සුන්දර රමණිය කඳු වැටියකින් වටවුණු පහත් බිම, උදෑසන ම විය ගහත් කර පිට තබාගෙන, මී ගවයින් ද දක්කාගෙන යන යන මිනිසුන්ගේ රන් දහදිය හෙලා අස්වද්දන කෙත් යාය විය. හිමිදිරිය ම අවදිව කොලු කුරුට්ටන් සමග අඹුඩයකුත් හැඳගෙන නියර දිගේ පිය මැන තම ජීවිකාව රැකගන්නට වෙර දරන මිනිසුන්ගේ අහිංසක නිකැළැල් බලාපොරොත්තු මල්පල ගැනෙන්නේ කෙත් යායේ කරල් අහස බලා නොව යාය ම බිම බලාගෙන සිටිනු දැකීමෙනි. කෙත් යායට මඳක් නුදුරින් ගොඩැල්ල අද්දරට වන්නට පුවක් ගස් කිහිපයකුත්, තල් ගසකුත්, ජම්බු ගසකුත් සහ අඹ ගසකින් වටවුණු කාමර දෙකකුත්, ඉතා කුඩා සාලයකුත් තවද කුස්සියකුත් සහිත පොල්ලතු සෙවෙලි කල කුඩා නිවසක් විය. මෙය රන් මැණිකාගේ නිවහන විය.ගමේ කවුරුත් ඇය ඇමතුවේ රන් අක්කා යනුවෙනි.
රන් අක්කා දිනක් කඩ මන්ඩියට යන්නේ තවත් දෙමසකින් කුල ගෙදරට යාමට සිටින තම වැඩිමාලු දියණියට සාරියක් මිල දී ගැනීමටය.
“මයේ අම්මේ මට කඩ මන්ඩියේ තියෙන හොඳ ම සාරිය කීයක් උනත් කමක් නෑ, අරන් දෙන්ට. මොකද මම එදාට ලකේට ඉන්ට එපැයි. ”
“අනේ ලොක්කි ඇඟිල්ලේ තරමට ඉදිමියන්.”
යනුවෙන් ඇය කීවත් හිතේ තිබුනේ හොඳ ම සාරිය කෙල්ලට කොහොමහරි අරන් දෙන බලාපොරොත්තුවයි. කුරහන් විකුණා ගත් සියලු මුදල් වියදම් කර ලොක්කිගේ ආසාව සන්සිඳවූ රන් අක්කා ලොක්කි සමග හිරු අවරට යත් ම නිවසට ආහ.
තම ස්වාමියා වන සිරිදාස මේ වන විට අන්සභාග රෝගයකින් පෙලෙන බැවින් පවුලේ සියලු බර රන් අක්කගේ කර පිට වැටුණි. පැංචි කෙලිගේ ඉස්කෝලේ ගමනත් කොහොමහරි කරගෙන යන ඇය, ගමේ පිරිමින් සමග වෙල්වලට බැස හරි හරියට කුඹුරු වැඩ කරයි.රන් අක්කගේ මේ ක්රියාවන් ගැන ගම්මු කිවේ....
“රන් අක්ක ම මිසක් මටනං බෑ ඔය හැටි දුක් විඳින්ට ” යනුවෙනි.
ටිකෙන් ටික දෙමසත් ගතවෙලා මඟුල් ගෙදර දවස ළඟට ම ඇවිත්, මඟුලට අවැසි අනෙක් බඩුමුට්ටු සහ ලොක්කිට හීනියට හරි මාල පොටක් අරන් දෙන්න කියලා ගමේ ප්රබූ කෙනෙක්ගෙන් රන් අක්කා සුළු පොලියට අතමාරුවක් කරගනී.
“ මඟුල් ගෙදර වැඩ ටික හොඳට වුනා, රන් අක්කගේ මහන්සිය තමයි , මොකද වෙන ගෑනියෙක්ටනං මෙහෙම කරන්න බෑ.”
යැයි ගමේ කවුරුත් කිහ.
කාලයත් සමග ම තම ස්වාමියා වන සිරිදාසගේ අභාවයෙන් ඇගේ බර නිදොස් වුවා යැයි සිතුවත් සිදු වුනේ වෙනත් දෙයකි. ගමේ සමහරක් පිරිමින්ගෙන් රන් අක්කාට අයුතු යෝජනා අවේ ජීවිකාව ගැටගහ ගැනීමට අමාරු ම කාලයේය. පැංචි කෙල්ලත් දැන් නාඹර ගැටිස්සියක්. රන් අක්කට බය තියෙන්නේ පැංචි කෙල්ලට කරදරයක් වෙයි කියලා. ලොක්කි කසාද බැඳලා ගියා ගියාමයි තම මව ගැනවත් එකම නඟා ගැනවත් විපරම් කර බැලීමට තරම් උවමනාවක් නොතිබෙන්නට ඇත. එම නිසාවෙන් ලියුම් කඩදහියක්වත් නො අවේ යැයි පැංචි කෙලි රන් අක්කට කිහිප වතාවක් ම පැවසිය.
