ජීවිත මාවත දිගේ
මම කොතරම් සැලසුම් කළ ද මා සැලසුම් කළ ආකාරයට ජීවිතය ගමන් කරන්නේ කලාතුරකිනි. බොහෝ විට ජීවිතය තමා විසින්ම පෙර සැලසුම් කරන ලද නිශ්චිත මාවතක ගමන් කරයි. එනිසා, මට මගේ ජීවිතය ගමන් කරන මාවත සැලසුම් කළ නොහැකි නමුත් මට එම මාවතේ ගමන් කරන වාහනය තෝරා ගැනීමේ හැකියාව ඇත. ඒ සඳහා ගුවන් යානයක්, නැවක්, හෙලිකොප්ටරයක්, දුම්රියක්, බස් රථයක්, මෝටර් රථයක්, බයිසිකලයක්, කරත්තයක් හෝ එවැනි ඕනෑම වාහනයක් යොදා ගත හැකිය.
ජීවිතය ඉතා කෙටි බැවින් ගුවන් යානයකින් යාම වඩා වේගවත් හා සුවපහසු විය හැකි යැයි සිතූ මම හැමවිටම ගුවන් යානයෙන්යාමට උක්සාහ කළෙමි. වැඩි කාලයක් නොගොසින්ම එය අහසින් යද්දී, මුහුදට කඩා වැටුනි.එසේ මුහුදට වැටී අතරමං වු මම ජීවිත ආරක්ෂක බෝට්ටුවක නැගී ජීවිතය බේරා ගත්තද මගේ ආශාව වු වඩා වේගවත් බව හා සුවපහසුව හේතුවෙන් නැවෙන් යාම වඩාත් මැනවැයි සිතා මම බෝට්ටුව අතැර නැවට නැඟුනෙමි. වැඩිකල් යන්නට මත්තෙන් නැව මුහුදින් යද්දී ගල්පරයක වැදී මා නැවතත් මුහුදේම අතරමං විය. එහිදී ද ජීවිත ආරක්ෂක හෙලිකොප්ටරයක සහය ලැබිනි. එහෙත් එයින්ද යන්නට පුළුවන් වූයේ මඳ දුරක් පමනි. හෙලිකොප්ටරය ඝණ මී දුම මැදින් යද්දී ,කන්දක වැදී ගොඩ බිමට කඩා වැටිනි.
දැන් මම නැවත ගොඩබිමට පැමිනියද මේ වන විට මට තිබුනු හොඳම හා වටිනාම වාහන මේ වන විට විනාශ වී තිබේ. ඒවා මට නැවත කිසි දිනක යොදා ගත නොහැක. නමුත් දැන් මම පොළොවේ පය ගසා කෙලින් සිට ගෙන සිටිමි.මේ වෙද්දී මම මගේ ජීවිත ගමන් මඟේ අර්ධයකට වඩා ගමන් කර ඇත්තෙමි.ඉතිරි කොටස යාම සඳහා මට තව ඉතිරී වී තිබෙන්නේ ගොඩබිමෙහි ගමන් කළ හැකි වාහන පමනි. මෙහි දී, මම වේගය සහ සුවපහසුව පමණක් සලකා වාහනයක් තෝරා ගන්නේ නම්, මේ වතාවේ ද මම අනිවාර්යයෙන්ම අසමත් වනු ඇත.
මට මුල වැරදී ඇත.නොඑසේ නම් මේසා වාර ගනනක් මා මෙලෙස අතරමං වූයේ ඇයි? එහෙත් මට එය දැන් තේරුම් ගියද ඉදිරි කාලය තුළ ඉතිරි වාහන ටික කෙසේ සැලසුම් කරගත යුතුද යන්න පිළිබඳ මට හරිම අවබෝධයක් නැත. නමුත් මට කිසිම විටක කරත්තය තෝරා ගැනීමට සිත නොදෙයි. සමහර විට මට වැරදුනේ එතන විය හැකිය. මා තෝරා ගත් සියළුම වාහන වල සියළුම කොටස් අජීවීය. එහෙත් කරත්තයේ කොටසක් අජීවී වුවත් කොටසක් සජීවීය. එනයින් මා මේ වාහනය පිළිබඳව නොසලකා හැරීම මාගේ බොහෝ පරාජයන්ට හේතු වුවා විය හැකිය. පුදුමය නම් මම තවම මේ වාහනයට අකමැති වීමත්, මා මෙන්ම අනෙක් සියල්ලන්ද මේ වාහනයට අකමැති වීමෙන් එය එන්න එන්නම සමාජයෙන් ඈත් වීමයි. මේ ජීවිත මාවතේ මේ සියළුම වාහන මා හැර ගොස් දෙපයින් ගමන් කර දෙපාද පන නැතිවන දිනයක් එතැයි මසිත හඬ ගා කියයි.