පරිවර්තන යාවත්කාල කිරීම්:

මෙම යාවත්කාල කිරීම් නවතම සංස්කරණවල සිදු කර ඇති ඒවාය. අනාගතයේ සිදුවන යම් යම් වෙනස් කම්ද මෙම ලැයිස්තුවේ ඇතුලත් වනු ඇත.

2020/09/15

  • යම් යම් නාම වල ද සහ ඩ ශබ්ද ලියන ක්‍රමය වෙනස් කර ඇත. (උදා. ඉසිල්දූර් -> ඉසිල්ඩූර්, ත්‍රන්දුයීල්->ත්‍රන්ඩුයීල්, අන්දුයින් -> අන්ඩුයින්)

2020/05/09

  • පරිවර්තනයේ මූලික අඩවියේ සිට Mount Doom හට පවත්වාගෙන ආ 'බිහිසුණු කන්ද' යන නම 'ඉරණම් කන්ද' ලෙස වෙනස් කළෙමි. එහි සින්දාරිනු එල්ව නාමය වූයේ 'Orodruin' නොහොත් අග්නිමය කන්දයි. එය විටින් විට ගොන්ඩෝරයේදී Amon Amrath හෙවත් ඉරණම් වලට සබැඳි කන්ද ලෙසත් හැඳින්වෙයි. Mount Doom යනු එයට සාමාන්‍ය වහරෙන් යෙදූ නාමයයි. (Erebor හි නම The Lonely Mountain ලෙසින්). මෙහි Doom යන ඉංග්‍රීසි වචනය ටොල්කීන් යොදාගන්නේ දෛවය, ඉරණම යන තේරුම සහිතවයි. අග්නි කන්ද (Orodruin) සහ ඉරණම් කන්ද (Amon Amrath) යන නම් දෙක අතර සම්බන්ධ කමක් නැති අතර සාමාන්‍ය වහරට සුදුසු ලෙස ඉරණම් කන්ද ලෙස වෙනස් කළෙමි.

  • රජුගේ පුනරාගමනය චිත්‍රපටයේ අවසානයේ ඇරගෝන් විසින් හොබිට්ටන්ට "You bow to no one" ලෙසින් පැවසීම මගේ සිතේ බොහෝ කලක් රැඳී තිබුණේ "ඔබෙන් හිස නැවීමක් ලැබීමට තරම් මම සුදුස්සෙක් නොවෙයි" යන ලෙසින්. නමුත් මම අන් අය බොහොමයක් තේරුම් ගත් ආකාරයට "ඔබලා කිසිවෙකුටවත් හිස නැවිය යුතු නැහැ" ලෙස වෙනස් කළෙමි. මම පළමු තේරුම දැඩිව විශ්වාස කරන්නේ චිත්‍රපටයේ එන ඇරගෝන් චරිතය තම ශක්තිය පිළිබඳව දැඩිව සැකයෙන් සිටිය නිසා සහ තම පෙළපත ගැන සිත උදුම්මා ගෙන නොසිටි නිසා. නමුත් මේ අර්ථ දෙක ඉතාම ආසන්නයෙන් යන නිසා බොහෝ දෙනෙකු සිතන ආකාරයට එය වෙනස් කිරීමට තීරණය කළෙමි.


2020/03/31

[ප්‍රධාන යාවත්කාලීන කිරීමක්]

  • මෙතෙක් දුරට 'සුරයෝ' ලෙසින් නම් කර තිබූ 'elf' යන ජන කොට්ටාශය 'එල්වයෝ' ලෙස නම් කර ඇත. අන් භාෂා වලද මෙය මුල් නමට ආසන්න ලෙස පරිවර්තනය සිදු වී ඇත.

  • අඟුටුමිට්ටෝ ලෙස නම් කර තිබූ 'dwarf' යන ජන කොට්ටාශය 'වාමනයෝ' ලෙස නම් කර ඇත.

  • 'සව්රොන්' ලෙස මෙතෙක් ලියූ නාමය 'සෞරොන්' ලෙස වෙනස් කර ඇත.

