කථිකාචාර්ය - නලින්ද වජිර බණ්ඩාර දිසානායක
“ළමා විය දිගය….. ඒ නිසා ඔහුට කාලය නාස්ති කරන්න ඉඩ දෙන්න”
- රූසෝ -
මේ සුන්දර ළමා විය පිළිබඳ සුප්‍රකට දාර්ශනික අදහසකි. මෙහි තේරුම කුමක්ද ඔබ දන්නවා ද.....
සුන්දර ළමා විය ක්‍රියාකාරීත්වයට අනවශ්‍ය සීමා පැනවීමෙන් වළකින ලෙස වැඩිහිටියන්ට දෙනු ලබන ගැඹුරු ඔවදන මෙහි ගැබ්ව තිබේ. ළමාවිය එතරම් නිදහස්ය. කාලය නාස්ති කිරීම යනු හුදෙක් පවත්නා කාලය අපතේ යාමට ඉඩ හැරීම නොවන බව දාර්ශනික චින්තාවකින් යුතුව අවබෝධ කරගත යුතුය. දරුවා කාලය නාස්ති කරන්නේ තම පවුල, දෙමව්පියන්, අසල්වාසීන්, හිත මිතුරන් මෙන්ම ස්වභාවික පරිසරය සමඟ අන්තර් සබඳතා පවත්වා ගැනීමටය. පරිසරයේ සුන්දර අත්දැකීම් ක්‍රියාකාරීව විඳීමට ය.
අළුයම හිරු නැගෙන හැටි, හිරු කිරණ වළාකුළු පසාරු කරගෙන විහිදෙන හැටි ඔහු ඉගෙන ගන්නේ කාලය නාස්ති කිරීමෙන් ඇර අන් කවරකින් ද ?
කුරුල්ලන් පියාඹන හැටි, සේම සුමියුරු කුරුළු නාද ග්‍රහණය කර ගන්නේ මේ ස්වභාවික අත්දැකීම් නිදහසේ විඳීමෙන් නොවන්නේ නම් අන් කවර ක්‍රමයකට ද ? මල් පිපෙන හැටි, ඒවායේ සුවඳ උපදින හැටි, පැලයක් දළු කොළ දමා වැඩෙන හැටි ඔහු සත්‍ය ලෙස ම ඉගෙන ගන්නේ පරිසරය සමඟ නිදහසේ කටයුතු කිරීමෙන් හැර අන් කවර ලෙසකින් ද ? එපමණක් නොව ස්වභාවික ලෝකයේ ගැටලු, අර්බුද, ආපදා පිළිබඳ සත්‍ය වටහා ගන්නේ මෙවැනි ම වූ නිදහස් අන්තර් සම්බන්ධතා වලින් නොවේ ද ? එම ස්වභාවික සංසිද්ධීන් තම ජීවිනාදර්ශයන් බවට පෙරළා ගැනීමට අවැසි මගපෙන්වීම ලබා ගන්නේ මෙම අත්දැකීම් නිදහසේ, රිසිසේ විඳීමෙන් නොවේ ද ? දරුවෙකු ලෙස තමා කුඩා කල සිටම වැඩෙන අයුරු ඔහු අත් දකින්නේ මෙම ස්වභාව සෞන්දර්යේ නියත අත්දැකීම් මත පිහිටා නොවේ ද ?
එනයින් ගත් කල මෙම දිගු කාලය නාස්ති කිරීමට ළමයාට ඉඩදීම කළ යුතු නොවේ ද ? එය කෙතරම් දාර්ශනික ද ? අධ්‍යාපන විද්‍යාවට අනුකූල ද ? කෙතරම් මනෝවිද්‍යාත්මක ද ?
සිතන්න.... අපි ගුරුවරුන් වෙමු.... මෙම දාර්ශනික මූලධර්මය මත ඊට ගැළපෙන අපගේ සැබෑ ගුරු කාර්යභාරය කුමක් ද.....
“පාසල උයනකි, ළමයා එහි ලපටි පැළයකි ගුරුවරයා පරිස්සමින් හා සැළකිල්ලෙන් කටයුතු කරන උයන් පල්ලා ය ”
- ෆෙඩ්රික් ෆීබල් -
මෙම සුප්‍රසිද්ධ දාර්ශනික කියමන ගුරු ගුරුවරයාගේ සමස්ත කාර්යභාරය කෙතරම් උසස් දාර්ශනික චින්තාවකින් යුතුව විග්රහ කර තිබෙන්නේ දැයි ඔබට සිතිය හැකි ද ?
