මහාචාර්ය ජේ. ආර්. ආර්. ටොල්කීන් ගැන ශ්‍රී ලාංකික අපේ පොදු අවබෝධය සෙසු ලෝකයට වඩා ඉතා අඩු බව අතිශයෝක්තියක් නොවෙයි. ඔහු සහ ඔහුගේ නිර්මාණ ගැන ලාංකික බොහෝ දෙනෙක් මූලිකවම දන්නේ The Lord of the Rings (මුදුවේ අධිපති) සහ The Hobbit (හොබිට්ටා) නව චිත්‍රපට අනුවාදන නිසායි. එම චිත්‍රපට 2001 වර්ෂයේ සිට තිරගත වුවත්, මහාචාර්ය ටොල්කීන්ගේ සාහිත්‍යමය චාරිකාව නිල වශයෙන් ඇරඹෙන්නේ 1937 දී හොබිට්ටා ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි. මුදුවේ අධිපති සහ හොබිට්ටා පිළිබඳව මුල් ග්රන්ථ හෝ චිත්‍රපට අනුසාරයෙන් දැනුමක් ඇති අයට ඉන් පසුව දැන ගැනීමට ඇති සුවිශේෂම ග්‍රන්ථය තමයි The Silmarillion (සිල්මරිලුවත). මේ පිටුව තුලින් අපේ ව්‍යායාමය වන්නේ ඔහු නිර්මාණය කල ප්‍රධානතම වෘතාන්තය වන ඒ සිල්මරිලුවත සාකච්ඡා කිරීමයි.
සාහිත්‍යධරයෙකු ලෙස ලෝකයේ පුරාණ භාෂා, ජනප්‍රවාද අධ්‍යයනය කල සහ විචාරය කල මහාචාර්ය ටොල්කීන්, බ්‍රිතාන්‍ය ඉතිහාසය සහ ජනයාට ආවේණික ජනප්‍රවාදයක් තැනීම පිණිසයි මධ්‍ය-ලෝකයට පිවිසෙන්නේ. ඔහු තුරුණු වියේ පටන් කෙමෙන් කෙමෙන් වැඩි දියුණු කල මේ මිත්‍යා ඉතිහාසය ඔහුගේ ජීවිත කාලය තුලදී ඔහුට ප්‍රකාශයට පත් කිරීමට ලැබෙන්නේ නැහැ. ටෝල්කීන්ගේ මුල් අරමුණ වුණේ එය මුදුවේ අධිපති සමඟ එලි දැක්වීමයි. නමුත් ප්‍රකාශකයෝ එයට එකඟ වුණේ නැහැ මෙන්ම එය එලි දැක්වීමට තරම් පිළියෙළ වී තිබුනේද නැහැ. සිල්මරිලුවත පසුබිමෙහි සෙමෙන් සෙමෙන් ඇති දැඩි වන අතරේ ඔහුට බොහෝ උත්සාහ මැද හොබිට්ටා කෘතිය සහ එහි දෙවන කොටස ලෙස මුදුවේ අධිපති ලෝකයේම පැසසුම මැද ප්‍රකාශයට පත් කිරීමට හැකි වුණා. අවසානයේදී ඔහුගේ පුත්‍රයා වන ක්‍රිස්ටෝපර් ටොල්කීන් තමයි සිය පියාගේ ඇවෑමෙන් පසුව සටහන් එකතු කොට, සංස්කරණය කොට ග්රන්ථයක් විදිහට 1977 දී එලි දක්වන්නේ. තම දිවියේ අවසන් වකවානුව තෙක් මහාචාර්ය ටොල්කීන් එහි එන චරිත වල නම් වෙනස් කරමින්, අදහස් යාවත්කාල කරමින් කථාංග වෙනස් කල නිසා, සංස්කාරක වූ ක්‍රිස්ටෝපර් තමයි තීරණය කලේ කවර නාමද, අදහස්ද අවසන් ග්රන්ථයට ඇතුලත් කරන්නේ කියලා.
සිල්මරිලුවතේ ඇතුලත් වන්නේ මධ්‍ය-ලෝකය ඇතුලත් විශ්වය ආරම්භ වූ සැටි සහ හොබිට්ටා සහ මුදුවේ අධිපති ග්රන්ථ වකවානුවට පෙර යුග 3 කදී ලෝකයේ සිදුවූ සිද්ධි දාම පෙළයි. ඉංග්‍රීසි මව්බස වූ ඇත්තන්ට පවා මෙම ග්‍රන්ථය සරල කියවීමක් නොවෙයි, කිමද එය ඇත්තෙන්ම නවකතාවක් නොව ඓතිහාසික පුරාවෘත්තවල එකතුවක් ලෙස ලියවී ඇති නිසා මෙන්ම මහාචාර්ය ටොල්කීන් පුරාතන ඉංග්‍රීසි බසට හුරුවෙන් ලියා ඇති නිසා. නමුත් එහි සාමාන්‍ය නවකතාවක මෙන් චරිත සහ දෙබස් ඇතුලත් වෙනවා. මෙම ලිපිය කියවන ඔබද මුල් ග්‍රන්ථය කියවීම ඉතාම යෝග්‍යයි මන්ද මේ ලිපි එහි සාරාංශ සහ විචාර මිස මුල් ග්‍රන්ථයේ පරිවර්තනයක් නොවන නිසා.
ග්රන්ථානුකූලව අනුපිළිවෙලින් මම ලිපි ප්‍රකාශයට පත් කරන්නට උත්සාහ කරන්නේ නවකයෙකුට පහසුවෙන් එයට ඇතුලත් වන්නටයි. නමුත් විටින් විට අනුපිළිවෙලින් බැහැරව යම් යම් දේ සඳහන් කිරීමට අවශ්‍ය වන්නට පුළුවනි. ඉතින් සිල්මරිලුවතට ඔබ සියල්ලන්ටම ආරාධනා!
- Randy Baggins