සීගිරිය මාතලේ දිස්ත්‍රික්කයේ උතුරු මායිමේ පිහිටි මුහුදු මට්ටමෙන් මීටර් තුන්සිය පනහක් පමණ උසැති ශ්‍රී ලංකාවේ උතුරු අඩතැනි කලාපයේ කැපී පෙනෙන භූ ලක්ෂණයක් සහිත පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් ලෝක උරුමයකි.
සීගිරි ඉතිහාසය ප්රාග් ඓතිහාසිකයුගය දක්වා දිවෙන බවට පුරාවිද්‍යාත්මක සාධක හමුවී ඇත. සීගිරිය පර්වතය පාමුළ නැගෙනහිර දෙසින් පිහිටි අලිගල නම් කුඩා පර්වතය ආශ්රිත ලෙනෙහි කරන ලද කැණීමකදී අදින් වසර 5500ක් තරම් පැරණි මානව ජනාවාස පිළිබඳ සාධක හමුවී ඇත. එම ස්ථානයෙන්ම ක්‍රිස්තු පූර්ව 10-09 සියවස් වලට අයත් මූල ඓතිහාසික ජනාවාස පිළිබඳව ද සාධක හඳුනාගත හැකිවීම සීගිරියේ පූර්ව ජනාවාසයන්හි පැවැත්ම පිළිබඳ තවත් වැදගත් සාධකයකි.
යථොක්ත පූර්ව ඓතිහාසික කාලපරිච්ඡේද වලින් අනතුරුව සීගිරිය පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක ලැබෙනුයේ ක්‍රි. පූ 3 වන සියවසේ සිටය. ඒ අනුව මහින්දාගමනයත් සමඟ දිවයිනේ බොහෝ පර්වත ආශ්‍රිතව බිහි වූ ලෙන්විහාර අතරට සීගිරියද එක්වී තිබේ. එම අවධියට අයත් කටාරම් කෙටූ ගල්ලෙන් හා ශිලා ලේඛන ඒ පිළිබඳව මොනවට සාධක සපයයි. කෙසේ වෙතත් වර්තමානයෙහි අපට දක්නට ලැබෙන සීගිරියේ ප්‍රධාන ඉදිකිරීම් සියල්ලම බිහිව ඇත්තේ I කාශ්‍යප රජුගේ (ක්‍රි.ව. 477-495) පාලන සමයේදීය. සීගිරිය සිය රාජධානිය බවට පත් කරගත් කාශ්‍යප රජු I වන ධාතුසේන රජුගේ(ක්‍රි.ව.459-477) යකඩ දෝලියකට (ප්‍රධාන නොවන බිසවකට) දාව උපන් පුත්‍රයෙකි. මෙලෙස රාජ්‍යත්වය ලබාගත් කාශ්‍යප රජු වසර 18ක් සීගිරිය සිය අගනගරය කොටගෙන රාජ්‍ය කටයුතු මෙහෙය විය. ලෞකිකත්වයට වඩාත් නැඹුරු වූ කාශ්‍යප රජු කුවේරයාගේ ආලකමන්දාව පරිද්දෙන් සිය රාජධානිය ගොඩනගා ගත් බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහසයි.