පැළය නිදහසේ වැඩේ, උයන් පල්ලා ඊට අවැසිම ජලය, පොහොර ලබා දෙමින් වැඩිමට අවැසි පහසුකම් හා මඟපෙන්වීම ලබාදේ. එසේම එය රැක බලා ගනී. නිදහසේ වැඩීමට සීමා බන්ධන නොපණවයි. රෝ දුක් පීඩාවලින් වළකා ගනියි. වැඩිම අගයයි. මල් පිපෙන විට, ඵල දරන විට දිරිමත් කරයි. සතුටු වෙයි......
වර්තමාන ශිෂ්‍යයා අරභයා ගුරු කාර්යභාරය වන්නේ මෙය ම නොවේ ද? අප උගන්නා ගුරුවරයාගේ සැබෑ සමාජ භූමිකාව මෙය ම නොවේ ද? පන්ති කාමර ගුරු භූමිකාව තුළ සැබෑ පරිණාමන ගුරු භූමිකාව මෙය ම නොවන්නේ ද ස්වභාවික පරිසරය හා ජීවන වටපිටාවෙන් මුක්තව දරුවාට ලබාදෙන අධ්‍යාපනයේ ප්‍රතිඵලය කුමක් ද යන්න ගුරුවරුන් ලෙස අප තේරුම් ගත යුතුමය. සිසුන් ලබන අධ්‍යාපනය සැබෑ ජීවන අත්දැකීම් සමඟ ගළපාලමින් සුතත්‍ය ඉගෙනුම් වාතාවරණයක් ගොඩනැඟීම ගුරුවරයාගේ වර්තමාන කාර්යභාරය විය යුතුමය. මෙම අතීත දාර්ශනික චින්තාවන් අප වෙත බලකර සිටින්නේ එහෙම නොවේ ද ?
එසේම ගුරුවරයා විසින් දරුවාට ලබාදිය යුත්තේ දරුවා කැමැති දේය. ඔහු නිදහසේ අතු ඉති විහිදා වැඩෙන්නේ එවිටය.
“ළමයා ඉගෙන ගත යුත්තේ ඔහු ආසා කරන දේය. ගුරුවරයා ආශා කරන දේ ළමයාට ඉගැන්වීම ළමයා වහලකු කිරීමකි”
රූසෝ ගේ මෙම කියමන ඉහත අදහස් තවදුරටත් තහවුරු කරයි.ළමයා ආස කරන දේ යනු ළමයාට හැකි දේය. එසේම එය ළමයා තුළ ගැබ්ව පවත්නා විභව්යතාවයයි. අප කළ යුත්තේ දරුවාගේ විභව්‍යතා සංවර්ධනයට මග පෙන්වීමය. පහසුකම් ප්‍රමාණවත්ව සැපයීමය. ස්වභාවධර්මය සමග ගැටෙමින් නව හැකියා සංවර්ධනයට අවැසි පරිසරය සම්පාදනය කිරීමය. අවැසි තන්හි ප්රතිපොෂණත් , ඉදිරි පෝෂණත් ලබාදෙමින් ඔහුව අගයමින් ධෛර්යය සම්පන්න කිරීමය. එවිට දරුවා සතුටින් උගනී. ඔහු ඔහුගේ ජීවිතය සුවඳවත්ව විකසිත කරගනී.
“ දරුවා තවමත් විකසිත නොවූ මල් පොහොට්ටුවකි. අධ්‍යාපනය යනු එය විකසිත වීමට ප්රබෝධනය කරන ක්‍රියා පිළිවෙළය. ඒ සඳහා ආදරය හා අනුකම්පාව, මිත්‍ර තෘෂ්ටිදායක පරිසරයක් මැවූ කළ පුර්ණ විකසිතවීමක් ඇති වේ ” - පෙස්ටර් ලෝසි -
දරුවාගේ ස්වභාවයත්, දරුවා සංවර්ධනයට ක්‍රියාමාර්ග ගැනීමේ දී ගුරුවරයා කටයුතු කළ ආකාරයත් පෙස්ටර් ලෝසි ගේ ඉහත දාර්ශනික අදහසින් මැනවින් ප්‍රකට වේ. මෙම අදහසින් දරුවාගේ ස්වභාවය, මෙන්ම වටිනාකම මැනවින් පැහැදිලි වන ආකාරය ඔබට තේරුම් ගත හැකි ද ? මල් පොහොට්ටුවක් සුවඳවත්ව විකසිත වන්නට නම් එයට ආදරය, සෙනෙහස, පිළිගැනීම, නිදහස් ලබාදිය යුතු නොවේ ද ?
