කථිකාචාරිණී තනූජා පෙරේරා
සියල්ලටම ප්‍රථම දරුවන් බව පැවසුවද ළමයා යන්න නිර්වචනයකට හසුකළ නොහැකි තරම් ලෙස සමාජය තුළ ළමයාට සලකනු ලබන ආකාරය කනගාටු දායක වී ඇත. එහෙත් 1989 නොවැම්බර් මස 20 වන දින දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරගන්නා ලද ළමා අයිතිවාසිකම් පිළිබද ප්රඥප්තියට අනුව ඉතාමත් සරළම අදහස නම් ළමයා යනු "නීතිය මඟින් අඩු වයසක දී පූර්ණත්වය ලබන්නේ නම් මිස වයස අවුරුදු 18ට අඩු සියලු මනුෂ්‍යයන් ළමුන්ය" ලෙසය. ළමා දිනය හෙවත් ළමයින් වෙනුවෙන් දිනයක් වෙන් කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ එදිනට පමණක් ළමයින් පිළිබඳව උවමනාවටත් වඩා කතිකාවත්වල යෙදෙමින් එදිනෙන් පසු සියල්ල අමතක කර දැමීමද? එසේ නැතිනම් පවතින සමාජ විෂමතා හමුවේ අන්ත අසරණ තත්ත්වයට පත්වන ළමයා පිළිබඳව වැඩිහිටියන් ලෙස විශේෂයෙන්ම ගුරුවරුන්, දෙමව්පියන් සහ සමාජයේ වගකිවයුතු පුරවැසියන් ලෙස අප සියලු දෙනාම කුමන ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේද යන්න සොයා බැලීමද?
මෙවර ලෝක ළමා දින ජාතික සැමරුම නම් කර ඇත්තේ “සියල්ලටම ප්‍රථම දරුවන්” යන තේමාව යටතේ ය. රටක අනාගතය, රටක ජිවය දරුවන් ය. ජීවත්වීම, ආරක්ෂාව, සංවර්ධනය සහ සහභාගීත්වය යන ක්ෂේත්රයන් ඔස්සේ දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියට 1990 දී ශ්‍රී ලංකාව අත්සන් තැබුවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ වග වන බවට ගෝලීය මට්ටමින් සහතික ලබා දෙමිනි. එනමුත්, පසුගිය කාල වකවානුව පුරා දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වු ළමා අපයෝජන සිදුවීම් දෙස බලන විට ළමා ආරක්ෂාව කෙරෙහි රටක් ලෙස අප නැවත නැවතත් අසමත් වී ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. ළමා අයිතිවාසිකම් ඇස් පනාපිට උල්ලංඝනය වන එවැනි පසුබිමක මෙවසරේ ද ලෝක ළමා දිනය සැමරීමට අපි සුදානම් වෙමින් සිටිමු. ගුරුවරයා හා ළමයා යන්න නිතරම බද්ධව කියැවෙන්නකි.
ගුරුවරයාට ළමා දිනය වැදගත් වන්නේ ඇයි ද යන්න පිළිබඳ සලකා බැලූ විට ගුරුවරයාගේ මගපෙන්වීම, ආදරය කරුණාව, දයාව සමග ඇති දැඩි වන ළමයා පිළිබඳව නිවැරදි දැනුවත්භාවයක් ගුරුවරයා සතු විය යුතු බව අවිවාදාත්මකය. ළමයාගේ ප්‍රාථමික අධ්‍යාපනයේ පටන් ගුරුවරයාගේ වගකීම ප්‍රධාන අංශ තුනක් යටතේ දැක්විය හැකිය. එනම්, ශිෂ්‍ය කේන්ද්‍රය බව, ළමා මිතුරු බව සහ ළමා අයිතිවාසිකම් සුරැකීම යන්නයි. මෙම ත්‍රිත්වය සම්පූර්ණ වන පාසලක් ළමයාට හිතකර, ආකර්ෂණීය සහ මනෝ සමාජයීය ලෙස ළමයා ඉගෙනූම කරා පොළඹවනු ලබන ඛලවේගය ලෙසින් ක්‍රියා කරයි. ළමා අයිතිවාසිකම් ඉටුවන තැනක ළමා මිතූරු බව රැකගැනීම අපහසූ නොවේ. එහෙත් එසේ නොවන කල දරුවන්ට අමානුෂික දඬුවම් පැමිණවීම ආදියෙන් පෙනී යන්නේ අදාළ පුද්ගලයන්ගේ සන්තානයේ ධර්මය නොමැතිවීම මෙන්ම රටේ නීතිය වන මූලික අයිතිවාසිකම්, අධ්‍යාපන අමාත්‍යංශ රෙගුලාසි හා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1989 වසරේදී සම්මත කරගන්නා ලද හා 1991 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් ස්ථිර