පුස්තකාලයේ ඉතිහාසය

1957 – 1967 අතර කාලයේ වෑගම්පත්තු නිල්ගල ගම්සභාව යටතේ ගම්සභා ගරු සභාපති ලෙස කටුයුතු කල එල් . එච් ඇන්ඩර්සන් සිල්වා මහතාගේ කාලයේ මෙම පුස්තකාලය පිහිටුවීමේ අඩිතාලම වැටී 1967- 1968 කාලය තුල ශ්‍රී.නි. පක්ෂයේ ගරු සභාපති ලෙස කටයුතු කල ජී.එච්. අමරපාල මහතාගේ කාලයේ එනම් 1967 දෙසැම්බර් මෙම පුස්තකාලය ඇරඹීඇත. 1968 – 1970 අතර කාලය තුල ගම් සභා සභාපති ලෙස කටයුතු කල එ.ජා .පක්ෂයේ නිමල් සෙනරත් බණ්ඩාර මහතා යටතේ පාලනය වී ඇත. ඉන්පසුව 1970 – 1977 කාලය තුල ශ්‍රී.නි.ප යේ ජී.එච්. අමරපාල මහතා නැවතත් ගම්සභා සභාපති ලෙස පාලන කටයුතු සිදු කරන ලද අතර ඒ සභාව යටතේ පාලනය විය. 1977 – 1981 අතර කාලයේ විශේෂ කොමසාරිස් පාලනය යටතේ කටයුතු කල වෛද්‍ය සිව රාජා මහතා යටතේ පාලනය වී ඇත.

ඉන්පසුව 1982 – 1988 අතර තුර කාලයේ මොනරාගල දිස්ත්‍රික් සංවර්ධන සභා ඇරඹීමෙන් පසු බිබිල අංක 09 උප කාර්යාලය යටතේ බලයලත් නිලධාරි පාලනයේ පැවතිණි. ඉන්පසුව 1988 වන විට වත්මන් පළාත් පාලන ආයතන වන ප්‍රාදේශීය සභා ක්‍රමය ඇරඹී බිබිල ප්‍රාදේශීය සභා ගරු සභාපති ලෙස ජේ.ඒ. සෙනවිරත්න බණ්ඩා මහතා පත්වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමිනි.

1991 දී පැවති පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගරු සභාපති ලෙස ඒ.එම්. ගුණසේකර මහතා පත්වීමෙන් ඒ සභාව යටතේ පාලනය් වී ඇත. අනතුරුව 1997 පැවති පළාත් පාලන මැතිවරණයෙන් ප්‍රාදේශීය සභා ගරු සභාපති ලෙස විජිත බේරුගොඩ මහතා ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තේරී පත්වී ඇත.

එම සභාපති තුමාගේ කාලයේ, එතුමාගේ බලවත් උත්සාහය මත මෙම පුස්තකාලයේ ඉදිරි සංවර්ධන කටයුතු බොහොමයක් සිදුවී ඇත. සභාපති ලෙස කටයුතු කල විජිත බේරුගොඩ මහතා 1999 ඌව පළාත් සභාවට මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීමත් සමග උප සභාපති ලෙස සිටි එස් .ඒ .එම් චන්ද්‍රසේකර බණ්ඩා මහතා බිබිල ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කර ඇති අතර පුස්තකාලයේ පාලනය ඒ යටතේ විය 2002.03.20 වන දින පැවති පළාත් පාලන මැතිවරණයෙන් එකසත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ප්‍රාදේශීය සභා ගරු සභාපති ලෙස රංජිත් අබේරත්න මහතා පත්වී එම සභාව යටතේ පාලනය සිදුවිය. ඉන්පසුව 2006.03.30 පැවති පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් පක්ෂය මෙහෙයවමින් ගරු සභාපති ලෙස සුදුනිලමේ අත්තනායක මහතා තේරී පත්වීමෙන් පසු එම සභාව යටතේ පාලනය විය.