කසුප් රජගේ අභාවයෙන් පසුව මුගලන් කුමරු රාජ්‍යත්වයට පත් වුවත්, ඔහු සිය රාජධානිය ලෙස සීගිරිය ප්‍රයෝජනයට නොගැනීම නිසා ක්‍රි.ව. 6-7 සියවස්වලදී යළිත් එය බෞද්ධ ආරාමයක් බවට පරිවර්තනය විය. මෙම අවධියේ දී මුල්ම ආරාමීය අවධියට අයත් කටාරම් කෙටූ ගල්ලෙන් තවදුරටත් වැඩි දියුණු වී ඇති අතර, බෝධිඝරය, දාගැබ ආදී පූජනීය ගොඩනැගිලි ද ඉදිවිය. මෙම දෙවන ආරාමීය අවධියෙන් අනතුරුව සියවස් කිහිපයක් සීගිරිය අත්හැර දැමූ තත්වයක පැවැති අතර, යළිත් එය ඉතිහාසයට එක්වනුයේ 19 වන සියවසේදී ය. ඒ උඩරට රාජධානියේ ප්‍රාදේශීය යුද කඳවුරක් ලෙසිනි. එයින්ද අනතුරුව වසර කිහිපයක් වල් බිහිව පැවති සීගිරිය යළිත් අපගේ ඉතිහාසයට එක් කිරීමේ ගෞරවය හිමි වනුයේ, බ්‍රිතාන්‍ය ජාතික යුද නිලධාරයෙකු වූ මේජර් ජොනතන් ෆෝබිස්ට ය. ඒ 1832 දී ය. 1894 වර්ෂයේ දී එච්.සී.ජී. බෙල් මහතාගේ මූලිකත්වයෙන් සීගිරියෙහි ගවේෂණ කටයුතු ආරම්භ වූ අතර, 1930-40 දශකවල දී මහාචාර්ය සෙනරත් පරණවිතාණ මහතා යටතේ එම කටයුතු පර්යේෂණ මට්ටමෙන් තවදුරටත් වර්ධනය විය. එහි ප්‍රතිඵලයක් ලෙස සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී 685 ක් කියවා ප්‍රකාශයට පත් කිරීමට ඔහුට හැකි විය. 1982 වර්ෂයේ දී සංස්කෘතික ත්‍රිකෝණ වැඩසටහන යටතේ සීගිරියේ පුරාවිද්‍යාත්මක කටයුතු වලට පුනර්ජීවයක් ලැබුණු අතර පර්යේෂණ, සංරක්ෂණ හා නඩත්තු යන අංශ තුන යටතේ එම කටයුතු අද දක්වාම සාර්ථකව සිදුවෙමින් පවතී.
සිංහපාදය
සීගිරිය ආශ්‍රිතව කරන ලද පර්යේෂණ අනුසාරයෙන් අතීතයේ දී විවිධ රටවල් සමග සබඳතා පැවති බවට පැහැදිලි සාධක හමු වී තිබේ. කැණීම් වලින් හමු වූ රෝම කාසි, ඉන්දු රෝම කාසි ඒ අතරින් ප්රමුඛ වේ. ඊට අමතරව පර්සියාවේ (වර්තමාන ඉරානය) සැසේනියානු රාජ වංශ සමයට (ක්‍රි.ව. 222-651) අයත් මැටි භාජන කිහිපයක් ද හමු වී තිබේ. සීගිරි ජල උද්‍යානයේ පොකුණු ඇසුරෙන් ද පර්සියානු උද්‍යාන නිර්මාණ ලක්ෂණ හඳුනාගත හැකි වේ. එමෙන්ම සේද රෙදි (සිල්ක්) පිළිබඳ සඳහන් වන කුරුටු ගී මගින් චීනය සමග ද සබදතා පැවති බවට සාධක ලැබේ. 219, 221, 230 වෙනි කුරුටු ගී වල පට වැරැල්ල ලෙසින් හැඳින් වනුයේ සේද රෙදිය. 399 කුරුටු ගීයෙහි පැහැදිලි ලෙසම 'සින පට' ලෙසින් චීන සේද රෙදි පිළිබඳව සඳහන් කර ඇත.
ආයත චතුරස්රාකාර බිම් සැළැස්මකට අනුව නිර්මාණය කර ඇති සීගිරි නගර සැළැස්ම, බටහිර, නැගෙනහිර දිශානුගතව විහිදෙන්නකි. සංකීර්ණය වටා ප්‍රාකාර තුනක් හා දිය අගල් දෙකකි.
ඒ ඔස්සේ අභ්‍යන්තරයට පිවිසීම සඳහා සිව් දෙසින් දොරටු සතරකි. සීගිරි සැළැස්මෙහි කැපී පෙනෙන අංගය වන ජල උද්‍යානය, බටහිර පාර්ශවයෙහි විශාල බිම් සරියක් පුරා පැතිරි ඇති අතර, එහි නිර්මාණ ලක්ෂණ අනුව ප්‍රධාන කොටස් හතරකි.
මුල්ම කොටස ක්ෂුද්‍ර (කුඩා) ජල උද්‍යානය නම් වන අතර සෙසු කොටස් අංක 1. අංක 2 හා අංක 3 වශයෙන් වර්තමානයේ නම් කර ඇත. ක්ෂුද්‍ර ජල උද්‍යානය යනු කුඩා පොකුණුවලින් වට වූ ගොඩනැගිලි හා ජල මාර්ග වලින් සෑදි ඒකක පහකින් යුතු සුවිශේෂ උද්‍යාන පද්ධතියකි. මධ්‍යයෙහි දූපතක් සෑදෙන අයුරින් සමමිතිකව නිර්මානය කර ඇති පොකුණු සතරකින් සෑදී අංක 1 ජල උද්‍යානයේ විශේෂ ලක්ෂණය නම් චාර්බාග් නම් පැරණි උද්‍යාන අංගයයි. මෙය දැනට ලෝකයේ ශේෂ ව ඇති එවැනි ආකෘතියට අයත් පැරණි ම නිදසුනකි.
