රත්නපුර දිස්ත්රික්කයේ බළන්ගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුදුගල ග්රාම නිලධාරී වසමේ බුදුගල ආරණ්ය සංකීර්ණය පිහිටා තිබේ. බළන්ගොඩ නගරයේ සිට දකුණු දෙසට දිවෙන කල්තොට මාර්ගයෙන් කි.මී.32ක් ගිය විට හමුවන කල්තොට උප නගරයේ සිට වැලිපතයාය-කපුගල දක්වා ඇති මාර්ගයේ කි.මී. දෙකහමාරක් පමණ ගිය විට ආදි මානව සිතුවම් ශේෂ වී පවතින බුදුගල ඓතිහාසික ආරණ්ය සංකීර්ණය හමු වේ. මෙහි වන නිධන් ගල ලෙස හඳුන්වන ගල්තලාව මත ආදි මානව සිතුවම් වේ. මෙම ගල්තලාව මුහුදු මට්ටමේ සිට අඩි 630ක් උසින් පිහිටා ඇත.
මෙම ස්ථානය පළමු වරට වාර්තා කර ඇත්තේ 1932 වර්ෂයේ සී.එච්.කොලින්ස් විසිනි. පසුව කිරිඇල්ලේ ඥානවිමල හිමියන් බුදුගල ආරණ්ය සේනාසනයේ නටබුන් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කර තිබේ. නැවත 1971දී එල්. ඒ. ආදිත්ය විසින් ද මෙහි නටබුන් පිළිබඳ තොරතුරු වාර්තා කර ඇත. කැලණිය විශ්වවිද්යාලයට අනුබද්ධ පුරාවිද්යා පශ්චාත් උපාධි ආයතනය විසින් 2014 වර්ෂයේදී මෙම ස්ථානය නැවතත් ගවේෂණයට ලක්කර තිබේ. ප්රදේශයේ ප්රචලිතව ඇති ජනප්රවාදයකට අනුව බුදුගල ආරණ්ය යනු බුදුන්වහන්සේගේ ආදාහනය සිදුකරන ලද ස්ථානය වේ. එසේම මෙම ස්ථානයේ වලගම්බා රජුගේ රාජ්ය පාලන යුගයට අයත් රජ මාළිගයක නටබුන් ශේෂව පවතින බවට ද ජනප්රවාදයේ එයි. එම ප්රවාද කෙසේ වුව ද මෙහි දක්නට ලැබෙන පුරාවිද්යා නටබුන් අනුව මෙය පධානඝර ආරාම සංකීර්ණයක් බව සනාථ වේ.
මෙරටින් පධානඝර ආරණ්ය සේනාසන වර්ගයට අයත් නටබුන් වාර්තා වී ඇත්තේ සීමිත ප්රමාණයකි. වෙහෙර බැඳිගල, කටුකැලියාව, අරන්කැලේ, මිහින්තලය, රිටිගල, බටහිරාරාම හා අභයගිරිය සුධස්සන පඨානඝරය ඉන් ප්රධාන වෙයි.
