පාදනමස්කාරය සඳහා සූදානම් වීමේ පිළිවෙත
➕ පියාණන්ගේද, ➕ පුත්‍රයාණන්ගේද, ➕ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන්,
ජනතාව: ආමෙන්.
ගීතිකාව
ශුද්ධාත්මෙනි ශුද්ධාත්මෙනි වඩින් ශුද්ධාත්මෙනි
මා ජීවිතේ ආලෝකෙති වඩින් ශුද්ධාත්මෙනි
ඔබේ වරම් මගේ හදේ මවා ශුද්ධාත්මෙනි
මා ජීවිතේ ආලෝකවත් කරන්න ස්වාමිනි
දැවී දැවී සීලෙන් ගිති රතින් ඔබේ තේජේ
ඔබේ ප්‍රේමින් එසේ අපත් දවන්න ස්වාමිනි
ප්‍රදානියා: ජේසු තුමන්ගේ දුක්ප්‍රාප්තිය සිහිකරමින් උන්වහන්සේ පසුපස ගමන්කර, අපගේ ජීවිත අර්ථවත් කර ඵලදායී කරගැනීමට උන්වහන්සේ වදාළ වචනයන්ට සහ පෙන්වූ මාර්ගයන්ට අප සුදුස්සන් වන පිණිස, මෙතෙක් අප කළ වැරදිවලට මනස්තාප වී, සමාව ඉල්ලමු.
ජනතාව: මාගේ දෙවියනි, මම ඔබවහන්සේට අනාදර කළ නිසා බොහෝසේ වික්කෝප වෙමි. මාගේ පාප වලින් මා සදාකාල නිරාගින්නට හිමිවූ හෙයින්ද මාගේ දයාබර ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිදරුවන් කුරුසියේ ඇණගැසූ හෙයින්ද, විශේෂ කොට සර්වදයා යහපත්කම් ඇත්තාවූ ඔබට අනාදරකළ හෙයින්ද සියලු දේට වඩා ඒවාට වෛර කරමි. මා කළ සියලු පාප වලට මාගේ මුළු හෘදයෙන් ක්ෂමාව ඉල්ලමි. ඔබ වහන්සේගේ පිහිටෙන් මින්මතු පව් නොකර සිටින්ටත් පව් ප්රස්ථා වලින් වැලකී සිටින්ටත් ඒකාන්තයෙන්ම පොරොන්දුවෙමි. ආමෙන්.
ප්‍රදානියා: ජීවිතය අර්ථවත් ලෙස ජීවන්කරවීම එතරම් පහසු කර්තව්‍යයක් නොවේ. බොහෝවිට ජීවිතය වෙලී ඇත්තේ ජීවිත ප්රබෝධයන්ට වඩා දුක් කරදර කම්කටොලු පීඩා සහ විවිධ බාධකයන් මගිනි. මෙවැනි කටුක අවස්ථාවන්හි හුදකලාව ඒවායින් මිදීම පහසු කටයුත්තක් නොවේ. ජීවිතයේ උතුම් කම සහ ප්රශ්නයන්ගේ කටුක කම දන්නා ක්‍රිස්තුස් වහන්සේ ජීවිත ගමනට දිරියක් වීමට, පැමිණෙන ප්‍රශ්නයන්ට එදිරිව මුහුණදී ජයග්‍රහණය කරා ලඟා කරවීමට මඟ පෙන්වනු වස් උන්වහන්සේ කුරුසිය භාරගත් සේක. එබැවින් අප ජීවිතගමනේ කුරුස ද, උන්වහන්සේගේ ශුද්ධවූ කුරුසයට යොමුකර, ජීවිතයේ උතුම් කම ද, පැමිණෙන දුක් කරදර ජයගන්නා ක්‍රමය ද, ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කිරීමට ශක්තියද, එමගින් ජීවිත විමුක්තියද මේ ශුද්ධවූ කුරුසිය මාර්ගයෙන් ලබා ගනිමු.
මෙම පාදනමස්කාරයට සහභාගිවන අපි වැටුණු පරාජිත, ඇල්මැරුණු, ජීවිතයක් නොව, එඩිතර, ප්‍රබෝධමත්, ක්‍රියාකාරී, කිතුණු ජීවිතයක් ගත කිරීමට අපට ද, පවුලට ද, මුළු මහත් සමාජයටද පිහිට ලැබෙන ලෙස යාච්ඤා කරමු.
ජනතාව:
(ස්වර්ගයේ වැඩසිටින අපගේ පියාණනි / නමෝ මරියනි / ත්‍රිත්ව ස්තෝත්‍රය)
මල් උයන
ප්‍රදානියා: ක්‍රිස්තුනි ඔබට නමස්කාරකර ස්තුති ප්‍රශංසා කරමු
ජනතාව: මක්නිසාද යත් ඔබගේ ශ්‍රී කුරුසයෙන් ඔබවහන්සේ ලෝකය ගලවාගත් සේක.
ප්‍රදානියා: පියාණනි, හැකි නම් මේ දුක්ප්‍රාප්තිය මාගෙන් අහක් වේවා. නමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත සිදුවේවා (ශු. මාක් 14:36)
ප්‍රදානියා: සේනකුළු ශාලාවේ තම ගෝලයන් සමඟ අන්තිම භෝජනයට සහභාගි වූ ජේසු තුමා විශේෂ සිද්ධීන් තුනක් ඉටුකළ සේක. පාද දෝවනයෙන් බැහැපත් කමද, ප්‍රේමයේ පණතින් කිතුණු මාර්ගයද, දිව්‍ය භෝජනයෙන් තමන් තමා බෙදා දීමේ පිළිවෙතද ඉටු කළහ. ඊට පසු තව මොහොතකින් තමන් මුහුණ දීමට යන යාගික බිලිපූජාවට සූදානම් වීම සඳහා ගෝලයන් සමඟ ගෙත්සෙමනි නමැති මල් උයනට ගමන් කළ සේක. මෙතැන් සිට කුරුසියේ මරණය දක්වා තමන්ට විඳීමට සිදුවන සියළුම අවමාන්න කුරිරු වේදනා සහ කුරුසියේ යාග වේදනා උන්වහන්සේට මැවී පෙනෙන සේක. එබැවින් තම පියාණන් වහන්සේගෙන් ශක්තිය ඉල්ලන සේක.
අප ජීවිතයේ මුහුණ පෑමට සිදුවන සියළු දුක් කරදර කම් කටොළු සියල්ල කිතුණු ලීලාවෙන් දරා ගැනීමට ඒ සියල්ලට බිය නොවී ඉදිරියට ගමන් කිරීමට සමිඳුන් තුළ අප තීරණය කරමු.
ප්‍රදානියා: පෙම්බර ජේසුනි මල් උයනේ ඔබ කළ යාච්ඤාව මාගේ දිවි ගමනේ අත්වැල කළ මැනව. ඔබ කුරුසිය ගමනින් මා ජීවිත ගමන සවිමත් කළ මැනව, ආමෙන්.
ජනතාව: ඔබගේ කැමැත්ත මාගේ ජීවිතයේ හරය වූව මැනව. උ: ස්වාමිනි මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත පිළිගැනීමට මට පිහිට වූව මැනව, ආමෙන්.
ගීතිකාව
පෙම්බර ජේසුනි, ස්වාමිනි – මල් උයනෙහෙදි හෙළු ලේ බලා
පාපි වූ මා හට දෙනුව පව් සමා – පෙම්බර ජේසුනි, ස්වාමිනි
පෙම්බර ජේසුනි, දෙවියනි – ඔබේ ගත පුරා ලත් පහර බලා
දුගී ගැතුන් වෙත බලනු නෙත් හෙලා – පෙම්බර ජේසුනි දෙවියනි
ජේසු ස්වාමි දරුවෝ මරණයට තීන්දුව ලබන සේක
ප්‍රදානියා: ක්‍රිස්තුනි ඔබට නමස්කාරකර ස්තූති ප්‍රශංසා කරමු
ජනතාව: මක්නිසාදයත් ඔබගේ ශ්‍රී කුරුසයෙන් ඔබවහන්සේ ලෝකය ගලවාගත් සේක.
