දිරා ගිය උළුවස්සකුත් ඇති තැනින් තැන පිල කැඩි ගිය කුස්සියේ දොරකඩ බිම අම්මා හිදගෙන සිටියි. උයන පිහන රාජකාරිය ඇය කල් තියාම ඉවර කරාදැයි සිතමින් මා කුස්සියට වැදුණේ සුපුරුදු පරිදි උදේ තේ කොප්පය බීමටයි.“සුදු මැණිකේ උබ නැගිට්ටාද ?” අම්මා කල්පනා ලෝකයෙන් මිදි කාරුණික දෑසින් මා දෙස බලා ඇසුවාය .නිදිමතේ සිටි මා කිසි පිළිතුරක් නොදි තේ එක හදලා දෙන්න අම්මේ කියමින් උඩු අතට හරවා තිබු වංගෙඩිය මත ඉඳ ගත්තෙමී .කහට පාටක් නොමැති මඩ පාට තේ කෝප්පයට බෝතලය සූරා අම්මා සීනි හැන්දක් එක් කර හැදි ගාන්නට විය.එය දුටු මට අපේ පවුල මොන තරම් අගහිඟකම් මැද ජිවත් වන්නේදැයි යන්න සිහි විය. “අද උයන්න දෙයකුත් නෑ පුතේ.හාල් හුන්ඩුවක් තිබිලා ලිපේ තිබ්බා.සම්බෝලයක්වත් හදලා ගමු.” මා අතට තේ කෝප්පය අතට දෙමින් අම්මා කිව්වාය. “කෝ අම්මේ තාත්තා.” “අප්පේ උබලගේ මහ එකාට ගෙදර ගැන නිච්චියක් තියෙන එකක්යැ.ඔය ගියේ වැඩට යනවා කියලා.”අම්මා පැවසුවේ තාත්තා මතක් කිරිම පවා ඇයට අප්රසන්න බවක් ඇති කරන පරිද්දෙනි.තාත්තා වැඩට ගොස් මුදල් සෙව්වාට අප කාටත් ප්රයෝජනයක්නම් නැත.තාත්තා ළඟ යහමින් මුදල් ඇති දවසට තාත්තාගේ බේබදු යහළුවන්ටනම් හොඳ දවසකී. ඒ ඔවුන්ට තාත්තා රවටාගෙන තාත්තා ළඟ තිබේන සල්ලි ඉවර වෙනකල්ම අරක්කු බීමට හැකි නිසාය.තාත්තා හම්බ කරන්නේ අපට නොවේ. මා දන්නා දවසේ සිට තාත්තා මහන්සි වී සොයා ගන්නා මුදල් ප්රයෝජනයට ගත්තේ අහල පහල සිටින්නන්ය.අම්මා මොන තරම් තාත්තාට ඒ බව තේරුම් කිරිමට උත්සාහ දැරුවද තාත්තා තේරුම් නොගැනීම අපේ අවාසනාව යැයි මා සිතමී.සමහර දිනවල තාත්තාට උපදෙස් දෙන්නට ගොස් අම්මා බැනුම් අසයි. තවත් දිනයක තොට එකෙන් වැඩක් නැතැයි. ගෙනත් දෙන දෙයක් කාලා පාඩුවේ ඉඳපන් යැයි කියමින් අම්මාට හොඳටම තාත්තා පහර දෙයි.මල්ලීත් මමත් කෑ ගසමින් තාත්තා නවතන්නට උත්සාහ කරනමුත් තාත්තා අපිට බැන වදියි. තාත්තාට හරියාකාර රස්සාවක් නොමැත.