1.අධ්‍යාපන ක්ෂේත්රයේ පර්යේෂණ කිරිමට සුදුසු ගැටලුවක් හඳුනා ගැනීමට
2.අධ්‍යාපන ක්ෂේත්රයේ පර්යේෂණ කිරිමට සුදුසු සිද්ධීන්/ගැටලුවලට අදාළව සම්මත ක්‍රම භාවිතයෙන් සාහිත්‍ය විමර්ෂණ සිදුකිරීමට
3. හඳුනාගත් පර්යේෂණ ගැටලුව අධ්‍යයනයට යෝග්‍ය පර්යේෂණ පිරිසැලසුම් හා ක්‍රම තෝරා ගැනීමට
4. අධ්‍යාපනය සඳහා විස්තරාත්මක කාර්ය සැලසුමක් ඇතුළත් ව පර්යේෂණ යෝජනාවක් සකස් කිරීම
5. අධ්‍යාපනයට අදාළ ව දත්ත රැස් කිරීම විශ්ලේෂණය හා අර්ථකථනය හා සාකච්ඡා කිරීමට
6. පර්යේෂණ අධ්‍යාපනයට අදාළව අනාවරණයන් වාර්තා කිරීමට හා නිර්දේශ ඉදිරිපත් කිරීමට හැකිවනු ඇත
7. සම්මත ආකාරයට ආශ්රිත ග්රන්ථ නාමාවලි පිළියෙල කිරීමට
8. අධ්‍යාපනයට සම්බන්ධ සිද්ධීන්/ගැටලු සඳහා පර්යේෂණ සැලසුම් නිර්මාණය කිරීමට
9. පර්යේෂණ පවත්වා නිගමන සහ නිර්දේශයන් ඉදිරිපත් කිරීමට හැකිවනු ඇත
STP9545 - ගුරු අධ්‍යාපනඥයා පර්යේෂකයකු ලෙස
STP9545 -පළමු වන ඉගෙනුම් පලය
අධ්‍යාපන ක්ෂේත්රයේ පර්යේෂණ කිරීමට සුදුසු ගැටලුවක් හඳුනා ගැනීම.
ගුරු අධ්‍යාපනපති උපාධි වැඩසටහනෙහි දෙවන සෙමෙස්තරයට අදාළ විෂයයන් අතරින් STP9545 - ගුරු අධ්‍යාපනඥයා පර්යේෂකයකු ලෙස යන විෂය හඳුන්වා දීම සඳහා ආචාර්ය ශාමින්ද වනසිංහ කථිකාචාර්ය තුමා විසින් 2024.11.24 දින පෙ.ව.9.00 ට පළමු දින පාසල ආරම්භ කරන ලදි.
ප්‍රථමයෙන් ම දෙවන සමාසිකයට අදාළ විෂය පිළිබඳ අවබෝධය ලබා දෙමින් කුඩා පරිමාණ ව්‍යාපෘති ඉදිරිපත් කිරීම සහ ප්රත්යවේක්ෂණ ජර්නලය පවත්වා ගෙන යා යුතු ආකාරය පිළිබඳ අවබෝධය ලබා දුණි. එය විෂය අධ්‍යයන කටයුතු කර ගෙන යාමේ දී මතුවන ගැටලු නිරාකරණය කර ගැනීමටත් මතුවන අභියෝග ජය ගැනීමටත් ලබාගත් අත්දැකීම මහඟු අත්වැලක් වේ යැයි සිතමි.
කුමක්ද?
අධ්‍යාපන ක්ෂේත්රයේ පර්යේෂණ කිරීමට සුදුසු ගැටලුවක් හඳුනා ගැනීම සඳහා වෘත්තීය ජීවිතයේ ලබා ඇති අත්දැකීම් මත මාතෘකාවක් ගැන සිතා තොරතුරු අධ්‍යයනය කළෙමි. ඒ අනුව අධ්‍යාපන පද්ධතියේ පුහුණු ගුරු හිඟයේ පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳ සොයා බලන්නට සිත් දුන්නෙමි. අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරු වැඩි වශයෙන් නුපුහුණු ගුරුවරු වශයෙන් සේවය කරති. උපාධිධාරීන් ලෙස පත්වීම් ලබා පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවක්වත් කර නොගනිමින් සේවය කරන ගුරුවරු සිටිති. අධීක්ෂණ ක්‍රියාවලිය තුළ දී මතුවන ගැටලු සමග මා හට හැඟීගිය කරුණක් වූයේ එම ගුරුවරුන්ට ප්‍රාථමික සිසුන් හඳුනා ගැනීමට අසමත් වීම තුළ විවිධ ගැටලු නිර්මාණය වී ඇති බවයි. ඒ අනුව එම ගැටලුව සම්බන්ධව අධ්‍යයනය කිරීමට මෙම මාතෘකාව“විධිමත් වෘත්තීය පුහුණුවක් නොලද ප්‍රාථමික ශ්‍රේණි ගුරුවරුන් පංති කාමර ඉගැන්වීම් ක්‍රියාවලියේ දී මුහුණපාන ගැටලු සහ අභියෝග“ යන්න සකස් කර ගත්තෙමි. හොඳ පර්යේෂණ ගැටලුවක ලක්ෂණ 3ක් ඇති බව අධ්‍යයන තුළින් ඉගෙන ගත්තෙමි. ඒවා නම් පර්යේෂණ කළ හැකි බව, එම ගැටලුවලට පිළිතුරු ආනුභවික විමර්ශන මගින් සොයාගත හැකි වීම සහ දැනුමට නව දායකත්වයක් හෝ පවතින දැනුමේ හිඩැස් පිරවීමට උපකාරී වීම සිදුවේ යන්නය. ඒ අනුව එම ගැටලුවට අදාළ සාහිත්‍ය විමර්ශන සෙවීම සහ අරමුණු හෝ උපන්‍යාස ගොඩ නගා පර්යේෂණය සැලසුම් කරයි.
කථිකාචාර්ය තුමා ලබාදුන් උපදෙස් අනුව පර්යේෂණ පිළිබඳ අධ්‍යයනය කළෙමි. එහිදී පර්යේෂණ ප්‍රවේශ පිළිබඳ ව සහ සාහිත්‍ය විමර්ශනය පිළිබඳ අධ්‍යයනය කරමින් අත්දැකීම් ලබා ගත්තෙමි. පර්යේෂණ ප්‍රවේශ වන ප්‍රමාණාත්මක පර්යේෂණ ප්‍රවේශය, ගුණාත්මක පර්යේෂණ ප්‍රවේශය සහ මිශ්‍ර පර්යේෂණ ප්‍රවේශය පිළිබඳ අධ්‍යයනය කරමින් ඉගෙනුම් ක්‍රියාකාරකම් සම්පූර්ණ කළෙමි. තෝරාගත් පර්යේෂණ ගැටලුවට අදාළ සාහිත්‍ය විමර්ශනය සිදු කළෙමි. පුස්තකාලයට ගොස් පොතපත සහ වෙබ් අඩවි පරීක්ෂා කරමින් තොරතුරු සෙවීමට මහන්සි වුවෙමි. ඒ තුළින් දැනුම යාවත්කාලීන කර ගැනීමට හැකිවීම සතුටට කරුණකි. එසේම පර්යේෂණ පිළිබඳ මතකයන් අලුත් කරමින් නව දැනුම සොයා යාමට මාර්ග විවර විය. පසුගිය වසරේ ක්රියාමූලික පර්යේෂණවල නියැලෙමින් පර්යේෂණ පිළිබඳ අත්දැකීම් ලබාගත්තෙමි. එම ක්රියාමූලික පර්යේෂණ සහ විද්‍යාත්මක පර්යේෂණයන් අතර වෙනස හඳුනා ගැනීමටත් පර්යේෂණ කෙරෙහි නව නැඹුරුවක් ඇති කර ගැනීමටත් මෙම අවස්ථාව මහඟු පිටිවහලක් විය.