භාවනාව:
ප්‍රදානියා: ක්‍රිස්තුතුමන්ගේ දුක්ප්‍රාප්තිය සිහිකරන අපට පිලාත්තුගේ අසාධාරණ නඩු තීන්දුවද, ජුදා පිරිසගේ රුධිර පිපාසයද, නායක පූජකයන්ගේ කෲරතර බලපෑමද, ලෝක ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකය වුවද, එය එදාට පමණක් සීමාවූවක් නොවේ. අද සමාජයේ අප ධනයට, බලයට, මාන්නයට ආශාවෙන් අසාධාරණයක් සිදු කරන සෑම අවස්ථාවකදීම අප පාවාදෙන්නේ එම පුද්ගලයා පමණක් නොව ඔහු තුළ සිටින ජීවමාන ජේසුතුමන්ය. එබැවින් අපට මොනයම් අවමානයක් හෝ පාඩුවක් හෝ දරා ගැනීමට සිදුවුවත් කිසිදිනක, කිසිම කෙනෙකුට අසාධාරණයක් නොකිරීමට අපි තරයේ සිතට ගනිමු.
ජනතාව: මාගේ අමෘතබරවූ ජේසුනි, මාගේ ජීවිත ගමනේදී ධනයට, බලයට, මාන්නයට වහල් වී යමෙකුට අසාධාරණයක්, අයුක්තියක් කරන සෑම මොහොතකම මම ඔබවහන්සේට විරුද්ධව කැරලි ගසන්නෙම් වේද, එබැවින් ඔබ වහන්සේගේ බැහැපත් කම හා සාධාරණකම නිතර සිහිකර එවැනි පාපිෂ්ඨ අවස්ථාවලින් නිතර ජයගැනීමට මට ඔබවහන්සේගේ ශක්තිය දුන මැනව. ආමෙන්.
ප්‍රදානියා: ස්වාමීනි අප රට පාලනය කරන නිලධරුවන් යුක්තියේ හා සාධාරණත්වයේ මාර්ගයේ ගමන් කරවනු මැනව.
ජනතාව: ඔවුන් ආරක්ෂාකර ආශීර්වාද කල මැනව.
ගීතිකාව
සෙවනැලි මත සෙවනැලි මත සෙවනැලි එන්නේ
ගඟ ගල ගල ගඟ ගල ගල පාවෙලා යන්නේ
ඉහලට ගත් සුසුමට එන දුක කකි යන්නේ
පෙර සුසුමෙන් ආ දුකටයි තැන නවතින්නේ
ජීවිතයට රස කැව්වා ආදර බස් කිව්වා
මළවුන් නැගිටෙව්වා සත සෙත සැල සෙව්වා
ගිය තැන ගුණ වැව්වා පාපෙට ණය ගෙව්වා
ඉරණම ඔහු සෙව්වා මොහු මරව'යි ලිව්වා
කඳු ගැටයක් සෙව්වා එය තගිමියි කිව්වා
කුරුසයකට යැව්වා වැටි වැටි මගගෙව්වා
දස දුක රස කැව්වා දැනට ගෙන බිව්වා
කුරුසේ සත පෙව්වා මට පින් පැමිණෙව්වා
ජේසුස් ස්වාමිදරුවන්ගේ ශ්‍රී කරපිට කුරුසිය තබති
ප්‍රදානියා: ක්‍රිස්තුනි ඔබට නමස්කාර කර ස්තුති ප්‍රශංසා කරමු
ජනතාව: මක්නිසාද යත් ඔබගේ ශ්‍රී කුරුසියෙන් ඔබ වහන්සේ ලෝකය ගලවාගත් සේක.
භාවනාව:
ප්‍රදානියා: එදා සමාජයේ ශාපයක් ලෙස සැලකුණු නින්දා අපහාස පිරි කුරුසිය ජේසුතුමා සතුටින් භාර ගත් සේක. එදා කුරුසිය තුළින් පටවන ලද ලෝවැසි සැමගේ පාපයන්ට වන්දි ගෙවීම පිණිස එතුමා එය මත තම ජීවිතය පූජා කළ සේක. මෙම හේතුවෙන් එම නින්දිත කුරුසිය මිදීමේ ලකුණක් හා ඉතා ශ්‍රේෂ්ඨ පූජනීය වස්තුවක් කළ සේක.
අපද දෛනික ජීවිතයේ පැමිණෙන දුක් කරදර, කම්කටොලු නමැති කුරුසියත්, ජේසුතුමන්ගේ නාමයෙන් සතුටින් භාරගන්නේ නම්, ඒවා තුළින්ම ජයග්‍රහණය කරා ගමන් කිරීමට අපට උන්වහන්සේගේ ශක්තියෙන් හා ධෛර්යයෙන් ඒකාන්තයෙන්ම හැකිවන්නේය.
ජනතාව: මාගේ අති ආදරණීය ජේසුනි, එදා සමාජය ප්‍රතික්ෂේප කළ ඒ නින්දා අපහාස පිරි කුරුසිය ඔබවහන්සේ සතුටින් කරට ගෙන එයම ගැලවීමේ සංකේතයක් බවට පත් කළ සේක්වේද, ජීවිත ගමනේ අපට පැමිණෙන කුරුස සතුටින් භාර ගැනීමට ද ඒවා තුළින්ම ජයග්‍රහණය ලබා ගැනීමට ද ඔබවහන්සේගේ ධෛර්යය අපට ලබා දුන මැනව. ආමෙන්.
ප්‍රදානියා: ස්වාමීනි, ජීවිත ගමනේ දුකින් මිරිකී සිටින ඔබගේ දරුවන්ට සහනය දුන මැනව.
ජනතාව: ඔවුන්ට සහය වුව මැනව, ආමෙන්.
ගීතිකාව
ජේසුනි මරණයට යෙදෙව්වෝ කවුරුද?
අහෝ මගේ පව් නිසා ඔබට මෙසේ වුනේ
ජේසුනි හොරුන්ට මෙන් නිව කළෝ කවුරුද?
අහෝ මගේ පව් නිසා ඔබට මෙසේ වුනේ
ජේසුනි ගල් කණුවේ ඔබ බැන්දෝ කවුරුද?
අහෝ මගේ පව් නිසා ඔබට මෙසේ වුනේ
ජේසුනි තද මිටින් ගැසුවෝ කවුරුද?
අහෝ මගේ පව් නිසා ඔබට මෙසේ වුනේ
ජේසුනි කටුවලින් ඇන්නුවෝ කවුරුද?
අහෝ මගේ පව් නිසා ඔබට මෙසේ වුනේ
ජේසුනි මුහුණට කෙළ ගැසුවෝ කවුරුද?
අහෝ මගේ පව් නිසා ඔබට මෙසේ වුනේ
ජේසුනි වැරහැලි පෙරෙව්වෝ කවුරුද?
අහෝ මගේ පව් නිසා ඔබට මෙසේ වුනේ
ජේසුනි ගල මත හිඳෙව්වෝ කවුරුද?
අහෝ මගේ පව් නිසා ඔබට මෙසේ වුනේ
ජේසුනි බට දඬු අත දුන්නෝ කවුරුද?
අහෝ මගේ පව් නිසා ඔබට මෙසේ වුනේ
ජේසුනි කුරුසියට කරතැබුවෝ කවුරුද?
අහෝ මගේ පව් නිසා ඔබට මෙසේ වුනේ
ජේසු ස්වාමිදරුවෝ කුරුසියේ බරින් පළමුවෙනි වරට බිම වැටෙන සේක.
ප්‍රදානියා: ක්‍රිස්තුනි ඔබට නමස්කාරකර ස්තුති ප්‍රශංසා කරමු
ජනතාව: මක්නිසාදයත් ඔබගේ ශ්‍රී කුරුසයෙන් ඔබවහන්සේ ලෝකය ගලවාගත් සේක.
