Atapirikara

අටපිරිකර ගැන දැනගමු

"අෂ්ඨ පරිශ්කාරය" හෙවත් "අටපිරිකර" සඳහා බෞද්ධ සමාජය තුළ හිමිව ඇත්තේ අද්විතීය ස්‌ථානයකි. අටපිරිකර පිළිගැන්වීම වනාහී අට මහා කුසල් වලින් එකකැයි යනුවෙන්ද බෞද්ධ ඉගැන්වීම්වල සඳහන්ව ඇත. එමකුද නොව අට පිරිකර පිළිගැන්වීම සඳහා බෞද්ධ සමාජය තුළ ඇත්තේද විසල් උනන්දුවකි. තවද නියමිත ප්‍රමිතියෙන් යුත් අටපිරිකර වෙළෙඳ පොළ තුළ නොමැතිවීම හේතු කොට ගෙන පසුගිය කාලසීමාව තුළ යම් යම් ගැටලුද පැනනැගුණු බැව් අපට මතකය.

විනය පිඨකය තුළ ඉතා පැහැදිලිවම චීවරයක උස, පළල, දිග, වර්ණය සේම රෙදි වර්ගය පිළිබඳවද තොරතුරු ඇතුළත්ව ඇත. එය "චීවරක්‌ඛන්දකය" නමින්ද හැඳින්වේ. එමතුද නොව පාත්‍රය සකස්‌ කිරීම එය කළු මැදීම, එය තබා ගැනීම සේම එහි ප්‍රමාණයන් ගැනද විනය තුළ කථා කරනු ලබයි. තවද පෙරහන් කඩෙහි ස්‌වභාවය, දැළි පිහිය සේම පටියේ ස්‌වභාවය හා එහි දිග, පළල ගැනද මෙහිදී සාකච්ඡා කරනු ලබයි. ඒ අනුව අටපිරිකරක්‌ සඳහා විනයෙන් නියම කළ ප්‍රමිතියක්‌ ඇති බව පෙනී යයි. පරිභෝජනයට ගනු ලබන අටපිරිකර විනයට අනුකූලව පිළිගැනීම හා දැරීම විනයානුකූල යන්නට එකතු වෙයි. විනයට අනුකූල නැතිනම් යම් දෙයක්‌, ඒ දෙය පිළිගැනීමටද නොහැකිය.

බුදුසමය තුළ මහා පිංකම් අටක්‌ ගැන උගන්වනු ලබයි. ඉන් පළමුවැන්න කඨිනයයි. දෙවන කුසලය වන්නේ අටපිරිකර පිළිගැන්වීමයි. නිවන දක්‌වාම ඵල විපාකදෙන නිවනින් කෙළවර වන පිංකම් "අට මහා කුසල්" ලෙස හැඳින්වේ. අටපිරිකරයක්‌ තුළ ඇතුළත්ව ඇත්තේ අන්යමක්‌ නොව භික්‍ෂූන් වහන්සේගේ කය පරිහරණයට හා කුස පරිහරණයට අවශ්‍ය අංග අටකි. සසුනේ පැවැත්ම රදාපවතින්නේ භික්‍ෂුවගේ ක්‍රියා කලාපයන් මතය. භික්‍ෂුත්වය රදා පවතින්නේ අටපිරිකරය මතය. එක්‌ පසෙකින් බෞද්ධයෝ නිතරම පාහේ කල්පනා කරන්නේ මේ ශාසනය තව බොහෝ කලක්‌ පැවැතිය යුතුය යනුවෙනි. එසේනම් භික්‍ෂුන් වහන්සේලා ආරක්‍ෂාවීම අනිවාර්යෙන්ම සිදුවිය යුත්තකි. අනෙක්‌ පසින් නිවන දක්‌වාම ඵල විපාක දෙන පිංකමක්‌ කරගැනීමටද ඔවුහු නිතරම පාහේ උත්සුක වෙති. එබැවින් සෑම බෞද්ධයෙක්‌ම පාහේ මේ මහා පිංකම සිදුකර ගැනීමට නිරතුරුවම උත්සාහ දරන බව සඳහන් කළ යුතුව ඇත.