කරන ලද “එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තිය” ප්‍රකාර ළමා අයිතිවාසිකම් පිළිබඳව වැඩිහිටියන්ට ඇති නොදැනුවත්භාවය ය. ලංකාවේ නීතියේ පදනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් විග්රහ වන තුන්වන පරිච්ඡේදයේ 12 වන ව්‍යවස්ථාවේ මෙසේ කියැවේ. එනම්, “කිසිම තැනැත්තෙකු වධ හිංසාවලට හෝ කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුතුය.” එමෙන්ම 17 වන ව්‍යවස්ථාවෙන් දක්වා ඇත්තේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ විධිවිධාන යටතේ යම් තැනැත්තෙකුට හිමි වන යම් මූලික අයිතිවාසිකමක් යම් විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් මගින් උල්ලංඝනය කර තිබීම හෝ උල්ලංඝනය කිරීමට අත්‍යාසන්නව තිබීම හෝ සම්බන්ධයෙන් 126 වන ව්‍යවස්ථාවේ විධිවිධාන සලසා ඇති පරිදී, මූලික අයිතිවාසිකම් කඩ වී මාසයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට නීතීඥවරයෙකු මාර්ගයෙන් ඉදිරිපත් කෙරෙන ලිඛිත පෙත්සමකින් කරුණු දක්වා සිටිය හැකි බවයි.
ගුරුවරයෙකු වනාහි අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන රජයේ සේවකයෙකි. එනම් ඔහු රාජ්‍ය බලය අනුව ක්‍රියාත්මක පරිපාලන විධායකයේ කොටසකි. ඔහු හෝ ඇය යම් දරුවෙකු වධ හිංසාවලට හෝ කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් කළහොත් එය විධායක ක්‍රියාවකින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් ලෙස සැලකේ. ඉහත දක්වා ඇති ආකාරයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග කෙරී ඉන් අදාළ ගුරුවරයා හෝ ගුරුවරිය වරදකරු වුවහොත් අදාළ දරුවාට වන්දි ගෙවීමට අමතරව සිර දඬුවමකට යටත් වීමටද ඔහුට හෝ ඇයට සිදුවිය හැක. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අමාත්‍යංශ ලේකම්ගේ අත්සනින් නිකුත් කර ඇති 2005.05.11 දිනැති 2005/17 අංක දරණ චක්‍රලේඛය හා දැනට බලාත්මකව පවතින 2016.04.29 දිනැති 2016/12 දරණ චක්‍රලේඛය වැදගත්ය. එහි මෙසේ සඳහන් වේ.
පාසල තුළ විනය ආරක්ෂා කිරීම
“සිසුවා තුළ චර්යාමය වෙනසක් ඇති කිරීමේ චේතනාවෙන්,සද්භාවයෙන් යුතුව වූවද කිසිදු ශිෂ්‍යයෙකුට /ශිෂ්‍යාවකට ශාරීරිකව පීඩනයක් විය හැකි ආකාරයේ දඬුවම් ලබාදීමෙන් වැළකී සිටීමට සියලු දෙනා වග බලා ගත යුතු වේ” යන්නයි.
වර්තමාන සමාජයේ දක්නට ලැබෙන අයහපත් ප්රවනතාවක් නම්, ළමයින් හිංසනයට හා අපයෝජනයට ලක් වන සිද්ධීන් වැඩි වීමයි. වර්තමාන සංකීර්ණ සමාජ රටාව තුළ, පාසල් වියේ පසුවන ළමයින් පාසල තුළදී ද විවිධාකාර පුද්ගලයින්ගේ හිංසනයන්ට භාජනය වෙමින් පවතින බව ඉදිරිපත් වන වාර්තා වලින් පැහැදිලි වේ. එවැනි එක සිද්ධියක් නිසාවෙන් වුවද ළමයෙකුගේ මුළු ජීවිතයම අඳුරු වීමට ඉඩ තිබේ. මෙම හිංසනයන් සිදු කරන පුද්ගලයන් හා ආයතනයන් අතරට පාසල් පද්ධතිය, එහි සිටින කාර්ය මණ්ඩලය හා සිසුන්ද අන්තර්ගත වන බව අනාවරණය වී තිබේ. එබැවින් ගූරුවරයා වඩාත් නිවැරදිව කටයුතු කල යුත්තේ වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම් ද ඒ අමාරුව යන්නට පිළිතූරු නොලැබෙන බැවිනි.