භාවනාව:
ප්‍රදානියා: කායික වේදනාවන්ගෙන් හා මානසික පීඩාවන්ගෙන් ජේසුතුමා අප්‍රාණිකව සිටියාට කිසිදු සැකයක් නැත. නමුත් ඒ සියල්ලට වඩා උන්වහන්සේ අප්‍රාණිකව කුරුසියේ බරින් වැටී සිටින්නේ අපගේ ගුණමකුකම නිසාය. සුගති උයනේ අප ආදි මව් පියන් ගුණමකු වී අහංකාරයෙන් උදම් වී දේව අණ කඩකලාක් මෙන්, අද සමාජයේ ද මිනිසා අහංකාරයෙන් අකීකරු කමින් දැන දැනම දේව අණ කඩ කරයි. නැතිබැරිකම, ලෙඩදුක්, හිරිහැර පැමිණි විට දෙවිපියාණන්ගේ ලැදිකම අමතක කර නොයෙක් මාදිලියේ යක්ෂ මායම්වලට පෙළඹෙයි. උඩඟුබව, අවිශ්වාසයත් ජීවිතයේ විනාශය බව පහදා දෙන ජේසුතුමාගෙන් බැහැපත් කමෙන්, දේව අණට කීකරුවීමෙන් උතුම් කම වටහා ගනිමු.
ජනතාව: මාගේ අමතබරවූ ජේසුනි, මිනිසාගේ උඩඟුවට අහංකාරයට ඔබවහන්සේ වන්දි ගෙවන සේක් වේද, එදා සුගති උයනේ මෙන් අද සමාජයේ පවතින ව්‍යාජ ආටෝපයන්ට නොරැවටී සත්‍යයට, යුක්තියට ගරු කරමින් නිහතමානී ලෙස ජීවිතය ගත කිරීමට අපට සහය වූව මැනව. ආමෙන්.
ප්‍රදානියා: ස්වාමිනි, පාපිවූ අපට කරුණාකර වදාල මැනව.
ජනතාව: අපට කරුණාකර වදාල මැනව. ආමෙන්.
ගීතිකාව
දෙවිඳුනි අප වෙතේ ඔබගේ ආදර කරුණා පා
දුබල පවිටු සතට වෙනු මැනේ කමා
දෙවියනි ඔබගේ ඉමහත් කරුණාව නිසා - මට දයා වූව මැනව
ඔබගේ අනුකම්පාව නිසා - මා නිදොස් කල මැනව
මාගේ දොස් වලින් - මා මුළුමනින් සෝදාලනු මැනව
මාගේ පාපයෙන් මා පිරිසිදු කල මැනව
මම මාගේ පව් දනිමි
සැම විට මාගේ පාපය මා ඉදිරියේ ඇත්තේය
ඔබට විරුද්ධව ඔබට පමණක් විරුද්ධව - මම පව් කලෙමි,
ඔබ ඉදිරියේ අයහපත් දේ මම කලෙමි
දෙවියනි නිර්මල හෘදයක් මා තුල මවුව මැනව
නොසැලෙන ආත්මයක් මට දුන මැනව
ඔබගේ සහනයේ ප්‍රීතිය මා වෙත දානය කළ මැනව
බැතිමත් ආත්මයකින් මා ප්‍රාණවත් කළ මැනව
පිතා පුත්‍රයා සහ ශුද්ධාත්මයාණන්ට තුති වේවා
ආදියේ වූවාක් මෙන් දැනුත් සදහටත් වේවා
ජේසු ස්වාමිදරුවන්ට උන්වහන්සේගේ පිරිසිදු මෑණියෝ සම්මුවන සේක
ප්‍රදානියා: ක්‍රිස්තුනි ඔබට නමස්කාරකර ස්තුති ප්‍රශංසා කරමු
ජනතාව: මක්නිසාදයත් ඔබගේ ශ්‍රී කුරුසයෙන් ඔබවහන්සේ ලෝකය ගලවාගත් සේක.
භාවනාව:
ප්‍රදානියා: මවුවරුනි, පියවරුනි, මේ ඔබේ ස්ථානයයි. "අමු ගසට මේ දෙය සිදුවුවානම් වියළි ගසට කුමක් සිදුවේ දෝ" යන දේව වාක්‍යය සිහිකරන්න, තම පෙම්බර පුත්රණුවනගේ මේ ඛේදවාචකය දුටු දේව අම්මාට මොන තරම් හදෙහි ගින්නක් ඇතිවන්නට ඇද්ද?
වික්ශෝප මෑණියන්ගේ මේ වේදනා සිහිකර දෙමව්පියන්ට දරුවන් කෙරෙහි යුතුකම් ඉෂ්ඨ කිරීමටත්, තම දූ පුත්රණුවන් නිසි මගට යැවීමට අදිටන් කර ගන්න. අද සමාජයේ ඇති විවිධ මාදිලියේ දූෂණයන්ගෙන් ඔවුන් මුදාගෙන දෙලොවට වැඩදායක දරුපිරිසක් ඇතිදැඩි කිරීමට පිහිට ඉල්ලමු. දෙවි පිය අභිමතය අනුව සමිඳුන්ගේ මිදි උයනේ සේවය කිරීමට අප පවුල්වල දූ දරුවන් දිරි ගන්වමු.
ජනතාව: මාගේ පෙම්බර මෑණියනි, කුරුසිය කරතබාගෙන කල්වාරි යාගයට පිය නගන ඔබ පුත්රණුවන් දැක කම්පනයට පත් වූ සේක් වේද? මව්පියන් වශයෙන් අප දරුවන් කෙරෙහි අපට පැවරී ඇති සියළු යුතුකම් නිසිලෙස ඉෂ්ට කිරීමටද, සමාජ දූෂණවලින් අප දරුවන් බේරා ගෙන ඔවුන් නිසි මග ගමන් කරවීමටද අපට පිහිට වූව මැනව. ආමෙන්.
ප්‍රදානියා: ස්වාමිනි, තම දරුවන් යහමග ගෙනයාමට දෙමව්පියන්ට පිහිට වූව මැනව.
ජනතාවි: ඔවුන්ට ආදර්ශයක් වීමට සහය වූව මැනව. ආමෙන්.
ගීතිකාව
යහතක විලසේ සැතපී සැපසේ
අප ගලවන සේ සිරි කුරුසේ
පණ පුදලමිනේ අප සැම පෙමිනේ
පණ ගන්වමිනේ රැකලතසේ
යනවද ජේසු /// කුරුසියාට
දෙනුවන ඇරිලා කඳුලින් පිරිලා
සියොලඟ ඉරිලා දුක් බරවී
සිරිපා නඟලා දුර හෙළ බලලා
කුරුසිය කරලා මුව පරවී
යනවද ජේසු /// කුරුසියාට
අත් විහිදාලා හදට බදාලා
සැවොම මුදාලා දෙවි දරුසේ
මොක් සැප දීලා සැම රස ලීලා
අප වෙත පාලා ගෙන කුරුසේ
යනවද ජේසු /// කුරුසියාට
කුරුසිය ගෙනයන පිණිස සීමොන් සිරේනේවුස් ජේසු ස්වාමිදරුවන්ට උදව්වෙයි.
ප්‍රදානියා: ක්‍රිස්තුනි ඔබට නමස්කාරකර ස්තූති ප්‍රශංසා කරමු
ජනතාව: මක්නිසාදයත් ඔබගේ ශ්‍රී කුරුසියෙන් ඔබවහන්සේ ලෝකය ගලවාගත් සේක.
ප්‍රදානියා: සීමොන් සිරේනේවුස් මගියෙකි. වධක කුරුසියකට කරතැබීමට ඔහුට උවමනාවක් නැත. සොල්දාදුවන්ගේ බලකිරීම ඔහු පිළිකුල් කළේය. එහෙත් පුදුමයක් සිදුවිය. කුරුසිය කරතබාගෙන යන ජේසු ඔහු වෙත බැලීය. ඔහුගේ සිත මෘදු වී උණු වී ගියේය. සිත තුළ ඇතිවූ අනුකම්පාසහගත බව නිසා හේ ජේසුගේ කුරුසියට අත ගැසීය.
