Nobodies to somebodies/ සොක්කන් ලොක්කන් වූ වගයි - කුමාරි ජයවර්ධන
ලාංකීය ධනේශ්වරයේ නැඟීම සම්බන්ධව ලියවුණු හොඳම පර්යේෂණ ග්‍රන්ථය ලෙස විද්වතුන් ඇතුළු බොහෝදෙනා පිළිගන්නේ කුමාරි ජයවර්ධන ලියූ "Nobodies to somebodies/ සොක්කන් ලොක්කන් වූ වගයි" කෘතියයි.
බ්‍රිතාන්‍යය යටත්විජිත පාලනයට යටත්ව තිබූ සමයේ ක්‍රමයෙන් ඉස්මතු ව නිදහස් ලංකා රාජ්‍යය ස්ථාපිත වන විට දේශපාලන සහ වාණිජ බලය තහවුරැ කරගත් දේශිය ධනේශ්වරය පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයකි කුමාරි ජයවර්ධනගේ මෙම කෘතිය. අචාර්ය කුමාරි ජයවර්ධන ගේ මෙම කෘතිය සුවිශේෂි වන්නේ එය ඊට අනන්‍ය විෂය කේෂත්රය හදාරන, කියවන ශිෂ්‍යයන් හට විද්‍යාර්ථීන් හට පමණක් නොව සාමාන්‍යය පාඨකයෙකු හට වුවත් ආයාසයකින් තොරව ආශාවෙන් යුතුව කියවිය හැකි නිසාය. සිංහල, දමිළ සහ මුස්ලිම් යන ජාතිකත්වයන් වශයෙන්ද බෞද්ධ සහ කතෝලික යන ආගමික බෙදීම් වලින්ද විවිධ කුල පන්තීන්ගේ අනන්‍යතා සහ සම්මිශ්‍රණ වල බහුවිධ එකතුවකින් ගොඩනැඟුණු නිදහස් ලංකාවේ ධනේෂ්වරයේ පරිණාමය පිළිබඳ වූ මෙම කෘතිය, තවත් එක අතකින් වැදගත් වන්නේ වර්තමානයේ දීත් ශ්‍රි ලංකාව තුළ දේශපාලනයේ සහ ධන බලයේ අයිතිය උසුලන පිරිසෙහි අක්මුල් විහිදී ඇත්තේ කොතැනටදැයි මැනවින් පෙන්වන බැවිණි..
" මෙය බ්‍රිතාන්‍යය යටත්විජිත යුගය තුළ ශ්‍රි ලංකාවේ සිදු වූ සමාජ සහ ආර්ථික පරිවර්තනය ගැන ඉදිරිපත් කෙරෙන විශිෂ්ට වූත් ශාස්ත්‍රිය ගුණයෙන් අනූන වූත් ගැඹුරැ හෙළිදරව් කිරීම් වලින් සමන්විත වූත් කෘතියකි. එය යටත් විජිත සමාජයේ සමාජීය පරිවර්තනයන් හි ගතිකයන් ගැන උනන්දුවක් ඇති සෑම දෙනාට ම අත්‍යවශ්‍ය වූ මිල කළ නොහැකි සම්පතක් බවට නිසැකින්ම පත්වන පුරෝගාමී අධ්‍යයනයකි." - මහාචාර්ය ලක්සිරි ජයසූරිය