මේ ඇත්තේ මුදුවේ අධිපති (The Lord of the Rings) චිත්‍රපට මාලාවේ පළමු, දෙවන සහ තෙවන කොටස් වල දීර්ඝ සංස්කරණයන්ගේ (Extended Edition) ඉතාමත් නිවැරදිව පරිවර්තනය කළ සිංහල උපසිරැසි ගොනුයි. පහත යොමු හරහා ඔබ ලබාගන්නේ යාවත්කාලීන කරන ලද නවතම සංස්කරණයි.

භාගත කරගන්න:


වෙනස් කිරීම් ලැයිස්තුව


ජේ. ආර්. ආර්. ටොල්කීන් (J. R. R. Tolkien) විසින් රචිත මේ සුප්‍රසිද්ධ මනඃප්‍රබන්ධ කතා මාලාව, ලෝක සාහිත්‍යයේ ඉතාම ඉහල ගෞරවයක් හිමි කර ගනියි. බ්‍රිතාන්‍ය ඉතිහාසයට ආවේනික ජනප්‍රවාදයක අවශ්‍යතාවය වෙනුවෙන් ටොල්කීනුවෝ සිය මුළු ජීවිත කාලයම පාහේ මධ්‍ය-ලෝකය (Middle-earth) නම් මනඃකල්පිත ලෝකයක ආරම්භයේ සිට සිදුවූ වෘතාන්තද, පළාත්ද, සිතියම්ද, ජන කොට්ටාශද, භාෂාද, හෝඩිද ආදී දෙයින් ඉතා පොහොසත් පසුබිමක් ඇති දියුණු කළේය. ඔහුගේ ජීවිත කාලය තුලදී මාධ්‍ය-ලෝක පුරාවෘත්තය, පළමු වශයෙන් ‘හොබිට්ටා’ (The Hobbit) කෘතියෙන්ද, ඉන් පසුව ‘මුදුවේ අධිපති’ වෘතාන්තයේ කෘති තුනක් ලෙසද (මුදුවේ සන්ධානය, කුළුණු ද්විත්වය සහ රජුගේ පුනරාගමනය) ප්‍රකාශයට පත් විය. මෙම ග්‍රන්ථ පෙළට ප්‍රථමයෙන් පටන් ඔහු තුරුණු වියේ සිට රචනා කල ‘සිල්මරිලුවත’ (The Silmarillion), ඔහු තම වැඩිහිටි අවධිය පුරාවටම වැඩිදියුණු කළේය. ඔහුගේ වසර 81ක ජීවිතයේ ඇවෑමෙන් පසුව ඔහුගේ වැඩිමහලු පුත්‍ර ක්‍රිස්ටෝපර් ටොල්කීන් (Christopher Tolkien) සිය පියාගේ සටහන් එක් රැස් කොට සිල්මරිලුවත සහ මධ්‍ය-ලෝකයේ තව තවත් ග්‍රන්ථ සංස්කරණය කොට ප්‍රකාශයට පත් කළේය. මේ ග්‍රන්ථ මාලා සම්පුර්ණ අනුපිලිවෙල අන්තර්ජාලය ආශ්‍රයෙන් සොයාගත හැකි නිසා මෙහි සඳහන් නොකරමි.

2001 වර්ෂයේ සිට කොටස් තුනකින් පීටර් ජැක්සන් (Peter Jackson) නම් නවසීලන්ත ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයා මුදුවේ අධිපති චිත්‍රපට මාලාව ලෝකයට ඉදිරිපත් කළ අතර එම චිත්‍රපට ත්‍රිත්වය නිකුත් කර අවසානයේ ඩීවීඩී තැටි සඳහා ඔහු චිත්‍රපට වල දීර්ඝ සංස්කරණයන්ද (Extended Edition) එකලස් කළේය. මා විසින් පිළියෙළ කරන ලද මේ උපසිරැසි එම දීර්ඝ පිටපත් සඳහා අදාළ ඒවාය. මෙම උපසිරැසි ත්‍රිත්වය උපකාරයෙන් ඔබට එම සිනමාපට රස විඳින්නට හැකි නම් මාගේ අරමුණ සඵලයි.

ටොල්කීනුවන් සිය මනඃකල්පිත ලෝකයට යෙදූ විවිධාකාර නම්ගම් ලැයිස්තුව වෙනත් බසකට පරිවර්තනය කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එම විවිධ නම් වලට මම ආසන්නතම ලෙස පරිවර්තන ලබා දීමට උත්සාහ කළෙමි. මෙහි ඇති නම් පෙළ පිටුවේ එම පරිවර්තන කාර්යය සඳහා කෙටි හඳුන්වා දීමක්ද, චිත්‍රපට ත්‍රිත්වයේ එන බොහෝ නම් ගම් වල සිංහල පරිවර්තනද සපයා ඇත. චිත්‍රපටයේ දීර්ඝ පිටපත් වලට අදාළ ඉංග්‍රීසි උපසිරැසි එලෙස නම් ගම්ද, ගී පද සහ සුර-බස් (Elvish) කණ්ඩ පවා ඇතුළුව පරිවර්තනය කොට, මෙම නව බොහෝ සෙයින් නිවැරදි වූ උපසිරැසි සකස් කොට ඇත. නමුත් ටොල්කීනුවන් මෙන්ම, එය අධ්‍යයනය කරන වාරයක් පාසා, තව තවත් වැඩිදියුණු කිරීම් සුදුසු බව මට පෙනේ. පරිපූරකයෙකු සඳහා එය එසේ වුවත් සිංහල බසින් මධ්‍ය-ලෝකයට ඇතුළු වන්නෙකුට මේ වර්තමාන පිටපත් බොහෝ සේ සෑහෙයි. අනාගතයේදී කෙරෙන යාවත්කාලීන කිරීම් අඩංගු උපසිරැසි මෙම අඩවියෙන් පමණක් ලබාගත හැකි වන බව කරුණාවෙන් සලකන්න. පරිවර්තකගේ පිටපත් අයිතිය සුරකින්න෴