මෙම පොකුණු වලට පිවිසෙන මාර්ග, රැළි පාලම් ආරුක්කු ක්‍රමයට උමං ලෙසින් නිමවා තිබේ. ඉන් ඔබ්බෙහි පිහිටි අංක 02 ජල උද්‍යානය (ජල මල් උද්‍යානය) කුඩා පොකුණු වලින්, ජල මල්වලින් හා සෙමෙන් ජලය ගලා යාමට තැනූ ජල මාර්ගවලින් පරිෂිප්ත විශිෂ්ඨ නිර්මාණයකි.
ජල උද්‍යානයෙහි ඉහළ ම මට්ටමක පිහිටි අංක 03 ජල උද්‍යානය සෙසු උද්‍යාන ප්‍රදේශයෙහි දක්නට ලැබෙන සම්මිතික ලක්ෂණ වලින් තොරය. මෙහි උතුරු දෙසින් ඇත්තේ අටැස් හැඩැති පොකුණක් වන අතර ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් 'L' හැඩැති පොකුණකි. ජල උද්‍යානයෙන් අනතුරුව හමුවනුයේ ගල් කුළු සහිත ප්රදේශයකි.
ජල උද්‍යානයෙහි දක්නට ලැබෙන සමමිතික ලක්ෂණ වලින් තොර මෙම ප්‍රදේශය, වර්තමානයේ ශිලා උද්‍යානය ලෙස හැදින් වේ. සීගිරි පර්වතය ඇතුලත් මෙම ප්‍රදේශය ඇතුල් නගරය වේ. පිට හා ඇතුල් නගරය වෙන් කෙරෙනුයේ ඇතුල් නගර ප්රාකාරයෙනි. මෙම රාජකීය නාගරික සැළැස්මෙන් පිටත ප්‍රදේශයෙහි සාමාන්‍ය ජනයාගේ ජනාවාස ව්‍යාප්තව තිබූ බවට සාධක ඇත. සීගිරියේ බෞද්ධ ආරාමීය ඉතිහාසයට අයත් කටාරම් කෙටූ ගල් ලෙන් 30 ක් හා බෝධිඝරය, දාගැබ, පිළිමගෙය වැනි පූජනීය ගොඩනැගිලි දක්නට ලැබෙනුයේ ශිලා උද්‍යානයේය. සීගිරි පර්වතයත්, ශිලා උද්‍යානයත් අතරැති, විශාල ගල් බැමිවලින් වට වූ මාලක සහිත ප්‍රදේශය, මාලක උද්‍යානය නම් වේ. මෙහි විශේෂත්වය වනුයේ බෑවුම් සහිත භූමිය විශාල ගල් බැමිවලින් සැදි මාලක සකසා භූමිය සෝදා යාම වැළැක්වීමට නිර්මාණශීලීව පිළියම් යොදා ගැනීමකි. පර්වතය මත වූ මාළිගාවට පිවිසෙන ද්වාරය පිහිටා ඇත්තේ සිංහ පාදය ආශ්‍රිතව ය. ඒ ඉදිරිපස මාලක උද්‍යානයේ මට්ටමට වඩා ඉහළින් පිහිටි තැනි බිමකි. එය සිංහ පාද මළුව නම් වේ. සීගිරි පර්වතය මුදුන හෙක්ටයාර් 1.5 ක බිම් ප්‍රමාණයකින් යුත්ත වන අතර එය දළ වශයෙන් මට්ටම් දෙකකින් යුතු සම උස් බිම් දෙකකින් සමන්විතය. රජ මාළිගය පර්වතය මුදුනේ බටහිර දෙසින් පිහිටා ඇති අතර පිහිටි ගල කැණ සකසා ඇති ප්‍රධාන පොකුණු ඇතුළු සෙසු අංග දකුණු දෙසින් දැකිය හැකි ය. මාළිගයට පහළින් නැගෙනහිර දෙසට මුහුණලා පිහිටි ගලෙහි නිර්මාණය කර ඇති සිංහාසනය දැකිය හැකි ය. සීගිරි සංකීර්ණයෙන් පිටත, පැරණි ජනාවාසවලට අයත් වූ විවිධ ප්රමාණවල වැව් රාශියක් දැනුදු දැකිය හැකිය. මේ අතරින් විශාලතම වැව වූ සීගිරි මහ වැව, සීගිරි පර්වතයට දකුණු දෙසින් පිහිටා ඇත. දැනට එහි බැමෙහි තැන තැන ඉතිරි වූ කොටස් හා මාපාගල සමීපයෙහි වූ රළපනාවෙහි අවශේෂ පමණක් දැකිය හැකි ය. සීගිරියට කි.මි. 06 ක් පමණ දකුණු දෙසින් වූ අලකොළවැව නම් ප්‍රදේශයෙහි වූ මහා පරිමාණ යකඩ නිෂ්පාදන මධ්‍යස්ථානයක් පිළිබඳ තොරතුරු ද මෑතකදි කරන ලද පර්යේෂණ වැඩ සටහන් මගින් අනාවරණය කර ගත හැකි විය.
