කථිකාචාරීණී R.C.P.කුමාරි
“ කුණු බාල්දියක් සුන්දර දැයි
ඇසූ ප්‍රශ්නයකට
පිළිතුර වූයේ
පලිහකට උචිත කාර්යය
ඉටු නොකරන
රන් පලිහකට වඩා
තම කාර්යය හරිහැටි ඉටු කරන
කුණු බාල්දිය වඩා සුන්දරයි
යන්නය ”
-සොක්රටීස්-
සැබැවින්ම කුණු බාල්දිය තමාට හිමි කාර්යය නිසි පරිදි ඉටු කරයි. රන් පලිහ තමාට හිමි කාර්යය නොකරයි. ඔබට වටින්නේ කුමක්ද? තම කාර්යය නිසිලෙස ඉටු කරන්නාද එසේ ඉටු නොකරන්නාද? ග්‍රීක දාර්ශනිකයෙකු වූ සොක්රටීස් පවසන්නේ තමාගේ කාර්යය නිසි ලෙස ඉටු කරන්නා ඉතාමත් සුන්දර බවයි.
එසේ නම් සොක්රටීස් ඉදිරිපත් කරන ලද ඉහත දර්ශනයට අනුව මෙලොව වසන සියලු මානව ප්‍රජාවගේ වගකීම වන්නේත් එයයි. එනම් තම ජීවිතය පවත්වාගෙන යාමේදී තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් නිසි ලෙස හඳුනාගෙන නොපිරිහෙලා ඉටු කිරීමයි. තම වගකීම් හා යුතුකම් නිසි ලෙස හඳුනාගෙන ඉටුකරන සමාජ පරිසරයක ජීවත්වන්නා ඉතා සුන්දර ලෝකයක් උරුම කරගනී.
ඉහත කර්තව්‍යය ඉටු කිරීමෙහිලා ගුරුවරයාට හිමිවන්නේ අතිශය සුවිශේෂී ස්ථානයකි. මානව සමාජයේ යහපත උදෙසා පරපුරකට පරපුරක් දායාද කිරීමේ වගකීමේ හිමිකම ගුරුවරයා අත්පත් කරගනී. ඒ විෂයෙහිලා ගුරුවරයා තම හෘද සාක්ෂියට අනුව අතිමහත් කාර්යභාරයක් ඉටුකළ යුතුවෙයි. ගුරුවරයා දැනුමෙන් පමණක් සන්නද්ධ නොවී ආකල්ප හා කුසලතාවලින්ද පරිපූර්ණ විය යුතුවෙයි. ඒ තුළින් යහගුණවලින් පිරිපුන් නවමු පරපුරක් දායාද කිරීමේ හැකියාව උදාවෙයි.
“ඔවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට”
යන උපදේශයෙහි පිහිටා කටයුතු කිරීම තුළින් මහඟු ජීවන දැක්මක් ස්වකීය සිත්තුළ රඳවාගත හැකි වෙනවා මෙන්ම අනෙකාගේ සිත තුළද එය උත්පාද කිරීමට හැකියාව ගුරුවරයාට උදාවෙයි.
හොඳ ගුරුවරයා
තම ශිෂ්‍යයින් තුළ
සැබවින්ම
ජීවිතයේ වටිනා දේ වන
පැහැදිලි දැකීම්
සෞන්දර්ය
සංවේදීතාව හා ආදරය
ආදිය ගැන
උද්යෝගයක් ඇති කිරීමට
වෙහෙසී ක්‍රියා කරයි.
මනා සිහියෙන් යුතු
ජීවිතයේ වැදගත්කම
අවධාරණය කර ගනියි.
සැබැවින්ම යහපත් මිනිසුන් ලොවට දායාද කිරීමට අවශ්‍ය වන්නේ එවන් යහපත් මිනිසුන් ය. ගුරුවරයා යනු ගෞරවනීය චරිතයකි. ගුරු - ගෞරවාර්ථයේත්, වර - උත්තමාර්තයේත් යෙදේ. එබැවින් ගුරුවරයා යනු උතුම් වූ ගෞරවනීය වූත් චරිතයකි. අනිවාර්යෙන්ම ගුරුවරයා උතුම් වූත් ගෞරවනීය වූත් චරිතයක් විය යුතුම වෙයි. ආදරණීය ගුරුවරු ලොකු කුඩා භේදයකින් තොරව සියලු හදවත් සන්තානයන්හි ජීවත් වෙයි.
ගුරුවරයා නිරතුරුවම ලිපිගොනු සමග දඟලන්නන් නොවෙයි. දරුවන් සමග වැඩ කරන ඔවුන්ගේ ජීවිත සමඟ ජීවත් වන පිරිසකි. හැඟීම් දැනීම් ඇති පිරිසකි.
