Welcome to DceeJ Universe 


𝐑𝐚𝐩𝐩𝐞𝐫 | 𝐒𝐢𝐧𝐠𝐞𝐫 | 𝐋𝐲𝐫𝐢𝐜𝐢𝐬𝐭 | 𝐀𝐮𝐭𝐡𝐨𝐫 | 𝐕𝐢𝐝𝐞𝐨 𝐄𝐝𝐢𝐭𝐨𝐫.

නිම් නැති සිතිවිලි නිම්නයට සාදරෙන්...✍🏻📃



【Dceeل】

කේතුරූපාකාර ධූම

දකින්නෙ මන් වෙනස හිතළු එක්ක සිරසෙන් කරන්නෙ ගනුදෙනු මවාගත්ත ෆැන්ටසියේ.. කෙසේද ගැලවෙන්නෙ මේ අතත්‍ය රියැලිටියෙන් මමම හිර වෙලා අද මගෙම වංකගිරියේ..


DceeJ

Upcomings

සුන්දරත්වය උපදින්නේ තරු වලින් නම්...

විශ්වය මැද මම පාවෙමින් සිටින්නෙමි.

ආදරයේ අභිරහස් ගුප්ත බව කෙරෙහි

මගේ කුතුහලය අවුලවයි..

මම නැගී සිටියෙමි.

පුදුමයට කරුණ නම් විශ්වය ප්‍රසාරණය වේ..

එයින් කියවනු කිම්දැයි අසීමිත උපකල්පන පරිමිත මනසට එරෙහිව තර්ක කරයි..

අවසානයද ආරම්භයකි... අඳුරත් ආලෝකයකි...


මා දැන් ඔබේ සිහින මනංකල්පිත නිහාරිකාවේ ගමන් කරමි.

ගුරුත්වය අභිබවා තරු මඩල සිප ගනිමි.

ක්ෂීරපථය ම ශ්වේත පැහැයෙන් අධ්‍යහාරව ගලා බසිත්ම

ඔබේ ඇස් වලින් තරු පිරුණු විශ්වයේ ප්‍රතිබිම්බය දුටුවෙමි.

ප්‍රමෝදයේ උල්කා වැහි අහස සූරා ගෙන අවුත් මගේ විඥානයේ ද්වාරයේ හිරිකඩින් හසුන්පත් ලියයි..



කාලය අත්භූතයක් වී හමාරය. ආදරයේ අභිරහස අකාලිකය.

මා දැනටමත් ඔබගේ උභතෝකෝටිකයේ වංකගිරියක සිරවී ය.

සහ මම දැන් දකිනවා විශ්වය මැවීමේ ආරම්භය , පැවැත්ම සහ නිෂේධය.

එයට ලෙන්ගතුකම යන්නෙන් නිර්වචන දෙන්නෙමි.

ඔය දෑස්... ,පපුතුර මත

විශ්වයෙ..... ජීවිතයේ....

පැවැත්ම දුටිමි

ඕහ් එය සදාකාලික ය.


විශ්වය මැද මම පා වෙමින් සිටින්නෙමි. පාවෙමින් සිටින්නෙමි.

මම දැන් දන්නවා විශ්වය යනු ආදරයයි.


DceeJ



click here to watch👇

නිර්මාණය පිළිබඳව මගේ කියවීම ඔබට ලිවීමට සිතුවෙමි..


පෙරදිග බෞද්ධ දැනුම් පද්ධතිය තුල කේතුමතී පුරය යන්නෙන් සඳහනක් ඇත. චක්‍රවර්තී සීහනාද සූත්‍රයේ කියැවෙන එහි අරුත් මෙසේ ය. මේ කේතුමතිය තුල වෙසෙන්නා වූ පුරවැසියන් ඉතා පින් ඇත්තන් ය. ප්‍රඥාවන්තයන් ය. ධාර්මිකයන් ය. සිතූ පැතූ සම්පත් ඇති මෙම පුරයේ මිනිසුන්ගේ පරමායුෂ අවුරුදු හාරදහසෙකි. ධාර්මික පාලකයන් රාජ්‍ය පාලනය කරන මෙම පුරය මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන පුරයයි.