ජල උද්‍යානය
ක්‍රි.ව. 5 වන සියවසට අයත් ලෝක ප්‍රසිද්ධියට පත්ව ඇති සීගිරි සිතුවම් ශ්‍රී ලංකාවේ සම්භව්‍ය සිතුවම් කලාවේ අග්‍රගණ්‍ය නිර්මාණයකි. දැනට මෙම සිතුවම් පර්වත කුහරයට ශේෂව ඇති කාන්තා රූප 19 කට සීමා වුව ද මෙම පර්වත බිත්තිය පුරාම කාන්තා රූප 500 ක් ඇද තිබූ බව කුරුටු ගී කිහිපයක සඳහන් වේ. මෙම සිතුවම් මගින් කාන්තාවන්ගේ උඩුකය රූප නිරූපිත අතර ඒවා තනි හා යුගල රූප වශයෙන් ඇද තිබේ. මෙම සිතුවම් අධ්‍යයනය කළ විවිධ පුරාවිද්‍යඥයින් හා ඉතිහාසඥයින් මේ පිළිබඳව ඉදිරිපත් කර ඇති අර්ථකථන විවිධ ය. සීගිරි බිතුසිතුවම් පිළිබඳව මුල් වරට අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇත්තේ 1894 දී එච්.සී.ජී. බෙල් මහතා විසිනි. එහි ප්‍රතිඵලයක් ලෙස 1896-7 වර්ෂවලදී මුහන්දිරම් ඩී. ඩී. එල්. පෙරේරා මහතා විසින් මෙම සිතුවම් තෙල් සායමෙන් පිටපත් කර තිබේ. මෙම සිතුවම් පිළිබඳව බෙල් මහතාගේ මතය වනුයේ මේවායෙන් කාශ්‍යප රජුගේ අන්තඃපුර ස්ත්‍රීන් නුදුරින් පිහිටි පිදුරංගල විහාරය වැඳීමට යෑම නිරූපණය කෙරෙන බවයි. ආනන්ද කුමාරස්වාමි මහතාට අනුව මෙම රූප වලින් නිරූපණය කෙරෙනුයේ දිව්‍ය අප්සරාවන් ය. කෙසේ වෙතත් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් මේ පිළිබඳව ඉදිරිපත් කර ඇති මතය වඩාත් සාහිත්‍යමය පදනමක් මත පිහිටා ඇත්තෙකි. ඔහුට අනුව මෙහි ඇති කහ පැහැති රූප වලින් විදුලියත් (විජ්ජු කුමාරි) හා දුඹුරුවන් රූප වලින් වැහි වළාකුළුත් ( මේඝලතා) නිරූපිතය. පරණවිතාන මහතා මෙම අදහස් ඉදිරිපත් කර ඇත්තේ සීගිරිය, කුවේර දෙවියාගේ ආලකමන්දාවේ සංකේතාත්මක ප්රතිනිර්මාණයක්ය යන පදනම මත සිට ය. සීගිරි සිතුවම් ඉන්දියාවේ අජන්තා සිතුවම්වලට ඛෙහෙවින් සමාන ලක්ෂණ වලින් යුතු බවට ද බොහෝ ඉතිහාසඥයින් හා පුරාවිද්‍යාඥයින් කරුණු ඉදිරිපත් කර තිබේ. ප්‍රධාන සිතුවම් ගුහාවේ ඇති යථෝක්ත සිතුවම් හැරණු විට ශිලා උද්‍යානයේ ලෙන් කිහිපයකම සිතුවම් ඇඳ තිබූ බවට සාධක ඇත.