එවන් මානව ප්‍රජාව සමඟ වැඩ කිරීමේදී සෑම විටම මානසිකත්වය නිරාකූල වීම වැදගත් වේ. ළමයින් යනු පිරිසිදු සිත්සතන් වලින් යුක්ත වූවෝ වෙති. ඔවුන්ගේ සිත් වැඩිහිටියන්ගේ සිත් මෙන් දූෂිත වූ ඒවා නොවේ. ඔවුන් පිවිතුරු මල් මෙනි. ජීවත් වන පරිසරය හා සබැඳිව ඔවුන්ගේ චර්යා රටා වෙනස් වීම ස්වභාවිකය. අපහට කිසි විටෙක ඉතාමත් හොඳ සුභග ළමුන් රාශියක් කිසි දිනෙක මුණ නොගැසෙති. මුරණ්ඩු ළමයි, ඇට්ටර ළමයි, නාහෙට නාහන ළමයි ආදී විවිධාකාර ළමුන් දකින්නට ලැබෙන්නේ ඔවුන් උපතින් ගෙන ආ චරිතාංග නිසා නොවේ. ජන්මලාභියා ජීවත්වන පරිසරය හා සබැඳිව දිවි ගෙවන්නන් ඇසුරින් ලබාගන්නා විවිධ දෘෂ්ඨීන් චරිතායනය කර ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙනි.
රිදියෙන්
බොර
පහ කරන්න
එවිට
පිවිතුරු බඳුනක්
සෑදීමට
රිදීකරුට
හැකිවේ.
-මහෝපදේශය-
ගුරුවරයකු ලෙස දරුවන් වෙනුවෙන් යමෙකුට සත් කාර්යයක් පැවරේද ඔවුහු එය නොපිරිහෙලා ඉටු කළ යුත්තෝ වෙති. ඔවුන් සමාජයට, රටට, ලෝකයට දායාද කිරීමේ දී හොඳින් ඔපමට්ටම් කර වටිනා බඳුනක් ලෙස දායාද කළ යුතුය. ඉහත සඳහන් කළ විවිධාකාර චරිතාංග ඔවුන් කෙරෙන් මතුවන කල්හි මෙහි සඳහන් සත්කාර්ය ඉටු කිරීම උගහටය. එය නිවැරැදිව ඉටු කිරීමට නම් පන්ති කාමර තුළ දී අපට හමුවන දරුවන් අරඹයා අප අනෙක් ගුරුවරුන්ට වඩා වෙනස් ක්‍රියාමාර්ගයක් ඇරැඹිය යුත්තාහ. එම ප්රයත්නය දරුවන් තමා වෙත ආකර්ෂණය කර ගැනීමේ හැකියාව ඇති කළ යුත්තකි. එම නිසා සැමවිටම ඔබ
දරුවන්ට ආදරය කරන්න.
දරුවන් අගය කරන්න.
දරුවන් විශ්වාස කරන්න.
ඔබ දරුවන්ට ආදරය කරයි නම් දරුවන් ද පෙරළා ඔබට ආදරය කරනු ඇත. ඔබ දරුවන් අගය කරයි නම් ඔවුන් ද ඇගයීමට පාත්‍ර වන වැඩ නිතර කරනු ඇත. ඔබ දරුවන් විශ්වාස කරයි නම් ඔවුන්ද ඔබ විශ්වාස කරනවා පමණක් නොව කිසි දිනෙක ඔබේ විශ්වාසය නොකඩනු ඇත. ආදරය, දයාව, සෙනෙහස, අගය කිරීම වැනි මෙම මානුෂීය ධර්මවලට තිබෙන වටිනාකම කිසිවෙකුට කියා නිමකල නොහැක. ඔබ පැළයක් සිටුවන්න. එම පැළයට ඔබ එදිනෙදා සත්කාර කරන්න. ආදරය කරන්න. ගසට නිසි සත්කාර ලැබේ නම් එය වර්ධනය වී අතුරිකිලිලා වැඩෙනු ඇත. දරුවන් ද එබඳු ය. ගුරුවරයෙකුට කුඩා දරුවන්ගේ ජීවිත කෙරෙහි විශාල බලපෑමක් සිදු කිරීමට හැකියාව ඇත. වනයේ පිපි මල් වනයට පර වීමට ඉඩ නොදී එවන් මල් කැකුළු පුබුදුවාලමින් මුලු ලොවම සුවඳවත් කිරීමේ භාරදූර වගකීමක පින්බර හිමිකාරීත්වය ලබා තිබෙන්නේ ඔබය.
කිසි දිනක
මිනිස්කම කෙරෙහි
ඇති ඔබේ ගෞරවය
හීන නොකරන්න.
මිනිසත්කම යනු
දියත පැතිර ඇති
මහා සාගරය බඳුය.
අපවිත්‍රවූ දිය බිඳක් දෙකක්
තිබූ පමණකින්
මුලු සාගරයේම දියකඳ
අපවිත්‍ර කළ නොහැක.
එය කිසිදා සිදු නොවන්නකි.