එදා ලස්සන උදෑසනක් ! වෙනදා මෙන් නොව හිරු එළීයෙන් මගේ මුලු දිවියම ප්‍රාණවත් වූවාක් මෙනි.මෙතෙක් අලසව හිස් බවකින් තිබූ මගේ ජීවිතය , මගේ ආත්මයම අවදි වී සතුටින් පිරී යන්නාක් මෙනි.ක්‍රියාශීලීව මා ඇඳෙන් නැඟිට ඇඳ ඇතිරිලි හකුලා, නමා, හිරි එළිය වැටෙන්නට තිර රෙදි ඉවත් කළෙමි.අද හිරු තවත් දීප්තිමත්..... ඔව්!අද මගේ ජීවිතයේ වැදගත් දිනයක්.වසර තුනක් පුරා බලා සිට දුක් කම් කටොළු මැදින් අද මම මගේ පත්වීමත් අරගෙන පාසලකට යනවා.....ඔව් මම ගුරුවරියක්......මගෙ සිහිනය අද ,මගේ හැම බලාපොරොත්තුවක්ම සඵල කරමින් ඉටු වෙලා....වේලාසනින් නැඟිට මම වෙනදාටත් වඩා උජාරුවෙන් ඔසරිය හැඩට ඇඳ, කොණ්ඩය ගුලියක් ගසා මොහොතක් මගේ හැඩ බලා පාසල වෙත පිටත් උනෙමි.
එය ඉතා දුෂ්කර පාසලකි.නමින් බ/ධම්මානන්ද විද්‍යාලයයි.සාමාන්‍ය පෙළ දක්වා පමණක් අධ්‍යාපන පහසුකම් ඇති ඒ පාසලේ සෑම විශයයක් සඳහාම ගුරු භවතුන්ගේ පුරප්පාඩු පැවතුණි.අලුත් පත්වීමක් දරා ගෙන පාසල වෙත අඩිය තිබූ ඒ මොහොතේ ඇතුලාන්තයෙන්ම ආත්මයම සුවපත් වන්නාක් වූ ඉමහත් ගෞරවයත්, ගුරු පෞරුෂයත් මගේ හිරිගඬු පිපෙන්නට තරම් ශක්තිමත් විය.මේ අහිංසක දරුවන්ගේ අනාගතය හැකි උපරිමයෙන් ඉටු කරන්නට අධිෂ්ඨානයෙන් මා පාසල තුලට පියමැන්නෙමි.පුංචි පැටවුන් ආසාවෙන් මා දෙස අහිංසක මඳ සිනහවක් පා මින් එහෙ මෙහෙ දුව පනින අපූරුවත් විඳිමින් මා පාසල් කාර්යාලයට ගොඩ උනෙමි.
“ එන්න එන්න ටීචර්.සුබ උදෑසනක් වේවා!”යැයි ඔවුහු සියලු දෙනා මා ඉතා ආදරයෙන් පිළිගත් හ.ජීවිතයේ වසර විසි හතරකට මා නොවිඳි නවමු අත්දැකීමක් විඳින්නට වරම් ලැබී ඇත.සතුට ඇතුලාන්තයෙන් කුතුහලය , භීතිය සහ වගකීම් සහගතභාවය නැතුවාම නොවේ.නමුත් නිල වශයෙන් මා ගුරුවරියක් යන හැගීම දැනුණ පළමු දින සාර්ථකව මුහුණ දෙන්නට පෙර දින මා විසින් පුහුණු වීම් නොකලාමත් නොවේ.
“ යමු ටීචර්,මං පංතිය පෙන්වන්නම්” යැයි විදුහල්පතිතුමා මා කැඳවාගෙන යන්නට විය.
(ලබ් ඩබ් ..... ලබ් ඩබ්........) වෙනදාට වඩා වැඩි වේගයෙන් ගැහෙන හඳ ගැස්ම පිටතට නෑසෙණ සේ මා පොත් මිටිය පපුවට තුරුලු කරන් පංතියට ඇතුලු උනෙමි. “ආයුබෝවන් සර්..........! ආයුබෝවන් ටීචර්.......!” පංතියේ සිසුන් එකවර නැඟිට උද්යෝගීමත්ව මටත් විදුහල්පතිතුමාටත් ආචාර කරන්නට විය.
