පී.එම්.එල්. සඳරුවන් අබේරත්න
ගීතයක නාද මාධුර්යය සවන වැකෙන මොහොතේ සිට ගීතයේ විචිත්රත්වය රසිකයාගේ මනෝභාවයන් ප්රබෝධයට පත් කරයි. එබැවින්ම ඒ ගීතය රසික මනසේ රසය ජනනය කරයි. ගීතය සාහිත්‍යයේත් සංගීතයේත් සුසංයෝගයයි. සිංහලයෙහි ගී පද, ගෙය පද ලෙස හඳුන්වනු ලබන ගීත සාහිත්‍ය පාලියෙදී ගීත ලෙස ද සංස්කෘතයෙ හිදී ගීත, ගාන, ගීතී ගේය යන නම් වලින් ද හැඳින්වේ. “ගීත ඉති ගීතම්” ගයනුයේ ගීතයයි. පද රචනයක් ගීතයක් බවට පත් කිරීමට නම් නිර්මාණකරණයෙහි ප්‍රතිභාව ඇති සංගීතඥයකු සිටිය යුතුය. කාව්‍ය රචකයා පද සරසා ගීතයක් නිර්මාණය කරන සේම සංගීතඥයා ස්වර හසුරවා මධුර අරුත්බර තනුවක් නිර්මාණය කරයි.
කවියෙහි හා සංගීතයෙහි මුණ ගැසීම ඔස්සේ ගීතය නිර්මාණය වීමේ දී කාව්‍යයෙහි රසය මිය යන්නේ ය යන්න ඇතැමුන්ගේ මතය වුවද ගීතයේ මිහිර තීව්ර කිරීමට සංගීතයට හැකි වී ඇති අයුරු ද හඳුනා ගත හැකිය. අරුත් රසයට මුල් තැන දෙන කවියත් ශබ්ද රසයට ප්‍රමුඛතාවය දෙන ගීතයත් යන ද්වයෙහිම අර්ථ රසය හීනවූ තැන ඇති අගයක් නැත. සරල ගී ශාස්ත්‍රීය ගී වශයෙන් ගීතයෙහි අංග දෙකකි. ශාස්ත්‍රීය ගීතය ස්වර, ආලාප, තානලංකාර රාග ආදියෙන් සමන්විත සංගීත ශාස්ත්‍රයට අදාළ අංගයකි. එහි නිර්මාපකයා සංගීතඥයාය.
සරල ගීතය, සාහිත්‍ය හා සංගීතයේ සුසංයෝගයෙන් නිමැවුණු ශ්‍රවණ ගෝචර ගීතයයි. එකම පද රචනයකට තනු රචකයාගෙන් රචකයාට ගායකයා ගෙන් ගායකයාට අපූර්වත්වයක් ජනිත කරයි.
එක පුද්ගල මාධ්‍යයක් වූ කවිය සංගීතය හා සංයෝග වී ගීතයක් බවට පත්වීමේදී බහු පුද්ගල මාධ්‍යයක් බවට පත්වේ. පළමුව ශ්‍රවණෙන්ද්‍රිය ද පසුව බුද්ධි හා භාව ඉන්ද්රියයන් ද පිනවන ගීතය ශබ්ද ධ්වනියට ප්‍රමුඛතාව දේ. එළිසමය අනුප්රාස යමක ශ්රැති ශබ්දාලංකාර භාවිත කරන කවියෙහි පුනරුක්ති දූෂිත යැයි සැලැකුව ද ගීතයේ දී පුනරුක්ති භූෂණයක් සේ සැලැකේ.
කවියකු වීමට පුද්ගලයකු හට සහජ ප්‍රතිභාව, බහුශ්‍රැත බව හා සතතාභ්‍යාසය අවශ්‍ය වේ. කාව්‍යයෙහි ඇති ශබ්ද ධ්වනිය අර්ථ ධ්වනිය මුල්කොට පවතින්නකි. විශ්වනාථයෝ “වාක්‍යම් රසාතිමකං කාව්‍යම්” කීහ. “කාව්‍යං විශිෂ්ට ශබ්දාර්ථ සාහිත්‍ය සදළං කෘති” යනුවෙන් කණ්ඨාභරණ දක්වයි. කවියේ ආත්මය වන්නේ රසයයි. එය අර්ථයෙහි හා ශබ්දයෙහි ප්රතිඵලයකි.
