STP9540
ගුරු අධ්‍යාපනඥයා ඉගෙනුම් ඉගැන්වීම් විශේෂඥයකු ලෙස
1. වැඩිහිටි අධ්‍යාපිතයන්ගේ ඉගෙනුම් ගති ලක්ෂණ හා ඉගෙනුම් ශෛලීන් හඳුනා ගැනීම
2.ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය කෙරෙහි බලපෑම් ඇති කළ හැකි විචල්‍යන් හඳුනා ගැනීම
3.උචිත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදයන් තෝරා ගැනීම, සැලසුම් කිරීම සහ සංවර්ධනය කිරීම
4.අධ්‍යාපිතයන්ගේ සන්දර්භයට ගැළපෙන ආකාරයට තක්සේරුකරණ ක්‍රම හා ප්‍රතිපෝෂණ උපක්‍රම තෝරා ගැනීම, සැලසුම් කිරීම සහ සංවර්ධනය කිරීම
5.ඉගෙනුම් ශිල්ප ක්‍රම, තක්සේරු ක්‍රම හා ප්‍රතිපෝෂණ උපාය මාර්ගයන් භාවිතය හා ඒවා පිළිබඳ ප්රත්යවේක්ෂණය කිරීම
524639498 - එම්.එම්.ජී.එන්. දමයන්ති
දිනය : 2024.04.30
ඉගෙනුම් පලය- වැඩිහිටි අධ්‍යාපිතයන්ගේ ඉගෙනුම් ගති ලක්ෂණ හා ඉගෙනුම් ශෛලීන් හඳුනා ගැනීම.
කුමක්ද? - ගුරු අධ්‍යාපනඥයා ඉගෙනුම් ඉගැන්වීම් විශේෂඥයකු ලෙස යන විෂයය යටතේ විෂය අංක STP9540 විෂයය හඳුන්වා දීම2024.04.27 දින උදෑසන 9.00 ට මාර්ගගත දේශන ක්‍රමය යටතේ ඩබ්. එම්.එස්.වීරකෝන් කථිකාචාර්ය තුමා විසින් සිදු කරන ලදි. පරිගණකයේ අලුත්වැඩියාවක් සිදු කිරීමට තිබූ හෙයින් ජංගම දුරකතනය මගින් සම්බන්ධ වීමට මාහට සිදු වූ අතර ඒ බව කථිකාචාර්ය තුමන්ව දැනුවත් කළෙමි. මෙම පාඨමාලාවේ ඉගෙනුම් සම්පත් භාවිත කරන ආකාරය සහ තමාව හඳුන්වා දෙමින් තොරතුරු උඩුගත කිරීමට අවස්ථාව ලබා දෙන ලදි. එහිදි වැඩිහිටි අධ්‍යාපිතයන්ගේ ගති ලක්ෂණ හඳුනා ගැනීමට කළ මගපෙන්විම අවබෝධ කර ගතිමි.
ඉතිං කුමක්ද? - වැඩිහිටි අධ්‍යාපිතයන්ගේ ඉගෙනුම් ගති ලක්ෂණ හඳුනා ගැනීමට සිද්ධි අධ්‍යයනයන් අත්‍යවශ්‍ය කියවීම්, වීඩියෝ නැරඹීම උපකාරී විය. වැඩිහිටි අධ්‍යාපිතයන්ගේ ඉගෙනුම් ගති ලක්ෂණ සහ ඉගෙනුම් ශෛලීන් හඳුනා ගැනීමට මැල්කම් නොවෙල්ස්ගේ ගති ලක්ෂණ න්‍යාය අධ්‍යයනය කිරීමට මග පෙන්වන ලදි. මෙම අධ්‍යයනයන් සිදු කර කණ්ඩායම් වශයෙන් සංකල්ප සිතියමක් ගොඩනැගීමට දේශකතුමාගේ උපදෙස් අනුව