ඉතිං කුමක්ද?
දැනුම ලබාගැනීමේ ක්‍රම අතර පර්යේෂණ ප්‍රධාන ස්ථානයක් ගන්නා බව අවබෝධ කර ගැනීමට හැකිවිය.එසේම පර්යේෂණ ප්‍රධාන ආකාර තුනකින් සමන්විත වන බවත් ඒවා විද්‍යාත්මක පර්යේෂණ හෙවත් ප්‍රමාණාත්මක පර්යේෂණ, ගුණාත්මක පර්යේෂණ සහ විවේචනාත්මක පර්යේෂණ ලෙසත්, හඳුනා ගත්තෙමි. පර්යේෂණ ගැටලුවක් හඳුනා ගැනීම සහ ඒ සඳහා උපකල්පන,පර්යේෂණ ප්‍රශ්න ගොඩ නැගීම හෝ පර්යේෂණ අරමුණු ගොඩ නැගීම සිදුකර ගැනීමට අත්‍යවශ්‍ය කියවීම් සහ අමතර කියවීම් උදව් විය. පර්යේෂණ ප්‍රවේශ ලෙස ප්‍රමාණාත්මක ප්‍රවේශය, ගුණාත්මක ප්‍රවේශය සහ මිශ්‍ර ප්‍රවේශය භාවිත කරනු ලබන අවස්ථා පිළිබද අවබෝධය අනාගත පර්යේෂණ අවස්ථා සඳහා වැදගත් වේ යැයි සිතමි. කෙසේ නමුදු මෙම ඉගෙනුම් අත්දැකීම් ලබාගැනීම අභියෝගාත්මක වූ අවස්ථා ඉතා සංකීර්ණ වේ. එයට හේතුව සිංහල මාධ්‍ය පාඨමාලාව හදාරන අපහට සියලුම අත්‍යවශ්‍ය කියවීම් සහ අමතර කියවීම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබාදීම ගැටලුවක් වීමයි. මෙම අවස්ථාවට මුහුණදීම මාහටද අභියෝගයක් වුවද සමපදස්ථයන් සමග මාර්ගගත සාකච්ඡා සංවිධානය කරගනිමින් විසඳා ගැනීමට සමත් වූවෙමි. එහිදී එක් එක් පාඩම් එකිනෙකා බෙදා ගනිමින් සිංහලට පරිවර්තනය කර ගනිමින් හුවමාරු කර ගනිමින් අධ්‍යයනය කළෙමි. එම ලබාගත් ඉගෙනුම් අත්දැකීම් සාකච්ඡා මාර්ගයෙන් එකිනෙකා අතර හුවමාරු කර ගනිමින් අප ගැටලු විසඳා ගත්තෙමු. ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය මගින් ලබාදී ඇති සිද්ධි අධ්‍යයන අවස්ථාව සහ අමතර සහ අත්‍යවශ්‍ය ඉගෙනුම් සම්පත් අපගේ දැනුවත්භාවය සඳහා මහඟු පිටිවහලක් විය.
දැන් කුමක්ද?
පසුගිය කාලය තුළ ලබාගත් ඉගෙනුම් අත්දැකීම් පර්යේෂණ ලෝකය පිළිබඳ මතකය අලුත් කරන්නට පිටිවහලක් විය. ඒ තුළින් අධ්‍යාපන පර්යේෂණ පිළිබඳ නව දැනුම සොයා යන්නට හැකියාවක් ලැබේ. අධ්‍යාපනයේ ගුණාත්මක බව රැකගැනීම සඳහා පර්යේෂණ මත ගොඩ නගා ගන්නා අනාවරණ, නිගමන සහ යෝජනා අත්‍යවශ්‍ය වේ. අධ්‍යාපන ක්ෂේත්රය තුළ රැඳී සිටින අප සැමට පර්යේෂණ පිළිබඳ අවබෝධය ලබාගැනීම අත්‍යාවශ්‍ය වේ. එනම් වෘත්තීය ජීවිතය තුළ මුහුණදීමට සිදුවන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා පර්යේෂණ යොදාගැනීමට හැකිවේ. ලබාගත් ඉගෙනුම් අත්දැකීම් ප්‍රායෝගිකව අත්හදා බැලීමට පර්යේෂණයක නිරත විය යුතුය. ඒ සඳහා දිගු කාලයක් අවශ්‍ය වේ. එමනිසා මාස 6 වැනි කෙටි කාලයක් ලබා ගනිමින් ක්රියාමූලික පර්යේෂණයක නිරත වීම තුළ ලබා ගත් ඉගෙනුම් අත්දැකීම් ව්‍යවහාරික වශයෙන් අත්දැකීමක් බවට පත්කර ගත හැකි වන්නේය. එසේම ගුරු පුහුණුවීම්වලදී ගුරුවරුන් සඳහා පෙළඹවීමක් ඇතිකිරීමට ද මෙම අත්දැකීම් යොදාගත හැකි වෙයි. මේ අනුව ඉදිරියේ දී පර්යේෂණයක නිරතවීමට බලාපොරොත්තු වෙමි.
STP9545 - ගුරු අධ්‍යාපනඥයා පර්යේෂකයකු ලෙස
STP9545 - දෙවන ඉගෙනුම් පලය
අධ්‍යාපන ක්ෂේත්රයේ පර්යේෂණ කිරීමට සුදුසු සිද්ධීන්/ගැටලුවලට අදාළව සම්මත ක්‍රම භාවිතයෙන් සාහිත්‍ය විමර්ශනය සිදුකිරීම.
කුමක්ද?
පර්යේෂණයක් සිදුකිරීමේ දි පර්යේෂණ අධ්‍යයන පසුබිම හසුරුවා ගැනීම සඳහා සාහිත්‍ය විවරණය ලබාදෙන්නේ නොමද සහයෝගයකි. පර්යේෂණ පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී ගැටලුවක් මාතෘකාගත කර ගැනීම සඳහා පුළුල් සාහිත්‍ය විමර්ශනයක යෙදිය යුතුය. මේ අනුව සාහිත්‍ය විමර්ශනයකින් සිදුවන්නේ ගැටලුවට අදාළ පසුබිම හඳුනා ගැනීම, න්‍යායාත්මක පසුබිම සහ ක්‍රමවේද නිවැරදිව දිශානුගත වීමට අවශ්‍ය ශාස්ත්‍රීය පදනම හඳුනා ගනිමින් සමෝධානයක් සහිත වාර්තාවක් පිළියෙළ කිරීම ය. මෙම සාහිත්‍ය විමර්ශනය යන වචන පෙළ ගැඹුරින් අධ්‍යයනය කර අවබෝධ කර ගැනීමට පෙළඹීමක් ඇතිවීමට මෙම අවස්ථාව මනා පිටිවහලක් විය. ඒ අනුව විවිධ පොතපත අධ්‍යයනය කරමින් සහ අන්තර්ජාල ලිපි පරිශීලනය කරමින් සාහිත්‍ය විමර්ශනය යනු කුමක්ද?, ඇයි? කෙසේද? යන ප්‍රශ්නවලට පිළිතුරු සොයමින් අධ්‍යයනය කළෙමි.ඒ අනුව සාහිත්‍ය විමර්ශනයක දී කවර සාහිත්‍ය මූලාශ්‍ර ද යන්න දැනගැනීම, ළඟාකරගත හැකි මූලාශ්‍ර පරිශීලනය කිරීම, ඵලදායීව කියවීම, තර්කානුකූලව අදාළ සාහිත්‍ය දැනුම ගොඩනැගීම සහ සැලසුම් කිරීම සිදුකිරීමට අත්දැකීම් ලබා ගත්තෙමි. එසේම පරීශීලනය කරන ලද දැනුම ලබාගත් පොත්, වෙබ් අඩවි පිළිබඳව ද ග්රන්ථ නාමාවලිය ද මුල් අවස්ථාවේ සිටම වාර්තා කරගත යුතු බව අවබෝධ කර ගත්තෙමි. ඒ අනුව විවිධ විෂයානුබද්ධ ආශ්රිත ග්රන්ථ, විෂය මූලික ග්රන්ථ, ශාස්ත්‍රීය වාර සඟරා සහ විද්‍යුත් මූලාශ්‍ර පිළිබඳ තොරතුරු වාර්තා කර ගැනීමට දැනුවත් විය යුතුය. මේ අනුව අධ්‍යාපනික පර්යේෂණයක් සිදු කිරීමේ දී සාහිත්‍ය විමර්ශනය න්‍යායාත්මක පදනමින් සහ ආනුභවික පදනමින් සිදුකිරීමට අවශ්‍ය අත්දැකීම් ලබාගැනීම මෙම ඉගෙනුම් ඵලය සාක්ෂාත් කර ගැනීමෙන් සිදුවිය.