සිංහලයෙහි පද්‍ය කාව්‍ය, ගද්‍ය කාව්‍ය, දෘශ්‍ය කාව්‍ය, චම්පු කාව්‍ය, ගේය කාව්‍ය වශයෙන් කාව්‍ය ප්‍රභේද රැසකි.
ගේය කාව්‍යයේ ගීත නිබන්ධන හෙවත් සාහිත්යික පද රචනය හැඳින්වේ. සංගීතයේ දී අපට හමුවන ගීතය ශබ්ද රසය මුල් වූ රාගයක් අනුව විධිමත් ලෙස ස්වර රචනාවක් පාදක කොට ගනිමින් ගායනා කළ හැකි ප්රබන්ධයකි.
බ්‍රිටැනිකා විශ්ව කෝෂය ගීතය (Song) හඳුන්වා ඇත්තේ සංගීත භාණ්ඩයන්හි අනුවාදනය ඇතිව හෝ නැතිව කටහඬ උපයෝගී කර ඉදිරිපත් කරන සංගීතය වශයෙනි. පද භාවිතය ගීයක පූර්ව අවශ්‍යතාවකි. එහෙත් එය කවියක මෙන් බුද්ධිගෝචර නොවේ. කටහඬ හා සංගීතය එක්ව බැඳීම හේතුවෙන් වචනයේ ශක්තිය තීව්ර වන අතර එය ශ්රවණගෝචරය.
පොදු ජනයා භාවිත කරන භාෂාවම භාවිත කරමින් ගී පද නිර්මාණය කරන පද රචකයා කථනයේදී දක්නට නොලැබෙන භාව ප්රකාශනයක් ගීතයෙන් ඉදිරිපත් කරයි. ශාරංග දේවයන් සංගීත රත්නාකරය නම් කෘතියේ
සුස්වරං සරසං චෛව
සරාගං මධුරාක්ෂරං
සාලංකාර සප්‍රමාණං
ෂඩිවිධමි ගීත ලක්ෂණම්
ස්වර මනා ලෙස පිහිටා තිබීම, රසය ගැබ් වීම රාගයක් සහිත වීම, මියුරු අකුරු සහිත වීම අලංකාරයන්ගෙන් යුක්ත අවශ්‍ය ප්‍රමාණයේ රචනයක් වීම ගීතයක ලක්ෂණ ලෙස දක්වා ඇත.
සත්වන සියවසේ භාමන අලංකාරය කාව්‍යයේ මුඛ්‍යාංගය ලෙසත්, නව වැනි සියවසේ ආනන්ද වර්ධන ධ්වනය කාව්‍යයේ ආත්මය ලෙසත් දක්වා ඇත. එකොළොස් වැනි සියවසේ දී කුන්තක කාව්‍යයේ ආත්මය වක්‍රොක්තිය ලෙස දක්වා ඇත. විශ්වනාථය රස - ධ්වන දෙක කෙරෙහිම අවධානය යොමුකර තිබේ. ගීතයේ සාහිත්යික අගය වර්ධනය කර ගැනීමට අලංකාරය වක්‍රොක්ති, රස හා ධ්වනි යන සියලු අංගයෝ අවශ්‍ය වේ. ජන වහර, කට වහර, බස් වහර භාවිත කරමින් සැබෑ කවියා නද පබඳ - පද පබඳ බවට පත් කරයි. සැබෑ කාව්‍ය රචකයාගේ වගකීම වන්නේ නව්‍ය තාවය කරා යාමේදී සම්ප්රදායේ ආස්වාදය විඳිමින් භාෂාව භාවිත කිරීමය.
අනෝතප්ත විල නෙලුම නෙළාලා
පීරා වරළස මල් ගවසාලා
නාග ලොවින් බට නාලිය ගමනින්
වරඟන පිරිවරිනා - එරන්දතිය එනවා
සිතක උපන්දොළ...
ඊට උදාහරණ සේ දැක්විය හැකිය.
