කථිකාචාර්ය- බී. නිරංජලා ප්‍රියංගනී කරුණාරත්න
එබ්රහම් ලින්කන් ජනාධිපතිතුමා වරක් කියා සිටියේ, “දරුවා යනු, වැඩිහිටියකුගේ කුඩා කරන ලද ආකෘතියක් නොවන බවයි. දරුවාගේ මනස සුදු පැහැති කඩදාසියක් වැනි ය. මුල් කාලයේ දී එය ඉතා පිරිසිදුය. මෙහි මුල් ම සටහන තබන්නේ මව, පියා සහ සහෝදර සහෝදරියන් විසින් ය.” රුසියාවේ නායක ලෙනින් කියා සිටියේ, “දරුවන්ට දිය යුතුතේ හොඳම දෙය බව” යි. චීනයේ මාවෝ සේතුං කියා සිටින්නේ, “ලෝකයේ උත්තම චරිතය දරුවා බව” යි. මෙම දාර්ශනික අදහස් අනුව දරුවා පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව මනාව ප්රත්යක්ෂ වේ. මෙම අදහස් හුදු ප්‍රකාශයන් බවට පමණක් සීමා නොකර ඒවාට ජීවයක් එක් කරමු.
අන් කවර කලක වත් නොවූ විරූ අන්දමින් ළමයින් පිළිබඳවත්, දරුවන් හදා වඩා ගැනීම හා ඔවුන්ගේ සංවර්ධනය පිළිබඳවත් මේ වන විට, මෙරට මෙන්ම ලෝකයේ ම සුවිශේෂි උනන්දුවක් හටගෙන තිබේ. එම උනන්දුවට හේතු වී ඇත්තේ මනුෂ්‍ය ජීවිතයේ ඉතා බාල කාලයෙහි පෞරුෂ වර්ධන වේගය ඉතා අධික බව සොයාගෙන තිබීම නිසා ය.
කවර අන්දමේ දිළිඳු පරිසරයක් පැවතිය ද දරුවෙකුට ස්වකීය නිවස මෙන් මානසික වර්ධනය ගෙන දෙන චිත්තවේගීය අවශ්‍යතා සපුරාලන වෙනත් රජ දහනක් නැති බව අධ්‍යාපනඥයින්ගේ පිළිගැනීමයි. මේ අනුව අපගේ දරුවන් හදා වඩා ගත යුත්තේ ඔවුන්ගේ එම රජ දහනේ කිරුළු පැළඳිය හැකි ලෙසයි. මේ අපට කළ හැකි ද යන්න ගැටලුවකි. එයට හේතු රාශියකි. කුමන හේතු තිබුණ ද අප සිතිය යුත්තේ ළමයාගේ චිත්තවේගික අවශ්‍යතා සපුරාලන්නේ කෙසේ ද යන්න නොවේ ද?
මනුෂ්‍යයා සෑමවිටම අවශ්‍යතා වලින් පෙළෙන සත්ත්වයෙකි. මෙම අවශ්‍යතා පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙන්ම, අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වේ. යම් ළමයෙකුට ආහාර අවශ්‍යය වන විට තවත් ළමයෙකුට ආදරය අවශ්‍ය වනු ඇත. එම නිසා ළමා අවශ්‍යතා පිළිබඳව පැහැදිලි අවබෝධයක් නොමැතිව ඔවුන්ගේ හැසිරීම් රටාව ගැන කල්පනා කිරීම සදොස් වේ.