ඉතිං කුමක්ද?
සාහිත්‍ය විමර්ශනය පිළිබඳ ඉගෙනුම් අත්දැකීම් ලබාගැනීම තුළින් වඩා ශාස්ත්‍රීය පදනමකින් යුත් සාහිත්‍ය මූලාශ්‍ර කියවීම, තාර්කික පදනමකින් යුතුව පරිශීලනය කළ මූලාශ්රවල තොරතුරු වාර්තා කර ගැනීම සහ අරමුණු සහගතව වාර්තාකරණය යන පියවරයන් පිළිබඳ දැනුමක් අත්දැකීමක් ලැබුවෙමි. ගැටලු අභියෝග මතු වූ විට ඒවා විසඳා ගැනීම සඳහා සමපදස්ථ උදව් ලබා ගතිමි. ඒ අනුව මා තෝරාගත් ගැටලුව පිළිබඳ මෙතෙක් සිදුකර ඇති අනාවරණයන් ඉස්මතුකර දැක්වීම සහ පර්යේෂණය තුළින් සොයා ගැනීමට අදහස් කරන පූර්ව පර්යේෂණයන් හා සම්බන්ධ කර ගැනීම අවබෝධ කරගැනීමට හැකිවීම මා ලද ජයග්රණයකි. තෝරාගත් ගැටලුවට අදාළව සිදුකර ඇති පර්යේෂණ, රචනා කර ඇති විද්‍යාත්මක ලිපි පොත්පත් හා අනෙකුත් මූලාශ්‍ර පරිශීලනයෙන් පර්යේෂණය සඳහා යෝග්‍යතම න්‍යාය හා දිශානතිය අවබෝධ කර ගැනීමට හැකියාව ලැබූණී. වෘත්තීය ගමන්මගේ ඉංග්‍රීසි විෂය පිළිබඳ අඩු සාක්ෂරතාවය නිසා මුහුණ දීමට සිදුවූ ගැටලු අප්‍රමාණය.වැඩි වෙහෙසක් කාලයක් යොදමින් පරිවර්තනය කරගනිමින් අධ්‍යයන කටයුතු සිදු කළෙමි. තෝරාගත් ගැටලුවට සාර්ථක පර්යේෂණ සාහිත්‍යයක් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබූ බව මා හට හැඟී කාරණාවකි. විශේෂයෙන්ම ගැටලු අවස්ථාවලදී සමපදස්ථ සහාය සේම, වෙබ් අඩවි, පරිශීලනය කරමින් තොරතුරු සොයමින් නිරාකරණය කරගැනීමට ස්වයං පෙළඹීමක් ඇතිවීමද විශේෂ අවස්ථාවක් ලෙස මම දකිමි.
දැන් කුමක්ද?
ඉගෙනුම් අත්දැකීම් ලබාගත් මෙම පර්යේෂණ සාහිත්‍ය පිළිබඳ අවබෝධය අනාගත පර්යේෂණ අවස්ථා සඳහා භාවිත කිරීමට බලාපොරොත්තු වෙමි. පර්යේෂණ සිදුකිරීම නව දැනුම සොයා යාමේ ප්‍රබල ම ආවුධයකි.එමනිසා පද්ධතියේ ගුණාත්මක සංවර්ධනයක් සේම ස්වයං සංවර්ධනයක් වෙනුවෙන් අධ්‍යාපනික පර්යේෂණවල නිරත විය හැකිය. පර්යේෂණවල නිරත වීම වෘත්තීය සංවර්ධනය සේම මානසික සතුට ගෙනදෙන විනෝදාත්මක අංගයක් ලෙස ද හඳුනා ගත්තෙමි.
සාක්ෂි
අමතර කියවීම්
STP9545 -තුන්වන ඉගෙනුම් පලය
හඳුනාගත් පර්යේෂණ ගැටලුව අධ්‍යයනයට යෝග්‍ය පර්යේෂණ පිරිසැලසුම් හා ක්‍රම තෝරාගැනීම
ගුරු අධ්‍යාපනපති උපාධි වැඩසටහනෙහි දෙවන සෙමෙස්තරයට අදාළ විෂයයන් අතරින් STP9545 - ගුරු අධ්‍යාපනඥයා පර්යේෂකයකු ලෙස යන විෂය සඳහා දෙවන දින පාසල ආචාර්ය ශාමින්ද වනසිංහ කථිකාචාර්ය තුමා විසින් 2025.01.26 දින පෙ.ව.9.00 ට දින පාසල ආරම්භ කරන ලදි.
කුමක්ද?
එදින දින පාසල තුළදී පර්යේෂණ පිරිසැලසුම් පිළිබඳ අවබෝධය ලබාදීමට කථිකාචාර්ය තුමන් විසින් උත්සාහ කරන ලදි. පර්යේෂණ ගැටලුව අධ්‍යයනය කිරීම සඳහා භාවිත කරන ක්‍රමය පර්යේෂණ පිරිසැලසුම ලෙස අවබෝධ කර ගත්තෙමි. පර්යේෂණ ගැටලුව විසඳීම සඳහා දත්ත එකතු කළ යුතුය. දත්ත යනු පර්යේෂණයක හදවත බඳු වේ. එම දත්ත විශ්ලේෂණය කිරීම සඳහා පර්යේෂණ ප්‍රවේශය තෝරාගත යුතු බව අවබෝධ කර ගත්තෙමි. එහිදී ගුණාත්මක පර්යේෂණ ප්‍රවේශය සහ ප්‍රමාණාත්මක පර්යේෂණ ප්‍රවේශය පිළිබඳ ඉගෙනුම් අත්දැකීම් ලබාගැනීමට හැකි විය. මූලික පර්යේෂණ, ව්‍යවහාරික පර්යේෂණ, ගුණාත්මක පර්යේෂණ සහ ප්‍රමාණාත්මක පර්යේෂණ ලෙස පර්යේෂණ වර්ග 4ක් පිළිබඳ කථිකාචාර්ය තුමන් විසින් ලබාදුන් අත්දැකීම් මතකය අලුත් කිරීමක් විය. පර්යේෂණ ගැටලුවට අදාළව ස්වායත්ත විචල්‍ය සහ පරායත්ත විචල්‍ය වෙනස හඳුනා ගැනීමට හැකිවිය. යම්කිසි පර්යේෂණයක ස්වායත්ත විචල්‍ය හැසිරීම පරායත්ත විචල්‍ය කෙරෙහි බලපාන ආකාරය මත පර්යේෂණයේ අනාවරණ තීරණය කිරීම සිදුවන බව අවබෝධ කර ගත්තෙමි. මේ අනුව එදින දින පාසලේ පංති සාකච්ඡා පර්යේෂණ පිළිබඳ මසිතේ තිබූ කුතුහලයන් නිරාකරණය කර ගැනීමට මනා පිටිවහලක් විය.