දරුවන් සම්බන්ධයෙන් අධ්‍යාපනයේ කාර්යභාරය විය යුත්තේ ද එයම නොවේ ද ? අධ්‍යාපන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන ප්‍රධාන උපකරණය වන විෂය මාලාව සකස් විය යුක්තේ ද එම දාර්ශනික මූලධර්ම මත පිහිටා බව ඔබට වැටහේ ද ? එසේ ම එම එසේ විෂය මාලාව හසුරු වන ගුරුවරයා ආදරයෙන්, සෙනෙහසින්, අනුකම්පාවෙන් යුක්තව ඉගෙනුම සඳහා සංතෘෂ්ටි දායක පරිසරයක් නිර්මාණය කරන දයාවන්ත මග පෙන්වන්නෙකු විය යුතු බව සර්වකාලීන දාර්ශනික සත්‍යයක් බව ඔබ පිළිගන්නවා ද ?
මේ මිහිපිට මානවයා සතු වැදගත්ම වටිනාම, අගනාම සම්පත ළමයා ය. සියලු දේහි හිමිකරු ඔහුමය. සුප්‍රකට දාර්ශනිකයකු වන ආමෝස් කොමීනියස් එය තම දාර්ශනික චින්තාව තුළ ප්‍රකට කරන්නේ මෙසේය.
“ ළමුන් යනු අමිල නිධානයකි. දිව්‍යමය මැණිකකි. රන් රිදී මුතු මැණික් වලට වඩා ළමුන් අගය කළ හැකි වස්තූන්ය.”
ළමුන් සම්බන්ධයෙන් කොමීනියස් ගේ මෙම චින්තාව කෙතරම් විශිෂ්ට ද ? අප රන් රිදී මුතු මැණික් රකින්නේ යම් සේද ඊටත් වඩා වටිනා ළමයා ඊටත් වඩා උසස් කැපවීමෙන් රැක බලා ගත යුතුය.
එවන් වටිනා දරුවන් සම්බන්ධයෙන් ගුරුවරුන්, වැඩිහිටියන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ෆෙඩ්රික් ෆ්රීබල් සිය දාර්ශනික චින්තාවන් තුළින් අප වෙත මෙසේ ඇරයුම් කර සිටී.
“එනු මැනවි අපි අපේ ළමුන් සඳහා ජීවත් වෙමු” නැ
විසි එක් වන සියවසේ සිසුන් තනන්නට පෙරමං ලකුණු ගණිමින් සිටින විසි එක්වන සියවසේ ප්‍රිය ගුරු විද්යාර්ථයිනි.....දාර්ශනිකයා යනු අනාගතය විචාරශීලීත්වයෙන් යුතුව දකින්නාය. මීට සියවස් ගණනකට පෙර බිහි වූ දාර්ශනිකයෝ ඉන් සියවස් ගණනක් ඉදිරි අනාගතය පිළිබඳ නුවණින් දුටහ. ඔවුහු අධ්‍යාපනය පිළිබඳ සියවස් ගණනාවකට පෙර කියාපෑ දාර්ශනික චින්තාවන් අදට ද එකසේ වලංගු වන්නේ ඒ නිසාය. උපයෝගීතාවාදී මූලික දර්ශනවාදියෙකු ද ප්‍රගතිවාදී අධ්‍යාපන දර්ශනිකයකු ද වන ජෝන් ඩුවී අධ්‍යාපනය ළමා කේන්ද්‍රීය විය යුතු බවත් අධ්‍යාපනයේ පරමාර්ථය වන්නේ ළපටි හා තරුණ දරුවා වැඩිහිටියකු බවට පත් කිරීම බවත් යන චින්තාව අදට ද හෙටට ද වලංගු වන්නේ එබැවිනි. විසි එක් වන සියවසට උචිත දරුවකු නිර්මාණය කිරීමට නම් ඔබ ද විසි එක්වන සියවසට උචිත ගුරුවරයකු විය යුතුමය. ඒ සඳහා දාර්ශනික චින්තාවන් මත පිහිටා අපගේ භාවිතාවන් සංවර්ධනය කරගත යුතුමය.ඒ සඳහා මූලික දර්ශනවාද, චතුර් අධ්‍යාපන දර්ශන, මනෝවිද්‍යාත්මක චින්තාවන් නිරන්තරයෙන් පරිශීලනය කළ යුතුය. ඒවායින් ප්‍රකට වන මූලික පදනම් ආදර්ශයට ගනිමින් තම භූමිකාව ප්‍රායෝගිකව සංවර්ධනය කර ගත යුතුය. මේ විශ්වයේ අගනාම, වටිනාම සම්පත් වන දරුවන්ගේ සංවර්ධනය උදෙසා එය අත්‍යාවශ්‍යය. ගුරුවරයාගේ හදවත තුළ වටිනාම ප්‍රතිමූර්තිය දරුවාය. එය අතීතයට ද වර්තමානයට ද අනාගතයට ද එසේමය.
ගුරු විද්යාර්ථයිනි එන්න....
විසි එක් වැනි සියවසේ ගුරුභවතුන් ලෙස අපි අපේ දරුවන් උදෙසා කැපවෙමු.