මේ අතරින් පුරාතන රෝහණයෙන් වාර්තා වන එකම පධානඝර සංකීර්ණය වන්නේ බුදුගලයි. මෙම ආරාම සංකීර්ණය ඉදිකරන ලද කාලය පිළිබඳව විමර්ශනයේ දී මෙහි අවධි ත්රිත්වයකට අයත් සාධක ලැබෙන බව පෙනේ. පළමු වැනි සේන රජුගේ (ක්රි.ව. 833-853) කාලයේ දී රිටිගල ආරාම සංකීර්ණය ඉදිකරන අතරතුර එම රජුගේ ඇමැතිවරු කිහිප දෙනකු තමන්ගේ නාමයන්ගෙන් පිරිවෙන් ඉදිකළ බවට සාධක ඇත. රිටිගල හා බුදුගල ආරාම සමාන ලක්ෂණවලින් යුක්ත වීම මත මේවා එකම අවධියක කරන ලද බවට අනුමාන කළ හැකිය. තුන් වැනි උදය රජුගේ (ක්රි.ව. 936-938) කාලයේ දී රෝහණයේ පැවැති තපෝවනය බුදුගල ආරණ්ය විය හැකි වේ. හතර වැනි දප්පුල රජුගේ (ක්රි.ව. 924-935) කතරගම ටැම් ලිපියට අනුව මේ අවධියේ රුහුණේ පාලකයා වී ඇත්තේ හතර වැනි මිහිඳු කුමරු වේ. හතර වැනි සේන රජු (ක්රි.ව. 954-956) රජ කරන සමයේදී ඔහුගේ යුව රජු ලෙස කටයුතු කර ඇත්තේ ද හතර වැනි මිහිඳු රජුය. හතර වැනි මිහිඳු රජු පුරාණ රෝහණය පාලනය කරන ලද තිස් වසරක (ක්රි.ව. 924-954) කාලයේ දී බුදුගල ආරණ්ය සේනාසනය ගොඩනැගූ බවටද මත වේ. මෙම ප්රදේශය අනුරාධපුර මුල් අවධියේ සිටම භික්ෂූන් වහන්සේලාගේ පරිභෝජනය සඳහා වෙන්ව පැවැති බවට සාධක බොහෝ වේ. බුදුගල අවට ගල්ටැම්යාය, කුරගල, කිරිමකුළුගොල්ල, දියවින්න, දේවගිරි විහාරය, උඩුපියන්ගල්ගේ, හඳගිරිය, ලෙන්දොර විහාරය, පිළිමද්දාර, වෙහෙරගොඩැල්ල, වෙහෙරගල, ගල්පාය, කොට්ටිඹුල්වල ආදී අනුරාධපුර මුල් අවධියට දිවෙන ස්ථාන හමු වේ.
බුදුගල සිතුවම් සහිත විවෘත ගල්තලාව පිහිටා ඇත්තේ සාමාන්ය පොළොව මට්ටමේ සිට උස ක්රමයෙන් වැඩි වන භූමියකය. සිතුවම් සහිත පාෂණයේ මෙහි පොළොවෙන් මතු වී ඇති ප්රමාණය මීටර 5ක උපරිම දිගකින් හා උපරිම පළල මීටර 3ක් වේ. පළමු වරට බුදුගල පධානඝර පරිශ්රය නිරීක්ෂණය කරන අයකුට මෙම පාෂාණ සීරුම් සහිත ගල් පෘෂ්ඨය එකවර හඳුනාගැනීම අපහසු වේ. එයට හේතු වන්නේ එම පාෂාණ තලය පොළොව මට්ටමේ පිහිටා තිබීම නිසා හා අවට වෘක්ෂයන්ගෙන් ඇද හැලෙන පත්ර ආදියෙන් වැසී පවතින නිසාවෙනි. කොණ්ඩගල පාෂාණ සීරුම් සහිත විවෘත ගල්තලා පෘෂ්ඨ ද්විත්වය පිහිටා ඇත්තේ කඳු බෑවුමක මධ්ය කොටසේය. මෙම ගල් පෘෂ්ඨයන්හි පොළොවෙන් මතු වී ඇති ප්රමාණය වර්ග අඩි 100ක් හා වර්ග අඩි 9ක් පමණ වේ. එක් පාෂාණයක් කැබලි ත්රිත්වයකට බිඳී ගොස් තිබේ. අවකාශයට විවෘත වී පවතින බැවින් පාෂාණ සීරුම් සිතුවම්වලට බොහෝ දුරට හානි වී ඇත.