අද සමාජයේ තම ජීවිත කුරුසිවලින් මිරිකී, බරවී ඉදිරියට යාගත නොහැකිව වේදනා විඳින ජීවිත අපට හමුවේ. මේ දුටු විට ඇඟ බේරාගෙන තම සැප පහසුව සිතීම අපගේ ස්වභාවය වෙයි. එහෙත් දුක, වේදනාව, තනිබේරිකම දුටු විට පරිත්‍යාගශීලීව අන් අයට උදව් වීමට අප ඉදිරිපත් විය යුතුව ඇත.
ජනතාව: මාගේ අමෘතබරවූ ජේසුනි, වංක කමින් හා ආත්මාර්ථකාමයෙන් නිතරම අප මිනිස් සිත් තෙරපෙන නමුත්, ඔබවහන්සේ ලොවට ප්‍රකාශ කළ ප්‍රේමයේ පනත අනුව නිතර පරාර්ථකාමයෙන් අසල්වැසියාට අතහිත දීමටද, ජීවිත කුරුස බරින් වේදනා විඳින සැමට සහන සැලසීමටද අපට ඔබ වහන්සේගේ ධෛර්යය දානය කළ මැනව. ආමෙන්.
ප්‍රදානියා: ස්වාමිනි, අසල්වැසියාට ප්‍රේම කිරීමටද සහය වීමටද අප දිරි ගැන්වුව මැනව.
ජනතාව: ඔවුන් සහෝදරත්වයෙන් ක්‍රියා කිරීමට සැලැස්වුව මැනව. ආමෙන්.
ගීතාකව
මා පිසුමක් ලෙස ඔබ පාමුල පරව ගියාවේ
දූවිල්ලක් ලෙස ඔබ පායුග මත රැඳුනාවේ
මී බිඳුවක් ලෙස ඔබ දෙතොලට රසය වුණාවේ
තෙල් බිඳුවක් ලෙස ඔබ කෙස් මත මා ඇලුනාවේ
සත අඳුරට සඳ පහනය සමිඳුනි ඔබ අපටා
ඔබ වත මට දෙයි සහනය සැම සතුරන් පලවා
මගෙ සිරුරේ දිවයන රුහිරට ජීවය පොවනා
දුක් සුසුමක් ඔබ ඇති තැන මට සතුටක් දෙවනා
මද පවනක් ලෙස මා ගත වැඳ සිසිල ගෙනාවේ
ඔබ සීතල රැයකට මා හට උඳුන වුණාවේ
ජේසුනි ඔබෙ නම මතුරා ගී කියමි නිරතුරා
රඳවා සෙනෙහස උතුරා ඔබමය මා මිතුරා
වේරෝනිකා නම් බැතිවන්ත ස්ත්‍රිය ජේසු ස්වාමිදරුවන්ගේ ශ්‍රී මුහුණ මණ්ඩලය පිසදමයි
ප්‍රදානියා: ක්‍රිස්තුනි ඔබට නමස්කාරකර ස්තූති ප්‍රශංසා කරමු
ජනතාව: මක්නිසාදයත් ඔබගේ ශ්‍රී කුරුසයෙන් ඔබවහන්සේ ලෝකය ගලවාගත් සේක.
භාවනාව:
ප්‍රදානියා: අද සමාජයේ මෙන් නොව එදා සමාජයේ ජූදා කාන්තාව මුළු ගැන්වී සිටියාය. එහෙත් කඳුළින්, ලේයින්, දහඩියෙන් සහ ජූදායින්ගේ කෙළ වලින් විරූපී වී තිබූ ජේසුගේ සිරි වත මඬල දුටු වේරෝනිකා නම් බැතිමත් කාන්තාවගේ හද උණුවිය. ඇය එඩිතර වූවාය. සොල්දාදුවන්ගේ විරෝධයට බිය නොවී ජේසුගේ ශ්‍රී වතමණ්ඩලය පිස දැමීමට ඉදිරිපත් වූවාය. ඒ ක්‍රියාව අගය කළ ජේසුතුමාණෝ ඇය පිළිගැන්වූ සළුවේ උන්වහන්සේගේ දුක්බර ශ්‍රී වතමණ්ඩල පදිංචි කල සේක. එදා ජේසුතුමාගේ මෙන් අද සමාජයේ ඇතැම් අයගේ ජීවිත දුක් වේදනාවෙන් විරූපී වී ඇත. ඒ දුක්විඳින ජනතාවට සෙත සැලසීමට වේරෝනිකා ගේ ආදර්ශය ගෙන, සේවය, කැපවීම ලබාදීමට අපි ඉදිරිපත් වෙමු.
ජනතාව: මාගේ අමෘතබර වූ ජේසුනි, එදා සමාජයේ බිය, සැක මැදගෙන ඔබවහන්සේගේ විරූපී ශ්‍රී වත මණ්ඩලය පිස දැමීමට ඉදිරිපත් වූ වේරෝනිකා නැමැති එඩිතර කාන්තාවන්ගේ ක්‍රියාව ඔබවහන්සේ අගය කළ සේක් වේද? අප සමාජයේ දුක් කරදර, කම්කටොළු නැමති විරූපී භාවයෙන් පෙළෙන අසරණ ජනතාවට ඔබවහන්සේගේ නාමයෙන් සේවයක් කිරීමට අපට වරම් දුන මැනව. ආමෙන්.
ප්‍රදානියා: ස්වාමිනි, සමාජ සේවයේ යෙදෙන්නන් ආශිරි ගැන්වුව මැනව.
ජනතාව: ඔවුන් දිරිමත්කර රැකබලා ගත මැනව. ආමෙන්.
ගීතිකාව
කිතුනි ඔබෙ අත් බව මා පිරිසිදු කරවා
ඔබේ සිරුර කිතුනේ මා ගලවා ගන්වා
ඔබගේ ලේ කිතුනේ මා කුල්මත් කරවා
ඔබේ ඇලෙන් ගැලුව දියේ මා සෝදන්වා
ඔබ විදපු වද තිස් දෙක මගෙ දිරි වඩවා
ගුණ කඳ වන ජේසුනි ඔබ මට කන් දෙන්වා
ඔබගේ වණ කැලැල්හි මා සඟවා ගන්වා
ඔබෙන් වෙන්ව ඉන්නට මට ඉඩ නොලැබේවා
හතුරු විපත් ලංවන ඔබ මා අරකින්වා
මගේ මරණ මොහොතේදි මා කැඳවා ගන්වා
ඔබ වෙතැ පැමිණෙන්නට මට අනේ ජේසුනේ
අවසර ඔබෙ ලැබෙන ලෙසට නියම කරන්වා
සගවැසි ඔබෙ සුද්ධවතුන් සමඟ එකතු වී
නොරැක් නැතිව සතත කාලෙ ඔබට පසස ගී
ගයා ගයා ගෙවන්නට මට අවසර ලැබේවා
එසේ මැ වේවා ජේසුනි එසේ මැ වේවී
ජේසු ස්වාමිදරුවෝ කුරුසියේ බරින් දෙවැනි වරට බිම වැටෙන සේක
ප්‍රදානියා: ක්‍රිස්තුනි ඔබට නමස්කාර කර ස්තූති ප්‍රශංසා කරමු.
ජනතාව: මක්නිසාද යත් ඔබගේ ශ්‍රී කුරුසයෙන් ඔබ වහන්සේ ලෝකය ගලවාගත් සේක.
