Movement for Constitutional Separation of Sri Lankan State from Religion


Become a member of the Secular Society



Featured Video: Sunila Abeysekara on Secularism


“Secularism” යනු කුමක්ද? මෙම ප්‍රශ්නයට පිළිතුරක් දීම පිණිස යොදාගත හැකි එක් ප්‍රවේශයක් නම් “secular” යන වචනයේ අර්ථය මුලින් විමසා බලා ඒ ඔස්සේ “secularism” යන්න අර්ථදැක්වීම ය. ඉංග්‍රීසි භාෂාවේ “secular” යන වචනයේ එක් අර්ථයක් වනුයේ ”ආගමික නොවන” යන්න යි. මෙය සිංහල භාෂාවේ යෙදෙන “ලෞකික” යන වදනට සමාන අරුත් දෙන අතර ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු හට මෙම අර්ථ දැක්වීම හුරුපුරුදු ය. උදාහරණයක් ලෙස, ක්‍රිකට් සෙල්ලම් කිරීම “ලෞකික ක්‍රියාවක්” ලෙස ද භාවනා කිරීම “ආගමික ක්‍රියාවක්” ලෙස ද වර්ගීකරණය කිරීම අපට අලුත් දෙයක් නොවේ. මේ අනුව, ආගමික ක්‍රියාවන් පිළිබද වැඩි උනන්දුවක් නැතිව ක්‍රිකට් සෙල්ලම් කිරීම යනාදී ක්‍රියාවන් වලට මුල්තැන දී ජීවත් වන්නන් “ලෞකික මිනිසුන්” ලෙස හැදින්වීම ශ්‍රී ලංකාවේ සුලභ ය. යම් සමාජයක්ම ඉහත කී පුද්ගලයන් බදු නම් එම සමාජය ”ලෞකික සමාජයක්” ලෙස හැදින්වීම සිදු වේ. නූතන සිංහල ව්‍යවහාරය තුල ”ලෞකික” යන වචනය ව්‍යවහාර වනුයේ එලෙස ය. ඉංග්‍රීසි භාෂාවේ “secular” යන වදන ද එලෙස ව්‍යවහාර වන බව සැබෑවකි. නමුදු, ඉහතින් විස්තර කළ අර්ථයට අමතරව තවත් අර්ථයක් “secular” යන වදනින් සන්නිවේදනය වේ. එනම්, “ඓහිකත්වය” යන අර්ථය යි. ඓහිකත්වය කේන්ද්‍ර කරගත් ස්ථාවරයක් වන ඓහිකවාදය විශ්වසය කරන්නන් හෙවත් ”ඓහිකවාදීන්” විසින් “secular” යන ඉංග්‍රීසි වදන භාවිතයේ දී ඔවුන් අදහස් කරන්නේ ඉහතින් විස්තර කරන ලද “ලෞකිකත්වය” නොවේ. එම නිසා, ‍ඓහිකවාදීන් විසින් “secular society” යන යෙදුම භාවිත කළ විට ඔවුන් එතැනින් යාඥා කිරීම යනාදී “ආගමික ක්‍රියාවන්” අමතක කර දමා ක්‍රිකට් සෙල්ලම් කිරීම වැනි “ලෞකික ක්‍රියාවන්” සිදුකරන්නන්ගෙන් යුක්ත සමාජයක් අදහස් කරනවා යනුවෙන් නිගමනය කිරීම වැරදි ය. මන්දයත්, ඓහිකවාදීන් විසින් ඔවුන්ගේ ඓහික කතිකාවත තුළ “secular society” යනුවෙන් අදහස් කරන්නේ “ඓහික සාමාජය” යන අදහස විනා “ලෞකික සමාජය” යන අදහස නොවන බැවිනි. ඓහික සමාජයක් යනු රජය ඓහික වූ සමාජයකි. ඉදින්, රජය ඓහික වීම යනු කුමක්ද?


සරලව කිවහොත්, රාජ්‍ය තන්ත්‍රයේ ඓහිකභාවය යනු රජය විසින් ආගම් පිළිබදව උදාසීන ස්ථාවරයක් දැරීම යි. එනම්, රජය විසින් යම් ආගමක් සදහා ප්‍රමුඛස්ථානයක් හෝ වරප්‍රසාධිත ස්ථානයක් ලබාදීමකින් තොරව සිටීම හෙවත් ”ආගම” නැමති මාතෘකාව රජයට අදාල කර නොගෙන සිටීම යි. මේ නයින් බලන කළ පෙනී යන්නේ ක්‍රිස්තියානී හෝ ඉස්ලාමීය දේවතාන්ත්‍රික රාජ්‍යයක් ඓහික රාජ්‍යයක් ලෙස නොගැනෙන බවයි. දැන් පැන නගින ප්‍රශ්නය වනුයේ නිර්ආගමිකත්වය සදහා මුල් තැන දුන් ස්ටාලින්ගේ රුසියාව හා මාවෝගේ චීනය යනාදී රාජ්‍යයන් ”ඓහික රජයන්” ලෙස ගැනෙනවාද යන්න යි. පිළිතුර වනුයේ ”නැත” කියා යි. මන්දයත්, ආගම් සම්බන්ධයෙන් උදාසීන ස්ථවරයක් දැරීම තුළ ආගමේම ධ්‍රැවීය ප්‍රතිලෝමය වන නිර්ආගමිකත්වයට මුල්තැන දීමක් ගම්‍යමාන නොවන බැවිනි. එනම්, ඓහික රාජ්‍යයක් විසින් යම්කිසි ආගමක් මෙන්ම නිර්ආගමික ලෝදැක්මක් ද ප්‍රමුඛස්ථානයෙහි ලා සළකන්නේ නැත.