බටහිර සාහිත්‍යය මූලාශ්‍ර වලද මෙවන් සශ්‍රීක භූමියක් ගැන සඳහන් වේ. එය Utopia ලෙස දක්වා ඇත. කිසිදු අඩුපාඩුවකින් තොරව සුව සේ ජීවත් වීමට හැකි සිතින් මවාගත් භූමි ප්‍රදේශයක් බව මෙයින් කියැවේ. එවන් පෙදෙස් බොහොමයක් බටහිර සාහිත්‍යයේ දක්නට ලැබේ. රනින් නිමවූ ඉන්ද්‍රජාලික නිම්නයක් වන එල්ඩොරාඩෝ නගරයද මෙවැන්නකි. ඊට අමතරව Utopia නමින් ග්‍රන්ථයක් ද තිබේ. ලතින් බසින් ලියා ඇති එහි ලේඛකයා තෝමස් මෝර් ය. සියලු සැපයෙන් පිරුණු සුවපහසු ජීවිතයක් ගත කිරීමට හැකි භූමිය යන්න මෙහි සරළම අරුත වේ.

ඉපදුන දා පටන් පුරවැසියෝ සැපෙන් සෞභාග්‍යයෙන් වාසයට කැමැත්තෝ ය. තිරසාර පාලනයක් ගෙන යන අයෙකු රට පාලනය කරනු දැකීමට කැමැත්තෝ ය. එසේම ඒ හිතේ පැලපදියන් වූ හීනය සැබෑ වනු දැකීමට දිවා රෑ වැඩකරන්නෝ ය. නමුත් අවසානයේ තමන් පාසලට විශ්වවිද්‍යාලයට රැකියාව ගොස් කඩදාසි මත තැවරූ පෑන් වල තුඩගින් බැස ගත් කාබන් තීන්ත අංශුවක තරම් වත් තෘප්තියක් ඔවුන් නොලබන්නෝ ය. එතෙක් මෙතෙක් තුල සිදු වූ විවිධ හැලහැප්පීම් හමුවේ රාජ්‍යයේ වූ අසමත් වීම් පමනක් රිදුමක් මෙන් ඔවුනට ඉතිරි වෙයි. චක්‍රාකාරව පරම්පරාවෙන් පරම්පරාවට මේ රිදුම දායාද වශයෙන් ලැබෙයි. කෙසේවෙතත් මේ මොහොතේ පවා දනන් මුව අයා බලා සිටින්නේ කවදා හෝ කේතුමතියක් අපට ලැබේවි කියා ය. නමුත් ඒ දකින්නා වූ ෆැන්ටසි කේතුමතිය එකිනෙකාට සාපේක්ෂ වේ. පොදු දියුණුවට නොව තමාගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට සමහරුන් එවන් සිහින දකී. එවන් අරමුණින් ඒ සඳහා ගැලපෙන දූශිත පාලකයෙක් පත් කරවයි. නමුත් කිසිත් නොමැති අසරණ ජනතාව සිහින මවන්නේ නිදහසේ සහන මිලට තේ උගුරක් බීමට හැකි කේතුමතීයක් ය. ඔවුන්ට ලොකු හීන නැත. නමුත් පොදු දියුණුවට භූමියේ පාරිශුද්ධත්වය , සශ්‍රීකබව බව පසෙකලා තමන්ගේ ජීවිතය පමණක් කේතුමතියක ගෙවන දිවිපෙවෙතක් කර ගැනීමට සිහින දකින ආත්මාර්ථයේ පරතෙරට පැමිණි පුරවැසියන් හා පාලකයන් උක්ත දායාද ලද රිදුමට හේතුව වේ. තවත් කලක් මෙය ලූපයක් ලෙස සිදුවීමට ප්‍රථම තමා තුල ඇති අසාධාරණයට එරෙහිව හඬ නගන අරගලකරුවා අවදි කල යුතු ය. හුරු වී තිබෙන ආකල්ප වෙනස් කර ගැනීමට කාලය එලඹ ඇත.

ඔබට මගේ පෑන සහ කොල වැළලිය හැකි ය. මාව පවා ඔබට වල දැමිය හැකි ය. නමුත් මා එක් කල මේ අදහස් ඔබට වැළලීමට නොහැක. යම් දිනෙක එයත් සිදු වුවහොත් අප වායුගෝලයට එක් කල සෝ සුසුම් පවා සත්‍ය නිදහස වෙනුවෙන් අරගල කරනු ඇත.