භාවනාව:
ප්‍රදානියා: සීමොන් සිරේනියස්ගේ සහය ඇතිව වුවද කුරුසිය ගෙන පාතබන ජේසු තුමාට ඉදිරියට තවත් පා තැබිය නොහැකි තරමය. එතුමා කුරුස බරින් නැවතත් බිම වැටී ඇත. දුක්බර ලීලාවෙන් අප වෙත බලන උන්වහන්සේ නිහඬව අපට කියා සිටින්නේ, අපගේ පාපයන්ට උන්වහන්සේ වන්දි ගෙවන බවයි. දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට දී තිබෙන සම්පත් මඟින් උන්වහන්සේ වෙතට ඇදී එනවා වෙනුවට මනුෂ්‍යයා ඒ සම්පත් දේවත්වයේ තබා දෙවියන් සුළු කොට සැලකීමේ පාපයේ යෙදෙන බවයි. ධනය, වස්තුව, ගේ දොර ඉඩකඩම් අපට අවශ්‍ය බව සැබෑය. මේවා අකුසල ලෙස බදා ගෙන සිටීම ගුණමකු කමකි. මේ සම්පත් නැති බැරි අය සමඟ බෙදා ගනිමින් සමාජය තුළ ජීවත්වීමට උන්වහන්සේ අප කැඳවන සේක.
ජනතාව: මාගේ අමෘතබර වූ ජේසුනි, කුරුසියේ බරින් දෙවැනි වරටත් පොළොව මත ඇද වැටුණා වූ ඔබ වහන්සේ මිනිසාගේ අශ්‍රැතවත් තණ්හාවලට මේ මාර්ගයෙන් වන්දි ගෙවන සේක් වේද. ඔබ වහන්සේගේ යහපත් කමින් ඔබගේ ජනතාවට සෙත සැලසීමටත් එමඟින් ස්වර්ගීය සම්පත් අත් කර ගැනීමටත් ඔබ වහන්සේගේ වරප්‍රසාද අපට දුන මැනව. ආමෙන්.
ප්‍රදානියා: ස්වාමීනි, පාපිවූ අපට කරුණාකර වදාළ මැනව.
ජනතාව: අපට කරුණාකර වදාළ මැනව. ආමෙන්.
ගීතිකාව
මා ජේසු මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා
පව් මඟ හැරලා යන මඟ යන්නට
මා ජේසු මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා
මරණයට පවරන ලද ඔබ සිහි කර
මා ජේසු මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා
කුරුසිය කර පිට ගත් ඔබ සිහි කර
මා ජේසු මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා
බිම වැතිරී දුක් විඳි ඔබ සිහි කර
මා ජේසු මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා
ඔබ මව හද තුළ දැලි ගිනි සිහි කර
මා ජේසු මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා
මගෙ ගැලවුම ඔබ වෙත බව සිහි කර
මා ජේසු මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා
ලේ තැවරුණු ඔබෙ සිරි මුුව සිහි කර
මා ජේසු මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා
ජේසු ස්වාමිදරුවෝ ජෙරුසලමේ ස්ත්‍රීන් සනසා වදාරණ සේක
ප්‍රදානියා: ක්‍රිස්තුනි ඔබට නමස්කාර කර ස්තූති ප්‍රශංසා කරමු
ජනතාව: මක්නිසාද යත් ඔබගේ ශ්‍රී කුරුසියෙන් ඔබවහන්සේ ලෝකය ගලවාගත් සේක.
ප්‍රදානියා: ජේසු තුමන්ගේ ආදරයත්, උන්වහන්සේ සිදු කළ ප්‍රාතිහාර්යයන්ගේ බලමහිමයත් ඇසූ දුටු ජනතාව විශේෂ කොට කාන්තා පක්ෂය උන්වහන්සේගේ මේ ඛේදවාචකය දැක අඬාවැළපෙමින් උන්වහන්සේ පසු පස ගමන් කළහ. මේ දුක්බර මොහොතේදී වුවද අන්‍යයන්ගේ අනුකම්පාව උන්වහන්සේ වෙතට හරවා ගැනීම වෙනුවට මේ කුරුසියේ ගමනේ හේතුව උන්වහන්සේ ඔවුන්ට පැහැදිලි කළ සේක. සාමය, සතුට, ලබා කර ගැනීමට පව්බර අවස්ථාවලින් වැළකී දේව ගුණයෙන් ජීවත්වීමට අප සැමට අනුශාසනා කරණ සේක.
ජනතාව: මාගේ අමෘතබර වූ ජේසුනි, ජනතාවගේ අනුකම්පාව ඔබ වෙත නැඹුරු වූ අවස්ථාවේදී "මා වෙනුවෙන් නොව ඔබ හා ඔබගේම දරුවන් වෙනුවෙන් වැළපෙන්නැයි" ඔවුන්ට වදාළ සේක්වේද, මෙම හේතුවෙන් අප ජීවිතයේ සිදුවූ සියලුම වැරදි ගැන මනස්තාප වීමටද පවින් මිදී සෑමවිටම දැහැමි ජීවිතයක් ගත කිරීමටද අපට ඔබවහන්සේගේ ආලෝකය දුන මැනව. ආමෙන්.
ප්‍රදානියා: ස්වාමිනි, අනුකම්පා සිතින් ක්‍රියා කිරීමට අප දිරි ගැන්වුව මැනව.
ජනතාව: ඔබගේ අනුකම්පාව නිතර අප කෙරෙහි දැල් වුව මැනව. ආමෙන්.
මා ජේසු මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා
කුරුසිය බර මගෙ පවු බව සිහි කර
මා ජේසු මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා
ඔබේ කරුණාපිරි සිරි හද සිහි කර
මා ජේසු මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා
කුරුසිය යට පොඩි වුණු බව සිහි කර
මා ජේසු මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා
විලි නැති පවු මා කල බව සිහි කර
මා ජේසු මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා
කුරුසියෙ ඇණ ගැසී සිටි බව සිහි කර
මා ජේසු මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා
මා මුදනුව පණ දුන් ඔබ සිහි කර.
මා ජේසු මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා
මළ කඳ දැක මව විඳි දුක සිහි කර
මා ජේසු මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා
මගෙ හද තුළ වැඩ රජ වූව මැන ඔබ
මා ජේසු මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා
ජේසු ස්වාමිදරුවෝ කුරුසියේ බරින් තුන්වෙනි වරට බිම වැටෙන සේක.
ප්‍රදානියා: ක්‍රිස්තුනි ඔබට නමස්කාරකර ස්තුති ප්‍රශංසා කරමු
ජනතාව: මක්නිසාදයත් ඔබගේ ශ්‍රී කුරුසයෙන් ඔබවහන්සේ ලෝකය ගලවාගත් සේක.
භාවනාව:
ප්‍රදානියා: සිත කැමතිය. එහෙත් කය දුබලය. මාංශික තෘෂ්ණාවන්ට රැවටී, පාපයේ ඇලි ගැලී එම නිසාම සියළු දේව පණත් කඩකරමින් ජීවත්වන අප වෙත උන්වහන්සේ මෙලෙස තුන්වැනි වරටත් බිම වැටී සිට ආයාචනයක් කරන සේක. "දරුව, මා දෙස බලන්න. මේ බරැති කුරුසිය රැගෙන වැටි වැටී මම කල්වාරියට පා තබන්නේ ඔබේ සියළු පාපයන්ට වන්දි ගෙවීම පිණිසය. පාපයේ ඇලි ගැලී ව්‍යාජ සුවයක් ලබන ඔබට මා ගැන අනුකම්පාවක් නැද්ද? ඔබ ගමන් කරන අගාධ ප්රපාතය ගැන ඔබට වැටහීමක් නැද්ද? ඔබේ විනාශය අත ළඟ බව ඔබට නොවැටහෙන්නේද?
මේ දුක් ප්‍රාප්තිය මගින් මම ඔබට සමාව දෙමි. මගේ ආදරය ඔබ පසු පස එයි. එබැවින් ඔබේ පාපතර ජීවිතයෙන් නැගිටින්න එඩිතර වන්න.
ජනතාව: ප්‍රේමබර ජේසුනි, ඔබගේ ආදර කැඳවීම මම පිළිගනිමින් මාගේ ක්ලේශයන්ට වහල් නොවී ඔබගේ දේව ගුණයෙන් පෝෂණය වී, දැහැමි දිවියක් ගත කිරීමට පොරොන්දු වෙමි. ආමෙන්.
ප්‍රදානියා: ස්වාමිනි, පාපක්ලේශයන් දමනය කිරීමට ශක්තිය දුන මැනව.