එනමුත්, ඓහික රජයක් ඇති සමාජයක ජීවත් වන ජනතාවට තමන්ගේ පෞද්ගලික ජීවිතය තුළ විවිධ වැඩ කටයුතු වල දී ආගමට මුල් තැන දීමක් සිදු කළ නොහැකි බව මින් ඇගවෙන්නේ නැත. උදාහරණයක් ලෙස, යම් කෙනෙකුට තම නිවසට මුල් ගල් තැබීමේ දී ආගමික චාරිත්‍රයන්ට මුල්තැන දීමට අවශ්‍ය නම් එය එසේ සිදුකිරීමට ඓහික සමාජයක් තුළ බාධාවක් නොමැත. ඓහික සමාජයක් තුළ ආගම සමග හාද වීමෙන් වැළකී සිටිනුයේ රජය පමණක් විනා සමස්ථ සමාජයම නොවේ.

ඓහික සමාජයක ඇති වාසියක් වනුයේ එහි ඇති ප්‍රායෝගික බවයි. මානව ඉතිහසය තුළ තමන්ගේ ආගමට ප්‍රමුඛස්ථානයක් ලබාගැනීම උදෙසා සිදුකරනු ලැබූ යුද්ධයන් අන්තවත් ප්‍රමාණයකි: කිතුණුවන්ට එදිරි ප්‍රොතෙස්තන්තයින්, සුන්නිවරුන්ට එදිරි ශියාවරුන්, යුදෙව්වන්ට එදිරි මුස්ලිම්වරුන්. ආගම හා රජය එකිනෙකෙන් ස්වාධීන වීම තුළ මෙවැනි ගැටලුකාරී තත්ත්වයන්ට වඩා ප්‍රායෝගික විසදුමක් ලැබේ.

අප සමාජය තුළ ඓහිකවාදී ස්ථාවරයට පහර වදින විවිධ මතයන් ඉදිරිපත් වීම සුලභ හා සාමාන්‍ය දෙයකි.. එලෙස ඉදිරිපත් වන මතයන් අතරින් කිහිපයක් වනුයේ,

රජය විසින් යම් ආගමකට ප්‍රමුඛස්ථානය දී සුරැකිය යුතුය.

රජය විසින් ආගම් විවේචනය කරන හා උපහාසයට ලක් කරන කාටූන්, පොත්පත්, නාට්‍ය වැනි මාධ්‍යයන් තහනම් කළ යුතු ය.

ඒ ඒ පාසල් ඒ ඒ ආගම් හා අනුබද්ධ විය යුතු ය.

සැමට බලපාන පොදු නීති යම් ආගමක නීති හා ගැටේ නම් ආගමික නීතින්ට මුල්තැන දිය යුතු ය. (උදා – 1/ හැදුනුම්පත සදහා ගනු ලබන ඡායාරූපය සදහා මුහුණ නිරාවරණය කළ සිටිය යුතු ය. නමුත්, ”ආගමික නිදහස” යටතේ හිජාබයෙන් මුහුණු ආවරණය කරගෙන හැදුනුම්පත සදහා වන ඡායාරූපයට පෙනී සිටිය හැකි ය. 2/ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම පිළිබදව වන නීති රජයේ ඉඩම් තුල අනවසර ලෙස සෑදූ බුදුපිළිම වලට අදාල නොවේ.)

ඉහතින් සදහන් කළ මතයන් යුක්තිසහගත යැයි බොහෝ දෙනා පිළිගනු ලැබේ. නිරාගමික පුද්ගලයින් අතරින් සැළකිය යුතු පිරිසක් පවා මෙයින් එකක් කෙරෙහි හෝ අනුවේදනයක් ඇති අය වන්නට පුලුවණි. නමුත්, ඉහත සදහන් කර ඇති මතයන් ඇත්තටම සාධාරණීකරණය කර ඇති ඒවාද? ඒ පිළිබද විමසා බැලීම පිණිස පහත චිත්ත පර්යේෂණයේ නියැලෙන්න.

ඉහත වාක්‍යයන්ගේ “ආගම්” යන වචනය වෙනුවට “දේශපාලන පක්ෂ” යන යෙදුම ආදේශ කරන්න. එලෙස ආදේශ කළවිට අපට ලැබෙනුයේ,

රජය විසින් යම් දේශපාලන පක්ෂයකට ප්‍රමුඛස්ථානය දී සුරැකිය යුතු ය.