ගීතය කාව්‍ය අංගයක් වන කල්හි එහි අර්ථ රසයක් නොවන්නේ නම් සාහිත්‍යයේ වචන භාවිතයේ සාර්ථකත්වයක් දැකිය නොහැකිය.
ගීතය සංකීර්ණ අත්දැකීම් හා සංකීර්ණ මනෝභාවයන් ප්‍රකට කරන සරල සුගම මාධ්‍යයකි. ගීත සාහිත්‍යයේ දියුණුවක් අරමුණු කරන්නේ නම් අප දාර්ශනික කවිතාව කරා ගමන් කළ යුතුය. එසේ දාර්ශනික කවිතාව පාදක කරගත් ගී රැසක් සිංහල ගීත සාහිත්‍යයේදී අපට දැක ගත හැකි වනු ඇත. දාර්ශනික කවිතාව ලෙස මෙහිදී දක්වනු ලබන්නේ මතුපිටින් පෙනෙන සරල සුගම භාෂාවෙහි පද සංඝටක රීතී උපමා රූපක, භාෂාව භාවිත කරන විධි ක්‍රමය අනුව දාර්ශනික සංකල්ප මතු කිරීමයි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ
ඉරහඳ පායන ලෝකේ
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
උකුලෙ ළමැදේ
සම බර උසුලන
ගැමිලිය යන ගමනේ
කදුවැටි ගංගා සාගර එක සේ
පොළොවට සමබර වේ
ලෝකයේ සමතුලිත බව පිළිබඳ දාර්ශනික මතයක් ඉදිරිපත් කළ ගීයකි.
එමෙන්ම මහගමසේකරයන්ගේ සන්නාලියනේ ගීතය ද එවන් අපූරු චින්තාවක් සරලව ඉදිරිපත් කරයි. (මහගමසේකරයෝ ඊට සරෝජනී නායිඳු පෙරදිග කිවිඳියගේ ආභාසය ඊට ලබා ඇත.)
මඩවල එස්. රත්නායකගේ “නිල් මහනෙල් මල් පිපුණා” එවැන්නකි. එහි එන
“දිගින් දිගට කාලය ගෙව්නා...
මල් වැරුණා මංගල උයනේ
ලස්සන කෝ කොයි අත ද ගියේ”
අනිත්‍යතාව පිළිබඳ දාර්ශනිකතාව මතු කරයි.
දාර්ශනික කවිතාව පිළිබඳ ප්රත්යාවේශනය කරද්දී කාලයාගේ බලපෑම, අනිත්‍යතාවය බලපෑම හා එමඟින් මතුවන සුන්දරත්වය පිළිබඳ අවධානය යොමුකළ යුතුයි. “පෙර දිනයක මා පෙම් කළ යුවතිය” නම් ආචාර්ය පණ්ඩිත් අමරදේව ගයන ගීතයේ
“නුරාව වෙනුවට ඉඳුනිල් දෙනුවන
දයාව වෑහෙනවා
හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
නෙත් අදහන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකී යනවා
එදා වගේ තවමත් වැට අද්දර
නාමල් පූදිනවා...”
යනුවෙන් දාර්ශනික කවිතාව මතු කිරීමට උත්සාහ දරා ඇති අයුරු පෙන්වා දිය හැකිය.
ගීතයට මධුරත්වය ආරෝපණය කරන්නේ භාෂාවයි. අපි අවධානයට භාජනය නොකළත් කුමාරණතුංග මුනිදාස භාෂා පඬිවරයාගේ ගීත හා කාව්‍ය සාහිත්‍ය සිංහල ගීත සාහිත්‍යයට ප්‍රබල බලපෑමක් කළේ ය.
මහගමසේකරයන් “ඔහුගේ දේශානුරාගී ගීත සාහිත්‍ය ගොඩනැංවීමට ආවේශය හා අවධානය කුමාරතුංග මුනිදාසයන්ගේ හෙළ මියැසියෙන් ලැබු බව ප්‍රකාශ කර ඇත.