ජනතාව: ඔබගේ ශක්තිය අප වෙත පතිත කළ මැනව. ආමෙන්.
ජේසු තුමෙනි හද ඔබේ - ගිනි උඳුනකි පෙම් කඳේ
අපට ඒ දොර ඇරේ - දැවෙමු එහි වැදී
කුරුසියේ ඇණ ගැසී මැරුණ ගුණ කඳාණනේ
දිවි පුදා පෑ සෙනේ මද වැඩෝ අතේ
හදද පුරා ඇර පියා ලේ සැලූ නියා
බලව් බලව් ඇතිද ලොවේ මෙහෙම ගුණ දයා
අප කතා හඩ නගා මගෙන් උගෙන ගනු කියා
හද ඔබේ පෙන්නූ ඒ පුදුම මෙන් ගුණේ
බැගෑ මොලොක් හදටො'බේ රුවට මා මකා
සදනු වඩනු ලබුදියනේ ම ඔබ ලගැ තබා
ජුදෙයෝ ජේසු ස්වාමිදරුවන්ගේ වස්ත්‍ර කඩා දමති.
ප්‍රදානියා: ක්‍රිස්තුනි ඔබට නමස්කාරකර ස්තුති ප්‍රශංසා කරමු
ජනතාව: මක්නිසාදත් ඔබගේ ශ්‍රී කුරුසයෙන් ඔබවහන්සේ ලෝකය ගලවාගත් සේක.
සෑම සෙත, සෑම හත සලසාදුන් දෙවිපුතණුවෝ අද මරු ගෙන දෙන ගිරිමුදුනේ තනිවී, හිස්වී සිටිති. උන්වහන්සේ ඇඳ සිටි වස්ත්‍රය ඉවත් කරන ලදී. ලැජ්ජාවෙන්, කෝලයෙන්, වේදනාවෙන් සිටින ජේසුතුමා අපි දර්ශනය කරමු. මිනිසාගේ කායික නිර්වස්ත්රතාවයට වඩා ආත්මික නිර්වස්ත්රතාවය සඳහා උන්වහන්සේ වන්දි ගෙවන සේක. යහපත සලසන දෙයට වඩා මෙලෝ වස්තූන් බදාගෙන දෙවියන් අමතක කරණා සමාජයක අපි ජීවත් වෙමු. ප්‍රසාද ස්නාපනයේදී දෙවියන්වහන්සේ දුන් ඉෂ්ඨ වරප්‍රසාදයද, ඊට පසු ලැබූ සියළුම වරප්රසාදයන්ගෙන්ද අද මිනිසා බැහැර වී සිටී. ලෞකික දෙයින් හිස්වී ආත්මික දායාදයන්ගෙන් පිරී සිටින ලෙස අප නිසා නිර්වස්ත්‍රව වැඩ සිටින දෙවිසමිඳාණෝ අපට ආමන්ත්‍රණය කරන සේක.
ජනතාව: ආදර සමිඳුනි, පරිශුද්ධභාවයේ මූර්තිය වන ඔබවහන්සේ පිරිසිදු පැවැත්මෙන්, පාපයෙන් තොර ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කිරීමට පිහිට වූව මැනව. ආමෙන්.
ප්‍රදානියා: ස්වාමිනි, මිනිස් සිත දූෂණය කරන සෑම බලවේගයන්ගෙන්ම අප ආරක්ෂා කළ මැනව.
ප්‍රදානියා: ඔබගේ අණපනත් කෙරෙහි අප සිත් යොමු කළ මැනව. ආමෙන්.
ජේසුනි කල්වාරියේ යැව්වෝ කවුරුද?
අහෝ මගේ පව් නිසා ඔබට මෙසේ වුණේ
ජේසුනි වස්ත්‍ර කඩා දැමුවෝ කවුරුද?
අහෝ මගේ පව් නිසා ඔබට මෙසේ වුණේ
ජේසුනි නිර්වස්ත්රයෙන් හිඳෙව්වෝ කවුරුද?
අහෝ මගේ පව් නිසා ඔබට මෙසේ වුණේ
ජේසුනි කුරුසියේ ඇණ ගැසුවෝ කවුරුද?
අහෝ මගේ පව් නිසා ඔබට මෙසේ වුණේ
ජේසුනි ඇණ තුණ පියවුවෝ කවුරුද?
අහෝ මගේ පව් නිසා ඔබට මෙසේ වුණේ
ජේසුනි කාඩිය පෙව්වෝ කවුරුද?
අහෝ මගේ පව් නිසා ඔබට මෙසේ වුණේ
ජේසුනි කුරුසියේ මැරුවෝ කවුරුද?
අහෝ මගේ පව් නිසා ඔබට මෙසේ වුණේ
ජේසුනි හෙල්ලයෙන් ඉල ඉරුවෝ කවුරුද?
අහෝ මගේ පව් නිසා ඔබට මෙසේ වුණේ
ජේසුනි මව් උකුලේ පිනවුවෝ කවුරුද?
අහෝ මගේ පව් නිසා ඔබට මෙසේ වුණේ
ජේසුනි ගිරිලෙන තුලුවෝ කවුරුද?
අහෝ මගේ පව් නිසා ඔබට මෙසේ වුණේ
ජේසු ස්වාමිදරුවෝ කුරුසියේ ඇණ ගසනු ලබන සේක
ප්‍රදානියා: ක්‍රිස්තුනි ඔබට නමස්කාරකර ස්තුති ප්‍රශංසා කරමු
ජනතාව: මක්නිසාදයත් ඔබගේ ශ්‍රී කුරුසයෙන් ඔබවහන්සේ ලෝකය ගලවාගත් සේක.
භාවනාව: ජේසුතුමාව කුරුසියේ ඇණ ගැසීමට දැන් සොල්දාදුවෝ සූදානම් වෙති. උන්වහන්සේගේ ශ්‍රී ශරීරයේ සියලුම තුවාලයන් ඇත් කරවමින් වස්ත්‍ර කඩා දමා ඇත. නිරුවතින් කුරුසිය පිට බාවා මහා ගොරෝසු ඇණ තුනකින් උන් වහන්සේව කුරුසියට සවි කරති. ඒ හැම තද මිටි පහරක්ම උන්වහන්සේගේ අත් පාවලට වැදී ලේ විසිවී ගියද එම මිටි පහර වැදිය යුත්තේ අපගේ හදතුලටය. මේ හේතුවෙන් අප තද සිත් මොලොක්වී පාපයෙන් නිස් වී දේව ගුණධර්මයන්ගෙන් අපි උන්වහන්සේගේ කුරුසියට බැඳෙමු.
පෙම්බර ජේසුනි, ගොරෝසු ඇණ තුනකින් කුරුසියට සවි වී ලොව මිදීමේ යාගය පුද කිරීමට සූදානම් වන ඔබවහන්සේ මා ගැන අනුකම්පා කල මැනව. මාගේ පාපයන්ට වන්දි ගෙවීම සඳහා ඔබවහන්සේගේ යාගයට මා ද හවුල් කරගත මැනව. ආමෙන්.
ප්‍ර: ස්වාමිනි, ඔබගේ යාගයට අපවද ලබාකාර ගත මැනව. උ: යාගික ජීවිතයේ උණුම් කම පහදා දුන මැනව. ආමෙන්.
කුරුසේ නැග අත් විහිදා – මුළු ලෝ තුරුලට බදලා
සිටිනා දෙවි පුත් රඳුනේ – ඔබෙ පා සිඹිමින් වඳිමු
සිරසේ කිරුළේ මිණියේ – බැබළේ බිඳු වැල් සිරිරේ
කුරුසේ සිටිනා දෙවිඳේ – ඔබෙ පා සිඹිමින්
ඔබ හා කුරුසේ නැගලා – ඔබෙ දෑසින් ලොව බලලා
ඔබසේ කරුණා පාලා – කුරුසේ හිඳිනා සමිඳේ
හිඳිනා ලෙස මා කැඳවා – කල්වාරිය මත නංවා
ඔබ හා මා හා සිටිමු – කුරුසේ හිඳිනා සමිඳේ
ජේසු ස්වාමිදරුවෝ කුරුසියේ උකුත් වන සේක
ප්‍රදානියා: ක්‍රිස්තුනි ඔබට නමස්කාර කර ස්තුති ප්‍රශංසා කරමු උ: මක්නිසාද යත් ඔබගේ ශ්‍රී කුරුසයෙන් ඔබ වහන්සේ ලෝකය ගලවාගත් සේක.
