ලංකාවේ ඩෙල්ෆ්ට් දිවයින ද කලක් වර්තමාන නෙදර්ලන්තය හෙවත් එදා ඕලන්දය යටතේ පාලනය වූ දූපතක්. ඊටත් පෙර කාලයේ අරාබි වෙළඳුන්, පෘතුගීසින් ද, බෞද්ධ ආගමික කන්ඩායම් ද දූපතේ නාවික කටයුතු සහ වෙනත් කටයුතු වල නිරත වී ඇති බව එහි දක්නට ඇති පුරාවිද්යාත්මක සාධක මත තීරණය කළ හැකි ය. දැන් නටඹුන්ව ගියත් එහි ඇති සාධක අනුව ඩෙල්ෆ්ට් යනු අතීතයේ දී වර්තමාන නෙදර්ලන්තයේ ඩෙල්ෆ්ට් නගරය මෙන්ම සශ්රීකත්වයෙන් ආඩ්ය වූ නගරයක්ව පැවතෙන්නට ඇති බවට සිතන්නට පුලුවන්.
නාවික හමුදාවෙන් නැදුන්තාරකී සහ වඩතාරකි යන විශාල බෝට්ටු දෙක මගින් වරකට සියයකට වඩා වැඩි සෙනගක් දූපත වෙත ප්රවාහනය කිරීමට හැකියාවක් පවතිනවා. එම බෝට්ටු දෙක ද ඇතුලුව කුරිකඩ්ඩුවාන් ජැටියේ සිට ඩෙල්ෆ්ට් දක්වා ළඟාවන බෝට්ටු වාර පහක් පමණ ක්රියාත්මක වේ. පැය 08:00, 09:30, 13:30, 15:00, හා 16:00 යන වේලාවන් වලට කුරිකඩ්ඩුවාන් ජැටියෙන් ඩෙල්ෆ් දූව කරා බෝට්ටු ගමනේ යෙදේ. ඩෙල්ෆ් සිට කුරිකඩ්ඩුවාන් කරා පැය 06:30, 07:30, 11:30, 14:30, හා 16:00 යන වේලාවන් වලට බෝට්ටු ගමන් වාර ඇත. එම බෝට්ටු ගමන පැයකට ආසන්න ගමනකි. මුහුද සැර දිනවල දී බෝට්ටු ගැස්සීමකට පැද්දීමකට මුහුණ දීමට බෝට්ටුවේ යන මගීන්ට සිදුවෙනවා. නාවික හමුදාවේ විශාල යාත්රා වන නැදුන්තාරකී සහ වඩතාරකි ආදි බෝට්ටු වඩාත් සුවපහසු අතර ඒවායේ ගමනේ දී ඇඟට දැනෙන ගැස්සීම ද අඩුය.
මෙම බෝට්ටු ගමන් ආරම්භ කරන්නේ නාගදීපයට බෝට්ටු පිටත් වෙන ජැටිය වන කුරිකඩ්ඩුවාන් ජැටියෙනි. යාපනය නගරයේ සිට කුරිකඩ්ඩුවාන් ජැටිය දක්වාම තරමක වේගවත් බස් සේවාවක් ඇති අතර යාපනයේ සිට ඇති කිලෝමීටර 33ක දුර පැයකින් පමණ නිමකිරීමට ඒ බස් සේවාව සමත් වේ. නැතහොත් යාපනය දෙස සිට වාහනයකින් වුවද කුරිකඩ්ඩුවාන් ජැටිය වෙත පිවිසීමේ අවස්ථාව තිබෙනවා.
කෑම බීම සහ නවාතැන්
ඩෙල්ෆ්ට් දූපතේ වතුර නම් හිඟයි. වතුර සපයාගන්නා ලිං පිහිටා ඇති අතර ඇතැම් ලිං වල ඇත්තේ තරමක් කටුක රසින් යුත් කිවුල් ජලය. වැසි කලට ඩෙල්ෆ්ට් වැසියෝ කුඩා ජලාශ ඉදිකරගෙන ඒවායේ ජලය රැස්කරගැනීමට කටයුතු කරනවා. ඩෙල්ෆ්ට් වල කෑම ලබාගැනීමට කුඩා ආපන ශාලාවක් ඇති අතර එයින් ෆ්රයිඩ් රයිස් ලබාගන්න පුලුවන්. දූපතේ තරමක් සොයා බැලුවොත් තල් රා ටිකක් ද සොයාගත හැකිය. තල් රා බෝතල් දෙක රුපියල් 150ක් තරම් අඩු මිලට අලෙවි වන කාලයන් ඇති බැව් අප සමග සම්බන්ධ වූ දූපත් වැසියෙකු පැවසීය. නවාතැන් ගැනීමට තරමක පහසුකම් ඇති හෝටලයක් ඇති අතර ඊට අමතරව දූපතේ කාලය ගත කරන්නේ නම් සංචාරකයින්ට නවාතැන් දෙන නිවාස ආදිය ජැටිය ආසන්න ආපන ශාලාව හරහා හෝ ත්රී රෝද රියදුරන් හරහා සොයාගත හැකි ය.