අපව කණ්ඩායම් ගත කරන ලදි. එහිදී වැඩිහිටි අධ්‍යාපිතයන්ගේ ඉගෙනුම් ගති ලක්ෂණ ක්ෂේත්‍ර පහක් යටතේ හඳුනා ගත්තෙමි. කායික, ප්රජානන, සමාජයීය, චිත්තවේග සහ සදාචාර යන ක්ෂේත්රවලට අයත් ගති ලක්ෂණ වර්ග කරනු ලැබුවෙමි. එහිදී වැඩිහිටි අධ්‍යාපිතයන්ගේ ඉගෙනුම් ගති ලක්ෂණ සේම පෙළඹවීම් පිළිබඳ අධ්‍යයනය සඳහා මගපෙන්විම සිදුවිය. ඉගෙනුම් සිද්ධි මාලාවේ ශ්‍රීමතී කථිකාචාර්යවරියගේ ගැටලුවට විසඳුම් ලබා දීමට හැකිවිය.පාසල් දරුවන්ට වඩා වැඩිහිටියන්ට ඉගෙනුම් ඉගැන්විම් ක්‍රියාවලිය සිදු වන විට එය වෙනස්ම අත්දැකීමක් බව අවබෝධ කර ගතිමි. ගුරු සිසුන්ගේ ඉගෙනුම් ගති ලක්ෂණ නිරීක්ෂණය සඳහා නිරීක්ෂණ ෂෙඩියුලයක් සකස් කරන ලදි. එහිදී නවක උපාධිධාරී පූර්ව සේවා ගුරු පුහුණු වැඩසටහනේ ගුරු සිසුන් යොදා ගනිමින් එම නිරීක්ෂණ වාර්තා ලබා ගන්නා ලදි. එම නිරීක්ෂණ වාර්තාවලට අනුව වැඩිහිටි අධ්‍යාපිතයන් ලෙස ගුරු සිසුන් තුළ ඉගෙනුමට බලපාන සාධක හඳුනා ගැනීමට, සිසුන්ගේ විවිධ ඉගෙනුම් ශෛලීන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලැබිණි. මේ සඳහා අමතර කියවීම් සහ අත්‍යවශ්‍ය කියවීම් උපකාරී විය. ඒ අනුව ඉගෙනුමට බලපෑම් කළ හැකි වෙනත් විචල්‍ය සාධක ද පවතින බව පැහැදිලිව අවබෝධ විය. මෙහිදී එසේ බලපානු ලබන සාධක 6ක් පවතින බව අවබෝධ කර ගත්තෙමි. එනම් ඉගැන්වීමට බලපාන ගුරුවරයා සම්බන්ධ සාධක, ඉගෙනුම ලබන්නා සම්බන්ධ සාධක, ඉගෙනුම් පරිසරය සම්බන්ධ සාධක සහ ආයතනය සම්බන්ධ සාධක ය. මේ අනුව වැඩිහිටි සිසුන්ගේ විවිධ ගති ලක්ෂණ හා ඉගෙනුම් ශෛලීන් හැරුණු විට ඉගැන්වීම් ක්‍රියාවලියක දී සලකා බැලිය යුතු අනිකුත් විචල්‍යයන් අධ්‍යයනය කර විචල්‍ය ප්‍රමුඛතා ලැයිස්තුවක් සකසා සාකච්ඡා මණ්ඩපයට උඩුගත කර සමපදස්ථ අදහස් ලබා ගැනීමට යොමු විය. නොවෙල්ස් පෙන්වා දී ඇති ගති ලක්ෂණ අවබෝධ කර ගැනිමෙන් පසු වැඩිහිටි ඉගෙනුම්ලාභීන් ලෙස අප වෘත්තීය ජීවිතය තුළ ලබාගෙන ඇති අත්දැකීම් ද ඒ හා සමාන වන බව තේරුම් ගැනීමට හැකිවිය.
දැන් කුමක්ද?