ඉතිං කුමක්ද?
පර්යේෂණ වර්ග, පර්යේෂණ ක්‍රම, පර්යේෂණ පිරිසැලසුම් සහ පර්යේෂණ ප්‍රවේශ යන වචන අතර පැවති ගැටලුකාරී තත්ත්වය මග හරවා ගැනීමට ලබාගත් ඉගෙනුම් අත්දැකීම් සහ ඒවා පිළිබඳ තවත් සොයා බැලීමට ඉගෙනුම් සිද්ධි මාලාව, විවෘත අධ්‍යාපනික සම්පත් අනිවාර්ය කියවීම් සහ අමතර කියවීම් අධ්‍යයනය කිරීමට අමතක නොකළෙමි. ඒ අනුව පර්යේෂණ සැලැස්ම සකස් කර ගැනීමට අවශ්‍ය අත්දැකීම් ලබා ගැනීම වඩාත් පහසු විය. එසේම එම අවස්ථා සියල්ලක්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබාදීම ගැටලුකාරී වුව ද එම අභියෝගය ජය ගැනීමට Google Translation පිහිට විය. එසේ පරිවර්තනය කරමින් ඉගෙනුම් අත්දැකීම් ලබා ගත්තෙමි.
දැන් කුමක්ද?
මාර්ගගත දින පාසල තුළින් කථිකාචාර්ය තුමාගේ මග පෙන්වීම් මත කණ්ඩායම් ක්‍රියාකාරකම් සමගින් සක්‍රීය දින පාසලක් ලෙස අත්දැකීම් ලබා ගත්තෙමි. ලබාගත් එම අත්දැකීම් වෘත්තීය ජීවිතය හා බද්ධ කරගැනීමේ අවස්ථා සඳහා යොදා ගැනීමට හැකියාව ලැබුවෙමි. ගුරු අධ්‍යාපනඥයෙකු ලෙස පසුගිය වසර තුළ ක්රියාමූලික පර්යේෂණ පිළිබඳ අත්හදා බලමින් අධ්‍යාපන පද්ධතියේ සේවාස්ථ ගුරුවරුන් සඳහා ක්රියාමූලික පර්යේෂණ පිළිබඳ පෙළඹවීමක් ඇති කළෙමි. ක්රියාමූලික පර්යේෂණ පිළිබඳ යම් අවබෝධයක් තිබුණ ද අනෙකුත් පර්යේෂණ පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට මෙම දින පාසල දායකත්වයක් ලබා දුණි. වෘත්තීය ජීවිතය තුළ කටයුතු කිරීමේ දී සේවාස්ථ ගුරු පුහුණු වැඩසටහන් සහ අඛණ්ඩ ගුරු පුහුණු වැඩසටහන් සඳහා පර්යේෂණ පිළිබඳ අවබෝධය ලබාදීමට එදින ලබාගත් අත්දැකීම් මනා පිටිවහලක් වේ යැයි විශ්වාස කරමි.
සාක්ෂි
දින පාසල තුළ ලබාගත් අත්දැකීම් බිඳක්
අමතර කියවීම් මගින් දැනුම ලබාගැනීම
හතරවන ඉගෙනුම් පලය
අධ්‍යාපනය සඳහා විස්තරාත්මක කාර්යය සැලසුමක් ඇතුළත්ව පර්යේෂණ යෝජනාවක් සකස් කිරීම.
කුමක්ද?
දෙවන දින පාසල තුළ දී තෙවන ඉගෙනුම් පලය මෙන්ම සිව්වන ඉගෙනුම් පලය ද සාක්ෂාත් කර ගැනීමට දේශක තුමන්ගේ දේශනය මහෝපකාරී විය. පර්යේෂණ අරමුණු/ප්‍රශ්න ගොඩ නැගීම, ඉලක්ක ජනගහනය තුළින් නියැදිය තෝරා ගැනීම සඳහා අවබෝධය ලබා දීමට සක්‍රීය ලෙස කණ්ඩායම් ක්‍රියාකාරකම් යොදා ගනිමින් සිදු කරන ලදි. පර්යේෂණ ප්‍රවේශය, පර්යේෂණ ක්‍රම, පර්යේෂණ පිරිසැලසුම පර්යේෂණ අරමුණු, නියැදිය තෝරා ගැනීම සහ දත්ත විශ්ලේෂණය වැනි පර්යේෂණයේ අත්‍යවශ්‍ය ම කොටස් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට එදින දින පාසලේ පංති සාකච්ඡා මහෝපකාරී විය. ඒ අනුව පර්යේෂණ යෝජනාවක් සකස් කිරීමට ඇති හැකියාව තවදුරටත් තහවුරු කර ගැනීමට හැකිවිය. පර්යේෂණ යෝජනාවලියකින් අවම වශයෙන් සිදු කෙරෙන දෙය නම් පර්යේෂණයට ලක්කෙරෙන අදහසේ මූලික රාමුව පර්යේෂණය කිරීමේ වැදගත්කම සහ පර්යේෂණයේ දී අනුගමනය කරන විධික්රම පැහැදිලි කර ගැනීමකි. පර්යේෂණ යෝජනාව නම් පර්යේෂණ කාර්යයට ළඟාවීමට ආධාර කරන මාර්ග සිතියමක් යැයි සිතිය හැකිය.එනම් පර්යේෂණයේ දී අනුගමනය කරන විධික්රම සහ වැදගත්කම පැහැදිලි කරනු ලබන්නේ පර්යේෂණ යෝජනාව මගිනි. එමනිසා නිවැරදි අවබෝධයකින් යුතුව පර්යේෂණ යෝජනාව පිළිබඳ අධ්‍යයනය කිරීමට දේශකතුමන්ගේ මගපෙන්වීම සහ ඉගෙනුම් සම්පත් ආධාර කර ගන්නා ලදි.
ඉතිං කුමක්ද?
පර්යේෂණ යෝජනාව සකස් කිරීමේ දී ඇතුළත් විය යුතු අංග පිළිබඳ මතකය අලුත් කර ගැනීමට මෙම අවස්ථාව මහඟු අත්වැලක් විය. පර්යේෂණ අරමුණු ලිවීම සඳහා කණ්ඩායම් ක්‍රියාකාරකම් මගින් සමපදස්ථ අදහස් විමසමින් අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව ලැබු අතර අමතර කියවීම් මගින් ඒවා තහවුරු කර ගැනීමට හැකිවිය. නියැදිය, ඉලක්ක ජනගහනය, සාමාන්‍ය ජනගහනය, නියැදි රාමුව යනාදී සංකල්ප පිළිබඳ ඉගෙනුම් අත්දැකීම් ලබාගැනීම පර්යේෂණය සාර්ථක කර ගැනීමට මනා පිටිවහලක් වන බව අවබෝධ කර ගත්තෙමි. අනිවාර්ය කියවීම් 5 සහ 6 ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබා දුන්න ද සිංහලට පරිවර්තනය කර ගැනීමේ පහසුකම ලබා දී තිබීම නිසා ගැටලුවකින් තොරව ඉගෙනුම් අත්දැකීම් ලබා ගැනීමට හැකිවිය.
දැන් කුමක්ද?