අටපිරිකර පිළිගැන්වීම පිළිබඳව බෞද්ධ සාහිත්‍යය තුළද සුවිශේෂී තොරතුරු සමුදායක්‌ සඳහන්ව ඇති බව වෙසෙසින්ම කිව යුතුය. සිද්ධාර්ථ කුමාරයා පැවිදි බව ලබද්දී ඝඨීකාර මහා බ්‍රහ්මයා විසින් අටපිරිකර ලබාදුන් බව බෞද්ධ ඉගැන්වීම් තුළ සඳහන්ව ඇත. රහතන් වහන්සේලාට "ඒහි භික්ඛු උපසම්පදාව" හිමිවීමේදී අටපිරිකර මැවෙන බවද ප්‍රකටව පවතින කරුණකි. එමෙන්ම "ගිරිභණ්‌ඩ" පූජාවේදීද ඊට සහභාගී වූ සෑම භික්‍ෂුවකටම අටපිරිකරය බැගින් පූජා කළ බව කියෑවේ. ලක්‌දිව රජකම් කළ දේවානම්පියතිස්‌ස, දුටුගැමුණු, භාතිකාභය, මහා පරාක්‍රමබාහු සේම කීර්ති ශ්‍රී රාජසිංහ ආදී රජවරුද අටපිරිකර පූජාකරමින් මහා පිංකම් සිදුකොට ඇති අතර, දළදා වහන්සේට සේම විජය ශ්‍රී මහා බෝධීන් වහන්සේටද අටපිරිකර සිය ගණනින් පූජා කරමින් පිංකම් සඳහා එක්‌වීමේ ප්‍රවණතාවක්‌ නූතනයේ නිර්මාණය වී ඇත.

නූතනයේ දැකිය හැකි තවත් එක්‌ ප්‍රවණතාවක්‌ නම් මහා ථූප දක්‌වාම අටපිරිකර පූජාකිරීම ව්‍යාප්ත වී තිබීමයි. අපරට තුළ සේම තායිලන්තය, බුරුමය, කාම්බෝජය, ලාඕසය සේම වියට්‌නාමය ආදී බෞද්ධ රටවලද භික්‍ෂුන්ට පුදන පිරිකර අතර මුල්තැන හිමිව ඇත්තේ අටපිරිකරටයි.

පෙරදීද සඳහන් කළ පරිදි අටපිරිකරක්‌ පිළිගැන්වනු ලබන්නේ භික්‍ෂුන් වහන්සේගේ පරිහරණය උදෙසාය. එසේනම් ඉන් භික්‍ෂුන් වහන්සේට යම් ප්‍රතිලාභයක්‌ අත්විය යුතුමය. පිංකමකින් යම් භික්‍ෂුන් වහන්සේ නමකට ප්‍රතිලාභයක්‌ අත්නොවන්නේ නම් ඒ පිංකමෙන් ඇති ඵලයක්‌ද නැත. අෂ්ඨ පරිශ්කාර සම්බන්ධයෙන්ද එම තර්කය එලෙසින්ම වලංගුය. දායක පක්‍ෂයට අටපිරිකර පිළිබඳව අත්දැකීමක්‌ හෝ ඥනයක්‌ හෝ නැතිවන්නට පුළුවන. ඔවුනට ඒ පිළිබඳව ඇත්තේ හැඟීමක්‌ හා ආකෘතිමය ඥනයක්‌ පමණක්‌ විය හැක. එබැවින් ඔවුන් ඒවා මුදලක්‌ දී මිලට ගනු ලබයි. එමතුද නොව මිලදී ගෙන ඇත්තේ විනයානුකූල අටපිරිකරකැයි යනුවෙන් සිතනවාද වන්නට පුළුවන. එහෙත් එය පරිභෝජනයේදී නුසුදුසු එකකැයි යනුවෙන් හැඟී ගියහොත් අදාළ පිංකමෙන් ඵලක්‌වන්නේ නැත. එය පිළිගැන්වූ දායකයා යම් අයුරකින් හෝ අදාළ අටපිරිකරය ප්‍රමිතිගත එකක්‌ නොවන බව දැනගතහොත් සිදුවන්නේ අනෙකක්‌ නොව මුලින් ඔහු තුළ වූ ශ්‍රද්ධා සහගත සිතුවිල්ල නැතිව යැමයි. එය නිෂ්ප්‍රයෝජන අෂ්ඨ පරිශ්කාරයකැයි හැඟී ගිය කල ඔහු තුළ විශාල කලකිරීමක්‌, වේදනාවක්‌ සේම ද්වේෂයක්‌ද හටගනී. එබැවින් කූට වෙළෙඳුන් විසින් කරනු ලබන ඇතැම් ක්‍රියාකාරකම් තුළින් විශාල අවාසි සහගත තත්ත්වයක්‌ නිර්මාණය වන බව පැවසිය යුතුය. ඉන් එක්‌ පසෙකින් අදාළ පිංකමෙන් භික්‍ෂුවට හිමිවිය යුතු ප්‍රතිලාභ අහිමිවී යයි. අනෙක්‌ පසින් දායකයා අගතියට පත්වීමක්‌ද සිදුවේ.