ආසන ගුහාව, නයිපෙන ගුහාව, දැරණියගල ගුහාව යන ස්ථානවල ඇති සිතුවම් ශේෂයන් ඊට නිදසුන් සපයයි. සිගිරිය පැරණි මාර්ගය කැණීමේදී සීගිරි අප්සරා රූප වලට බෙහෙවින් සමාන මැටියෙන් කළ කුඩා රූප රැසක් හමුවී ඇති අතර ඒවා සීගිරිය නැරඹීමට පැමිණියවුන්ට සිහිවටන ලෙස රැගෙන යාමට අලෙවි කරන්නට ඇති බව මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතාගේ අදහසයි.
සීගිරි සිතුවමක්
කැටපතක් පරිද්දෙන් ඔපදැමු මතු පිටකින් යුක්ත වූ බැවින් මෙය කැටපත් පවුර නමින් හැඳින් වේ. වාස්තු විද්‍යාත්මක වශයෙන් මෙන්ම මෙහි ඇති කුරුටු ගී නිසා සාහිත්‍යමය වශයෙන් ද මෙම පවුර වැදගත් වේ. ක්‍රි.ව. 7 වන සියවසේ සිට 19 වන සියවස දක්වා ම සීගිරිය නැරඹීමට පැමිණියවුන් මෙහි විවිධ සටහන් තබා ඇත. කුරුටු ගී ලෙසින් ප්‍රසිද්ධියට පත්ව ඇති සාහිත්‍යාංගය අයත් වනුයේ ක්‍රි.ව. 7-13 සියවස් වලටය.
සිගිරි බිතු සිතුවම් හා හාත්පස පරිසරය පිළිබඳව සෞන්දර්යයාත්මක හැගීම් මනාව කාව්‍යයට නගා ඇති එම කුරුටු ගී, සාහිත්‍යමය වශයෙන් හා භාෂාමය වශයෙන් වැදගත් වන්නා සේම සමකාලීන සමාජය පිළිබඳ තොරතුරු ලබා දීම කෙරෙහි ද දායක වේ. මෙහි ඇති 13 වන සියවසෙන් පසු කාලයට අයත් ලේඛන වලින් බොහොමයක් ම කාව්‍යමය සිතුවිලි වලින් තොර හුදෙක් වාර්තා කරන ස්වරූපයේ සටහන් ය. සෙනරත් පරණ විතාන සුරින් මෙම කුරුටු ගී 685 ක් කියවා. "Sigiri Graffiti" නමින් වෙළුමි දෙකකින් යුත් ග්රන්ථයක් ප්‍රකාශයට පත්කර තිබේ. මෑතකදී කරන ලද පරික්ෂණ වලදි ශිලා ලෙන් කිහිපයක ම ඇති බදාම ස්තර මත ද කුරුටු හි රචනා කර ඇති බව හඳුනාගත හැකි වී තිබේ. ආසන ගුහාවේ වියන් සිතුවම මත පැහැදිලිව ම කියවා ගත හැකි කුරුටු ගී කිහිපයක් ම දැකිය හැකි ය.
කැටපත් පවුර
කුරුටු ගියක්
සීගිරිය සමස්ත නාගරික ව්‍යුහය තුළ තාක්ෂණය හා සැබැඳි නිර්මාණයන්ට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. විවිධ ප්‍රමාණයේ පොකුණු වලින් සෑදි ජල උද්‍යානයේ එක් එක් ප්‍රදේශ අතර ඇති පැහැදිලි සබඳතාව සීගිරි නිර්මාණ ශිල්පියා සතු ජල කළමනා කරණ කෞශල්‍යය මනාව ප්රත්යක්ෂ කරවයි. සරල විද්‍යාත්මක සිද්ධාන්ත අපූර්ව ආකාරයට භාවිතා කොට ගෙන නිර්මාණය කර ඇති අංග අතර ජලමල් වලට සුවිශේෂ ස්ථානයක් හිමි වේ. ඒවායේ ක්‍රියාකාරිත්වයට පදනම් වී ඇත්තේ ගුරුත්වය හා පීඩනය යන සිද්ධාන්ත දෙක ය. ජල මල් වලට අවශ්‍ය ජලය ලැබෙනුයේ දෙපස පිහිටි ගිම්හාන මාලිඟා වටා ඇති දිය අගල් වලිනි.