ඔහු කුලී වැඩක් කර දවසේ වියදම සොයා ගනියි.එක් දිනක ගස් කපයි.තවත් දවසක වත්තක් සුද්ද කරයි.නැත්නම් පොල් කඩයි.අත් දෙකේ කර ගැට මතු වෙනකල් කුලියක් කර සොයා ගන්නා සොච්චම ගෙන තාත්තා හවසට බයිසිකලය පාගන්නේ හන්දියේ බාර් එකටයි.හිස් වු බඩ පිරෙන්නට අරක්කු බීමට තාත්තා පුරුදුව සිටියේ අම්මා සමඟ විවාහ වීමටත් පෙර සිට බව අත්තම්මා දවසක් කිව්වාය.කකුල් දෙකෙන් බයිසිකලය පැදගෙන උදේ යන තාත්තා හවසට ගෙදර එන්නේ කෙලින් හිට ගන්නට බැරි තරම් වෙරී වී ගෙනය.තාත්තාගේ ඒ ගමන දෙස බලා සිටීමට පවා මල්ලීත් මමත් බිය විය.ගෙදර දොරකඩට ඇවිත් දඩාස් ගා බිම ඇද වැටෙන තාත්තා සාක්කුවට අත දමා රුපියල් දෙසියකට වඩා අම්මා අතට දෙන්නේ නැත. “තාත්තේ මේ සැරේ මගේ උපන්දිනයට මට සපත්තු දෙකක් අරගෙනම ඕනේ. ඔයා අපි ඉල්ලන මුකුත්ම අරන් දෙන් නෑ .මේ පාරනම් මට සපත්තු දෙකක් ඕනේමයි.” ඒ මල්ලී තාත්තාට තර්ජනාත්මකව කළ ඉල්ලීමකී.තාත්තා කෙදිනකවත් මල්ලීටවත් මටවත් උපන්දිනයට ඇඳුමක් අරන් දී නැත.ඔහු අප ඉල්ලන අපි ආශා කරන දෙයක් අරන් දුන් දවසක් මට මතක නැත.සිංහල අවුරුද්දට අලුත් ඇඳුම් අරන් දෙන්නට තරම්වත් තාත්තා කාරුණික වූයේ නැත.ඒ රාජකාරිය අම්මා කෙසේ හෝ ඉටු කරන්නීය.අම්මාගේ රැකියාව වුයේ රෙදි මැසීමයි.පාගන යකඩ රෙදි මැසීමක් ඇයට හිමිය. එය ඇයගේ වටිනාම සම්මත යැයි මා සිතමී.ගමේ සියල්ලෝම රෙදි මසා ගැනීමට පැමිණෙන්නේ අපේ අම්මා ළඟටය.ඇඳුම් මසා දී ලබා ගන්නා මුදලින් අම්මා මගෙත් මල්ලිගෙත් පාසල් ගමනට උරදීගෙන සිටියි. “අම්මේ අම්මේ එහා ගෙදර කසුන්ට ලස්සන සපත්තු දෙකක් අරන් දීලා.මට එකට අසා හිතුනා.අම්මේ තාත්තා මටත් අරන් දෙයි නේද සපත්තු දෙකක් ”මල්ලී එහා ගෙදර කසුන් සමඟ සෙල්ලම් කිරීම නවතා දුවගෙන විත් අම්මාට කිවේය. “අනේ මන්දා පුතේ.. මං උබට සපත්තු දෙකක් අරන් දෙන්නම් හැබැයි දැන්ම නෙවෙයි තව මාසයකින් විතර” අම්මා මල්ලීගේ හිස අතගාමින් කීවේ දෑසේ කදුළු පුරවාගෙන බව මල්ලී නොදනී.