සටහන :- Dcee J


Blogs සිතිවිල්ලක්

Blog 1

වලාකුළු මිදිලා අහසේ ග්ලැසියර් වගේ..

පෙණ කැට බිඳිලා වෙරළේ ....

විසිරුණු සලු ඔබේ බඳේ වැදේනම්..

ඈ දෙතොල් තෙමා නිශාවේ මා ලවණ් පුරා සිනාවේ...

ගෑ දෙතොල් සායම් රටා කොපුලේ...

රෑ නුවන් පියා සයනේ මා බලා හිඳිමී අද තනියෙන්...

පෑ යොවුන් හැඟුමන් නෑ ආයේ.....

එක එක ෆැන්ටසි වල ඇවිදින්න ගත්තාම හැතැප්ම ගානක් දුර උනත් ඇවිදින කෙනෙක් මන්. ඒ අමුතු මායාකාරී ගුප්ත හැඟීම් සමුදායක ගිලිලා අතරමං වෙලා ඉන්න එක අමුතු ආතල් එකක් කියලා දන්නෙ ඒ වයිබ් එක විඳින අයම තමයි. පහුගිය දවසක වලාකුළු අහසෙදිම මිදෙන්න තරම් ගල් කරවලා මුහුදෙ රැළි කණ්නාඩියක් බිමට අතෑරියා වගේ බිඳලා දාන්න පුලුවන් ෆැන්ටසියක මන් ඇවිද්දා.

රැයක් පුරාවටම ගොඩාක් දුර ඇවිද්දා.

විඳින්නයි විඳවන්නයි මිනිස්සු එක එක විදිහෙ තමන්ට ආවේණික ක්‍රම හදාගෙන තියනවා. තමන් ආස පරිසරයක ආසම කෙනා එක්ක ජීවිතය විඳින්න ගොඩක් අය ආසයි. ඒත් ඒ කෙනා එක්ක පුංචි හරි විරසකයක් ඇති වෙලා මොහොතකට හරි තනිවෙන්න උනොත්!

ඒ කාලපරිච්ඡේදය දිග හුස්මක් අරන් සෑහෙන්න වෙලාවක් වතුර යට කිමිදිලා ඉන්නවා වගේ ඔබට දැනෙයි. දන්නවා ගොඩක් වෙලා එහෙම ඉන්න බෑ කියලා. ඒත් එහෙම ඉන්න වෙනවා. ඔන්න ඔහොම හුස්ම අල්ලන් වතුර යට ඉන්න වෙලාවක ගත්ත හුස්ම ප්‍රමාණයයි පෙනහලු වල පරිමාවයි ජලයේ ඝනත්වයයි උඩුකුරු තෙරපුමේ බල ප්‍රමාණයයි උඩ ජල ස්ථරයේ පීඩනයයි ගැන හිතින් ගණන් හද හද ඉන්නකොට මට ඉබේටම ආපු අදහස් ටිකක් තමයි ඔය වලාකුලු ගල් කරන්නයි රැළි බිඳින්නයි හේතු උනේ.

මගේ girlfriend එක්ක මන් ගොඩක් දේවල් ගැන කතා කරනවා. සමහර වෙලාවට මම තමයි ගොඩක් වෙලා කතා කරන්නෙ. එයා කරන්නෙ ගොඩක් වෙලාවට අහගෙන ඉන්න එක. අපි කවදාවත් ගිහින් නැති උනත් සප්ත කන්‍යා කඳු වලින් පටන් අරන් කුවේරයාගෙ ආලකමන්දාවෙ දොරටු ඇරන් රාවණා යන්තරේ නැගලා පංචමහ විල් උඩින් ගිණි කඳු උඩින් ගල් යුගයට කාලතරණය කරලා පෘථිවියෙ යුග ගණනාවක් ගත වෙන හැටි අපි බලාගෙන ඉන්නවා. ගල් යුගයෙදි ඉර දිහා බලාගෙන රෝදෙ හදපු ගල් යුගයේ මානවයා මෙන්න බැලින්නන් කාර්මික විප්ලවෙන් පස්සෙ මුද්‍රණ යන්ත්‍රෙකුත් හදලා ඉතාලියෙ මුද්‍රණාගාරයක් ඉස්සරා පත්තරයක් කියවන ගමන් චීන්නු හොයාගත්ත තේ එකකුත් බොනවා අපි දකිනවා. ආයෙ ෆිල්ම් රීල් එකක් කැරකෙනවා වගේ ඔක්කොම සිද්දි දාමයන් අහක් වෙලා අපි ඇපලෝ ලූනා මිශන් එකේ සහකරුවො වෙලා. අපි දෙන්නත් ගගනගාමී ඇඳුම් දාගෙන වොන් බ්‍රෝන් මහත්තයගෙ සැටර්න් V එකට හදපු ලොකුම ලොකු රොකට් එන්ජිම දිහා පුදුමයෙන් වගේ බලන් ඉන්නවා.