කායික අවශ්‍යතාවයන් සපුරන්නා සේ ම මානසික ඕනෑකම් ද සම්පූර්ණ කිරීම වර්තමානයේ යම් පිරිහීමක් සිදු වී පවතී. ඒ පිළිබඳව සිතමින් එම ළමයාගේ මානසික අවශ්‍යතා සම්පූර්ණ කිරීම නොපිරිහෙළා සිදු විය යුතුය. වර්තමාන අධ්‍යාපන රටාව ගොඩනැගී ඇති ආකාරයත්, තරඟකාරීත්වයත් හා විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාවත් නිසා ලහි ලහියේ දුවන දෙමාපියන් සහ ගුරුවරුන්, දරුවන්ව එම තරඟයට ඉදිරිපත් කර බලා සිටී. දෙමාපියන්ගේ අභිලාෂයත්, ගුරුවරුන්ගේ අභිලාෂයත් වන්නේ කෙසේ හෝ දරුවන් එම තරඟයෙන් ජය ලැබීමයි. නමුත් අප සැමට අමතක වූ කරුණු මේ මොහොතේ යළි සිහි කැඳවා ගත යුතුය. දරුවා යනු කුඩා කල මිනිසෙකු නොවන බවත් සිහි තබා ගත යුතුය. අප බොහෝ දෙනා වැඩිහිටියන්, ගුරුවරුන්, දෙමාපියන් ලෙස කටයුතු කරන්නේ සැබෑවට ම ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව විමසීමක් කිරීමෙන් ද, නැතිනම් අපගේ යටි සිතේ පැළපදියම් වූ ආශාවන් ඉටු කර ගැනීමට ද යන බව සිතිය යුතුය. මෙහි දී අප සියලුදෙනාම ගැළවිය නොහැකි උගුලකට නැතහොත් දැලකට හසු වී හමාරය. එම උගුලේ අප දරුවන් ද පටලවා ගනිමින් සිටිමු. මේ ගන්නා වෑයම නිසා අපි මොහොතකටවත් ඔවුන්ගේ සිත ගැන? ඔවුන්ගේ කැමැත්ත ගැන? ඔවුන්ගේ අවශ්‍යතා ගැන? සිතුවා ද?
සුරක්ෂිතභාවය යනු ළමයාගේ තවත් අවශ්‍යතාවයකි. ඉතා කුඩා දරුවෙකු පවා ගැඹුරු ශබ්දයකට බිය වූ විට මව තදින් බදා ගනියි. දරුවන් මව හෝ වැඩිහිටියන් ළඟ නොමැතිව හුදෙකලා වූ විට අඬමින් දුක් වන අයුරු දැක ඔබ ඇත. මෙම රික්තකය පිරවිය හැකි වන්නේ නිවසේ දී දෙමාපියන්ටත්, පාසලේ දී ගුරුවරුන්ටත් ය.
දරුවෙකුගේ මීළඟ අවශ්‍යතාවය වන්නේ ආදරයයි. ආදරය දරුවෙකු පමණක් නොව, ජීවය තිබෙන මනුෂ්‍යයන් මෙන්ම සත්තවයන් ද අපේක්ෂා කරන සියුම් ආශාවකි. ආදරය වනාහි ළමයාගේ ඉතා ප්‍රබල අවශ්‍යතාවයකි. ඔහු අසල සිටීම වැදගත් යැයි තැකීම, ඔහු කරන කියන කියන දේ අනුමත කිරීම, ඔහුට සවන් දීම, ඔහු සිප වැළඳ ගැනීම ආදී ක්‍රියා මගින් ළමයා වැඩිහිටියන්ගේ ආදරණීය වස්තුවක් බව ඔහුට අවබෝධ වීම ද, ඔහුගේ මානසික සංවර්ධනයට හිතකර වේ. තමාට ප්‍රථමයෙන් ආදරය ලැබුණු විට ළමයා අන් අයට ආදරය කිරීම ස්වාභාවික ක්‍රියාවක් සේ සලකමින් ඉටු කිරීමට පෙළඹේ. වර්තමානයේ දරුවන්ට මේ ආකාරයට ආදරය, රැකවරණය ලැබෙනවා ද? වර්තමානයේ ආදරය, සිප වැළඳගැනීම් වැනි දෑ හුදු ඡායාරූප ගැනීමේ දී පමණක් බොහෝ දෙනා අතර පවතින බව ප්‍රදර්ශනය වීම කණගාටුවට කරුණකි.