සිතුවම් අධ්යයනය
බුදුගල සිතුවම් අධ්යයනයේ දී පෙනී යන්නේ ගල් පෘෂ්ඨයේ මධ්ය කොටස අතහැර ත්රිකෝණාකාර හැඩයකට ආසන්න ස්වරූපයක් ගන්නා පෘෂ්ඨයෙහි වම් පස ඉහළ කෙළවර හා දකුණු පස පහළට වන්නට මෙම සිතුවම් නිර්මාණය කර ඇති බවයි. ග්රැනයිට් වර්ගයේ පාෂාණයක් වන මෙහි පෘෂ්ඨයේ ඇතැම් ස්ථාන රළු බවින් අවම සමමිතික ස්වභාවයක් ගනී. නමුදු මෙහි මධ්යයේ මෙන්ම සිංහ රුවේ පිටුපස පාදය අසල යම් පිපිරීම් සලකුණු දක්නට ඇත. නිර්මාණ ශිල්පියා සිංහ රුවේ පිටුපස එක් පාදයක් පමණක් නිර්මාණය කරන්නට ඇත්තේ අනෙක් පාදය නිර්මාණය කිරීමට යාමේ දී එම පෘෂ්ඨයේ පතුරක් ගැලවී යාමේ අවදානම නිසා ද විය යුතුය. බුදුගල පාෂාණ සීරුම් සිතුවම් අධ්යයනයේ දී පෙනී යන්නේ රළු විවෘත පාෂාණ පෘෂ්ඨයේ මධ්යය කොටස අතහැර දෙපස තෝරාගත් ස්ථාන දෙකක පමණක් සිතුවම් නිර්මාණය කර ඇති බවයි. විහාරගල ලෙනෙහි හා කොණ්ඩගල පාෂාණ පෘෂ්ඨයේ සීරුම් සිතුවම් සමග සැසඳීමේ දී පෙනී යන්නේ බුදුගලින් දියුණු සීරුම් ලක්ෂණ දැකගත හැකි බවයි. මෙහි සිතුවම් දොරවක්කන්ද, හක්බෙලිකන්ද හා ඌරාකන්ද සීරුම් සිතුවම් සටහන් මෙන් ගැඹුරට හා අවිධිමත්ව කළ ඒවා නොවේ. බුදුගල සීරුම් සිතුවම් සමාන ගැඹුරකින් හා පළලකින් යුක්තය. ඒ අනුව පෙනී යන්නේ මෙහිදී ගල් පෘෂ්ඨය සීරීම් කිරීමටම නිපද වූ සුදුසු මෙවලමක් භාවිතයෙන් ඉතා සූක්ෂමව රේඛා මතුකර ඇති බවයි. කෑගල්ල දිස්ත්රික්කයේ රබ්බිඩිගල ලෙනේ කර තිබෙන හස්තියාගේ සීරුම් සිතුවම් ද මේ ආකාරයෙන් සූක්ෂ්මව සමාන ගැඹුරකින් හා පළලකින් යුක්තව නිර්මාණය කර තිබේ. එසේම මොනරාගල දිස්ත්රික්කයේ නැව්ගල විවෘත පාෂාණ පෘෂ්ඨයෙන් හමුවන සිංහයාගේ රුව ද මේ ආකාරයට ඉතා සියුම්ව සූරා නිමකර තිබේ. නැව්ගල සිංහ රූපය ගල් කටුවක් හා මිටියක් භාවිතයෙන් ඓතිහාසික යුගයේ දී නිර්මාණය කරන්නට ඇති බවට ද මත වේ.
පිම්මක් පනින සිංහයා
බුදුගල ආරාම සංකීර්ණයේ වන සිතුවම් පිළිබඳව පළමු වරට වාර්තා කර ඇත්තේ කිරිඇල්ලේ ඥානවිමල හිමියන් විසිනි. 1942දී එම හිමියන් රචිත සබරගමුවේ පැරැණි ලියවිලි කෘතියේ දී බුදුගල පිළිබඳව කරුණු දක්වන තැන ”මේ සමීපයෙහි ගරා වැටුණු බෝධියක් හා දාගැබක් ද වේ.