2019/02/01

  • මුදුවේ සන්ධානය චිත්‍රපටය අවසානයේ එන Enya ගේ 'May it be' යන ගීතය, චිත්‍රපටයේ තේමාවන්ට ඉතාමත් සමීප ලෙස ලියැවී ඇති නිසා එයද සිංහලට පරිවර්තනය කොට ඇත.

2018/12/02

  • බිල්බෝගේ මහා-මහා-මහා-මහා මාමා වන Bandobras "Bullroarer" Took ගේ නම වෙනුවෙන් තාවකාලිකව සිංහල හුරුවෙන් යොදා තිබුණු බුල්රෝර ටුක් යන නම වෘෂභරාව ටුක් ලෙස වෙනස් කර ඇත. [හොබිට්ටා පළමු කොටසේ]

2018/12/01

  • Orc සඳහා මම මෙතෙක් යොදා තිබූ අසුර යන බෞද්ධ ඉතිහාසයට හුරු නාමය, කර්තෘගේ උපදෙස් මත ඔර්ක ලෙස වෙනස් කොට ඇත. ඒ වාගේම Goblin යනු හොබිට්ටා කෘතියේ සහ එම චිත්‍රපට වල බොහෝ සෙයින් සඳහන් වන පදයකි. එය ටොල්කීන් යොදා ගනු ලැබුවේ ඔර්කයන් හට හොබිට්ටන් පටබැඳු නාමය ලෙසයි. එම නාම දෙකම විටින් විට චිත්‍රපට වල සඳහන් වන බැවින්, වෙනස් පද දෙකක් අවශ්‍ය වේ. එම නිසා අසුර යන නාමය Goblin වෙනුවෙන් මම යොදාගනිමි. මෙම වෙනස් කිරීම Elf/Elves සඳහාද සිදු කළ යුතු අතර, සුර යන නාමයට වඩා සුදුසු ලෙස වෙනස් කිරීමක් සිදු වන තුරු, එය එලෙසටම දැනට පවතිනු ඇත.

  • රෝහානයේ ප්‍රදේශ/ස්ථාන නාම වන Dimholt, Riddermark සහ Fenmark වෙනුවෙන් පැරණි ඉංග්‍රීසියේ අභාෂයෙන් ටොල්කීන් ලබාගත් වචන පරිවර්තනය නොකොට, ඩිම්හොල්ට, රිඩර්මාකය සහ ෆෙන්මාකය යන නම් එලෙසම පවත්වා ඇත.

2018/11/29

  • ටොල්කීන්ගේ පරිවර්තන උපදෙස් වලට අනුව මුදුවේ අධිපතිහි එන Shire සඳහා 'district' (දිස්ත්‍රික්කය) හෝ 'province' (පළාත) යන අර්ථය ඇති වචනයක් යෙදිය යුතුය. එනිසා පෙර යොදා තිබූ සිංහලයට හුරු ශයරය යන නාමය වෙනස් කොට, කෝරළය යන නිවැරදි පරිවර්තනය දැන් යොදා ඇත. එම නාමය බ්‍රිතාන්‍ය පාලන කාලයේදී ප්‍රදේශ වෙන් කිරීම සඳහා සිංහලයට එක්වී ඇති බැවින් එය මුල් පදයට ඉතාම ආසන්න වෙයි.

2018/11/28

  • Strider යන ඇරගෝන්ගේ පටබැඳි නාමය දික්චරක ලෙස යාවත්කාලීන කර ඇත. බ්‍රී ගම්මානයේ මිනිසුන් විසින් ඔහුගේ දිගු පාද නිසා (උස් ශරීර ඇති නූමනෝර පෙළපත් කරුවෙක් නිසා) එම නම පටබැඳි අතර, ඉංග්‍රීසි නාමයෙන් කියවෙන්නේ ඔහු දිගු අඩි තබන්නෙක් බවයි. එමෙන්ම ඇරගෝන් යනු දිගු දුර සංචාරය කරන උතුරේ වන භටයෙක් නිසා සිංහල නාමයට එයද ඇතුලත් වන ලෙස දික්චරක ලෙස නම් කොට ඇත.