ආයෙත් මයාමි වරායෙන් මෙන්න බර්මියුඩාවටත් ඇවිල්ලා... එතෙන්දි අපිව කුණාටුවෙ ගහගෙන ගිහිල්ලා නැති උන අත්ලන්තිකාවෙන් මෙන්න මතුවෙනවා... එතනින් ඊජිප්තුවට.. එතනින් ප්‍රංශෙට.. ඔය වගේ ඔය වගේ මේ ලෝකෙන් එහාට මේ මණ්දාකියෙන් එහාට මේ අපි තත්‍ය කියලා හිතලා පරාමිතිකයන් දාගත්ත විශ්වය කියන අකුරු හතරෙනුත් අපි දෙන්නා එහාට එහාට පාවෙලා යනවා. එතනිනුත් එහාට මල්ටිවර්ස් එකෙනුත් ඔබ්බට අපි තප්පරයට ආලෝක වර්ශ ලක්ශ ගානක වේගෙන් ඇදිලා යනවා. අන්තිමට මේ තියෙන්නෙ රූප කලාපයන් ගොඩක එකතුවක සංශිප්තයක් කියලා අපි කතාකරනවා. බුද්ධ දේශනාවේ ගැඹුරුම හරයත් බටහිර විද්‍යාත්මක දැනුම් පද්ධතියේ ලස්සනම විග්‍රහයත් හරිම අපූර්වත්වයෙන් අපි දෙන්නාට පේනවා.

වෙලාවක් ගත වෙනවා දැනෙන්නෙ නෑ...

ට්‍රිප් එක ගිහින් ආයෙත් පියවි සිහියට එද්දි පැය පහ හය ගිහිල්ලා.. ඒ තරමටම අධ්‍යාත්මික ගමනක්. තරමක් අකමැත්තෙන් උනත් සංවාදය නතර කරන්න වෙන්නෙ කාලය අපිට අවනත නැති නිසා. අපි ට්‍රිප් යන කාල රාමුවයි පියවි ලෝකයේ කාල ගලනයයි දෙකක් කියල හොඳටම තේරෙන්නෙ ඒ වෙලාවට තමා. කතා කරන්න නම් ගොඩාක් දේවල් තියෙද්දිත් සංවාදය අහවර කරද්දි අහන්න හිතෙන්නෙම සොඳුරිය... කාලය කෙතරම් නපුරුද? කියලා.

කාලය කෙසේ වෙතත් සොඳුරිය නපුරු උන වෙලාවල් ද නැතුවාම නෙවෙයි..

සමහර දවස් තිබුනා එයා නැතුව මන් තනියෙන් ටිකට් අරන් ට්‍රිප් ගිය..

තනිකමෙන් පිරිච්ච තැන් වලටම තමා ට්‍රිප් යැවෙන්නෙ... එහෙම ෆැන්ටසියක් අතරවාරයේ ආපු හැඟීමක් වචන කරන්න හිතුනා මට පහුවදා...

වලාකුළු මිදිලා අහසේ ග්ලැසියර් වගේ...

පෙණ කැට බිඳිලා වෙරලේ...

විසිරුණු සලු ඔබේ බඳේ වැදේනම් ඈ...

දෙතොල් තෙමා නිශාවේ මා ලවණ් පුරා සිනාවේ...

ගෑ දෙතොල් සායම් රටා කොපුලේ...

රෑ නුවන් පියා සයනේ මා බලා හිඳිමී අද තනියෙන්...

පෑ යොවුන් හැඟුමන් නෑ ආයෙ...

නිද්‍රාංගනාවී හැර යාවී හිත පාරා...

මා ප්‍රාර්ථනාවී මතකේ ගිනි අවුලාලා. ..