භාවනාව: දේවරාජ්‍යය කියාදීමට, එය ප්‍රකාශ කිරීමට ජේසුතුමා තම වචනයෙන්ද, ක්‍රියාවන්ගෙන්ද, ප්රාතිහාර්යයන්ගෙන්ද ක්‍රියා කළ සේක. එහෙත් මේ සියල්ල අසා සිටි, බලා සිටි සැමට මේ කුරුසියේ මරණයෙන් පෙනී ගියේ සියල්ල අසාර්ථක වූ බවයි. උන්වහන්සේට විරුද්ධව ක්‍රියා කළ සියළු දෙනාම සතුටු වූහ. ජය පැන් පානය කළහ.
එහෙත් අපරාජිත ජේසුතුමෝ මේ කල්වාරියේ මේ කුරුසිය තම රාජාසනය කර ගනිමින්, මේ තාක් උන්වහන්සේ කළ ශ්‍රේෂ්ඨතම දේශනය වාග් හතකින් නිමකළ සේක. අප ජීවිත තුළ සදා පැවතිය යුතු නිතර මෙනෙහි කළ යුතු ප්‍රේමයේ පිපාසය ප්‍රකාශ කළ සේක.
මේ වාග් සත ප්‍රකාශ කළ උන්වහන්සේ විරාජ මානව තම ජීවිතය මිනිස් සංහතියේ මිදීම නිසා පුද කරමින් උකුත් වූ සේක.
ආදර පියාණනි, මිනිස් සංහතියේ මිදීම උදෙසා ඔබ පුතණුවන් බිලි පඬුරක් වීමට සැලසීම ගැන ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. මෙම යාගයේ මහිමයෙන් ඔබ ශුභාරංචිය ලොව සෑම තැන පැතිර වීමට කරුණා කළ මැනව. ආමෙන්.
ප්‍ර: ස්වාමීනි, දුබල වූ අපට දයා වුව මැනව. උ: ඔබගේ සමාව අපට දානය කළ මැනව. ආමෙන්.
බලව් බලව් කුරුසේ - එල්ලෙන ජේසු අනේ
තුවාල මුළු සිරුරේ - උල්පත් සැනසීමේ
කුරුසේ ගැලවීමේ - කුරුසේ ජීවිතයේ
කුරුසේ උත්ථානේ - වැළඳ ගනිමු කුරුසේ
අත් මිටි පහරින් ඇන්නෝ - මුහුණට කෙළ ගැසුවෝ
අල්ලෙන් කම්මුල් තැලුවෝ - වට කර ගත් සතුරෝ
පිට එක හැට්ටේ හෑවෝ - පිට දිගටම හෑවෝ
කස පහරින් පිට පැළුවෝ - සිරුරේ සුව නැසුවෝ
උල් කටු වල්ලේ සිරසේ - ඔබා ඒ හිර කෙරුවෝ
උල්කටු මසටම කැවුවෝ - ලෙයින් මුහුණ තෙමුවෝ
එළියක් කුරුසෙන් දිස්වේ - ලෝකෙට ආලෝකේ
ඔබ වෙතැ අප ඇද ගන්නේ - ගිවිසුම සලකා ඔබේ
ජේසු ස්වාමිදරුවෝ කුරුසයෙන් බාන ලදුව තමන්වහන්සේගේ පිරිසිදු මෑණියන්ගේ උකුලෙහි පුනවනු ලබන සේක
ප: ක්‍රිස්තුනි ඔබට නමස්කාර කර ස්තූති ප්‍රශංසා කරමු.
උ: මක්නිසාද යත් ඔබගේ ශ්‍රී කුරුසයෙන් ඔබවහන්සේ ලෝකය ගලවාගත් සේක.
බෙත්ලෙහෙමේ, ගවමඩුවේදී ඒ මොලකැටි බිළිඳු අතට ගත් දේව අම්මා එදා සිට තිස්තුන් වසරක් මේ පුතණුවන් සමග ජීවත් වූවාය. එහෙත් අද ලෝකයේ සියලුම කුරිරුකම් එකතු කර, අමානුෂික ලෙස අමු අමුවේ මරා දමන ලද තම පුතණුවන්ගේ මළ සිරුර බදාගෙන දේව අම්මා වික්ෂෝපයෙන් සිත පැලී පොඩිවී සිටියි.
එහෙත් සිය පුතණුවන්ගේ ජීවිතය යාගයක් නොවන්නට මිනිස් සංහතියටම ගැලවීමක් නොමැති බව දන්නා දේව අම්මා මේ දුක දරා ගත්තීය. කුරුසිය පාමුල සිට මේ යාගය පුදකල මේ දේව අම්මා ලෝක ජනතාවගේ පෙම්බර මව් ලෙස ඔබවත්, මාවත් භාරගත්තාය. එබැවින් කිසිදිනක එතුමියගේ හදට මින්පසු වේදනාවක් නොදෙන්නට අප සැම එතුමියගේ ආදර දරුකැල ලෙස ජීවත් වීමට අදිටන් කර ගනිමු.
වික්ෂෝපයෙන් පිරි සිටින පෙම්බර මෑණියනි, මෙලොව වසන සැමදෙනාටම සෙත සැලසීමට, විමුක්තිය දානය කිරීමට ඔබ පුතණුවන් පිදූ යාගයට හවුල්කාරියක වූ සේක් වේද? එබැවින් ඔබ පුතණුවන් නමින් දරුකමට භාරගත් අප සැම දෙනාට ඔබ මාතෘක සෙවණේ මෙලොව ජීවිතය යහපත් ලෙස පසුකර සදා ජීවිතය අත්කර ගැනීමේ වරම අපට දානය කල මැනව. ආමෙන්.
නමෝ මරියනි...
මා මව්නි අති ප්‍රේමණීය
මේ ලෝකේ මගේ ආධාර
ශෝකේ මා නිති සන්තෝෂය
යාවික්දා වේ මව සුන්දර
මා යාවික්දා අසනු දයාවෙන්
මා මව්නි සිට ස්වර්ගයෙන්
ආරක්ෂා කරනු පාපයෙන්
මා මුදා සෑම ශෝකයෙන්
අන්ධ වූ අප ආලෝකය
දුර්වල අප ආධාර
පාපිවූ අපගේ පිහිටය
පාපිවූ අපගේ පිහිටය
මව් මරි අති පෙම්බර
ජේසු ස්වාමිදරුවෝ ගල්ලෙනෙහි තැන්පත් කරනු ලබන සේක.
ප්‍ර: ක්‍රිස්තුනි ඔබට නමස්කාරකර ස්තූති ප්‍රශංසා කරමු උ: මක්නිසාදත් ඔබගේ ශ්‍රී කුරුසයෙන් ඔබවහන්සේ ලෝකය ගලවාගත් සේක.
භාවනාව:
උපත ලැබූ සැමගේ ඉරණම විපතය. ඊට පසු දේහය මිහිදන් කිරීමය. අවමංගල්‍යයකට සහභාගිවූ සැමගේ සිත මෙවන් අවස්ථාවල දී දෙදරුම්කයි. ජීවිතය මෙයද කියාත් පැනයක් නැගෙයි. අපට මතුජීවිතයක බලාපොරොත්තුවක් නොතිබුණා නම් සැබවින්ම එම සිතුවිල්ල සාධාරණය.
එහෙත් සියළු අවමංගල්‍යයන්ට වඩා ජේසුතුමාගේ දේහය මිහිදන් කිරීම විශේෂ වන්නේ අප සැමගේ බලාපොරොත්තු ඉටුවන නිසාය. ගල්ලෙනට ඇතුළුවූයේ මළකඳක් පමණක් නොව උත්ථානවීමේ බලය ඇති ලෝ මිදුම්කරුවාණෝය.
