ලිවීම, තමන් විදි චමත්කාරය ලිවීම,කුරුල්ලන්ට ලිපි ලිවීම,ඔවුන්ගේ සුන්දරත්වය ඔවුන්ට ම ලිවීම,ඔවුන්ගේ හැඩ ඇතුළත් බාහිර ස්වරූපය ලිවීම, මේ සුන්දර මොහොත පිළිබද ලිවීම ආදී වශයෙන් ඒ ඒ පන්තියට යෝග්‍ය වන පරිදි ලිවීමේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීම මගින් ළමයාගේ ලිවීම ආශ්රිත භාෂා කුසලතා සංවර්ධනය කළ හැකිය.
මෙපමණක් නොව ශිෂ්‍ය සෞන්දර්යාත්මක චින්තනය අවදි කිරීමට ද මෙය අවස්ථාවක් කොට ගත හැකිය.නාද අනුකරණ, ගීත ගායනය,චර්යා අනුකරණය, කුරුලු ගෙදර භූමිකා නිරූපණය,අසිරිමත් කුරුලු ලෝකය පිළිබද රසවත් කතාන්දර එම ශෛලියෙන් ඉදිරිපත් කිරීම,කුරුලු ලොවට සතුට හා සාමය කැන්දන එකමුතුවේ තරම පෙන්වන නිරූපණ,කුරුලු සංවාද, කුරුලු ලොව සිත්තම් කිරීම,කුරුලු ලොව දැනමුත්තා නිරූපණය,කුරුලු මා පියන් පැටවුන් රැකීමට වෙහෙසෙන ආකාරය රංගනයට දඅවස්ථා ලබා දීම තුළින් දරුවාගේ සෞන්දර්යාත්මක කුසලතා අවදි කළ හැකිය. ප්‍රාථමික ශිෂ්‍යයාගේ හදවතේ අභිවර්ධනයට මෙබදු නිදහස් හා නිර්මාණාත්මක අවස්ථා අත්යවශ්යයමය.මින් ඔපවත් වන ප්රබෝධය හා ප්‍රමෝදය ශිෂ්‍යයා බොහෝ දුර ගෙනයාමට පදනමක් වෙයි.
මින් නතර නොවේ. විශ්වයේ වසන පවුල් දෙකක් වශයෙන් අපෙන් සතුන්ට ඉටු විය යුතු යුතුකම් කොටස ද මෙහි දී ම ශිෂ්‍යයා වෙත ගමන් කරනු ද ඇත. මානව දයාව සංරක්ෂණ සංකල්පය, සදාචාරවත් වී ම,ඔවුන්ට ද ලෝකය අයිති බව,ඔවුන් විශ්වයට වුවමනා බව සමග ම තවදුරට යමින් අනෙක් ප්‍රාථමික විෂයයන් හි ඉගෙනුම් අවස්ථා සමග ද මෙය සමෝධානය කළ හැකිය. ඒ ඔස්සේ ශිෂ්‍ය චින්තනය විවිධ දිසාවන්ට අවදි කළ හැකිය.සිසුවා තුළ නිරීක්ෂණ, පරීක්ෂණ, විභේදන, ගවේෂණ, සංරක්ෂණ, නිර්මාණාත්මක, විද්‍යාත්මක,තර්කානුකූල, විමර්ශනාත්මක චින්තන ආදි කුසලතා රාශියක් සංවර්ධනය කළ හැකිය. ඉහළ ශ්‍රේණිවලට ගමන් කරන ශිෂ්‍යයාට විද්‍යාව, ගණිතය,සෞන්දර්යය ආදි විෂයයන් ඉගෙනුමට පදනම දමන්නකි.