පස්සෙ දවසෙ මගෙන් එයා අහනවා බබා ඔයා මට කොච්චර ආදරෙයිද කියලා...

මන් කියනවා මේ විශ්වයේ පරිමාව කොච්චරද කියලා ගනන් කරන්න පුලුවන්නම් අන්න එච්චරක් මන් ආදරෙයි කියලා.

එදා අහසත් හරිම එළියයි. මුහුදෙ රළ ගහන සද්දෙත් වෙනදා වගේම මට ඇහෙනවා...අර මිදිච්ච වලාකුළුයි බිඳිච්ච මූදු රැලී ආයෙ හරි ගිහින් මගෙ හිතේ ....

මන් කිමිදිච්ව වතුරෙන් උඩ ඇවිත් දිග හුස්මක් ගන්නවා .


සුළඟ මට කියන්න...

සුළඟ මට කියන්න...

කුලී මැදුර පාරේ ආවා නම්...

තනියම හිඳ ඈ සඳලුතලේ

තීරු කරනවද ඝන නිල් මොණර පිල්?


සපිරිවර සමග ඒ වීදියේ...

මව්බිසෝ නානවද නොවැහෙනා පයිප්පේ

ඒ සැනින් ලියවෙනා පෙම් කවක පේලියේ..

තනිවෙලා හඬනවද නිදහසේ....


සුළඟ මට කියන්න...

කුලී මැදුර පාරේ ආවා නම්..


දැනුම සහතික ඇතත් වීරියේ...

ඉන් පලක් ගන්නට හැකි වේද සල්පිලේ....

රැකියාව සොයා යන අයැදුමක පෝලිමේ..

තනිවෙලා නිදනවද සිහිනයේ ...


සුළඟ මට කියන්න...


Dear wind.. Cry freedom Cry

Blog 2


එක නිවාඩු දවසක උදේ අව්ව ජනේලේ උඩ බීරළු අස්සෙන් තිර රෙද්දෙනුත් රිංගලා මගෙ කාමරේ සුදුපාට බිත්තියෙ රටාවක් ඇඳලා මන් ඇහැරෙනකොට පිළිගන්න. එලියෙ තියන රඹුටං ගහේ කොල හුළඟට වැනෙද්දි අව්වත් ඒ කොලෙන් මේ කොලේට පැන පැන හතර අතේ වැක්කෙරෙන්න අරන්. කොල අතරින් බේරි බේරි වැටෙන ඉර එලිය කාමරේ බිත්තියටත් වැදිලා හරියට බීරළු වල හෙවනැල්ල බිත්තියෙ ඇඳලා වගේ... එළි වෙනකන් නිදාගෙන ඇහැරෙන හැම දවසකම ඇහෙන කුරුල්ලන්ගෙ සිම්පනි එක අදත් එහෙම්මයි. එක එක උන් එක එක විදිහට කෑහගනවා.. සමහරු කණ්ඩායම් අංශයේ තරඟෙක කෝරස් කියනවා වගේ එකම ටෝන් එකෙන් කෑගහනවා. මුලදි කනට අමාරු උනත් හොඳට කන් දීගෙන හිටියොත් ඒකෙත් අමුතු ආට් එකක් තියනවා. තව එකෙක් පල්ලෙහා ඔක්ට්වේව් එකකින් සෝලෝ කියනවා. තවත් උන් රිදී සීනු වගේ හයි පිච් කෑගහනවා. ඇත්තටම ඒක සිම්පනි එකකටත් වඩා සාස්තරේට අලුත් පුංචි ළමයි ඉන්න සංගීත පන්තියක ගුරුවරයා එහා මෙහා වෙනකන් ඉඳලා අර හැම සංගීත භාණ්ඩයක්ම ආසාවට එකපාර ප්ලේ කරන පුංචි පැටව් රොත්තක වගේ උන්ගෙ සද්දෙ..මට හිතෙනවා. මමත් පුංචි පන්තියෙදි එහෙමයි නේද කියලා මතක් වෙලා හීනියට හිනාවකුත් ඇඳෙනවා.