නමුත් රන් අක්කා කිවේ
“එකිටත් වැඩ ඇති නෙව. ” යනුවෙනි.
ඒ කෙසේ වෙතත් තමන් පොලියට ගත් මුදල පියවන්න යැයි කියා කිහිප වතාවක්ම පණිවිඩ ආවේය. කුලියක් මලියක් නැති එකේ රන් අක්කා කල්පනා කරේ මේ ණය තුරුස ගෙවන්නේ කොහොමද කියලා. රන් අක්කා තම කුඹුර උකසට තබා මුදල් පියවූ නමුත් ඇයට මහත් වේදනා ගෙන දුන්නේ මෙතෙක් කල් බඩ සරුකරගත් කුඹුර උකසට තැබූ නිසාවෙනි.
රන් අක්කා දැන් හොඳට ම වයසයි. මැය නිතරම තම පැංචි කෙල්ලට කියා සිටියේ
“කෙල්ල , පැංචි උඹ කොහෙවත් දීග යන්ට උවමනා නෑ.අපි මෙහෙ බින්න බහින්ට එකෙන් හොයා ගමු. එතකොට මේ ගෙදරටත් පිරිමි පරාණයක් ඉන්නවා නෙව. එතකොට ඔය කරදරත් නැති වෙයි.”
යනුවෙනි.
ඉතාම අමාරුවෙන් ජීවිකාව කාටත් අත නොපා ,කාගෙන්වත් තමනුත් කෙල්ලවත් වචනයක් අහන්නේ නැතුව ඉන්න අතර දිගින් දිගටම ගමේ සමහර පිරිමින්ගෙන් මෙහෙම කරදර එන එක ගැන ගමේ ග්රාමසේවක මහත්තයාට පැමිණිලි කල ඇය කෙසේ වෙතත් මොන වැඩේ කරත් විපරමෙන් ඉන්න රන් අක්කා පුරුදු විය. රන් අක්කා දැන් නිදාගන්නේ පැංචි කෙල්ලගේ කාමරේ. පැංචි කෙල්ල තම අම්මා වන රන් අක්කගේ කාමරේ නිදාගනි.
දිනක් තම කාමරේ බිත්තිය එහා පැත්තෙන් අඩි සද්දයක් එන බවක් රන් අක්කගේ කණට වැටුනේ මැදි යාමයේදී ය . මන්නා පිහිය අතට ගත් රන් අක්කා පැංචි කෙලිගේ කාමරයට වැදුනේ චිත්තයක් ද උර මත වටලාගනිමිනි. කාමරයේ මුල්ලට මුවා වී සිටි ඇයට අඩි සද්දය ළඟ ළඟ ම ඇසෙන්නට විය. රන් අක්කා එක පාරටම කෑ ගහගෙන මන්නා පිහියෙන් කෙටු පාරට ආ තැනැත්තාගේ කලුලට වැදුනි. නමුත් ඔහු ලේ බැස බැස ම දිව ගත්තේ ය. මේ බව ඇය කාටවත් ම කීවේ ද නැත. මන්ද මිනිස්සු කට කතා හදා පැංචි කෙල්ලට ස්වේත මඟුලක් කරගන්න බැරි වෙයි යන සැකය මතය.
පහුවදා ගමේ දායක සභාව, බුද්ධ මන්දිරයේ ඉදිරි වැඩ ගැන කතා කරන්නට හාමුදුරුවෝ ගම්මු හැමදෙනාටම එන්න කියලා. රන් අක්කා පන්සලේ දායක සභාවට ගියේ පැංචි කෙල්ලත් සමග ඉතාමත් උවමනවෙනි. මන්ද සිරිදාසගේ දානේ කටයුතු ගැන ලොකු හාමුදුරුවෝ එක්ක කතා කර ගැනීමටත් හිතැතිව ය. එහිදී රන් අක්කට දකින්නට ලැබුනේ හරිම අමුතු නොසිතු හීනෙකින්වත් නොපැතූ දසුනකි. ඇය මහත් පුදුමයෙන් ඒ දෙස බල සිටයේය. ඇය දැක්කේ ගමේ ග්රාමසේවක මහත්තයාගේ කකුලේ ලොකු තුවාලයත්, අලුත බැඳපු වෙළුම් පටියෙන් මිරිකී ගලන ලේ බිංදුත් ය.
ජී.බී. අයේෂ්මන්ත දිලාන් ගුණසේන
2018/Waya/S/S/M/614