මෙතැනින් නොනැවතී මෙම අවස්ථාව වාචික ඉංග්‍රීසි හා දෙමළ භාෂා කුසලතා වර්ධනය දක්වා ද ව්‍යාප්ත කළ හැකිය.සමස්ත ඉගෙනුම මව්බස සමග සමෝධානය කරමින් ඉගෙනුම් අවස්ථාව සැලසුම් කළ හැකිය.මෙබදු ඉගෙනුම් අවස්ථා තුළින් ශිෂ්‍යයා තුළ සංවර්ධනය වන්නේ, චතුර්විධ භාෂා කුසලතා පමණක් නොව, අධ්‍යාපනය යයි අප අවධාරණය කරන බහුවිධ වටිනාකම්ය. කුරුලු විමන වැනි කුඩා ඉගෙනුම් අවස්ථාවක් කරණ කොට ගෙන ජීවිතය වටා ගොනු වන සතුට, විනය, මානසික තෘප්තිය,මානසික අභ්‍යාසය,චිත්ත ඒකාග්‍රතාව,පිබිදෙන නිර්මාපී චින්තනය, සංවේදීත්වය, නිරීක්ෂණ, පරීක්ෂණ ඈ කුසලතා ආදි ඉතා වැදගත්. මේ සියල් හරහා හැඩ වූයේ අනෙකක් නොව ළමයාගේ පෞරුෂය යි. ලෝකය ආස්වාදනය කිරීමට අවැසි පෞරුෂය යි. ලෝකය ඇමතීමට අවැසි පෞරුෂය යි. ලෝකයට සවන්දිමට අවැසි පෞරුෂය යි.ලෝකය විදීමට අවැසි පෞරුෂය යි.ලොවට සේවය කිරීමට අවැසි පෞරුෂය යි. ලොවට මුහු වී මට අවැසි පෞරුෂය යි.
ලෝකය කියවීම නම් ළමයා ලෝකයට විවෘත විය යුතුය. පරිසරය ඇසුරින් හා ඒ ඇසුරින් උපයා සපයා ගත් දෙයින් යමක් නිර්මාණය කිරීමෙන් ළමයි ඉමහත් සතුටක් ලබති. නිදහසේ මෙබදු ක්‍රියාකාරකම්වල නිරත වී මෙන් ළමුන්ගේ චාලක වර්ධනය ද, බුද්ධිමය ශක්තිය ද, වින්දන ශක්තිය ද වැඩේ. සෙල්ලම් කඩය , කුරුලු විමන වැනි අති සියුම් සුන්දර තැන් ළමයාගේ නිර්මාණාත්මක චින්තනය අවදි වන අවස්ථා වශයෙන් ගිණිය හැකිය. මෙබදු නිර්මාණාත්මක චින්තනය අවදි වන පරිසර තත්ත්ව යටතේ ළමුන්ගේ සහජ ශක්තීන් ප්‍රබෝධවත් වී පූර්ණ ලෙස වර්ධනය වන බව මනෝ විද්‍යඥයින්ගේ පවා මතයයි. ඇතම් විට ළමයා ජීවත් වන සංකීර්ණ පරිසරය ස්වකීය නිර්මාණ චින්තනය අවදි කිරීමෙහි ලා කරනු ලබන බලපෑම මද විය හැකිය. එබැවින් දරුවාගේ නිර්මාණ චින්තනය, නිර්මාණ ශක්තිය පුබුදන පරිසරයක් ඇති කිරීම ප්‍රාථමික පාසලේ වගකීමයි. මේ ආකාරයට පරිසරයට බද්ධ කර චතුර්විධ භාෂා කුසලතා වර්ධනයට පියවර ගැනීමෙන් ළමයාගේ භාෂා දක්ෂතා පමණක් නොව නිර්මාපී දක්ෂතා ද අවදි කළ හැකිය. නිර්මාණාත්මක චින්තනය අවදි වීම යනු, ස්වකීය පෞරුෂය ගොඩනැංවීමෙහි ලා අතිශය වැදගත් සාධකයකි. ලෝකය කියවීමට අවශ්‍ය සවියකි. නිසි වයසට, නිසි පරිණතියට අවශ්‍ය භාෂා ප්රාගුණ්යය යනු , තමන් තුළ සැගවී සිටින නිර්මාණකරුවා පිටතට මතු කර ගන්නකි.මේ සියල් ඔස්සේ ළමයා ලබන ගැඹුරු මානසික තෘප්තිය ඇතුළත් ආස්වාදය විසින් ගොඩ නගන්නේ ඔහුගේ පෞරුෂය යි.