ඇහැරිලා ටික වෙලාවක් යනකනුත් ඇඳේ ඉඳන්ම වටේපිටේ දේවල් ගැන සිතුවිලි ගොන්නක ගිලිලා ඉන්න ගමන් තමා දැක්කෙ මාගේ උදෑසන නිල පානය අම්මා හදලා මේසෙ උඩින් ගෙනත් තියලා තියනවා. ඇඳෙන් බැහැලා කිරිතේ එකත් උණුවෙන් ගහන ගමන් ජනේලේ ඇරියාම තමා දැක්කේ මන් නිදාගෙන හිටියට විෂමාකාරී ජෛව පද්දතීන් ගොඩක් මට කලින් අවදි වෙලා හරිම උද්‍යෝගිමත් විදිහට උන්ගෙ දවස පටන් අරන් කියලා. පල්ලෙහා වෙල් යායට පාන්දරම වැටිච්ච මීදුම සුදු වියනක් බැඳලා වගේ බෝවිටියා ගස් අස්සෙන් නියරවල් උඩින් තීරු තීරු තාමත් ඉතුරු වෙලා තියනවා. මීදුමාරෙ ගෑවිලා වෙලේ ඉඳන් කාමරේට එන හුළං පාරෙත් අමුතු හීතලක් තියනවා. අම්මගෙ රස කිරිතේ එකේ රස්නෙට හීතල කපාගෙන මන් රත් වෙනවා. එහා ගමට යන කෙටි පාරක් වැටිලා තියනවා වෙල මැද්දෙන්. වෙනදා ඔය පාරෙ උදේ පාන්දරම යන චූන් පාන් අයියා බිතෝවන්ගෙ ෆර් එලිස් සිම්පනියත් දාගෙන අද ගිනි වේගෙන් ඉගිල්ලෙනවා. මිනිහටත් අද නැගිටින්න පරක්කු වෙන්නැති මට හිතුනා. වාහනේ ගිය සද්දෙටයි බිතෝවන් පීකරේ සද්දෙටයි කලබල වෙච්ච වෙලේ තණකොට ලෑටි ගගා හිටපු හරකෙකුත් බෙල්ල උස්සලා උම්බෑ පාරක් දාලා අප්‍රසාදය පළ කරලා කරබාගෙන ආයෙමත් උගෙ ජාතික ආහාරෙ වමාර වමාර හපන්න ගත්තා. ජනේලෙ ඇතුලට දුම් සුවඳකුත් ආවා ගෑස් නැති නිසා අම්මා දරලිප පත්තු කරලද කොහෙද...පොල් කට්ටක් බූස් ගාලා ඇවිලෙන සද්දෙකුත් කුස්සිය පැත්තෙන් ඇහෙනවා.

අම්මා උදේට උයද්දි තාත්තා රේඩියෝ එක දාලා තියනවා. උදේම පිරිත් ඉවරයි. දැන් සිංදු එහෙම එක දෙක ඇහෙන්න ගන්නවා. මාට නොස්ටැල්ජියාවේ ගිල්ලලා තියන්න සමත් උන හරි අපූරු සිදුවීමක් අහම්බෙන් එදා උනා. අපූරුම දවසක වෙච්ච මතයක් ඇවිස්සිලා සෑහෙන්න වෙලාවක් ඒ මතකයේ ජීවත් වෙලා හිටියා.. විකාශනය වෙමින් තියන නාලිකාවෙ විජේසුන්දර වේරගොඩ මහත්තයාගෙ හඬින් හරි ලස්සනට මේ වචනට ටික මට ඇහුනා...

අපි එකම රෑනෙ කුරුල්ලෝ

මේ පාරාදීසේ...

නෑ වෙන් වන්නේ නෑ තනිවෙන්නේ

වරෙල්ලා....මේ රෑනේ....