. එසේම මෙම තත්ත්වය අවබෝධ කර ගැනීමට ඉගෙනුම් සම්පත්, අත්‍යවශ්‍ය කියවීම් සහ වීඩියෝ පට මනා පිටිවහලක් විය. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය කෙරෙහි බලපෑම් ඇති කළ හැකි විචල්‍යයන් හඳුනා ගැනීම යන දෙවන ඉගෙනුම් පලය සාක්ෂාත් කර ගැනිමට ද අමතර හා අත්‍යවශ්‍ය කියවීම් මහෝපකාරී විය. වැඩිහිටි අධ්‍යාපිතයන්ගේ ඉගෙනුම් ගති ලක්ෂණ පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කිරීමටත් එමගින් නිරීක්ෂණ ෂෙඩියුලය භාවිත කරමින් ගුරු ශිෂ්‍යයන් අවස්ථා කිහිපයක දී නිරීක්ෂණය කරමින් අධ්‍යයනය කිරීමටත් සිතා ගත්තෙමි. ඉගෙනුම් සිද්ධි මාලාව අධ්‍යයනය කරමින් වැඩිහිටි අධ්‍යාපිතයන් නිරීක්ෂණය කරමින් වැඩිහිටි ඉගෙනුම ලබන්නන්ගේ ගතිලක්ෂණ මෙන්ම පෙළඹවිම් පිළිබඳ අධ්‍යයනය කළෙමි. වෘත්තීය ජීවිතයේ මෙතෙක් ලද වෘත්තීය අත්දැකීම් පෝෂණය කර ගැනිමට මෙම අවස්ථාව මනා පිටිවහලක් විය. ඉගෙනුම් සම්පත් පරිශීලනය කිරීම මගින් ගුරු සිසුන්ගේ ඉගෙනුම් සුසාධ්යකරණ ගතිලක්ෂණ, ඉගෙනුමට බාධා ඇති කරන ගති ලක්ෂණ සහ මැල්කම් නොවෙල්ස් විසින් හඳුන්වා දෙන ලද ගති ලක්ෂණ ගුරු සිසුන් තුළ කොතෙක් තිබේදැයි පරීක්ෂා කිරීම සඳහා නිරීක්ෂණ පත්‍රිකා සකස් කිරීම වැනි අත්දැකීම් ලබාගැනීමට හැකියාව ලැබුණි. මේ සෑම අවස්ථාවකදී ම මා හට අභියෝගයක් වූයේ ඉංග්‍රීසි භාෂාවෙන් අත්‍යවශ්‍ය කියවීම් සහ අමතර කියවීම් අන්තර්ගත වී තිබීම යි.එහිදී අධ්‍යයනය සඳහා යන කාලය වැඩිවිම නිසා මතුවූ ගැටලු නිරාකරණය කර ගනිමින් අධ්‍යයන කටයුතු සිදු කළෙමි.
සාක්ෂි- ඉගෙනුම් සම්පත් අතරින් අධ්‍යයනය කරන ලදඅමතර කියවීම් සහ අත්‍යවශ්‍ය කියවීම්
දින පාසලට සහභාගි වීම
https://www.youtube.com/watch?v=7HUNcCksz7A
https://webcache.googleusercontent.com/search?q=cache:TaKsxuDvVHEJ:https://www.ncda.org/aws/NC
https://independentchildminders.weebly.com/blog/observing-the-learning-characteristics
සාක්ෂි
ඉගෙනුම් සම්පත් අතරින් අධ්‍යයනය කරන ලද අමතර කියවීම් සහ අත්‍යවශ්‍ය කියවීම්
LMS හි අමතර කියවීම්
දින පාසලට සහභාගි වීම
ප්රත්යවේක්ෂණ ජර්නලය
දෙවන ඉගෙනුම් පලය - ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය කෙරෙහි බලපෑම් ඇති කළ හැකි විචල්‍යයන් හඳුනා ගැනීම
කුමක්ද?- පළමු දින පාසල අවස්ථාවේ සාකච්ඡා කළ පරිදි ඉගෙනුම කෙරෙහි බලපාන වැඩිහිටි අධ්‍යාපිතයන්ගේ ගති ලක්ෂණ සංකල්ප සිතියම තුළින් විග්රහ කිරීමට හැකිවිය. එහිදී ප්රජානන, කායික, සමාජීය, චිත්තවේග සහ සදාචාර ගති ලක්ෂණ වෙන් වශයෙන් හඳුනා ගැනීමට මැල්කම් නොවෙල්ස්ගේ න්‍යායන් පිටිවහලක් විය. එසේම වැඩිහිටි අධ්‍යාපිතයන්ගේ ඉගෙනුම් ශෛලීන් හඳුනා ගැනිම කොල්බිගේ ඉගෙනුම් රටාවන් සමග ද (Kolb’s learning Style) සම්බන්ධ වන ආකාරයද අවබෝධ කර ගැනිමට අමතර කියවිම් ඉගෙනුම් සම්පත් පිටිවහලක් විය. මෙහිදී
ඉතිං කුමක්ද? - වැඩිහිටි අධ්‍යාපිතයන්ගේ එම ගති ලක්ෂණ අනුව සුදුසු නිර්ණායක සකස් කර ගනිමින් නිරීක්ෂණ ෂෙඩුලයක් මගින් ගුරු සිසුන් නිරික්ෂණය කළ යුතු බව අවබෝධ කර ගත්තෙමි. එහිදී පූර්ව සේවා උපාධිධාරී ගුරු පුහුණු වැඩසටහන් සිදු කරන ලද අවස්ථාවන් උපයෝගී කර ගනිමින් නිරීක්ෂණ ෂෙඩුලයක් මගින් තොරතුරු ලබා ගන්නා ලදි. එසේම ගුරු සිසුන්ගේ ඉගෙනුම් ශෛලින් අධ්‍යයනය කිරීම සඳහා ඉගෙනුම් සම්පත් අධ්‍යයනය කළෙමි.