ඊට මඳක් දුරින් වනයේ පිහිටි ගලක බිලීබාමින් සිටින මිනිසුන් දෙදෙනකුගේ ද, ත්රිශූලයක හා වෙනත් ලකුණු කීපයක ද සටහන් යන්තමින් කොටා තිබේ” යන්න සඳහන් කර ඇත. මෙම සිතුවම් පළමු වරට වාර්තා කරන ලද්දේ පී. ඊ. පී. දැරණියගල බවට ද මතයක් වේ. උක්ත අවස්ථා දෙකටම එහා යමින් මෙම සිතුවම් පිළිබඳව පූර්ණ අධ්යයනයකින් යුක්තව වාර්තා කිරීමක් පළමුවරට සිදු කරනු ලබන්නේ 1971දී එල්. ඒ. ආදිත්ය විසිනි. 1971 මුද්රිත Ancient Ceylon සඟරාවට Buried Finds at budugala මැයෙන් ලිපියක් රචනා කරන හෙතෙම මෙම සිතුවම් සැලසුම් සහිතව වාර්තා කර ඇත. ඔහු දක්වන පරිදි මෙහි එක් පාෂාණ පෘෂ්ඨයක සිනහ වන සිංහයා ද (Smiling Lion) අනෙක් පාෂාණ පෘෂ්ඨයේ එක් කෙළවරක පිම්මක් පනින සිංහයා ද (Gallaping Lion) හා එම පාෂාණයේම පහළ කෙළවර මිනිස් රූප ද්විත්වයක්, මාළු වැල තිශුලය හා ස්වස්ථිකය වේ. ඒ අනුව මෙහි සිතුවම් ස්ථාන තුනකට ගොනුකර දැක්විය හැකිය. ආදිත්ය විසින් හඳුනාගන්නා ලද සිංහ රූප ද්විත්වය මෙයට පෙර මෙම සිතුවම් වාර්තා කරන කිරිඇල්ලේ ඥානවිමල හිමියන්ගේ නෙත ගැටී නොතිබිණි. 1986දී බී. ඩී. නන්දදේව විසින් ප්රකාශයට පත් කරන ලද Rock art sites of Sri Lanka ලිපියේදී බුදුගල සිතුවම්වලට විශේෂ අවධානයක් යොමුකර ඇත. මෙම සිතුවම් පිළිබඳව 2003දී වාර්තාවක් ගෙනෙන දයානන්ද බිනරගම මෙහි තිබූ එක් සිංහ රූපයක් පිළිබඳව පමණක් සඳහන් කරයි. ඒ වනාහි ආදිත්ය විසින් පිම්මක් පනින සිංහයා ලෙස හඳුනාගෙන ඇති සිංහ රූපයයි. බිනරගම වැඩිදුරටත් සඳහන් කරනුයේ 1987 වර්ෂයේදී මෙම සිංහ රූපය විනාශ කර ඇති බවය. 2009 වර්ෂයේ දී මෙම ස්ථානය පරීක්ෂා කරන සත්සර ඉලංගසිංහ මෙම සිංහ රූපය නිරුපද්රිතව ඇති බව වාර්තා කර ඇත. 2018 වර්ෂයේ දී මෙම සිතුවම් පරීක්ෂා කරන ලිපියේ කතුවරයා ද එම සිංහරූපය නිරුපද්රිතව ඇති බව හඳුනාගන්නා ලදි.