සිංහල ගීතය සඳහා සුදුසු භාෂාවක් නිර්මාණය කර ගැනීමට කුමාරතුංගයන් ගේ භාෂා භාවිතය උපකාරි වී ඇත. ඒ හැරුණු විට ගීතයට ආකෘතියක් නිර්මාණය කර ගැනීමෙහි ලා කුමාරතුංගයන් ගේ පිය සමර උපයෝගී වී තිබේ. කුමාරතුංග පඬිවරයාගේ භාෂාව සහ නිර්මාණ සාහිත්‍යය වත්මනෙහි අප නොසලකා හැරිය ද එය අදෘෂ්‍යමාන හස්තයක් සේ ගීත සාහිත්‍යයේ උන්නතියට බලපෑම් කළේ ය.
“සඳපානේ වැලි තලා
සඳ කුමාරියො මල සලා...”
ගීතය ලෙස බැලුවත් කවියක් ලෙස බැලුවත් පාඨක අවධානය දිනා ගැනීමට සමත්ය. කුමාරතුංගයන් මතු කළ ප්රාණලීය භාෂා රීතියේ ගමන් කරමින් අරිසෙන් අහුබුදුහු ජන වහර, බස් වහර, ගැමි වහර ප්‍රයෝජනයට ගෙන ජන ගීතයෙන් අලුත් ආකෘති නිර්මාණ කරමින් ද නෙකාකාරයේ අත්හදා බැලීම් කළ ඒ අතර
ලොව්තුරු පෙම් වතුරේ
නාවමි ඔබ මිහිරේ
ගීතය මෙන්ම
අතු අගැ දිළි වන මල් - පිපෙන්නා
විඳැ විඳැ සඳ සිහි ලැල්
ම සිත් ඔබ හද සිහිලැල් - ලබාලා
පරයයි ඒ හැම මල්
දැක්විය හැකිය.
මුනිදාස කුමාරතුංගයන් ගේ හා අරිසෙන් අහුබුදුවන් ගේ ගී වල ඇත්තේ භාෂාවෙන් මතු කරගත් ‘ශුද්ධ’ රීතියකි. ඒවායෙහි උපමා රූපක බහුල නැත. මේ කලාපයේ කිසිදු භාෂාවක නැති කොමළ බවක් සිංහලයෙහි ඇත. එම කෝමළ බවින් උපරීම ප්‍රයෝජන ගත්තේ ඔවුහුය.
මහගමසේකර, මඩවල ඇතුළු අප පරපුරේ ගීත රචකයන්ගේ නිර්මාණ කෙරෙහි තාගෝර්, ඔමාර් ඛයියාම්, ඛලීල් ජිබ්රාන්, සරෝජනී නායිඳු වැනි දාර්ශනික කවීන්ගේ ආභාසය ලැබිණි. එමෙන්ම සිංහල ගීතයේ උන්නතිය කෙරෙහි මුනිදාස කුමාරතුංගයන්ගේ ශුද්ධ රීතිය ද බලපෑම් කළේ ය.
ගීතයේ ආකෘතිය නිර්මාණය කර ගැනීමේ දී ජන ගී හා වන්නම් මෙන් ම කලින් කීවා සේ කුමාරතුංග පඬිවරයාගේ පිය සමර ද බලපෑම් කර ඇත.
උදාහරණ ලෙස තුරඟා වන්නම භාවිත වූ ගීතයක් ලෙස “රන්වන් කරල් සැලෙයි” ගීතය දැක්විය හැකිය.
ආනන්ද සමරකෝන් ගේ නිර්මාණ කෙරෙහි බොහෝ සෙයින් බලපෑම් කරන ලද්දේ රවින්ද්‍රනාත් තාගෝර ගේ සාහිත්‍යය ආභාසයයි. වරක් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ආනන්ද සමරකෝන් ගේ “ඇගේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ” ගීතය සිංහල ගීත සාහිත්‍යයේ හැරවුම් ලක්ෂය ලෙස හඳුන්වා දී ඇත.
තාගෝර්ගේ දාර්ශනික කවිතාවට උපනිෂද් දර්ශනයේ හා බෞද්ධ දර්ශනයේ මෙන්ම බාවුල් වරුන්ගේ බලපෑම ද ලැබී ඇත.