උපතේ සිටම දෙමවුපියන් තුරුලේ වැඩෙන දරුවා මුල්ම වරට දෙමාපිය සෙනෙහසින් ඈත්ව සමාජයට එක් වන්නේ පෙර පාසලක් තුළිනි. එමනිසා දරුවාට වඩාත් හොදින් ගැලපෙන පෙර පාසලක් තෝරා ගැනීම දෙමාපියන්ගේ වගකීමකි. දරුවාගේ අනාගතය සකසා දෙන මුල්ම අඩිතාලම වැටෙන්නේද පෙර පාසල තුළින් බව මවුපියන් අනිවාර්යෙන්ම සිහියේ තබා ගත යුතුම කරුණකි. ලොවම පිළිගත් ක්‍රමවේදයක් ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදු කරන, ළමා මිතුරු පරිසරයක් සහිත පාසලක් තුළින් ළමා මනස නිරොගිව තබා ගැනීමට අවශ්‍ය වටපිටාව සැකසේ. පන්ති කාමර අලංකරණයට මෙන්ම වැසිකිළි, කැසිකිළි පහසුකම් සහ ජල සැපයුම සඳහා ප්‍රමුඛතාව දිය යුතු ය. මෙහිදී එක් විදුහල්පතිණියකගෙන් ලැබුණු ඛේදනීය තොරතුරු අනුව, ඇයගේ විදුහලේ ශිෂ්‍යාවන් රාශියක්ම මත්රා අසාදනවලින් පෙලෙන බවත්, පාසලේ වැසිකිළි වල අයහපත් තත්ත්වය නිසා බොහෝ දැරියන් දවස පුරාම මුත්‍රා නොකර සිටින බවද පැවසු අවස්ථාවක් මගේ මතකයට නැගේ.
පාසල තුළ දී ළමයා පීඩාවට පත්වන සියලූම ආකාරයේ කටයුතුවලින් වැලකී සිටීමට ගූරුවරයා වගබලා ගත යූතු ය. එමෙන්ම විශේෂයෙන් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය යන්න සලකා බැලූ විට ඉගෙනීම යනු යමෙකු කලින් දැන නොසිටි දෙයක් දන්නා බව හෝ කලින් කළ නොහැකි වූ දෙයක් කළ හැකි බව හෝ ප්‍රදර්ශනය කිරීමක් ලෙසද හැඳින්විය හැකිය. ජෝන් ඩුවී, ජින් පියාජේ සහ ජෙරෝමි බෘෘනර් යන අයගේ ඉගෙනුම් න්‍යායන් මත නිර්මාණවාදය (Constructivism) ගොඩනැගී ඇති අතර ඒ තුළින් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය ද ගොඩ නැගී ඇත. ගුරුවරයා විසින් තමන් සතු දැනුම් සම්භාරය සිසුන්ට පවරා දීම වෙනුවට ශිෂ්‍යයාට තම අභ්‍යන්තර පෙළඹවීම තුළින් ඉගෙනීමට අවස්ථාව සැලැස්වීම ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය යන්නෙන් අදහස් වෙයි. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය ඔස්සේ ජනිතවන නිර්මාණවාදය තුළින් ළමයි තුළ කුතුහලය, අවර්ජනශීලී බව, සිතීම, තර්කනය හා ගවේෂණය සඳහා අවස්ථාවන් සලසා දෙයි. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයේ දී ගුරුවරයා සුසාධ්යකරුවෙකු මිස උපදේශකයෙකු නොවේ. මෙම ප්රවේශයේ දී සිසුන්ට ගුරුවරයා මත යැපීම අවශ්‍ය නොවන අතර නව දැනුම ශිෂ්‍යයාට නිර්මාණය කරගත හැකි වෙයි. මෙලෙස ශිෂ්‍ය කේන්ද්‍රය බව, ළමා මිතුරු බව සහ ළමා අයිතිවාසිකම් සුරැකීම සම්පූර්ණ වන පාසලක් ළමයාට දිය හැකි නම් ළමා දිනය සමරන අධ්‍යාපන ක්ෂේත්රයේ නියැළෙන අපට එදිනට සතුටු විය හැකි වනු ඇත.එමෙන්ම ළමා දිනයේ සැමරුම අර්ථවත් වීමට නම් විශේෂයෙන් ගුරුවරයා ද ඇතුළුව සමස්ත වැඩිහිටියන් ළමයා යනු කවුරුන්දැයි නිවැරදිව හදුනාගෙන සියලුම ළමයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන පරිදි කටයුතු කිරීම වර්තමානයේ ප්‍රබල සමාජ අවශ්‍යතාවක්ව පවතින බව පැවසිය යුතුමය.
සමස්ත ලෝකවාසී සියලුම ළමයින්ට ප්‍රීතිමත් ළමා දිනයක් වේවා!!! සියල්ලටම පෙර දරුවන් ය.