“ ආයුබෝවන් පැටවුනේ............මේ ඉන්නෙ පුතාලගේ පංතිභාර අලුත් ටීචර්.ටීචර් ගේ නම් දිලිනි.පුතාල හැමෝම ටීචර් ට නම කියලා ගෙදර අම්මා , තාත්තා ගැන විස්තර කියලා හඳුන්වා දෙන්න ඕන! තේරුණා ද?.......... ටීචර් ට කරදර කරන්න බෑ.මං මේ ලඟම ඉන්නේ...හොඳමයි සර්........! ”.
පුංචි දරුවන් හුරුබුහුටිව විදුහල්පතිතුමාට පිළිතුරු දුනි. ගුරුවරියක් ලෙස විඳින්නම ඕන මේ පළමු හැඟීම මා හට ගුරු පුහුණුවේ පාසල් වෙත යන දින වල තදින්ම නොදැනුණත් ......අද ළමුන් තිහකට ආසන්න පිරිසකගේ තනි වගකීමක් කරට ගැනීම සමඟ දැනුණු ඒ චකිතය , භීතිය .... දහඩිය බිංදු බවට හැරෙමින් ඇති බව මට වැටහුණු නමුත් එය නොපෙන්වා සිනා මුසු මුවින් විඳ දරා ගන්නට විය.
“ටීචර් එහෙනම් පංතිය භාර ගන්න.සුබ පැතුම්! අපේ පාසලට ලොකු මෙහෙයක් අප බලාපොරොත්තු වෙනවා” යැයි විදුහල්පතිතුමා මා දිරි ගන්වා නික්ම ගියේය.
මා වගකීම් , යුතුකම් ගොන්නක් සමඟ සිසුන් තිහකට ආසන්න ප්‍රමාණයක “මවක්” වන්නට යන හැඟීම මට තදින් දැනෙන්නට විය.දරුවන්ගේ මා දුටු බලාපොරොත්තු සහගත දෑස් , මඳ සිනහව ,කුතුහලය ඔවුන්ගේ මුහුණු වලින් මට හොඳින්ම දිස්වන්නට පටන් ගැන්මත් සමඟ මම..................
“ආයුබෝවන් දරුවනේ! ... කොහොමඳ ඔය ගොල්ලන්ට” යැයි සුහඳ පිළිසඳරක යෙදෙන්නට පටන් ගත්තෙමි.කෙමෙන් කෙමෙන් මා දරුවන් තුලට ඔවුන්ගේ චර්යා , වෙනස්කම් ,අවශ්‍යතා සහිත දරුවන් සිටින්නේදැයි රහසේ එබිකම් කර බැලුවෙමි.පසුව මා ඔවුන් එකිනෙකා නැඟිටවමින් නම, ගම ,මව ,පියා ,පවුල් පසුබිම පිළීබඳ විමසීමට පටන් ගත්තෙමි.සැනෙන් කුලුපඟ වූ දරුවන් මා හා ඔවුන්ගේ විස්තර ඉදිරිපත් කරන්නට විය.ඉතා දුෂ්කර ගම්මානයක ,මෙවැනි පාසලක දරුවන්ගේ ජීවිත කෙතරම් කටුකද කියා දරුවන්ගේ බාහිර පෙනුමෙන් මා මැන බැලුවෙමි.හදවත..! කෙමෙන් කෙමෙන් සලිත වන්නට පටන් ගන්නට විය.අඳුරු වූ,අව පැහැ කිලිටි අවිහිංසක මුහුණු , මඩ තැවරුණු , පළුදු ඇඳුම් , සපත්තු මගෙ සානුකම්පිත නෙත් ගැටුණත් නොදැක්කා මෙන් මා ඉවත බැලූ වාර අප්‍රමාණයි.නම් ගම් අසමින් සිටිය දී පංතිය කොනේ සිටි හුරුබුහුටි කෙස් කලඹක් සහිත දුවක් බිම බලාගෙන හඬන්නට සැරසුණි.
මෙතෙක් වෙලා පිළිසඳරක යෙදුණු මා ඇතුළු අනෙක් සිසුන් අතරත් දැඩි නිශ්ශ්බ්දතාවයක් ගොඩනැඟුණී.එවිට ඇගේ මිතුරියක් නැඟී සිට
ටීචර් මෙයාගෙ නම සඳුණි............
මා ඇය අසලට ගොස් හිස පිරිමැද “ ඇයි පුතේ අඬන්නේ ”යැයි ඇසුවෙමි.