බුද්ධ භාෂිතයෙන් මදක් ඔබ්බට ගිය තැන ත්‍රිපිටක සාහිත්‍යයේදී සැබෑ බෞද්ධ ගීතය හඳුනාගත හැකිය. ඒ ථෙර ථෙරී ගාථාවන්ගෙනි. ඇතැම් ථෙරි ගීයක විවර්ණිත ශෘංගාරාත්මක අවස්ථාවන් ගෙන් හා රාග නිශි‍්‍රත භාවයෙන් ආඪ්‍යය සුභා ථෙරණියගේ ගාථා,
කුසුමිත සිඛාරාව පාදපා
අභි ගචිඡන්ති බාල ථෙරිතා
කා තුය්හං රති භවිස්සති
යදී එකා වන මෝත රිස්සසී
ලෞකික විෂය ක්ෂේත්රයක් වූ ගීත නිර්මාණයෙහි නිම් වළලු පුළුල් කිරීමට බුදුන් සතු වූ නිර්මාණ ශක්තියත් සෞන්දර්ය විඥානයත් බලපෑවේ ය.
දිග නිකායේ සක්කපඤ්හ සූත්‍රයේ පඤ්ච සිකයා සූරිය වච්චයා පිළිබඳ ව ගයන රාගනිශි්රත ගායනය වන
සීතොදකං පොක්ඛාණි
යුත්ත කිඤ්ජක්ඛ රේණුනා
නාගෝ සම්මාහි තත්තෝච
ඕගා හේ තේ ථනුදරං
යන ගීතය අසා එය අගය කළේ ය.
ගීතයට සංගීතය පමණක් නොව වචන ද අවශ්‍ය ය. ගීත සාහිත්‍ය දියුණු කරන්නට නම් විචාරක මතවාදයන්ට යට නොවී ආධුනිකයන් නිදහසේ පූර්වාදර්ශ සපයා ගනිමින් නිවහල් චින්තනයෙන් යුතුව අවිඥානක ව ගලා එන වචන අවබෝධයෙන් යුතුව භාවිත කළ යුතුයි. ඒ සඳහා නිර්මාණකරුවාට මනා භාෂා ශක්‍යතාව අවශ්‍ය වේ.
නිර්මාණකරුවා මුළුමහත් භාෂාවෙන්ම ප්‍රයෝජන ගත යුතුයි. උසස් නිර්මාණකරුවන් අතින් ලෙවි ලැකිය කවි ලැකිය බවට පත් වේ.
කට වහරින් ලියු ජනපි‍්‍රය ඉතා රසවත් අර්ථවත් ගී සිංහල ගීත සාහිත්‍යයේ දක්නට ලැබේ. ඒ අතර,
“පිපී පිපී රේණු නටන මලින් මලට රොක් වෙලා”
“පෘථුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා”
“ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල” වැනි
ගීත දැක්විය හැකිය.
උසස් ගීතයක සරල බස් වහරෙන් ධ්වනිත වන රසයත් විනෝදයත් ගැඹුරු සන්නිවේදනයන් තිබිය යුතුයි. එවන් ගීත සාහිත්‍යයක් සදාකල් පවතිනවා ඇත. ඊට හොඳ ම උදාහරණය වන්නේ සුනිල් සාන්තයන්, කුමාරතුංග මුනිදාසයන් වැනි හෙළ හවුලේ රචකයන් ගේ ගීතය. ඒ අතර,
“මල් මල් වාරම් හරිම උදාරම්”
මිහිකත නළවාලා
පුදමු මේ කුසුම්
වැනි ගී දක්වන්න හැකියාව ඇත.
අරිසෙන් අහුබුදු ජන කවි ආර භාවිත කරමින්
“කටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුණා” ගීතය නිර්මාණය කළා.
නාට්‍ය දෘෂ්‍ය කාව්‍ය ලෙස හඳුන්වනවා. නාට්‍යයකට ගීතයකින් ලැබෙන්නේ ආලෝකයක්. පසුතල නිර්මාණයට යන වියදම හොඳ ගීතයක් භාවිතයෙන් ඉතිරිකර ගන්න නාට්‍යකරුවාට හැකියාව තිබේ. නාට්‍යයක හැඟීම් හා භාවයන් ප්‍රකාශ කිරීමට ගීතය භාවිත කරන්නට හැකිය. දෘෂ්‍ය කාව්‍යයේදී ගීතය විචිත්‍රවත් ලෙස එදිරිවීර සරච්චන්ද්‍රයන් භාවිත කළ අයුරු බලමු.