පර්යේෂණ යනු ගුරු අධ්යාපනඥයකුට අත්‍යවශ්‍ය වූ වෘත්තීය සංවර්ධන මාවතකි. පර්යේෂණයක් ප්‍රායෝගික ලෙස සිදුකිරීමට අවශ්‍ය දැනුම සහ විවිධ කොටස්වලින් ලබාගත් අත්දැකීම් වෘත්තීය ජීවිතයේ සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් භාවිත කිරීමේ හැකියාව ඇත. එම ලබාගත් කුසලතා ගුරු අධ්‍යාපන වැඩසටහන්වල දී ගුරුවරයාට ලබාදීමට අවශ්‍ය කුසලතා වර්ධනය කිරීමට පිටිවහලක් වනු ඇත. ගුරුවරයා යනු පර්යේෂකයෙකි. විද්‍යාත්මක පර්යේෂණ කෙසේ වුවද සෑම ගුරුවරයකුම ක්රියාමූලික පර්යේෂණයක් සිදුකරන්නේ නම් වෘත්තීය සංවර්ධනයට මහඟු අත්වැලක් සපයයි. මෙම සෑම අවස්ථාවක් සඳහා ම පර්යේෂණ පිළිබඳ දැනුම අවබෝධය වැදගත් වන අතර ගුරු සංවර්ධන වැඩසටහන් මගින් ගුරුවරයා පර්යේෂකයන් බවට පත්කිරීමේ දැනුම ලබාදීමට ලබාගත් අත්දැකීම් ප්‍රයෝගිකත්වයට පත්කිරීමට අපේක්ෂා කරමි.
දින පාසල තුළදී ඉගෙනුම් අත්දැකීම් ලබාගත් අවස්ථාවන් කිහිපයක්
පස්වන ඉගෙනුම් පලය
අධ්‍යාපනයට අදාළව දත්ත රැස් කිරීම, විශ්ලේෂණය, අර්ථකථනය හා සාකච්ඡා කිරිමට
කුමක්ද?
දත්ත රැස් කිරීම පර්යේෂණයක වැදගත් අංගයකි. පර්යේෂණ යෝජනාව සැලසුම් කිරීම, ජනගහනය අනුව ඉලක්ක නියැදිය තෝරාගැනීම සඳහා අවශ්‍ය ඉගෙනුම් අත්දැකීම් ලබා ගැනීම දෙවන දින පාසල තුළදී උපයා ගත් අතර පර්යේෂණයේ දත්ත රැස්කිරීම සහ දත්ත විශ්ලේෂණය කළයුතු ආකාරය පිළිබඳ අධ්‍යයනය සඳහා අප සූදානම් විය යුතු බව අවබෝධ විය. ඒ අනුව දත්ත රැස්කිරීම සඳහා උපකරණ සකස් කළ යුතුය. පර්යේෂණයේ සැලසුම් කළ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දත්ත රැස්කළ යුතුය. ඒ සඳහා පර්යේෂණ උපකරණ නම් ප්‍රශ්නාවලි, සම්මුඛ සාකච්ඡා, නිරීක්ෂණ, පරීක්ෂණ දත්ත එකතු කිරීම සඳහා භාවිත කරනු ලබන බව අවබෝධ කර ගත්තෙමි. මේ අනුව තමා ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන ගැටලුවට අදාළ තොරතුරු එකතු කිරීම දත්ත රැස් කිරීම ලෙසද, රැස් කරන ලද දත්ත විද්‍යාත්මකව සහ ක්‍රමානුකූලව ඉදිරිපත් කිරීම විශ්ලේෂණය කිරීම සහ අර්ථකථනය කිරීම ලෙසද දැක්විය හැකිය. එසේම දත්ත විශ්ලේෂණය කර අර්ථකථන සැපයීමේ දී වගුමය, ප්රස්තාරමය සහ සංඛ්‍යානමය වශයෙන් ද ගුණාත්මක දත්ත විස්තරාත්මක ව ද ඉදිරිපත් කළ හැකිය. මේ අනුව පර්යේෂණයක දත්ත විශ්ලේෂණය අත්‍යවශ්‍යම කොටසකි. මෙම දින පාසල තුළදී දත්ත රැස් කිරීම, විශ්ලේෂණය, අර්ථකථනය යන කාර්යයන් සිදු කරන ආකාරය ඉගෙන ගත්තත් පර්යේෂණය සිදුකරගෙන යාමේ දී එම දැනුම, ගැටලු සහ අභියෝග අත්දැකීමක් බවට පත්වෙමින් මාගේ පර්යේෂණ කුසලතා තව තවත් වර්ධනය වනබව සතුටින් සිහිපත් කරමි.
ඉතිං කුමක්ද?
පර්යේෂණයේ දත්ත විශ්ලේෂණය හා අර්ථකථනය පිළිබඳ අධ්‍යයනය කරමින් ඉගෙනුම් අත්දැකීම් ලබා ගැනීම සඳහා ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ලබා දී ඇති අනිවාර්ය කියවීම් 7 සහ 8 ද වෙනත් පොත්පත් කියවීම සිදු කළෙමි. පර්යේෂණයක දී දත්ත රැස් කිරීමේ වැදගත්කම, දත්ත රැස් කිරීමේ උපකරණ සංවර්ධනය කිරීම සඳහා ලබාගත් දැනුම පර්යේෂණයේ දත්ත විශ්ලේෂණය සඳහා මනා පිටිවහලක් වෙයි. මෙම දැනුම ලබාගැනීම සඳහා සියලුම ලිපි ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබා දී තිබීම ගැටලුවක් වුවද ගූගල් පරිවර්තනය මගින් ඒවා අධ්‍යයනය කිරීමට අවශ්‍ය පහසුකම් සකස් කර ගත්තෙමි.
දැන් කුමක්ද?
පෙරදී ඉගෙනගත් දෑ සහ ලබාගෙන තිබූ ඉගෙනුම් අත්දැකීම්වල හිඩැස් ඌනපූර්ණය කර ගැනීමට මෙම අවස්ථාවන් මනා පිටිවහලක් විය. පර්යේෂණයක දත්ත විශ්ලේෂණය හා අර්ථකථනය පිළිබඳ අත්දැකීම් ලබා ගැනීම ගුරු අධ්‍යාපනපති පාඨමාලාවේ කුඩා පරිමාණ ව්‍යාපෘතිය සම්පූර්ණ කරගැනීමට දැනුම්වත් වනවා පමණක් නොව වෘත්තීය ජීවිතයේ පර්යේෂණවල නියැලීමේ දී අත්‍යවශ්‍ය උපයා ගැනීමක් වනවා නොඅනුමාන ය.
දින පාසලට සම්බන්ධ වීම
STP9545 - හයවන ඉගෙනුම්පලය
පර්යේෂණ අධ්‍යාපනයට අදාළව අනාවරණයන් වාර්තා කිරීමට හා නිර්දේශ ඉදිරිපත් කිරීමට හැකිවනු ඇත.
කුමක් ද?