මත්ස්යයකුගේ රුව
පාෂාණ පෘෂ්ඨය සූරා කරන ලද මෙම සිතුවම් ගොන්න තුළ වර්තමානයේ හඳුනාගත හැක්කේ පිම්මක් පනින සිංහ රූපය, මිනිස් රූප ද්විත්වය, මාළුවැල, තිශූලය හා ස්වස්ථිකය පමණි. ආදිත්ය විසින් වාර්තා කරන සිනහ වන සිංහ රූපයක් එම ස්ථානයේ වර්තමානයේ හඳුනාගත නොහැකි වේ. ඒ බව ඉලංගසිංහ මහතා ද වාර්තා කර ඇත. ප්රදේශවාසීන් ද එවැනි සිතුවමක් පිළිබඳව කරුණු නොදනී. විවෘත පාෂාණ පෘෂ්ඨයේ පහළ කෙළවරෙහි පහළින්ම ස්වස්ථිකය කොටා තිබේ. ඊට ඉහළින් මත්ස්යයකුගේ රුවක් ද හා එම මත්සයා අමුණා ඇතැයි සැලකිය හැකි රැහැනක් ඉහළට විහිදී යයි. එහි කෙළවර මානව රුවක් වන අතර එහි ඉහළට ඔසවන ලද දකුණු අතින් තිශූලයක් දරා සිටී. මානව රුවේ දෙනෙත් වෘත්තාකාරව දක්වා ඇත. එම රුවට දකුණු පසින් විශාලව අඳින ලද මානව මුහුණකි. ශරීරයේ අනෙකුත් අංග මෙහි දක්වා නොමැත. එම පාෂාණ පෘෂ්ඨයේම අනෙක් කෙළවර මුව අයා සිටින සිංහ රූපයක් වේ. ආදිත්ය විසින් පිම්මක් පනින සිංහයා (Gallapin lion) ලෙස හඳුන්වා ඇත්තේ මෙම රූපය යි. පහළින් ඇඳ ඇති රූපවලට සාපේක්ෂව මෙම රූපය විශාලව නිර්මාණය කර තිබේ. මෙහි වලිගය ඉහළට කරකැවී ඇත. ඉදිරි පාද යුග්මය හා පිටුපස එක් පාදයක් පමණක් දක්වා තිබේ. 2014 වර්ෂයේ දී මෙම ස්ථානය ගවේෂණයට ලක් කරන රාජ් සෝමදේව එම සිංහ රූපයට ඉදිරියෙන් මඳක් පහළට වන්නට හස්තියකුගේ හොඬයක සටහනක් ද වාර්තා කර තිබේ. මෙම සිතුවම්වලට අමතරව පධානඝර ගොඩනැඟිලි ආශ්රිත කපා මට්ටම් කරන ලද ගල් පුවරු කිහිපයක ස්වස්ථිකය, සංඛය හා තවත් සංකේත කිහිපයක් කොටා තිබේ.
අතීත ශිෂ්ටාචාර
බුදුගල විවෘත පාෂාණ සිරූම් සිතුවම්වලට පසුබිම් වූ වස්තු විෂයන් පිළිබඳව මතවාද රාශියක් හඳුනාගත හැකි වේ. මෙහි වන විවෘත ගල්තලයේ එක් කෙළවරක සිංහ රූපයක් ද, අනෙක් පස මාළු වැලක්, මානව රුවක්, එම මානව රුවේ ඉහළට එස වූ දකුණු අත මත තිශුලයක් ද, ඒ රුව අසල විශාල මානව මුහුණක් හා එම සිතුවම් පෙළට පහළින් ස්වස්ථිකයක් ද වේ. මෙරට විසු ප්රාග් ඓතිහාසික මානවයා සිංහයා පිළිබඳව දැන සිටි බවට සාධක වේ. රත්නපුරයේ මැණික් පතලකින් ප්රථම වරට සොයා ගන්නා ලද සිංහ දතක් පී.ඊ.පී. දැරණියගල මහතාට යොමු කිරීමෙන් පසුව එය කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්රදර්ශනයට තබා තිබේ. එසේම කුරුවිට බටදොඹ ලෙන කැණීමෙන් සිංහයකුගේ අස්ථි කොටස් සොයාගෙන ඇති අතර ඒවා අදින් වසර 12000-15000ත් අතර කාලයට යන බව තහවුරු කරගෙන ඇත. සිංහරාජයට එම නාමය ලැබීමට පදනම් වී ඇත්තේ එම වනයේ සිංහයන් වාසය කිරීම බව ජනප්රවාදිත මතයයි. මෙරට ආදි මානව සිතුවම් හමුවන පන්නල්ගම, දිඹුලාගල හා නැව්ගල යන ස්ථානවලදී ද සිංහ රූප නිර්මාණය කර තිබී හමු වී ඇත. නැව්ගල සිංහ රුවේ කඳ කොටස පාර්ශ්ව දර්ශනයෙන් ද, මුහුණ ඉදිරියට දර්ශනය වන ආකාරයෙන් ද නිර්මාණය කර ඇත. වලිගය යොදා ඇත්තේ ඉහළට ය. පන්නල්ගම විවෘත පාෂාණ පෘෂ්ඨයේ වන සිංහ රුව නිර්මාණය කර ඇත්තේ ද නැව්ගල මෙන් මුහුණ ඉදිරි දර්ශනයෙන් හා කඳ කොටස පාර්ශ්ව දර්ශනයෙනි. බුදුගල සිංහරුව නිර්මාණයේදී කඳ කොටස මෙන්ම මුහුණ පාර්ශ්ව දර්ශනයෙන් නිර්මාණය කර තිබේ.