“දස දෙස ඉනුදු මම වෙමි නිරින්දු”
සිංහබාහු නාට්‍යයේදී මෙන්ම මනමේ නාට්‍යයේදීත් ගීතය සමඟ මිහිර මතුකර ගන්න සරච්චන්ද්‍රයෝ සමත් වූහ.
මනමේ නාට්‍යයේදී සැරසිලිවලින් තොර වේදිකාවේ වනයක සිරිය පේ්රක්ෂක මනසට ගෙන එන්නට සරච්චන්ද්‍රයෝ සමත් වන්නේ ගීතයක් භාවිතයෙනි.
ප්‍රේමයෙන් මනරංජිත වේ නන්දිත වේ
පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ
ආලයෙන් වෙලි සැදිමෙ ලතා
මණ්ඩපයෙන් චාණ්ඩාතප ඛන්චිත වේ
හිරු රජිහුගේ
කෝකිල හඬ කන් පිනවයි රන් ස්වරයයි...”
වනයේ සිරිය ගෙන එන්නට එදිරිවීර සරච්චන්ද්‍රයන්ට භාෂාව බාධාවක් වී නැතිව සේම සංගීතඥයාට ද භාෂාව බාධාවක් වී නැත. බස පැරැණි යැයි නිර්මාණකරුවා අතැර දැමිය යුතු නොවේ. තම නිර්මාණය රසික මනසේ රඳවා තැබීමට නම් ගී පද රචකයා රමණිය භාෂාව අර්ථ උද්දීපනය වන සේ ලකර සඳ සලකා මියුරු ලෙස භාවිත කළ යුතුය. ඉන් ගීතයේ සාහිත්‍ය රසය මනාකොට මතු වනු ඇත.
සහජ කුසලතාව හා ශිල්පීය ධර්මතා ප්‍රගුණ කළ නිර්මාණකරුවාගේ හදෙහි භාව ප්රකාශනයට අවශ්‍ය ශ්රැති නිරායාසයෙන් ගලා ඒ. නළ දමයන්ති මුද්‍රා නාටකයේ,
“ඈත කඳුකර නිමව් අරණේ
සීත චන්දන ළපලු හේවණෙ
රනින් කළ වන් පුළුල් උරයෙන්
හසුන් ළමැදේ මුස කරන්නේ
හදේ මෝරන ආදරේ...”
යන ගීතය දැක්විය හැකිය.
වර්තමානයේ ගීතය වානිජ ව්‍යාපාරය බවට පත්ව ඇත. මොනවාහරි ලියා මොනවා හරි ගයා ජනප්‍රිය වීම හා මුදල් ඉපයීම මොවුන්ගේ අරමුණයි. මාධ්‍යයේ බලපෑම ගීත සාහිත්‍යයේ උන්නතියට නොව පරිහානියට හේතු වෙමින් තිබේ. එබැවින් අනවශ්‍ය විචාර විධි අතැර ගීත සාහිත්‍ය ගුණයෙන්, ධ්වනි ගුණයෙන්, පෝෂිත ව ඉදිරි පරපුර වෙත ගෙන යාමට උත්සුක විය යුතුය.
වර්තමානයේ සංගීතඥයා සංගීතය “ස්වරං කො මිලානා සංගීත් කතෙ හෛ ” (ස්වරයන්හි එක්වීම සංගීතයයි) යනුවෙන් දක්වා ඇත.
කවි සිතුවිලි වචන මඟින් ප්‍රකාශ කරමින් භාවය ද රසය ද අර්ථය ද උද්දීපනය වන සේ ප්‍රාණවත් හැඟීම් සියුම් ලෙස ගීතය ඔස්සේ මතු කිරීම රස ජනනයයි. ගීතයේ සාහිත්‍යයික අගය වඩ වඩාත් මතු වන්නේ එවිටය.