2018/11/21

  • Sackville-Baggins (බිල්බෝගේ ඥාති), නම ගෝනිගම-බැගින්ස් ලෙස යාවත්කාල කර ඇත.

  • Bucklebury, හෙවත් මුව ලන්දෙහි (Buckland) ප්‍රධාන ගම්මානය මුවගම ලෙස යාවත්කාල කර ඇත.

2018/11/18

  • Rivendell ('Deep dale of the cleft') හි පළමු පරිවර්තනය වූ නදීනිමනය වෙනස් කොට රිවන්ඩෙල් ලෙසටම පවත්වා ඇත. මෙයට හේතුව Riven- යන පදය ගංගාවක් (නදියක්) පිලිබඳ නොවන බවත්, කැමති නම් මූලික නාමයම පවත්වා ගන්නා ලෙසත් මුල් කතුවරයා පරිවර්තකයන්ට පහදා ඇති බැවිනි.

  • Helm's Deep හි පළමු පරිවර්තනය වූ ශිර්ස්ක පතල යන්න හෙල්ම පතල ලෙස වෙනස් කොට ඇත. මීට හේතුව Helm යනු පුද්ගල නාමයක් නිසාය.

  • Kingsfoil යන පැලෑටි නාමය රාජවාරක නොව රාජපත් ලෙසට වෙනස් කොට ඇත. ප්‍රංශ බසින් foil යනු 'පත්‍ර' වන අතර යම් යම් පැලෑටි නාම අගට එය යෙදේ.

  • Weathertop හි පරිවර්තනය සුළංගිර ලෙස වෙනස් කර ඇත. මෙය පළමුව වෙදරහිස ලෙස පැවැත්වූයේ එය Weather Mountains යන කඳු යායේ මුදුන නිසාය (වෙදර+හිස). නමුත් දැන් එය Amon Sûl ('Hill of the Wind') යන සුර නාමය ආශ්‍රයෙන් සම්පූර්ණයෙන්ම සිංහලයට හරවා ඇත.

  • Ettenmoors ('high barren land') හි පළමු පරිවර්තනය වෙනස් කොට මහමුඩුතැන්න ලෙස යොදා ඇත.

2018/11/10

  • ෆ්‍රෝඩෝ විසින් බ්‍රී ගමේ තානායමේදී පාවිච්චි කල 'Underhill' යන නම, කඳුපාත ලෙස වෙනස් කර ඇත.

2018/10/30

  • Bag End යන්නෙහි ඉංග්‍රීසි තේරුම පටුමගක කෙළවරයි. අතීතයේ සිටම බොහෝ පටුමග අර්ධවෘත්තාකාර (බෑගයක හෝ මල්ලක හැඩයෙන්) කෙළවර වනුයේ වාහන/කරත්ත හරවා ගැනීමේ පහසුව සඳහායි. බැගින්ස් යන නමටද එහි ඇති සම්බන්ධය හේතුවෙන් එය සම්පූර්ණයෙන්ම වෙනස් නොකර, බෑග්+අන්ත (බෑගන්ත) ලෙස පබැඳා ඇත.

  • Bagshot Row යනු බෑගන්ත නිවස පිහිටි පටුමගයි. එහි නාමය එන්නේ, බෑගන්ත නිවස ඉදි කිරීමට ඉවත් කල පස් විසි කිරීමෙන් (shoot) පසුව වැටුණා වූ ප්‍රදේශය නිසාය. 'වාන' යනු යමක අතිරික්තයේ වැගිරීමට සමාන පදයක් නිසා බැග+වාන (බැගවාන) ලෙස මෙම පටුමග නම් කර ඇත.

  • West යන පදය සමහර තැන්වල අවරදිග ලෙස වෙනස් කර ඇත.

  • Dunland යන නාමය සෑදී ඇති Hill/කන්ද + Land යන වචන එකතු කොට කඳු ලන්ද ලෙස නම් කර ඇත.

  • Buckland යන නාමය සෑදී ඇති Buck/මුව + Land යන වචන එකතු කොට මුවලන්ද ලෙස නම් කර ඇත.