දැන් කුමක්ද? - ගුරු සිසුන්ගේ ගති ලක්ෂණ හා ඉගෙනුම් ශෛලීන් හැරුණු විට ඉගෙනුම් ඉගැන්විම් ක්‍රියාවලියක දී සලකා බලනු ලබන අනෙකුත් විචල්‍යන් ලෙස හඳුනාගත් සාධක මුලාශ්‍ර කර ගනිමින් විචල්‍ය ප්‍රමුඛතා ලැයිස්තුවක් සැලසුම් කිරීමට හැකිවිය. එම සාධක ඉගැන්වීමට බලපාන ගුරුවරයා සම්බන්ධ සාධක, ඉගෙනුම ලබන්නා සම්බන්ධ සාධක, ආයතනය සම්බන්ධ සාධක සහ ඉගෙනුම් පරිසරය සම්බන්ධ සාධක ලෙස කොටස් පහක් යටතේ වර්ගීකරණය කර විචල්‍ය ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කළෙමි. මෙම කාර්ය ඉටුකිරිම සඳහා ඉගෙනුම් සම්පත් අධ්‍යයනය මහෝපකාරී විය.මෙම විචල්‍ය ප්‍රමුඛතා ලැයිස්තුව අදාළ දිනට උඩුගත කරන ලදි.එම විචල්‍ය ප්‍රමුඛතා ලැයිස්තුව පහත දක්වා ඇත.
සාක්ෂි:අමතර කියවීම් සහ අත්‍යවශ්‍ය කියවීම් අධ්‍යයනය කිරීම
https://www.businessballs.com/self-awareness/kolbs-learning-styles/
https://www.youtube.com/watch?v=tmgtarYtkjw
2024.06.18
ඉගෙනුම් පලය - උචිත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදයන් තෝරා ගැනීම,සැලසුම් කිරීම හා සංවර්ධනය කිරීම.
කුමක්ද?
දෙවන දින පාසල දේශනය ආචාර්ය ඒ.අයි. ඉරුගල්බණ්ඩාර කථිකාචාර්ය තුමිය විසින් 2024 .06.01 දින පෙ.ව. 9.00 ට මාර්ගගත දේශනය ආරම්භ කරන ලදි. ඒ අනුව කුඩා පරිමාණ ව්‍යාපෘතිය 1 සාර්ථකව නිම කිරීමේ දී පළමු වන ඉගෙනුම් පලයට අදාළ ව සාක්ෂාත් කර ගන්නා ලද අත්දැකීම් පිළිබඳ සතුටින් සිහිපත් කරමි. එහිදී වැඩිහිටි අධ්‍යාපිතයන්ගේ ඉගෙනුමට බලපාන සාධක හඳුනා ගැනීම, වැඩිහිටි ඉගෙනුම් ක්‍රම ශිල්ප, වැඩිහිටි ඉගෙනුම් න්‍යායන් සහ වැඩිහිටි අධ්‍යාපිතයන් මුහුණපාන අභියෝග හඳුනා ගැනීම පිළිබඳ අධ්‍යයනය කිරීම කුඩා පරිමාණ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට දායක විය. එ් අනුව ඉගෙනුමට පෙළඹුමක් තිබීම, ඉගෙනුමට සූදානම, ඉගෙනුම් අත්දැකිම් භාවිත කිරිම, වඩා ප්‍රායෝගික අත්දැකිම් මත ඉගෙනුමට යොමුවීම වැනි ලක්ෂණයන් ඩඩාත් මතකයේ රැඳුනේ වෘත්තීමය වශයෙන් ගුරු පුහුණු වැඩසටහන්වල අත්දැකීම් සිහිපත් වීමෙනි. එසේම කුඩා පරිමාණ ව්‍යාපෘතිය නිම කිරීමේ දී මුහුණ දුන් ගැටලු අතර ප්‍රධාන වූයේ සියලුම ඉගෙනුම් සම්පත් ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දී තිබීමයි. ඒ සඳහා වැඩි කාලයක් වැය කිරීමට සිදුවීම ගැටලුවක් විය. මෙහිදී පාඨමාලාලාභී සමපදස්ථයින්ගේ සහාය ලබාගත් අවස්ථා ද අත්දැකීම් පෝෂණය කර ගැනීමට මනා පිටිවහලක් විය. STP9540 විෂයයේ තෙවන ඉගෙනුම් පලයට අනුව වැඩිහිටි ඉගෙනීම සහ පාඩම් සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීමත් තෙවන ඉගෙනුම් පලය සාක්ෂාත් කර ගැනීමේ දී කථිකාචාර්යතුමන්ගේ උපදෙස් අනුව අත්‍යවශ්‍ය සම්පත් අධ්‍යයනය කළ යුතු බව මා හට හැඟිණි.