පසුව 2011.03.26 දින පැවති පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ප්‍රාදේශීය සභා සභාපති ලෙස එස්.ඒ.එම් චන්ද්‍රසේකර බණ්ඩා මහතා නැවතත් තේරී පත්වූ අතර පුස්තකාලයේ වත්මන් පාලනය එම සභාව යටතේ සිදුවේ. ප්‍රාදේශීය සභාව යටතේ ඇති ආයුර්වේදය,ළදරු පාසැල්,කොටගම පුස්තකාලය ආදී ආයතන අතුරෙන් ඉතා අගනා සේවයක් මෙම පුස්තකාලය මගින් සැලසෙන බව කිවයුතුය ඉහතින් සඳහන් කල සභාපති වරුන් හා ඒ ඒ සභා කාලයන්හි පුස්තකාලයේ දියුණුවට අවශ්‍ය කටයුතු සිදුවූ බවද කිව යුතුම වේ.

මෙලෙස ගම් සභා යටතේ මෙම පුස්තකාලය ආරම්භවී, ගම්සභා යටතේද, මොනරාගල දිස්ත්‍රික් සංවර්ධන සභාව යටතේද පාලනය වෙමින්, වර්ධනය වෙමින් 2015 වර්ෂය වනවිට පුස්තකාලය 47 වන වියට පියනගා ඇත. පුස්තකාලයේ ආරම්භයේ සිට 2001 වර්ෂය වන විට පුස්තකාලයාධිපති වරුන් 6 දෙනෙකු සේවය කර ඇත. 2001 වර්ෂය දක්වාම පුස්තකාලය පවත්වාගෙන යනු ලැබුවේ බිබිල ප්‍රාදේශීය සභාව සතු කුඩා ඉඩ ප්‍රමාණයකින් යුත් කාමර දෙකකය.

1997 සභාවට තේරීපත් වූ ගරු සභාපති විජිත බේරුගොඩ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී තුමාගේ කාලයේ එතුමාගේ බලවත් උත්සහය මත නව පුස්තකාල ගොඩනැගිල්ල ලබා ගෙන ඇත.

නව දෙමහල් පුස්තකාල ගොඩනැගිල්ල ප්‍රාදේශීය තොරතුරු මධ්‍යස්ථානයක් ලෙසට බිබිල ප්‍රදේශයේ ජනතාවගේ සහ පාසැල් දරු දැරියන්ගේ අධ්‍යාපනික සංස්කෘතික හා සාමජීයත්වය නංවාලීම ප්‍රධාන අරමුණු පෙරදැරිකරගෙන මධ්‍යම ප්‍රදේශ සංවර්ධන අමාත්‍යාංශය යටතේ උඩරට ගැමි පුනුරුත්තාපන දෙපාර්තමේන්තුව යටතේ ජපන් ප්‍රතිපර්ශ්විය 2K.R. අරමුදල යටතේ මුල්‍ය අනුග්‍රහයෙන් ඌව පළාත් සභා ඉංජිනේරු සේවා දෙපාර්තුමේන්තුවෙන් ඉදිකිරීම් කටයුතු

කරන ලදී . ගොඩනැගිල්ල ඉදිකිරීම් සඳහා වැයකල මුදල රු. 7500000.00 කි. මෙහි වැඩ ආරම්භ කල දිනය 2001.08.15 වන දින වන අතර වැඩ අවසන් කල දිනය 2002.02.25 වන දින වේ

මෙලෙස තනන ලද ගොඩනැගිල්ල, බිබිල ප්‍රදේශයට තිබූ එක් විශාල අඩුපාඩුවක් සම්පුර්ණ කරමින්, 2002.04.24 දින මෙම දැනුම්, තොරතුරු මධ්‍යස්ථානය ජනතා අයිතියට, පාඨක අයිතියට නතුකර විවෘත කරන ලදී. මෙහි වැඩ ආරම්භ කරනවිට පුස්තකාලයේ සේවයේ යෙදුනේ, පුස්තකාලයාධිපති ආර්.ඇම්. පේමවතී මිය හා පුස්තකාල සහායක කේ.ඇම්. කරුණාවතී මිය පමණි.