ශ්‍රී ලංකේය ප්‍රෞඪ ඉතිහාසය පුරා සම්බුද්ධ ශාසනයේත්, හෙළ සංස්කෘතියේත්, ජාතික අනන්යතාවයේත් ජීව නාලිය වූයේ පිරිවෙන් අධ්‍යාපනයයි. සිංහල, පාලි, සංස්කෘත ආදී ප්‍රාචීන භාෂාවන් සුරකිමින්, සදාචාරසම්පන්න හික්මුණු සමාජයක් බිහිකිරීම උදෙසා ධර්ම ශාස්ත්‍රීය මෙහෙවරක නිරත වයඹ පළාත් පිරිවෙන් ඒකකය වෙනුවෙන් මෙම පණිවිඩය තබනුයේ මහත් වූ සතුටිනි.
සත්මහල් ප්‍රාසාදයන්ගෙන් හා ශ්‍රේෂ්ඨ රාජධානිවලින් විරාජමාන වූ වයඹ පළාතට, ලාංකීය පිරිවෙන් ඉතිහාසය තුළ හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. දඹදෙණිය, යාපහුව, කුරුණෑගල සහ පඬුවස්නුවර වැනි ඓතිහාසික රාජධානි යුගයන්හිදී රාජ්‍ය අනුග්‍රහය ලබමින් වයඹ පලාත කේන්ද්‍ර කරගෙන බිහිවූ ශාස්ත්‍රීය ප්රබෝධය අතිමහත්ය. විශේෂයෙන්ම දෙවන පරාක්‍රමබාහු රජතුමන්ගේ යුගයේදී දඹදෙණි රාජධානිය ආශ්‍රිතව සිංහල, පාලි සහ සංස්කෘත භාෂාවන්ගේ අභිවෘද්ධිය උදෙසා සිදුවූ මෙහෙවර සමස්ත ලංකාවටම ආලෝකයක් විය.
පසුකාලීනව සරණංකර සංඝරාජ මාහිමියන්ගේ ශාස්ත්‍රීය පුනරුදයට උරදෙමින් වයඹ පළාතේ බිහිවූ ඓතිහාසික පිරිවෙන් මඟින් දේශීය බුද්ධිමය චින්තනය පෝෂණය කිරීමට අගනා දායකත්වයක් සැපයීය. භාෂා ශාස්ත්‍ර ප්‍රගුණ කළ වියත් පණ්ඩිත ස්වාමින්ද්‍රයන් වහන්සේලා මෙන්ම ගිහි පඬිවරුන් රැසක්ම දැයට දායාද කිරීමට වයඹ පිරිවෙන් ක්ෂේත්රය සමත්ව ඇත.
"විද්‍යා දදාති විනයං" (ශිල්පය විසින් විනය ලබාදෙයි) යන උදාර පිරිවෙන් සංකල්පය පෙරදැරි කරගෙන, වර්තමානයේ ද වයඹ පළාත තුළ ක්‍රියාත්මක වන පිරිවෙන් ආයතන මඟින් ධර්මධර, විනයධර ශික්ෂාකාමී සඟ පරපුරක් මෙන්ම ගුණගරුක ගිහි නායකත්වයක් බිහිකිරීමට නිරන්තරයෙන් කැපවී සිටී.
නවීන තාක්ෂණය හා ගෝලීය ප්රවණතාවලට මුහුණ දිය හැකි අයුරින් පිරිවෙන් අධ්‍යාපන රටාව සකස් කරමින්, අපගේ සාම්ප්‍රදායික ධර්ම ශාස්ත්‍රීය උරුමය අනාගත පරපුර වෙත සුරක්ෂිතව දායාද කිරීම වයඹ පළාත් පිරිවෙන් ඒකකයේ ප්‍රධානතම අරමුණයි.
වයඹ පළාතේ පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතිය උදෙසා සහයෝගය දක්වන සැමට මාගේ ආශිර්වාදය හා කෘතඥතාව පිරිනමන අතර, ලෝක ශාසනික අභිවෘද්ධිය පිණිස වයඹ පිරිවෙන් මෙහෙවර තව තවත් ශක්තිමත් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි!
පූජ්‍ය මැණික්හින්නේ ධීරානන්ද හිමි
නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ (පිරිවෙන්)
පළාත් පිරිවෙන් ඒකකය, වයඹ පළාත.
නවතම ප්රවෘත්ති සහ නිවේදන