ඉතිං කුමක්ද?
එහිදී කථිකාචාර්ය තුමිය විසින් විද්‍යුත් සමර්පණය මගින් වැඩිහිටි ඉගෙනීම හා පාඩම් සැලසුම් සකස් කිරීම පිළිබඳ අවබෝධය ලබා දෙන ලදි. පාඩම් සැලසුුම් සකස් කිරීමේ දී අරමුණු ලිවීමේ වැදගත්කම සාකච්ඡා කරමින් ප්රජානන, ආවේදන, මනෝචාලක අංශ තුන යටතේ ලිවිය යුතු බව අවධාරණය කරන ලදි. කණ්ඩායම් ක්‍රියාකාරකම් මගින් දෙන ලද ආකෘතියට අරමුණු ලිවීමට පැවරූ අතර ප්රජානන, ආවේදන, මනෝචාලක යන ක්ෂේත්‍ර තුන යටතේ අරමුණු තුන බැගින් ලිවීම සිදු විය. ඉන්පසු කණ්ඩායම් මගින් ඉදිරිපත් කිරීමේන් අනතුරුව එහි පැවති අඩුපාඩු සාකච්ඡා කළාය. අපගේ මතකයන් අවධි කරවීමට මෙම අවස්ථා මහෝපකාරී විය.එහිදී අරමුණු ලිවීමේ දී හඳුන්වා දුන් අංග 5 යටතේ අරමුණු ලිවිය යුතු බව අවධාරණය කළේය. අනතුරු ව පාඩම් සැලසුම් ආකෘතිය පිළිබඳ සාකච්ඡා කළ අතර එය ඉතා වැදගත් කර්තව්‍යයක් විය. ඉගෙනුම් සිද්ධිමාලාව අධ්‍යයනයත් සමග ඉගෙනුම් සිද්ධි මාලාවේ ශ්රීමතිට සුදුසු පාඩම් සැලැස්මක් සකස් කිරිමට යෝජනා විය.
දැන් කුමක්ද?
පාඩම් සැලසුමක් සකස් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමත් නව අත්දැකීමක් වෘත්තීය ජීවිතයට එකතුවීමත් ගුරු අධ්‍යාපනඥයෙක් ලෙස මා හට ඉතා වැදගත් විය. සිද්ධි අධ්‍යයනයන්හි සඳහන් ආකාරයට ශ්රිමතීට අවශ්‍ය ආදර්ශ පාඩම් සැලසුමක් සකස් කිරීමට කථිකාචාර්ය තුමියගේ දේශනය තුළදී ලබාගත් පාඩම් සැලසුමක් සකස් කිරීමට අවශ්‍ය නිර්ණායක පිළිබඳ සිහිපත් කළෙමි. නිවැරදිව පාඩම් සැලසුමක් සකස් කිරීමේ දී අරමුණු අත්‍යවශ්‍ය ම සාධකයක් බව අනාවරණය විය. පාඩම් සැලසුමක අරමුණු සකස් කිරීම සඳහා සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට නැවතත් එදින දේශන සටහන් අධ්‍යයනය කළෙමි. මෙහිදි අත්‍යවශ්‍ය කියවිම් අධ්‍යයනය කිරීමේ දී ඉංග්‍රීසි භාෂාව මහත් අභියෝගයක් විය. එම පාඩම් අධ්‍යයනයට වැඩි කාලයක් වැය කිරිමට සිදුවීම මා හට ගැටලුකාරි තත්වයකි. කෙසේ වුවත් මෙම දින පාසල තුළ ලබාගත් අත්දැකීම් සහ ඉගෙනුම් සම්පත් අධ්‍යයනයන් තුළින් ලබාගන්නා අත්දැකීම් ඵලදායී ලෙස ගුරු පුහුණු කටයුතු වෙනුවෙන් භාවිත කිරීමට බලාපොරොත්තු වෙමි. ගුරුවරුයා නිරන්තරයෙන් යාවත්කාලීන විය යුතු සේම මා විසින් ලද මෙම අත්දැකීම් ගුරු පුහුණු වැඩසටහන් සමග බද්ධ කිරීමට උත්සාහ කරන අතර ම අභියෝගයකින් තොරව කළ හැකි යැයි මම විශ්වාස කරමි.