එබැවින් අටපිරිකරය යන්න හුදෙක්‌ ලාභය පදනම් කරගත් වෙළෙඳ භාණ්‌ඩයක්‌ නොව එය පූජා භාණ්‌ඩයක්‌ම විය යුතුය. පූජා භාණ්‌ඩයක්‌ යනු දෙන්නාට සේම ගන්නාටද හොඳ දෙයක්‌ සිදුවන යමකි. පාරිභෝගිකයා වෙත අටපිරිකරය ළඟා කරන්නාගේ ආකල්පීය වෙනසක්‌ තුළින් විනයානුකූල අටපිරිකරක්‌ ළඟාකරගත හැක.

අටපිරිකර කට්‌ටලයට ඇතුළත් විය යුතු උපරකණ වන්නේ

  • තනිපට සිවුර

  • දෙපට සිවුර

  • අඳනය

  • පාත්‍රය

  • දැලි පිහිය

  • බඳ පටිය

  • පෙරහන්කඩ

  • නූල, ඉඳිකටුවය

විනයානුකූල අටපිරිකරක් සැකසීමට රෙදි යාර 23ක් පමණ අවශ්‍යයි. තනිපට සිවුරකට අඟල් 36න් නම් යාර නවයහමාරක් පමණ ද අඟල් 45න් නම් යාර හයහමාරක් පමණ ද අවශ්‍යයි.විනයානුකූල සිවුරක උස අඟල් 81ක් හා පළල අඟල් 99-101 පමණ වනවා. දෙවුර වසනවානම් ඊටත් වඩා වැඩි පළලක් ඕනා.ඒ රෙදි ප්‍රමාණය තීරණය කරන්නේ ස්වාමීන්වහන්සේගේ වැලමිටේ සිට මැදැඟිල්ලේ කෙළවරට ඇති උස අනුවයි.දෙපට සිවුරකට සාමාන්‍යයෙන් රෙදි යාර 13ක් පමණ අවශ්‍යයි.

අඳනයකට පළල අනුව රෙදි යාර තුනක් හෝ තුනහමාරක් ඕන වනවා.එසේ මසන සිවුරු කඩ පහකට වෙන් කර බුදු හාමුදුරුවන් දේශනා කළ අයුරින් කුඹුරක ලියැදි ආකාරයට මූට්ටු කර මැසිය යුතුයි. එහි දී අඳන කඩක් සඳහා කඩකට හරස් මූට්ටුවක් බැගිනුත් සිවුරු සඳහා හරස් මූට්ටු දෙක බැගිනුත් මැසිය යුතු අතර බඳ පටිය අඟල් හයක් පමණ පළල වනවා.

සමහරු දැන් දැලි පිහිය වෙනුවට රේසරයක් ඇතුළත් කිරීමට පුරුදු වී සිටිනවා. නමුත් එය කැප නැහැ. ඒ වගේ ම සමහරුන් ඇලුමිනියම් පාත්තර අටපිරිකරට යොදනවා එයත් කැප නැහැ. තලතෙල් ඹප දැමූ පාත්තරයයි නිවැරදි විනයානුකූල අංගය වන්නේ.සමහර ස්වාමීන්වහන්සේ කඩ සිවුරුවලට කැමැත්තක් දක්වනවා. ඒවා පහළොස්කඩ,විසිපස්කඩ , තිස්පස්කඩ, හතළිස්පස්කඩ, පනස්පස්කඩ, අසූපස්කඩ හා එකසිය එක්කඩ වශයෙන් සකසන්නේ අඟලට කැපූ රෙදි කැබලිවලින්.