STP9545 විෂයට අදාළව 2025.03.29 වන දින මාර්ගගත තාක්ෂණික ක්‍රමවේදය ඔස්සේ මහාචාර්ය ශාමින්ද වනසිංහ මහතා විසින් දේශනය සිදු කරන ලදී. එදින පර්යේෂණයක හදවත බඳු පර්යේෂණයේ ඉතා වැදගත් අංශයක් වන දත්ත රැස් කිරීම පිළිබඳ සාකච්ඡා කරන ලදී. පර්යේෂණයක් සිදු කිරීමේ දී එහි සඳහන් අරමුණු ඉටු කර ගැනීම සඳහා දත්ත රැස් කිරීමට පර්යේෂණ උපකරණ සකස් කළ යුතුව ඇත. මෙම දත්ත රැස් කිරීමේ උපකරණ භාවිතයේ දී ප්‍රාථමික මුලාශ්‍ර සහ ද්විතීක මුලාශ්‍ර ඇසුරින් දත්ත ලබා ගැනීමට හැකියාව තිබෙන බව කථිකාචාර්යතුමා නිදසුන් සහිත සාකච්ඡා කරමින් පැහැදිලි කරන ලදී. මීට පෙර මේ සම්බන්ධයෙන් යම් අවබෝධයක් පැවතිය ද නැවතත් එම දැනුම නිශ්චිත කර ගැනීමට හැකියාව ලැබුණේ එතුමාගේ පැහැදිලි කිරීම තුළිනි. නමුත් මේ සම්බන්ධයෙන් කථිකාචාර්යතුමා විසින් ඉදිරිපත් කරන ලද power point presentation තුළින් අවශ්‍ය තොරතුරු පහසුවෙන් ග්රහනය කර ගැනීමේ හැකියාව ලැබුණි. මේ හරහා අප විසින් රැස් කර ගන්නා දත්ත තුළින් විවිධ නිගමනයන්ට එළඹිය හැකි බවත් ඒ හරහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙන අතර එය බොහෝ දෙනෙකුට අධ්‍යයන කාර්යයන් සහ වෙනත් විවිධ වූ කාර්යයන් සඳහා පිටිවහලක් වනු ඇත. පර්යේෂණයක දත්ත විශ්ලේෂණය කළ හැකි විවිධ සංඛ්‍යානමය ක්‍රම පවතියි. SPSS, Excel, ATLAS වැනි ක්‍රම මගින් දත්ත විශ්ලේෂණය කරයි. මේ අනුව පර්යේෂණ යෝජනා හා නිගමන ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙනු ඇත.
ඉතිං කුමක් ද?
අප විවිධ විෂයන් ඉගෙන ගනු ලැබුවද කිසියම් පර්යේෂණයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඉගෙනීමේ දී පර්යේෂණ ගැටලුවේ සිට වාර්තාව සකස් කර ඉදිරිපත් කිරීම දක්වා තිබෙන්නා වු සියලු අංගයන් පිළිබඳ මනා අවබෝධයක් ලාබා ගත යුතුව ඇත. එසේ නොමැති වුවහොත් එම අධ්‍යයනය සාර්ථකව සිදු කිරීමේ හැකියාව නොලැබෙනු ඇත. එම නිසා අද දින පවත්වන ලද දේශනය ගුරු අධ්‍යාපනඥයන් ලෙස අප සියලු දෙනාට ඉතා වැදගත් විය. මෙහිදී පර්යේෂණයක් සිදු කිරීමේ දී දත්ත රැස්කිරීමේ උපකරණ සකස් කිරීම, නියැදි තොරා ගැනීම, දත්ත විශ්ලේෂණය සම්බන්ධයෙන් පැවති ගැටලු රාශියක් නිරාකරණය කර ගැනීමේ හාැකියාව ලැබුණි .නමුත් පාසල් සිසුන් හා විශ්ව විද්‍යාල සිසුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් සිදු කරන ලද පර්යේෂණ වාර්තා කියවීම තුළින් මාහට ඒ සම්බන්ධයෙන් යම් දැනුමක් ලබා ගැනීමේ හැකියාව ලැබුණි. මෙහිදී සිදු කරන ලද කණ්ඩායම් ක්‍රියාකාරකම් හරහා දැනුම හුවමාරු කර ගැනීමටත් අලුත් තොරතුරු දැන ගැනීමට හැකියාව ලැබීමත් ඉතා වැදගත් වේ. තවද එහිදී දත්ත රැස් කිරීම සඳහා යොදා ගනු ලැබු ද්විතීක මුලාශ්‍ර ඇසුරු කර ගනිමින් මා විසින් මාගේ පර්යේෂණයට සුදුසු දත්ත රැස් කිරමේ උපකරණ සකස් කර ගැනීමට හැකියාව ලැබීම තුළින් එම අභියෝගය ද ජය ගැනීමට හැකිවීම සතුටකි. එසේම විවෘත අධ්‍යාපනික සම්පත් අතිරේක කියවීම් සහ අත්‍යවශ්‍ය කියවීම් මගින් ලබාගත් ඉගෙනුම් අත්දැකීම මෙම හිඩැස සම්පූර්ණ කර ගැනීමට පිටිවහලක් විය.
දැන් කුමක් ද?
අද දින දිනපාසල තුළින් ලබාගත් ඉගෙනුම් අත්දැකීම් මාගේ උසස් අධ්‍යාපනික කටයුතුවල අධ්‍යයන කටයුතු සඳහා නිවැරදි මඟ පෙන්වීමත් ඉතා වැදගත් වේ. කාලය කළමනාකරණය කරගනිමින් බාධකවලට මුහුණ දෙමින් මෙම පාඨමාලාව සිදු කරන ලදි. ඒ ලබාගත් පන්නරය වෘත්තීය ජීවිතය තුළ සාර්ථකව ප්‍රායෝගික අත්දැකීම් බවට පත්කරගැනීමට හැකිවනු ඇත. තවද මෙම කාර්යයන් අතර සමපදස්ථයන්ගෙන් ලැබුණු මැදිහත්වීම ඉතා වැදගත්ය. එබැවින් මේ සම්බන්ධයෙන් අද දින දේශනය සිදු කළ මාහාචාර්ය ශාමින්ද වනසිංහ මහතාටත් සමපදස්ථ සොහොයුර සොයුරින් සැමටත් ස්තූතිවන්ත වෙමි.
දින පාසල තුළ සක්‍රීය සහභාගිත්වය
STP9545 - හත්වන ඉගෙනුම් පලය
සම්මත ආකාරයට ආශ්රිත ග්රන්ථ නාමාවලිය පිළියෙළ කිරීම
කුමක් ද?
STP9545 විෂයට අදාළව 2025.03.29 වන දින මහාචාර්ය ශාමින්ද වනසිංහ මහතා විසින් මාර්ගගත ක්‍රමවේදය දේශනය ඔස්සේ සිදු කරන ලදී. හත් වන ඉගෙනුම් පලය ද- සම්මත ආකාරයට ආශ්රිත ග්රන්ථ නාමාවලිය පිළියෙළ කිරීමට අදාළ ඉගෙනුම් පලය සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී. මෙම ආශ්රිත ග්රන්ථ නාමාවලිය සම්මත ආකාරයට සකස් කිරීම සම්බන්ධ දැනුම මෙම පාඨමාලව සම්බනධ දැනුම නිරන්තරයෙන් අපට අවශ්‍ය වේ. මෙහිදී බොහෝ අවස්ථාවල මා සිදු කරනුයේ අධ්‍යයනය කරනු ලබන පොත් පත් කිසිදු අනුපිළිවෙලක් නොමැතිව ආශ්රිත ග්රන්ථ නාමාවලිය ඔස්සේ දැක්වීමයි. නමුත් අද දින දේශකතුමාගේ දේශනය ඔස්සේ ආශ්රිත ග්රන්ථ නාමාවලිය සකස් කළ යුතු සම්මත ක්‍රමය පිළිබඳ කරුණු රාශියක් දැන ගැනීමේ හැකියාව ලැබුණි. මීට පෙර සිදු කරනු ලබන කුඩා ව්‍යාපෘතිවලදී ද අවසානයේ ග්රන්ථ නාමාවලිය දැමීමේ දී ඒ සම්බන්ධයෙන් විවිධ ගැටලු පැවතිය ද මෙම දේශනය ඔස්සේ ඒ ගැටලු නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබීම සතුටට කරුණකි.