සාක්ෂි : දින පාසලට සම්බන්ධ වීම සහ අමතර කියවීම් අධ්‍යයනය කිරීම
2024.08.03
2024 අගෝස්තු 03 වන අද දින, දින පාසල පැවැත්විම ඩබ්.එම්.එස්. කථිකාචාර්ය තුමාගේ සහ ආචාර්ය ඉරුගල්බණ්ඩාර කථිකාචාර්ය තුමියගේ සහභාගිත්වයෙන් සිදු වූහ. අද දිනට නියමිත ව තිබුණේ වැඩිහිටි අධ්‍යාපිතයන් සඳහා සැලසුම් කරන ලද පාඩම් සැලසුම වාචික ඉදිරිපත් කිරීම ය. සැලසුම් කර තිබූ පාඩම් සැලසුම තම වාරය පැමිණි පසු ඉදිරිපත් කිරීම සිදුවිය. සැම දෙනාගේ ම ඉදිරිපත් කිරීම අනුව ප්‍රතිපෝෂණ ලබාදීම දේශකතුමන්ලා දෙපළගෙන් ම ලැබුණු අතර ප්‍රතිපෝෂණ ලබා ගැනීමට එ්වා මහඟු පිටිවහලක් විය. මා ඉදිරිපත් කළ පාඩම් සැලසුම තුළ පැවැති දුර්වලතා මගහරවා ගනිමින් නැවත සකස් කිරීමට අදිටන් කර ගත්තෙමි. එසේම ඉගෙනුම් සම්පත් අත්‍යවශ්‍ය කියවීම් මගින් ලබාගත් වැඩිහිටි අධ්‍යාපිතයන්ගේ ඉගෙනුම් ගති ලක්ෂණවලට අනුව පාඩම් සැලසුම් සකස් කිරීමේ දී අවධානය යොමු කිරීමට අමතක නොකළෙමි. එම ලක්ෂණ පිළිබඳ අධ්‍යයනය කිරීම මාගේ වෘත්තීය ජීවිතයට මහඟු අත්වැලක් සපයයි. මන්දයත් මා නියැලී සිටින වෘත්තිය අනුව සිදුවන්නේ ගුරු අධ්‍යාපිතයන් සමග කටයුතු කිරීම ය. එමනිසා මෙම විෂයය තුළ ඉගෙනුම් සම්පත් පරිහරණය ඉතා වැදගත් වන බව මා හට හැඟිගිය කරුණකි.
හතරවන ඉගෙනුම් පලය: අධ්‍යාපිතයන්ගේ සන්දර්භයට ගැළපෙන ආකාරයට තක්සේරුකරණ ක්‍රම හා ප්‍රතිපෝෂණ උපක්‍රම තෝරා ගැනීම, සැලසුම් කිරීම හා සංවර්ධනය කිරීම.
කුමක්ද?
2024.08.24 වන දින මහාචාර්ය ඉරුගල්බණ්ඩාර මැතිණියගේ මූලිකත්වයෙන් හතරවන දින පාසල පැවැත්වූවාය. පාඩම් සැලසුමක තක්සේරුකරණය සහ ප්‍රතිපෝෂණය පිළිබඳවත් එහි වැදගත්කම පිළිබඳවත් අත්දැකීම් ලබා ගැනීමට හැකිවන පරිදි සක්‍රීය දින පාසලක් ලෙස පවත්වනු ලැබීය.