මෙම තත්ත්වය දරුවා සාහිත්‍යය ඇසුරු කිරීමට පොළඹවන පරිසරය ද විය හැකියි. ළමා වියේ නිසගයෙන් ම පරිසරයට යොමු වන දරුවාට ඒ ඇසුරින් බොහෝ සෞන්දර්යාත්මක අත්දැකීම් ලැබිය හැකිය. දරුවාට සමීප ජීවී අජීවී සුරතලුන් හා වීරයින් එහි අපමණ ය. මේ සියල්ලෝ දරුවාගේ ලොව සොදුරු කරන්නාහ. මේ ඇසුරින් දරුවාගේ අත්දැකීම් පෘථුල වන විට දරුවා තුළ කුහුල වැඩේ.තමන්ට සමීප හා තමන්ට අතිශය ප්‍රිය වූ ලෝකය මතුපිටින් ස්පර්ශ කිරිමට සමීප ව සිටි දරුවා ඉන් නොනැවති එහි ගැඹුර සොයයි. ගැඹුරේ සැගවි සුන්දරත්වය සොයයි. මෙය සාහිත්‍ය විදීමේ ආරම්භයයි. ඒබ්‍රහම් මාෂ්ලෝට අනුව සෞන්දර්යාත්මක අවශ්‍යතා ද ළමයාට අවශ්‍යය. භාෂා හැකියාව මේ සදහා බෙහෙවින් පදනම වනු ඇත. ළමයාගේ මොළයේ බොහෝ කුටීර අවදි කරවීමට තරම් සමත් භාෂා පරිචයක් ඔහු සතු විය යුතු ය.
චතුර්විධ භාෂා කුසලතා තවදුරටත් ළමයා තුළ සංකල්ප සාධනයෙහි ලා අතිශයින් වැදගත් වේ.පංචේන්ද්‍රියයන් මගින් ලබන අත්දැකීම් අර්ථවත් රටාවකට ගොනු කර ගැනීම තුළින් සංකල්ප සාධනයට ද භාෂාව වැදගත් වන හෙයින්, එම ඉන්ද්රිය ප්‍රතිබිම්බ ස්ථිර චිත්තරූප බවට පත් කර ගැනීමට ද චතුර්විධ භාෂා කුසලතා මැනවින් සාධනය වන පසුබිම සැකසිය යුතුය.එබැවින් භාෂා කුසලතා සංවර්ධනය යනු, ලෝකයේ දිගු ගමනක් යාමට මංපෙත් විවර කර දීමකි.
අධ්‍යාපනය ළමයාගේ මානව අයිතියකි. 1989.11.20 වන දින එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් සම්මත කළ 1990.09.02 දින වලංගුභාවයට පත් වූ, 1991.07.12 ශ්‍රී ලංකාව ද අනුමැතිය ලබා දුන් ළමා අයිතිවාසිකම් ප්රඥප්තියේ ළමුන් සම්බන්ධයෙන් වන එක් ක්ෂේත්රයක් වන්නේ, සංවර්ධනය සදහා අයිතියයි. ( Development Rights ) ස්වකීය පූර්ණ හැකියාවන් අනුව සංවර්ධනය වී මට සෑම ළමයාට ම අවස්ථාව ලබා දීම , අධ්‍යාපනය ලැබීමට , විවේකයට හා විනෝදයට ,සංස්කෘතික කටයුතුවල යෙදිමට අයිතිය සහතික කර තිබේ. මෙ අයිතිවාසිකම් ප්‍රායෝගික යථාර්ථයක් කිරිමට අධ්‍යාපනය ඍජු දායකත්වයක් දක්වන බව පෙනේ. ළමුන් ළමුන් මිස කුඩා මිනිසුන් නොවන බැවින් ඔවුන්ට ජීවිත මග දිගේ ඉදිරියට ගමන් කිරීමට උචිත මාවත තැනිය යුතුය. මෙහි මුල් පියවර ප්‍රාථමික අධ්‍යාපනයයි. එහි ද සවිමත් පදනම චතුර්විධ භාෂා කුසලතායි. මෙම කුසලතා සංවර්ධනය කිරීම වනාහී ලෝකය කියවීමට මං පෙත විවර කිරී ම යි.ඒ මං පෙතේ ළමයා ගමන් කරන්නේ අනෙකකට නොව ලෝකය කියවීම ටයි.