මානසික සෞඛ්‍ය රැක ගැනීම සඳහා සමවයසේ ළමුන් අතරේ පිළිගැනීම ද, ගෙදර දොරේ දී වැඩිහිටියන් අතර පිළිගැනීම ද අවශ්‍යය. සෑම ළමයෙකුම සුවිශ්ෂී පුද්ගලයෙකු ලෙස සලකා ඔහුගේ නමින් කතා කිරීමටත්, දිනපතා ඔහු පිළිගැනීමටත්, දෙමාපියන්ට හා ගුරුවරුන්ට හැකි නම්, එය ළමයා ලබන කදිම මානසික සුවයක් වනු ඇත. මෙම සියුම් කාරණා වැඩිහිටියන් වන අප ඉතා සුළු කාරණා ලෙස සලකා අමතක කර දැමීම හා නොසලකා හැරීම නිසා සිදුවන හානිය නැවත පිළිසකර කළ නොහැකි බිඳුණු වීදුරුවක් බඳු විය හැකිය.
අප සියලු දෙනා සමාජයක් ලෙසට එක්ව අත්වැල් බැඳ සූදානම් විය යුත්තේ සමබර පෞරුෂයකින් හෙබි දරුවෙකු සමාජයට දායාද කිරීමටයි. එහි දී දරුවටකුගේ සාමාජීය හැගීම්, ආකල්ප ආදිය පිළිබඳව ද සිතා බැලිය යුතුය. දරුවෙකුට මෙම පදනම වැටෙන්නේ මුල් කාලය තුළ ඔහු ලබන විවිධාකාර අත්දැකීම් ආශ්රයෙනි.
සමාජ කෞෂල්යයන්ගේ වර්ධනයට මූලික අවශ්‍යතාවයක් වන සුරක්ෂාභාවයෙන් යුත් නිවසක් ළමයාට අත්‍යාවශ්‍යය. ළමා වියේ මුල් අවධියේ දී පෞද්ගලිකත්වය වැඩෙන්නේ අන්යන් හා ආශ්‍රයට පැමිණීමෙන් දිනපතා ලබන අත්දැකීම් අනුව ය. මේ ගැන සිතමින් අප සෑමවිටම අපගේ දරුවන්ට ඊට සුදුසු පරිසරය ගොඩනගා දිය යුතු වේ.
“ළමා වියේ දී බුද්ධි වර්ධනය සඳහා ප්‍රබෝධමත්, සාරවත් පරිසරයක් අවශ්‍යය බව” ස්විස් ජාතික ස්නායු ජීව විද්‍යාඥයෙකු වන හොල්ගර් හයිඩන් ප්‍රකාශ කරයි. කුඩා අවධියේ දී ලැබෙන අධ්‍යාපන අත්දැකීම් සියලු විධියේ පසුකාලීන ඉගෙනුමට බලපානු ලබයි. දරුවන්ට කුඩා කල සිට පරිසර ගවේශණය, ස්වභාවධර්ම නිරීක්ෂණය, ක්‍රීඩා කිරීමේ අවස්ථා සම්පාදනය, ගමන් බිමන් යාම, ප්‍රශ්න ඇසීමට ධෛර්යය දීම, කතාන්දර, ගී සින්දු අසන්නට සැලස්වීම, පින්තූර පෙත පත සැපයීම හා කතා බහට යොමු වීම ඇතුළු අවස්ථාවන්ගෙන් සකස් කර දීමෙන් ළමයාගේ බුද්ධි වර්ධනයට අපට දායක විය හැකිය.
ක්‍රීඩාව ද ළමා අවධියේ ප්රමුඛ ලක්ෂණයකි. ක්‍රීඩාවල යෙදීමට ද දරුවන් ප්‍රබල ආශාවක් දක්වයි. දරුවෙකුගේ කුමන ක්‍රියාකාරකමක වුවත් ක්‍රීඩා ස්වභාවයක් පවතී. වර්තමාන අධ්‍යාපන රටාව හා දෙමාපිය ආකල්ප දරුවාගේ මෙම අවශ්‍යතාවයට වැට කඩොලු අහුරා ඇත. ළමයින්ට ක්‍රීඩාව ද ආහාර මෙන් ම වැදගත් ය. මේ සඳහා ළමයින්ට අවකාශය, පරිසරය නිර්මාණය කිරීම නිවස තුළ ද, පාසල තුළ ද සිදු කළ යුත්තකි.
ඉතින් අප මේ කරුණු සිහියේ තබා ගනිමින් අපේ දරුවන්ට සමීප වීමට, ඔවුන්ගේ අවශ්‍යතා ඉටුවන ආකාරයට කටයුතු කිරීමට අදිටන් කරගත යුතුයි.