ඉතිං කුමක්ද?
පාඩම් සැලසුමක තක්සේරුකරණය, ප්‍රතිපෝෂණය සහ ඇගයීම පිළිබඳ අපගේ අවබෝධය පුළුල් කිරීමට අද දින මහඟු අත්වැලක් විය. එහිදී තක්සේරුකරණයේ සහ ප්‍රතිපෝෂණයේ ඇති වැදගත්කම පිළිබඳ අත්දැකිම් ලැබීමට අවශය මග පෙන්වීම සිදුවිය. ඒ සඳහා එතුමිය විසින් භාවිත කරන ලද විද්‍යුත් සමර්පණය අපගේ අවබෝධය පුළුල් කර ගැනීමට පිටිවහලක් විය. අනතුරුව අප විසින් සකස් කරන ලද පාඩම් සැලසුම වැඩිහිටි අධ්යාපිතයන්ට ඉගැන්වීම හා ප්‍රතිපෝෂණ ලබාගැනීම සඳහා අවශ්‍ය ප්‍රශ්නාවලි සකස් කිරීමට කණ්ඩායම් ක්‍රියාකාරකම්වල නිරත විය. ප්‍රතිපෝෂණ ලබා දීමෙහි වැදගත්කම අවධාරණය කළාය. සිසුන්ගේ සහ වැඩිහිටි ගුරුසිසුන්ගේ වුවද ආකල්ප, චර්යා වෙනස් කිරීමට ප්රතිපෝෂණයන්ට පවතින බලය පිළිබඳ මහාචාර්ය තුමිය අවධාරණය කළාය. මේ අනුව පාඩම් සැලසුමක තක්සේරුකරණය, ඇගයීම සහ ප්‍රතිපෝෂණය ලබා දීමේ උපක්‍රම සැලසුම් කිරීම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දුන්නාය. එම සැලසුම් කිරීම කණ්ඩායම් ක්‍රියාකාරකම් මගින් සිදුකිරීමට අප සක්‍රියව සහභාගි වුණෙමු.
දැන් කුමක්ද?
පාඩම් සැලසුමක තක්සේරුකරණය, ඇගයීම සහ ප්‍රතිපෝෂණය පිළිබඳ වැඩිදුර අධ්‍යයනය සඳහා අමතර කියවීම් සහ අත්‍යවශ්‍ය කියවීම් උදව් කර ගත්තෙමි. කුඩා පරිමාණ ව්‍යාපෘතිය 3 සඳහා සූදානම් වීමට මෙම දැනුම උපකාරී කර ගැනීමට අපේක්ෂා කරමි. මෙම ලබාගත් දැනුම අපගේ වෘත්තීය ජීවිතයට මහත් පිටිවහලක් වේ. ගුරු සිසුන්, දෙමව්පියන් සහ පාසල් ප්‍රජාව යනාදී වැඩිහිටි ජන සමූහයන් සමග කටයුතු කිරීමේ දී මෙම ලබාගත් දැනුම මාගේ අරමුණු ඉෂ්ට කර ගැනීමට පිටිවහලක් වේ.
පස්වන ඉගෙනුම් පලය - ඉගෙනුම් ශිල්ප ක්‍රම, තක්සේරු ක්‍රම හා ප්‍රතිපෝෂණ උපාය මාර්ගයන් භාවිතය හා ඒවා භාවිතය පිළිබඳ ප්රත්යවේක්ෂණය කිරීම.
කුමක්ද?
සැලසුම් කරන ලද පාඩම සැලසුම වැඩිහිටි ගුරු සිසු කණ්ඩායමක් සදහා ක්‍රියාත්මක කළෙමි. සැලසුම්කරන ලද ප්‍රශ්නාවලි, නිරීක්ෂණ පත්‍රිකා මගින් වැඩිහිටි ගුරු අධ්යාපිතයන්ගෙන් සහ නිරීක්ෂිත කණ්ඩායම මගින් ප්‍රතිපෝෂණ ලබාගැනීම.
ඉතිං කුමක්ද?