මුව අයා සිටින සිංහයාගේ ඉදිරිපාද යුග්මය හා පිටුපස එක් පාදයක් පමණක් දක්වා තිබේ. ඉදිරි වම් පාදයේ ඇඟිලි සූක්ෂවම මතුකර ඇත. ප්රාග් බෞද්ධ යුගයේ වන්දනාවට පාත්ර වූ භෞතික වස්තූන් අතර සූර්ය දේව වන්දනය ද වේ. සූර්ය දෙවියාගේ ධජය සිංහ රූපය සහිත ධජයක් බව මුලාශ්රවල සඳහන් වේ. සූමේරියාව හා මධ්ය ආසියාව ඇතුළු අතීත ශිෂ්ටාචාරවල දේවත්වයට පත් ඉස්තාර්, සර්වානි, චණ්ඩි සහ කොර්වාසි දෙවඟනන්ගේ රථය ලෙස යොදා ගෙන ඇත්තේ ද සිංහයා වේ. සිංහයා සූර්ය දෙවියන්ගේ සූර්ය ශක්තිය පිළිබිඹු කරන දේව සංකේතයකි. රාශි චක්රයේ සිංහ රාශිය පිළිබඳව එන මතවාද පැරැණි මිනිසාගේ සිට පැවත එන්නකි. මෙහි වන මත්ස්යයා, ස්වස්ථිකය, තිශුලය හා මානව රූ ද්විත්වය පිළිබඳව ද මතවාද රාශියක් වේ. මානව රූ ද්විත්වයෙන් කතරගම දෙවියන් (ස්කන්ධ කුමරු) හා වල්ලි අම්මා නිරූපණය කරන බව ප්රදේශවාසීන්ගේ අදහස වේ. මෙරට වැදි ජනතාව ස්කන්ධ කුමරුගේ දෙවන භාර්යාව වූ වල්ලි අම්මා කුඩා කල රැක බලා ගත් බවට ජනප්රවාදයේ එයි. වැදි ජනතාව ඔවුන්ගේ ප්රධාන යක්ෂයා වූ කන්දේ යකා ද සමඟ කතරගම දෙවියන් ද අදහති.
බුදුගල විවෘත පාෂාණ පෘෂ්ඨ සීරුම් සිතුවම් ඉතා සියුම්ව හා ඕනෑකමින් නිර්මාණය කර තිබේ. එසේම එහි වන ඇතැම් සංකේත පිළිබඳව අවධානය යොමු කිරීමේ දී පෙනී යන්නේ මේවා ඓතිහාසික යුගයේ දී නිර්මාණය වන්නට ඇති බවය. ත්රිශූලය නිර්මාණය වන්නේ ලෝහ භාවිතයේ ආරම්භයෙන් පසුව වන අතර ඒ අනුව මෙම සංකේතය මෙහි දක්නට ලැබීමෙන් මේවා ඓතිහාසික යුගයේ විසූ මානව නිර්මාණ ලෙස හැඳින්වීම වඩා සුදුසු බව පෙනේ. නමුත් ආදි මානව සිතුවම් හමු වන වෙහෙරගල කන්ද ලෙන ද මේ ආසන්නයේම පිහිටා ඇති බව මෙන්ම මේ අවට ස්ථාන රාශියකින් (කූරගල, බෙල්ලන්බැඳි පැලැස්ස, උඩුපියන්ගල්ගේ) ප්රාග් ඓතිහාසික ජනාවාස වාර්තා වී තිබීම ද අවධානයට ලක්විය යුතු සාධකයකි.