“ටීචර් මෙයාගේ අම්මා නැති වෙලා.තාත්තා විතරයි ඉන්නේ”….යැයි මිතුරිය නැවතහ් පිළිතුරු නඟන්නට විය.දැඩි නිශ්ශ්බ්දතාවයක් පංතියේ විය.
අහෝ...........! මට මා සමඟ දැඩි කම්පනයක් මෙන්ම හදවත සිදුරු කරන්නාක් වැනි දැඩි ශෝකයක් ඇති විය.මා ඇගෙ හිස උකුළට තද කරමින් “අඬන්න එපා පුතේ.මගේ පුතාට ටීචර් ඉන්නවනේ....නේද...! කෝ දැන් හිනා වෙන්න ” යැයි පවසා සනසවන්නට විය.එවිට ඇයත් කඳුලු පිස දමමින් ඔලුව සොලවන්නට විය.මා නැවත ගුරු මේසය වෙත දෑත් මිට මොලවමින් කඳුලු හංගාගෙන දරුවන්ට වෙනසක් නොපෙන්වා පාඩමකට ප්‍රවේශ විය.නමුත් දවස පුරාවට මේ සිදුවීම මා සිත සලිත කරන්නට විය.මා මගේ බත් පත පවා ආහාරයට නොගෙන සිටීමට තීරණය කළෙමි.පසුව මා ඇගේ පවුලේ ඇගේ පියා හා මිත්තනිය පිළිබඳ විමසා බලා ඇයට පංතිය තුලදී, මවගෙන් නොලැබුණ සෙනෙහස , ආදරය ,රැකවරණය ලබා දීමට මා අධිඨන් කර ගතිමි.
මේ මා මුහුණ දුන් පලමු සිදුවීම පමණී.
ගුරුවරයෙකු වීම කෙතරම් වගකීම් සහගතද යන්න වැටහෙන්නට මා වෘත්තීය ජීවිතය ඇරඹි මොහොතේ පටන් අවස්ථා සිද්ධි සමඟ මට පසක් වන්නට විය.මෙය රැකියාවක් නොවන බවත්,ඊට එහා ගිය මානුශීය , ආත්මීය , සම්භාව්‍ය ගණයේ උත්තුංග සේවයක් බවත් මට වැටහුණි.දරුවන් සමඟ ගණුදෙනු කිරීමත්, කතාබස් කිරීමත්, අධ්‍යන කාර්යයේ නිරත වීමත් , ඔවුන්ගේ හෘදයාංගම ළමා මනස තේරුම් ගෙන සැමට සමානාත්මතාවෙන් සැළකීමත්, සියලු දරුවන්ට එක් සුවිශේෂී මවක් වීමත් මේ ගුරුවරයා යන චරිතයට අයත් කාර්යභාරයේම අංග බවත් මා වෘත්තීය ජීවිතයේ පළමු දිනයේම උගත් පාඩම් විය....
මෙවැනි මවක් පියෙක් අහිමි අසරණ දරුවන් , ආදරයක් කරුණාවක් නොලබන දරුවන් , ළමා නිවාස වල තනි උන දරුවන් ..... ආදී වූ පිළිසරණක් අවැසි තම හැකි නැණ පමණින් ආදරය කරුණාව මෙන් ම අධ්‍යාපනයද ලබා දිය යුතුය. අප කරණ පුංචි හෝ කාර්යයකින් එම මුවඟේ සිනහවක් නැඟෙන්නේ නම් එය අප ලබන මහත් පුණ්‍යකර්මයක්ම වන්නේය.මඟ තොටේ හමුවන කොතෙකුත් දෑස් අතර අසරණ පුංචි කැකුළු දුටු විට එපා අහක බලන්න.පුංචි හිත් ආසයි ලෙංගතු සිනාවක පහස විඳින්න.සියලු සැප සම්පත් සමඟ උපදින සුලුතරයේ ආශිර්වාදයෙන් දුඟී බහුතරයේ අනාගතය සුබ අනාගතයක් කරන්නට පුංචි මල් කැකුලු වල පටන් ආකල්පමය ගුණ වගා කල යුතු බවත් මා මගේ පලමු වෘත්තීය දිනයේම තරයේ සිහි තබා ගනිමින් පාසලේ නිමවී නැවත නිවසට ඒමට පිටත් උනෙමි.
W.M.B.රන්දිලිනි වික්රමපාල
2018/Waya/Pri/S/F/3355