ඉතිං කුමක් ද ?
මෙහිදී දේශකතුමා මෙම ආශ්රිත ග්රන්ථ නාමාවලිය සකස් කළ යුතු ආකාරය OULSM තුළ තිබෙන අනිවාර්ය කියවීම්වලට අදාළ සටහන් උපයෝගී කර ගනිමින් එහි ආරම්භයේ දී කතුවරයාගේ නම සහ ප්‍රකාශිත වර්ෂය සඳහන් කළ යුතු බවත් ඉන් පසු ග්‍රන්ථයේ හෝ සඟරාවේ නම සඳහන් කිරීමේ දී එය තද කලු අකුරින් ඇළ කර සටහන් කළ යුතු බවත් ඉන් පසු ප්රකාශකයාගේ නම සඳහන් විය යුතු බවත් පෙන්වා දෙන ලදී. තවද මෙය සිදු කරන ආකාර කිහිපයක් පිළිබඳ අවබෝධය ලබා ගැනීමට හැකියාව ලැබුණු අතර ඒ ලබා ගත් දැනුම තවදුරටත් සිදු කරන ලද කණ්ඩායම් ක්‍රියාකාරකම් වැදගත් විය. මෙහිදී සමපදස්ථයන්ගේ ද අත්දැකීම් හා සාකච්ඡා තුළින් ලබා ගත් දැනුම තහවුරු කර ගැනීමට හැකි වූ අතර ආශ්රිත ග්රන්ථ නාමාවලිය සම්මත ආකාරයට සකස් කිරීම සම්බන්ධයෙන් අප සියලු දෙනා ට පැවති අභියෝගය පහසුවෙන් ජය ගැනීමට අද දින දේශනය මහත් පිටිවහලක් විය.
දැන් කුමක් ද?
අද දින දේශනය ඔස්සේ ලබා ගත් දැනුම මෙම පාඨමාලාව පුරාවටම අපහට ඉතා වැදගත් වන්නේ සියලු කුඩා ව්‍යාපෘති අවසානයේ ආශ්රිත ග්රන්ථ නාමාවලිය සඳහන් කළ යුතු අතරම ඒ සඳහා ලකුණක් ද පිරි නමන බැවිනි. ගිය වර්ෂයේ සමහර ගුරු අධ්‍යාපනඥයින් අසමත් වීම සඳහා මෙයත් එක් කාර්ණයක් වූ බව මහාචාර්යතුමා විසින් ප්‍රකාශ කරන ලදී. ඒ අනුව අද දින දේශනය පෞද්ගලිකව මාගේ අධ්‍යයන කටයුතු සඳහා වෘත්තීය ජිවිතයේ දී ගුරු සිසුන්ට මේ සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම ලබා දීම සඳහාත් ඉතා වැදගත් වනු ඇත. එබැවින් ඉතා වගකීමෙන් හා කැපවීමෙන් මෙම දේශනය සිදු කරන ලද මහාචාර්ය ශාමින්ද වනසිංහ මහතාට සහ නිරන්තර මා ශක්තිමත් කිරීමට හා අවශ්‍ය දැනුම බෙදා හදා ගැනීම සඳහා එක් වන අප කණ්ඩායමේ සියලු සමපදස්ථ සොහොයුර සොහොයුරියන්ට ස්තූතිවන්ත වෙමි.
දින පාසල තුළ සක්‍රිය සහභාගිත්වය
ආශ්රිත ග්රන්ථ පරිශීලන ඉගෙනුම් අත්දැකීම්
STP9545 - අටවන ඉගෙනුම් පලය
අධ්‍යාපනයට සම්බන්ධ සිද්ධීන් /ගැටලු සඳහා පර්යේෂණ සැලසුම් නිර්මාණය කිරීමට.
කුමක්ද?
STP9545 විෂයට අදාළව 2025.03.29 වන දින මහාචාර්ය ශාමින්ද වනසිංහ මහතා විසින් මාර්ගගත ක්‍රමවේදය මගින් දේශනය සිදු කරන ලදී. අවසාන දින පාසල තුළ දී අධ්‍යාපනයට සම්බන්ධ සිද්ධීන් හෝ ගැටලු විධිමත්ව සොයාගෙන ලිවීම සහ මාතෘකාවට සුදුසු අරමුණු සකස් කිරීම කණ්ඩායම් ක්‍රියාකාරකම් ලෙස සිදුකරන ලදි. එහිදී අරමුණු විධිමත්ව ලිවීම ඒ අනුව පර්යේෂණ ප්‍රවේශය සහ පිරිසැලැස්ම තීරණය කිරීම සඳහා අවශ්‍ය ඉගෙනුම් අත්දැකීම් ලබා දීම සිදුවිය. එසේම ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය තුළ ඇති අත්‍යවශ්‍ය කියවීම් සහ අමතර කියවීම් සිංහලට පරිවර්තනය කරගනිමින් අත්දැකීම් ලබා ගැනීමට අමතක නොකළේය. අධ්‍යාපන ක්ෂේත්රයට අදාළ ගැටලු හඳුනාගෙන පර්යේෂණ සිදුකිරීම සඳහා සුදුසු පිරිසැලසුම් සහ පර්යේෂණ ප්‍රවේශ අවබෝධ කර ගනිමින් පර්යේෂණ සැලසුම් සකස් කිරීමට අවශ්‍ය අත්දැකීම් ලබාදීමට එදින දින පාසල තුළ උත්සාහ ගන්නා ලදි. නමුත් එ්වා තේරුම් ගෙන ප්‍රායෝගික අත්හදා බැලීමේ දී විවිධ අභියෝගයන්ට මුහුණ දීමට සිදුවිය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළ අධ්‍යාපනික පර්යේෂණ බොහොම අඩු වශයෙන් සිදුවන අතර ගුරු අධ්‍යාපනඥයා පර්යේෂණ කෙරෙහි පෙළඹවීමට ද මෙම අවස්ථාව පදනමක් විය.
ඉතිං කුමක්ද?
අධ්‍යාපනයට සම්බන්ධ සිද්ධීන් පාදක කර ගනිමින් පර්යේෂණ සැලසුම් නිර්මාණය කිරීම සහ එම පර්යේෂණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මගපෙන්වීම සිදු කරන ලදි. එහිදී පර්යේෂණ පිරිසැලසුම තීරණය කිරීමට අවශ්‍ය දැනුම ලබාදෙමින් පර්යේෂණ ප්‍රවේශය පිරිසැලසුම සහ ඒ අනුව දත්ත රැස්කිරීමේ ශිල්පීය ක්‍රම සහ දත්ත ලබාගන්නා උපකරණ තීරණය කරමින් පර්යේෂණ සැලසුම සකස් කිරීම සිදුවිය. මේ පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කිරීමට විවෘත ඉගෙනුම් සම්පත් භාවිත කරමින් ගැටලු නිරාකරණය සඳහා වැඩි අවබෝධයක් ලබා ගැනීමට හැකිවිය. එසේම මා විසින් සැලසුම් කරන ලද පර්යේෂණ සැලසුම සාකච්ඡා මණ්ඩපයට ඇතුළත් කරමින් සමපදස්ථ අදහස් ලබාගත් අතර සංවර්ධන අවස්ථා ළඟා කර ගත්තෙමි..
දැන් කුමක්ද?