ජල උද්‍යානයේ පොකුණු භූගත කාණු පද්ධතියක් මගින් එකිනෙක සම්බන්ධ වන පරිදි නිර්මාණය කර ඇති අතර කාණු වෙනුවට මැටි නළ යොදා තිබූ බවට ද සාධක ඇත. ජල උද්‍යානයෙන් නික්මෙන ජලය අවසාන වශයෙන් භූගතව ඇතුල් දිය අගලට ඔබ්බෙහි පිහිටි පිට දිය අගලට එක් වේ.
සිහිය පුරාවිද්‍යා භූමිය නැරඹීමේ කාලය පෙ.ව.5.00 සිට ප.ව.5.00 දක්වා වේ. ප.ව.5.00න් පසු පුරාවිද්‍යා රක්ෂිතය තුළ රැදි සිටීම සම්පූර්ණයෙන්ම තහනම් ය.
සිගිරිය පුරාවිද්‍යා රක්ෂිතයක් මෙන්ම සුවිශේෂි පාරිසරික සංරක්ෂිතකලාපයක් ද වන බැවින් පොලිතින් හෝ ප්ලාස්ටික් ද්‍රව්‍ය රැගෙන පැමිණීමෙන් හා භාවිතයෙන් වැළකිය යුතුය. පරිසරය පිරිසිදුව තබා ගැනීමට ඉවත ලන දේ කසල බදුන් වලට පමණක් දැමිය යුතුය.
ස්මාරක හා පුරා වස්තු වලට හානි කිරීම, ගැලවීම, රැගෙන යාම විකෘති කිරීම, ඒ මත ලිවීම මෙන්ම අකුරු කෙටීම වැනි ක්‍රියා සහ ස්මාරක භූමියේ හා උද්‍යාන වල ඇති ශාක පැලෑටි වලට හානි කිරීම හෝ රැගෙන යෑම පුරාවිද්‍යා ආඥා පනතට අනුව දඩුවම් ලැබිය හැකි වරදවල් වේ.
ගඩොල් බැමි, ස්මාරක මත මෙන්ම උද්‍යානයේ තණබිම් හරහා ඇවිදීම නොකළ යුතුය. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අවසරයකින් තොරව කෞතුකාගාර හෝ ස්මාරක භූමිය තුළ වෘත්තීය හා වාණිජ ඡායාරූප ගැනීම හා වීඩියෝ ගත කිරීම ආදී දේ නොකළ යුතුය.
ස්මාරක භූමිය තුළ සංවරව හැසිරිය යුතුය. සංගීත භාණ්ඩ වාදනය, ශබ්ද විකාශන යන්ත්‍ර, ගුවන් විදුලි යන්ත්‍ර භාවිතය හා මත්ද්‍රව්‍ය භාවිතය ආදි ක්‍රියා වලින් වැළකිය යුතුය. සිංහපාද මාලකයේ බඹර කුඩු ඇති හෙයින් ඒවාට යම් යම් දේ විසි කිරීම හා ඝෝෂා කිරීම් නිසා බඹරුන් ඇවිස්සෙන බැවින් එවැනි ක්‍රියා වලින් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුය.
ආහාර ගැනීම ඊට සුදුසු ස්ථාන වලදී පමණක් සිදු කළ යුතු අතර ස්මාරක මත ඇවිදීම, හිඳ ගැනීම හෝ ගමන් මළු තැබීම වැනි ක්‍රියා වලින් වැළකිය යුතුය. උද්‍යාන වල ඇති ගඩොල් බැමි ද ස්මාරක බව අවධාරණය කර ගත යුතුය
ප්‍රධාන කාර්යාලය අධ්යක්ෂ ජනරාල්
මධ්‍යම සංස්කෘතික අරමුදල 212/1, බෞද්ධාලෝක මාවතකොළඹ 07.
දුරකථන : 011257089
ෆැක්ස් : +94 112507089
www.ccf.lk
සීගිරිය ව්‍යාපෘති කළමණාකරු
මධ්‍යම සංස්කෘතික අරමුදල ව්‍යාපෘති කාර්යාලය සීගිරිය ව්‍යාපෘතිය
දුරකථන : +94 66228645, +94 662286947
ෆැක්ස් : +94 662286945
sigirimuseu@gmail.com