මේ ගීතය කනට වැටෙද්දි මන් ජනේලෙන් එලිය බලාගෙන ඉන්නකොටම ගිරා පවුලක් පියාඹගෙන ඇවිත් රඹුටං ගහේ අත්තක වැහුවා. පළමු පද පේලි ඇහෙනවත් එක්කම මේ වෙච්ච අහම්බය ගැන හිත හිත සිතුවිලි ගංගාවෙ උඩු දුවද්දි චෑස් චෑස් ගාලා ගිරා පැටියෙක් නද තියන්න ගත්තා. අනිත් ගිරව්ත් අරූ ගාව දැවටි දැවටි හිමි හිමින් කෑගහන්න ගත්තා. නෑ වෙන්වන්නේ නෑ තනි වෙන්නේ කියන කෑල්ල නම් ප්‍රත්‍යක්ෂයි කියලා මට හිතුනා. උන් හිටපු අත්තෙ හිටියෙ උන් විතරයි. අනික් කුරුල්ලො ඒ ගහේම තවත් ඈතින් තියන අතු වල වහලා හිටියෙ. ඒකට හේතුව ස්වභාවධර්මයේ අහම්බයක්ද නැත්තම් වෙන මොකක් දෝ කියලා හිතින් විශ්ලේෂණය කරන ගමන් ඉන්නකොට තමා මතක් උනේ සාමාන්‍ය ගැමි වහරේත් එකම කුරුල්ලො තමයි එකම අත්තෙ වහන්නේ කියලා කතාවකුත් තියේ කියලා. මොකක්ද මේ එකම අත්ත එතකොට? සම සමාජ තත්ත්වයක් , සම කුලයක් , සම පන්ති ප්‍රාන්තරයක් නිරූපනය කරන්න ගත්ත මේ අත්ත කියන වචනෙ තත්කාලීනව රටේ සමස්ථ ජන ප්‍රවාහයටම පාවිච්චි කරනවා නම් අන්න එතන මොකක්දෝ අවුලකුත් නැතුවාම නෙවේ කියලත් හිතුනා. ඒකාලෙ කුල අනුව අපි වංසක්කාර උන් අරුන්ට අපි පෑහෙන්න යන්න ඕන නෑ වගේ ආභාසයත් අත්ත ඇතුලෙ තිබුනාදෝ සැකයකුත් යටි හිතට ආවා. ඒ කොහොම වෙතත් සිංදුවෙ කියන විදිහට නම් හැමෝටම එකතු වෙන්න කියනවා රෑනට. ඒ තරම් ගැඹුරින් නැතුව සරළව හිතුවොත් සාමාන්‍යයෙන් කෙනෙක්ට තව කෙනෙක් ගැලපෙනවා නම් ආන් ඒ කතාව කියන්න පුලුවන් නෙ... මන් අහලා තියන විදිහට පරණ මගුල් කපු මහත්තුරුන්ගෙ කටෙත් මගුල් තුලා කටයුත්තට සහුහරේම උන් හදි ගැහුනම ඔය කතාව නිතරම කටේ තිබ්බ එකක්ලු.

සමහර විට ඉතින් තමන්ට තමන්ගෙ පවුලට ගැලපෙනම කෙනෙක් මුණ ගැහුණාම හරි මුණගැගෙන්න ඉන්නවනම් හරි ඒ බව අඟවන්නත් ඔහොම මිනිස්සු කියන්න පුරුදු වෙලා ඉන්න ඇති.... එකම අත්තක එකම ජාතියෙ කුරුල්ලො ඉන්නකොට හරිම ලස්සනයිනෙ..

සිතුවිලි ඔරුව පෙරලෙන්න තරම් හයියෙන් රැල්ලක් ආවා වගේ අම්මගෙ කටහඬ කුස්සියෙ ඉඳන් කාමරේට ගලාගෙන ආවා. අම්මාගේ වචනයෙන් කිව්වොත් මන් බෝඩිංකාරයෙක් හැබැයි කුලියක් නොගෙවන. උදේ කෑම හදලත් ඉවර ඇති. මට කන්න කතා කරනවා. අපේ පවුලත් හරියට එකම අත්තක කුරුල්ලො වගේ...මට හිතුනා. මූලික අවශ්‍යතාවයන්ගේ ඉඳලා හැමදේ ගැනම ආදරයෙන් එකිනෙකා ගැන බලාගන්නවා. තවත් අත්තක වහපු කුරුළු පවුලක් එක්ක එකම රෑනක පියාඹන්න දවසකුත් ඉස්සරහට ඒවි කියලා මතක් උනා. හ්ම්ම්ම්ම්... අපි එකම රෑනෙ කුරුල්ලො.... මේ පාරාදීසේ ... නෑ වෙන්වන්නේ නෑ තනි වෙන්නේ... සිංදුව මුමුණන ගමන් හීනියට හිනාවකුත් එක්ක හිතේ තිබ්බ බලාපොරොත්තුවත් අලුත් කරන් කෝප්පෙත් අරන් මන් කුස්සියට පියෑඹුවා.