දූපතේ ගමන
දූපතේ එක කොනක සිට අනෙක් කොණට ඇතැම් තැනක දී කිලෝමීටර 10කට වඩා වැඩිය. එබැවින් ඓතිහාසික ස්ථාන නැරඹිමට ත්රීරෝද රියක් හෝ මහේන්ද්රා වර්ගයේ කැබ් රථයක් යොදාගැනීම පහසු ය. කැබ් රියක් නම්, 10-12 දෙනෙකුට නැග යා හැකි මට්ටමේ එකක් පැය කිහිපයක දූපත වටා සවාරියකට රුපියල් 3000, 4000 අතර මිලකට කුලියට ගත හැකිය. ත්රී රෝද රියකින් නම් රු 1500/=කට දූපතේ ඇති වැදගත් ස්ථාන නැරඹීමට යා හැකිය. යම් තාක් දුරකට සිංහල වදන් කිහිපයක් කතා කිරිමේ හැකියාව දූපතේ ඇතැම් දෙමළ වැසියන්ට තිබේ. ඔවුහු බොහෝ දෙනා මිත්රශීලී ය.
දූපතේ බලන්නට ඇති තැන්
දූපත යුග කිහිපයක නටඹුන් සහිත බිමකි. එක් තැනක පුරාණ චෛත්යයක් තිබෙන අතර මුස්ලිම්වරුන්ටත් පෙර සමුද්රීය සේද මාවත හරහා බෞද්ධ ආගම ලොව වටා සැරිසැරූ යුගයට අයත් එකක් හෝ ලංකාවෙන් එහි ගිය යම් පිරිසකගේ නිර්මාණයක් ලෙස එම චෛත්ය සැලකිය හැකි ය.
මන්නාරමේ ඇති බෝබ් ගසට වඩා තරමක් කුඩා මුත් මේ දූපතේ ඇති බෝබ් ගස මිනිසුන් දෙදෙනකුට ඇතුලේ රිංගා වැස්සට නොතෙමී සිටිය හැකි තරම් විශාල කුහරයකින් යුක්ත එකකි. බෝබ් ගස තුලින් අරාබි වෙළඳුන් මේ දූපත හරහා ද සිය වෙළහෙළඳාම් සිදුකරන්නට ඇති බැව් නිගමනය කළ හැකි ය. බෝබ් ගස අප්රිකාවෙන් සැදී නාවුක මාර්ග ඔස්සෙ වර්ෂ 1000ක් තරම් මෑත කාලයේ ලංකාව සහ ඉන්දියාවේ නාවුක මාර්ග අසල නගරවලට සංක්රමණය වූ වෘක්ෂයකි.
හින්දු බැතිමතුන් පුදන පුරාණ නයි පෙන පිළිම ද, හින්දු දේවස්ථාන ද දූපතේ වේ. ඒවා එක් කලෙක දූපතේ හින්දු ඉතිහාසයක් ද තිබී ඇති බවට සාධක සපයයි.
යටත් විජිත සමයේ දී අශ්වයන් ද සිටි අශ්ව ගාල් සහ බලකොටු ආදිය තවමත් නටඹුන් ලෙස දූපතේ ඉතිරිව තිබේ. ලන්දේසි ඉංග්රීසි සමයේ පණිවුඩ හුවමාරුවට භාවිතා වූ පරවියන් ගබඩා කරන කුළුනක් සහිත පැරණි රෝහල් ගොඩනැගිල්ලක් ඇතුළු නටඹුන් ද විශාල බිත්ති සමගින් තවමත් ඉතිරිව තිබේ. ආදම්ගේ පිය සටහන ලෙස සැලකෙන හුණු ගල් තට්ටුව මත සාමාන්ය මනුෂ්ය පාදයකට වඩා තුන් හතර ගුණයක් විශාල පා සටහනක් ද ඩෙල්ෆ්ට් හි දී දැකගත හැකි ය.