“අහසේ මාළිඟා හැදුවට අපි පොළොවේ..... ආ කුමාර මල්ලී අදනම් පොඩි අඩියක් ගැහුවා බන්. ඇඟට අමාරුයි .ඒ වුණාට බන් උබට කියන්න... ”
තාත්තා අදත් පාර දිගට කෑ ගසමින් එන සද්දය ඇසී අම්මා දොරකඩට පැමිණියේ තාත්තාගේ හපන්කම් බලා ගැනීමේ අටියෙනි.තාත්තා බීමත්ව ගෙදර පැමිණිම අපටනම් අරුමයක් නොවේ.සුපුරුදු පරිදි අදත් එසේමය.සවසට ඔහුගේ කියවීම අපට මහත් කරදරයකී.සමහර දිනවල තාත්තාගේ යම් අශෝභන හැසිරිම තාත්තා කෙරෙහි මා තුළ තිබු ගෞරවයත් ආදරයත් පයට පෑගෙන දුහුවිල්ලක් බවට පත් වීමට හේතුවක් වූ බවනම් නිසැකයි. “තාත්තේ බොන්න එපා” යැයි මා කුඩා වියේ සිට ඔහුගෙන් කළ ඉල්ලීමකී.එහෙත් ඔහු කවදාවත් මගේ ආදරණීය ඉල්ලීම පිළිගත්තේ නැත. “තාත්තේ මට සපත්තු දෙකක් අරන් දෙනවා නේද?” තාත්තා හොඳටම වෙරී වී වැටී සිටින අවස්ථාවක මල්ලි අසන්නට විය.තරහා අසූහාරදාහට නැග්ග තාත්තා “පලයන් යන්න මෙතනින්. සපත්තු මොන සපත්තුද...මොකටද සපත්තු මගේ ළඟ සල්ලි නෑ....” යැයි ඉතා සැරෙන් කියා මල්ලිගේ පිටට ගැසුවේය.තාත්තාගේ ශක්තිමත් දෑතින් පහර කෑ මල්ලි හයියෙන් හඬන්නට විය.ඇස් දෙක ලෝදිය තරම් රතු වු මල්ලිගේ කම්මුල පුරා කඳුළු කැට කඩා වැටුණේ අකලට වහින වැස්සක් පරිද්දෙනී.සියල්ල බලා සිටි අම්මා කීවේ අඬන්න එපා මයේ පුතේ යන්න පමණි.අම්මා තාත්තාට වචනයක් ඉහළින් කතා කිරීමට බිය විය.සියල්ල ඇය දරා ගත්තේ ලෝකයේ සියලු බර මහ පොළොව දරා ගන්නා අයුරිනි. තාත්තා ගැන මට දැඩි කළකිරිමක් මෙන්ම තරහක් ද ඇති විය.අම්මාගේ කඳුළුවලටත් සපත්තු දෙකකට ආශා කරන අහිංසක මල්ලිගේ කඳුළුවලටත් වග කිව යුත්තා තාත්තා නොවේද?
රෑ නින්ද යනකල්ම ඇඩු නිසාදෝ මල්ලිගේ ඇස් ගොරකා ගෙඩි තරම් රත් පැහැ වී ඉදිමි තිබුණි. රාත්රියේ සිදු වූ කිසිවක් තාත්තාට මතක නැත.අඩු තරමේ ඔහුට අද මල්ලීගේ උපන්දිනය බවද අමතකය.තාත්තා ඒ ගැන කිසිවක් නොකියා බයිසිකලය ගෙන පාරට යන අයුරු මා බලා සිටියේ මල්ලි කෙරෙහි සිතේ උපන් වේදනාවෙනි.
“පොඩි පුතේ...පොඩි පුතේ....”ඒ තාත්තාගේ කටහඬයි.එවැනි ආදරණිය ආමන්ත්රණයක් ඔහු කවදාවත් මල්ලිටවත් මටවත් මීට පෙර කර නැත.තාත්තාගේ අතේහි සුදු පාට බෑගයක් විය.ඔහු එය මල්ලිගේ අතට දුන්නේ මල්ලිගේ හිස සිඹිමින්ය.අම්මාටත් මටත් සිදුවන කිසිවක් තේරුම් ගැනීමට නොහැකිය. මල්ලි සිනා සී සපත්තු කුට්ටම එළියට ගෙන බැලුවේ නොඉවසිල්ලෙනී. “පුතේ ඔන්න අද මං උබට උපන්දින තෑග්ග අරන් ආවා” තාත්තා මල්ලිට කීව්වේය. ජිවිතයේ පළමු වරට තාත්තා අද බොන් නැතුව ගෙදර ඇවිත් මල්ලිට ලැබුණු සපත්තු කුට්ටමට වඩා වටිනා උපන්දින තෑග්ග එයයි මට සිතේ.
කේ.එල්.ජී.අයි.මධුසානි
2018 Waya/ S/S/F/3324