වැඩිහිටි අධ්‍යාපිතයන්ගේ ඉගෙනුම ඉගැන්වීම් ක්‍රියාවලි සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට සිද්ධිපාදක අධ්‍යයනය, කථිකාචාර්ය තුමන්ගේ දේශන, කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ අමතර සහ අත්‍යවශ්‍ය කියවීම් අධ්‍යයනය කර මෙම කාලය තුළ අත්දැකීම් ලබාගත්තෙමි.මැල්කම් නොවෙල්ස්ගේ හඳුන්වා දෙනු ලැබූ වැඩිහිටි අධ්‍යාපිතයන්ගේ ගති ලක්ෂණ හඳුනා ගැනීමට හැකිවීම මාගේ රාජකාරි කටයුතු පහසු කරගරනීමට ද මනා පිටිවහලක් විය. එසේම ප්රජානන, සමාජ සහ සදාචාර යන අංශවලින් ඉගෙනුම් සුසාධ්යකරණ ගති ලක්ෂණ හඳුනා ගත්හ. ඉගෙනුම කෙරෙහි බලපාන වැඩිහිටි අධ්‍යාපිතයන්ගේ ගති ලක්ෂණ නිරූපණය කරමින් සංකල්ප සිතියම නිර්මාණය කිරීමට හැකිවිය. වැඩිහිටි අධ්‍යාපිතයන්ගේ ගති ලක්ෂණ හා ඉගෙනුම් ශෛලීන් හැරුණු විට ඉගෙනුම් ක්‍රියාවලියක දී සලකා බැලිය යුතු අනෙකුත් විචල්‍යයන් පිළිබඳ අධ්‍යයනය කර ඒවා ප්‍රමුඛතා අනුව වර්ගීකරණය කර පෙළගස්වා අත්දැකීම් ලබා ගත්තෙමි. එසේම වැඩිහිටි අධ්‍යාපිතයන් සඳහා පැයක පාඩම් සැලසුම සකස් කිරීමේ දී සුවිශේෂී ඉගෙනුම් ඉගැන්වීම් අවස්ථාවන්ට අදාළව සලකා බලනු ලැබූ විචල්‍යයන් වන විෂය ආශ්රිත සාධක, ඉගෙනුම ලබන්නා ආශ්රිත සාධක ගුරුවරයා ආශ්රිත සාධක සහ පරිසරය ආශ්රිත සාධක පිළිබඳ සැලකිලිමත් වීමට අමතක නොකළෙමි. පාඩම් සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී තක්සේරුකරණය , ඇගයීම සහ ප්‍රතිපෝෂණය පිළිබඳ සැලකිලිමත් විය යුතු බව අවධාරණය විය. මෙහිදී ඉගෙනුම් ප්‍රතිඵල ඇගයීම හා ප්‍රතිපෝෂණය ලබාදීම සඳහා තක්සේරුකරණ උපක්‍රම සැලසුම් කිරීම හා සංවර්ධනය කිරීම පිළිබඳ අත්දැකීම් ලැබුවෙමි. පාඩම් සැලසුම ගුරු සිසුන් සමග ක්‍රියාත්මක කිරීම තුළින් වැඩි අත්දැකීම් සමූහයක් ලබාගැනීමට හැකිවිය.
දැන් කුමක්ද?
මෙම පාඨමාලාවේ මෙම විෂය කාණ්ඩය තුළින් වැඩිහිටි අධ්‍යාපිතයන්ගේ ඉගෙනුම් විධි පිළිබඳ ව සරලව සහ කැමැත්තෙන් ඉගෙන ගත්තෙමි. දින පාසල තුළ කථිකාචාර්ය මහත්ම මහත්මීන්ගෙන් මෙන්ම ඉගෙනුම් සම්පත් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය කියවීම් සහ අමතර කියවීම් වීඩියෝ දර්ශන නැරඹිම හා භාවිත කිරීම ද අත්දැකීම් පෝෂණය කර ගැනීමට පිටිවහලක් විය. මෙම අවස්ථා තුළ විශාලම අභියෝගය වූයේ ඉංග්‍රීසි මාධ්‍යෙයන් සියලුම අධ්‍යාපනික සම්පත් එකතු කර තිබීම යි. නමුත් වැඩි කාලයක් කැප කරමින් එම අවස්ථා ජය ගැනීමට උත්සාහවන්ත වූවෙමි. මෙම විෂය තුළින් ලබාගත් අත්දැකීම් වෘත්තීය ජීවිතය පෝෂණය කර ගනිමින් ව්‍යවහාරයක් බවට පත් කර ගැනීමට බලාපොරොත්තු වෙමි.