ලොවට විමුක්තිය සැලසීමට, අනන්ත ජීවිතයේ උතුම්කම පහදා දීමට උන්වහන්සේ තුන්වන දින අභිමානවත් ලෙස මරණය පරාජය කර උත්ථානවූ සේක. මෙන්න අපේ බලාපොරොත්තුව, මෙන්න අපේ ජයග්‍රහණය.
මරණය පරාජය කර උදාර ලෙස උත්ථානවූ ජේසු සමිඳුනි, ඔබගේ දේව ශක්තියෙන් අපගේ අප්රමාණික ජීවිත ප්‍රාණවත් කර, ඔබ පහදා දුන් උදාර ගුණයන්ගෙන් අප ජීවිත දීප්තිමත්කර නියම කිතුණුවන් ලෙස ජීවත්වීමේ වරය අපට දානය කළ මැනව.
ප්‍ර: ස්වාමිනි, උදාර ලෙස අප ජීවිත ජීවත් කිරීමේ වරය අපට දුන මැනව. උ: ස්වාමිනි, ඔබ උත්ථානය මගින් අප ප්‍රබෝධමත් කළ මැනව. ආමෙන්.
ජේසුනි ලෝකයන් කෙරෙහි – බොහෝ සේ දයා වූයෙහි
දුෂ්ඨයන්ගේ කුරිරු සිත්හි – පාප දොස් දුරු කෙලෙහි
කරුණා සාගරයෙනි – ක්ෂමා වුව මැනව
ජේසුනි මාගේ දෙවියනි – කරුණා කළ මැනව
ඔබගේ පාද පද්මයෙහි – සිටිමු අපි ශෝකව
පාපි වූ දාසයන් කෙරෙහි – උදහස් නුත මැනව
මල්උයනේදී අත්‍යාධික දුකින් සිටියාවූ, අනාදි පිනාවන දෙවියන්ට යාච්ඤා කලාවූ, මරණය ලබන තෙක් දුක් අනුභව කලාවූ, ලේ ධහඩිය සිදු හෙලනු ලැබූවාවූ ජේසුනි!
ස්වාමිනි! අපට කරුණා කල මැනව - අපට කරුණා කල මැනව.
සිපාවාරකල දේව ද්‍රෝහියා විසින් ජූදායින් අතට පාවාදෙනු ලැබූවාවූ, සොරෙක් මෙන් යකඩ දම්වැල් හා ලණුවලින් බඳිනු ලැබූවාවූ, ගෝලයන් විසින් අතහැර දමනු ලැබූවාවූ ජේසුනි!
ජූදායින්ගේ අනිති විභාගයෙන් මරණයට තීන්දු කරනු ලැබූවාවූ, පිලාත්තු ඉදිරියෙන් සොරෙක් මෙන් ගෙනයනු ලැබූවාවූ, හෙරොද් රජුගෙන් නින්දා පරූප වින්දාවූ ජේසුනි!
වස්ත්රාභරණ ගලවනු ලැබූවාවූ, ගල් කණුවේ බැඳුම් කෑවාවූ, ඉතා තෙස්තූරකමින් තැලු පහරවල් ඉවසුවාවූ ජේසුනි!
කටු ඔටුන්න පළඳවනු ලැබූවාවූ, කම්මුලට අතින්ද, ශ්‍රී සිරසට බට දණ්ඩකින්ද, පහර ලැබූවාවූ, ශ්‍රී වත මණ්ඩල මැළවෙනු ලැබූවාවූ, ලොම් රතු වස්ත්‍රයක් පොරවා නින්දා කවටකම් කරනු ලැබූවාවූ, නොයෙක් අවමාන්න වින්දාවූ, නිමක් නැති පරූප වචනවලින් බැණුම් ඇසුවාවූ, ජේසුනි!
බරබාස් යන සොරාටත් වඩා නිව කරනු ලැබූවාවූ, ජූදායින්ගෙනුත් ඉවත් කරනු ලැබූවාවූ, කුරුසයෙහි ඇණගසනු පිණිස අනිති නඩු තීන්දුවට අසුවූවාවූ ජේසුනි!
අති බරවූ කුරුසය ඉසුලුවාවූ, බැටළුවෙකු මෙන් මරණයට ගෙනගියාවූ, පටු පාරේ මුණින් තලා වැටුණාවූ ජේසුනි!
සොරුන් අතරෙහි මිනීමරු සොරෙක් මෙන් ගණන්ගන්නාවූ, ඉතා පරූප කරනු ලැබූවාවූ, ජූදායින් විසින් අසාධාරණ කරනු ලැබූවාවූ, තිත්ත සහ ඇඹුල් මුසු කාඩිය බීවාවූ, එක් යාමයක් ඇතුළතදී ඉතා තෙස්තූර වධ ගාවිනාවලට අසුවූවාවූ ජේසුනි!
වස්ත්රාභරණ ගලවනු ලැබූවාවූ, කුරුසය නම්වූ ආසනයේ වැඩසිටියාවූ, ශ්‍රී හස්ත පාද ඇණ තුනකින් ඇණගැසුම් කෑවාවූ, කුරුසයෙන් බා ශරීරය තැන්පත් කරනු ලැබූවාවූ ජේසුනි!
කුරුස ගසේදී ප්‍රාණය පුදකලාවූ, ඔබගේ ශුද්ධවූ මව් ඉදිරියෙහි ඔබගේ ශ්‍රී ළය මණ්ඩලයට ඇනුම් කෑවාවූ, ශ්‍රී රුධිරයත් වතුරත් සිදහෙළුවාවූ ජේසුනි!
කුරුසයෙන් බස්වනු ලැබූවාවූ, ඔබගේ වික්තෝප මෑණියන්ගේ කඳුළෙන් තෙමුණාවූ ජේසුනි!
ගණන් නැති වණකැලැල් ඇති වුණා වූ, ඉතා කසට වණ පසක් දරාගත්තාවූ, සුගන්ධ තෙලයෙන් ආලේප කර අලුත් ගල්ලෙනක තැන්පත් කරනු ලැබූවාවූ ජේසුනි!
අහෝ දයාබර සෙනෙහෙවන්ත මෑණියෙනි / ශ්‍රී ලංකා රාජේශ්වරිය හා / අප ආරක්ෂිකාවෙනි / මේ තීරණාත්මක මොහොතේදී / අප නිහතමානීව / බැගෑපත්ව / අයැද සිටින මේ ඉල්ලීමට සවන් දුන මැනව.
දයාබර මෑණියෙනි / යුද්ධ සංග්රාමවලදී හා අනේකප්‍රකාර අනතුරුවලදී / ඔබ අප සහයට වැඩියා නොවේද? / ඔබගේ ඒ නොවෙනස් ප්‍රේමයෙන් / අප අතර මුල් බැස ඇති / බද්ධ වෛරය හා ප්රචණ්ඩ ක්‍රියා / පලවා හැරිය මැනව.
අප රටේ ප්‍රේමය හා ධර්මිෂ්ඨකම / රජකරන රාජ්‍යයක් ගොඩ නැගීමට අපට සහය වූව මැනව. / පෙම්බර මෑණියෙනි / ඔබ අප කෙරෙහි ඇති / නොවෙනස් අචල ප්‍රේමය හා දයානුකම්පාව / නිතර සිහි කරමින් / ඔබගේ සෙනෙහෙබර ආරක්ෂාවට / අප රට වැසි සියලු ජාතීන් / ඔබට භාර කරමු. / අප සමාජය තුළ සහෝදරත්වය / සාමය හා එකමුතුකම / ගොඩ නැගීමට අපට සහය වූව මැනව. / අප රටෙහි සියලු දෙනා / එක පවුලක සහෝදර සහෝදරියන් මෙන් / ජීවත් වීමේ භාග්‍යය / අපට ලබා දුන මැනව. ආමෙන්.