ලබාගත් ඉගෙනුම් අත්දැකීම් අනුව පර්යේෂණ සැලසුම් තීරණය කර සකස් කිරීම සිදුවිය. පර්යේෂණ සැලසුම් ඉදිරිපත් කිරීම අද දින ඉදිරිපත් කිරීමට හැකිවිය. එම අවස්ථාව නව අත්දැකීමක් එකතු කිරීමට සමත් විය. එහිදී මාගේ පර්යේෂණ ඉදිරිපත් කිරීම තුළ අනාවරණ අනුව නිගමන ඉදිරිපත් කළ යුතු බවත් ඒ අනුව යෝජනා ඉදිරිපත් කිරීම සිදුවිය යුතු බව ලැබුනු ප්‍රතිපෝෂණ තුළින් නව අත්දැකීමක් එකතු කර ගැනීමට හැකිවිය. ලබාගත් පර්යේෂණ පිළිබඳ දැනුම මාගේ වෘත්තීය ජීවිතය තුළ පර්යේෂණ සම්බන්ධ මහඟු අත්වැලක් සැපයූ බව සතුටින් ආවර්ජනය කරමි..
මාර්ගගත සාකච්ඡා සඳහා සහභාගිත්වය
STP9545 - නවවන ඉගෙනුම්පලය
පර්යේෂණ පවත්වා නිගමන සහ නිර්දේශයන් ඉදිරිපත් කිරීමට හැකිවනු ඇත.
කුමක්ද?
සැලසුම් කරන ලද පර්යේෂණය සිදුකර අවසන් කර ඉදිරිපත් කිරීම පසුගිය දින සිදුකරන ලදි. එහිදී විස්තරාත්මක පර්යේෂණ ප්‍රවේශය යටතේ සමීක්ෂණ පර්යේෂණ පිරිසැලසුම සමගින් සැලසුම් කරන ලද පර්යේෂණය අවසන් කර වාර්තාව සකස් කරන ලදි. එහිදී ලබාගත් ප්‍රතිඵල අනාවරණ, නිගමන සහ යෝජනා ඉදිරිපත් කිරීම සිදුවිය. ඉදිරිපත් කිරීම තුළ ප්‍රතිපෝෂණ ලබාදීම සිදුවිය. එහිදී අනාවරණ අනුව නිගමන ඉදිරිපත් කිරීමත් යෝජනා ඉදිරිපත් කිරීමත් පිළිබඳ සෑහීමකට පත් නොවූ බව මා හට වැටහිණි. දේශනයේ දී මා අවබෝධ කරගත් ආකාරය පිළිබඳ ගැටලු ඇතිවිය.
ඉතිං කුමක්ද?
පර්යේෂණය සිදුකර ලබාගත් නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රතිපෝෂණ ලැබීම මා හට ඉතා වැදගත් විය. පර්යේෂකයකුගේ කාර්යභාරය අතර පර්යේෂණ සිදු කිරීමෙන් අනතුරුව නිර්දේශ නිගමන නිවැරදිව ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය කාර්යයක් වේ. ලබාගත් අවබෝධය තුළ නිවැරදිතාවයේ අඩුබව නිසා මාගේ පර්යේෂණයේ නිර්දේශ ඉදිරිපත් කිරීමේ ගැටලු පැවති බව අවබෝධ කර ගත්තෙමි. තවදුරටත් ඒ පිළිබඳ අධ්‍යනය කර ඉගෙනුම් ලබාගත යුතු බව අවබෝධ කරගත්තෙමි. මෙම ගමන් මගෙහි අභියෝගයක් වූ බොහෝ අවස්ථාවලදී ලබාදී ඇති ඉගෙනුම් සම්පත් අත්‍යවශ්‍ය කියවීම්, අතිරේක කියවීම්, විවෘත අධ්‍යාපනික සම්පත් සැපයූ දායකත්වය පිළිබඳ අගය කරමි.
දැන් කුමක්ද?
පර්යේෂණ පවත්වා නිගමන සහ නිර්දේශයන් ඉදිරිපත් කිරීමට හැකියාව ලබාගැනීම ගුරු අධ්‍යාපනඥයින් අපහට ඉතා වැදගත් වේ. පැවති දුබලතා අවම කරගැනීමට ලබාදුන් ප්‍රතිපෝෂණ මහඟු පිටිවහලක් වූ මාගේ විශ්වාසයයි. වෘත්තීය ජීවිතය තුළ ගුරු සිසුන්ට අවැසි දැනුම ලබාදීමට පර්යේෂණ පිළිබඳ ලබාගත් අවබෝධය පන්නරයක් කරගනිමින් තවදුරටත් ගැටලු විසඳා ගැනීම සඳහා අධ්‍යයනයෙහි යෙදිය යුතු බව මාගේ හැඟීම යි.
සාක්ෂි
අත්‍යවශ්‍ය කියවිම්
https://www.cles.org.uk/wp-content/uploads/2011/01/Research-Methods-Handbook.pdf
https://researchrundowns.com/writing/writing-a-research-report/
https://oulms.ou.ac.lk/mod/book/view.php?id=7347&chapterid=133
STP9545 සමස්ත ප්රත්යවේක්ෂණය
ගුරු අධ්‍යාපනපති උපාධි පාඨමාලාවේ දෙවන සමාසිකයට අයත් විෂය අංක STP9545 - ගුරු අධ්‍යාපනඥයා පර්යේෂකයකුයෙකු ලෙස විෂය ඉගෙනුම් පල නවයක් ඇතුළත් වූ අතර එම ඉගෙනුම් පල සාර්ථකත්වය තක්සේරු කිරීම සඳහා කුඩා පරිමාණ ව්‍යාපෘති 3ක් සිදු කරන ලදි. අධ්‍යාපන ක්ෂේත්රයට ඉතා අත්‍යවශ්‍ය වන පර්යේෂණ පිළිබඳ ඉගෙනුම් අත්දැකීම් ලබාදීම W.M.ශාමින්ද වනසිංහ මැතිතුමා විසින් දින පාසල් දින 3ක් මගින් සිදු කරන ලදි. ඉගෙනගත් දෑ ඉතා කෙටි කාලයක් තුළ ප්‍රායෝගික ව්‍යවහාරයන් තුළින් අත්දැකීම් ලබා පර්යේෂණයක් සිදු කර අවසන් කිරීමටත් සිදුවිය. ඉතා දුෂ්කර කාර්යයක් වූ පර්යේෂණයක් අවසන් කිරීම ඉතා කෙටි කාලයකින් සිදු කිරීමට හැකිවීම පිළිබඳ සතුටු වෙමි. මෙම විෂය හැදෑරීමේ දී ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය තුළින් ලබාදුන් අතිරේක කියවීම් සහ අත්‍යවශ්‍ය කියවීම් මහඟු පිටිවහලක් විය. පර්යේෂණ පිළිබඳ ලබා තිබූ අත්දැකීම්වල හිඩැස් ඌනපූර්ණය කර ගැනීමට මෙම දින පාසල් තුළින් ලැබූ ඉගෙනුම් අත්දැකීම් උපකාරී විය. දින පාසල් තුළ දී සිදු කරනු ලැබු කණ්ඩායම් ක්‍රියාකාරකම් සමපදස්ථයන් අතර දැනුම බෙදා ගැනීමට තෝතැන්නක් විය. මේ අනුව පර්යේෂණ පිළිබඳ ඉගෙනුම් අත්දැකීම් ලැබීමේ දී ගුරු අධ්‍යාපනඥයින් ලෙස අපගේ වෘත්තීය ගමන් මගේ පර්යේෂණ සඳහා පෙළඹවීමට ද උපකාරයක් විය. විශේෂයෙන් ගුරුවරුන් සඳහා වැඩි වශයෙන් සුදුසු වන ක්රියාමූලික පර්යේෂණ සඳහා ගුරුවරුන් පෙළඹවීමටද මෙම පාඨමාලාව තුළින් ලද අත්දැකීම් පිටිවහලක් වේ.