රජය විසින් දේශපාලන පක්ෂ විවේචනය කරන හා උපහාසයට ලක් කරන කාටූන්, පොත්පත්, නාට්‍ය වැනි මාධ්‍යයන් තහනම් කළ යුතු ය.

ඒ ඒ පාසල් ඒ ඒ දේශපාලන පක්ෂ හා අනුබද්ධ විය යුතු ය.

සැමට බලපාන පොදු නීති දේශපාලන පක්ෂයන්ගේ නීති හා ගැටේ නම් දේශපාලන පක්ෂ වල නීතින්ට මුල්තැන දිය යුතු ය.

ආගමික භක්තිකයින් ද ඇතුලු සෑම දෙනාම පාහේ මෙම වාක්‍යයන් හා එකග වීමට ඇති සම්භාවිතාවය ඉතා අල්ප ය. උදාහරණයක් ලෙස, විවේචනය යනු ප්‍රජාත්‍රාන්තික සමාජයක යහපත් අංගයකි. එමෙන්ම, උපහාසය යනු කථන නිදහසේ මූලික අංගයකි. එබැවින්, යම් දේශපාලන පක්ෂයක් කොතරම් කාරුණික පක්ෂයක් වුවත් එම පක්ෂය විවේචනයට හා උපහාසයට නිර්මුක්ත වන්නේ නැත. නමුත්, මෙම වාක්‍යයන්ට එරෙහි වන අතරම මේ වාක්‍යයන්ගේම ”ආගමික වර්ෂන්”’ වලට එකග වීමේ හේතුව කුමක්ද? ප්‍රති-ඓහිකවාදීන් හට පිළිතුරු දීමට ඇති අභියෝගය නම් එයයි. මෙම අභියෝගය වඩවඩාත් තීව්ර වන්නේ අප සමාජය තුළ බොහෝවිට දේශපාලන මතයන් ලෙස කරලියට නැගෙන්නේ ආගමික මතයන්ම වන නිසා ය. නිදර්ශනයක් ලෙස, සමලිංගිකත්වය, ගබ්සාව, ජිහාද්, මූලික සෛල පර්යේෂණ (stem cell research), ඊශ්‍රාලයේ පැවැත්ම, අන්‍යාගම්කරණය, ගව මස් කෑම, ගව ඝාතනය, ස්ත්‍රීවාදය යනාදී මාතෘකා පිළිබදව වන දේශපානික මතයන් ඒ ඒ මාතෘකා පිළිබදව වන ආගමික මතයන් හා සම්පාත වේ.

මෙම අභියෝගයට දිය හැකි එක් පිළිතුරක් වන්නේ ආගම් අදහන අය විසින් තම ආගමට යම් විවේචනයක් එල්ල වුවහොත් ප්‍රචණ්ඩකාරී විය හැකිය යන්න යි. නමුත්, එය රජය විසින් ආගමික විවේචනයන් තහනම් කළ යුතු යැයි ඔප්පු කිරීම පිණිස ප්‍රමාණවත් පිළිතුරක් නොවේ. දේශපාලන පක්ෂ වල ආධාරකරුවන් ද තම පක්ෂයට එල්ලවන විවේචන ඉදිරියේ ප්‍රචණ්ඩ වන බව නොරහසකි. නමුත්, දේශපාලන පක්ෂයන් සියලු විවේචනයන්ගෙන් නිරුමුක්ත කළ යුතු බව එයින් නොඇගවේ. දැඩි ආගමික භක්තිකයන් තමාට එල්ලවන විවේචන ඉදිරියේ ප්‍රචණ්ඩකාරී වන බැවින් එම විවේචන ඉදිරිපත් කරන්නන් විසින් ඒ ගැන සැළකිලිමත් විය යුතු ය. නමුත්, රජය විසින් ආගම් විවේචන වලින් සුරැකිය යුතු බවක් එයින් ගම්‍යමාන වන්නේ නැත. අනෙක් අතට, “ආගම් අදහන අය තම ආගමට යම් ව්වේචනයක් එල්ල වුවහොත් ප්‍රචණ්ඩකාරී විය හැකිය” යනුවෙන් මෙම අභියෝගයට පිළිතුරු ලබා දීමේ දී අප විසින් ව්‍යංගයෙන් සමාජගත කරන පණිවිඩය වනුයේ “ඔබත් හැකිතරම් ප්‍රචණ්ඩකාරී වන්න. එවිට රජය විසින් ඔබේ ආගමික විශ්වාසයන් ද සුරැකිනු ඇත.” යන්න නොවේ ද?

ප්‍රති-ඓහිකවාදියෙකුට ඉහත කී අභියෝගයට පිළිතුරු දිය හැකි තවත් ආකාරයක් නම් ”මිනිසුන් විසින් සිය ආගමික විශ්වාසයන් බොහෝ භක්තිමත් ලෙස ග්‍රහණය කරගෙන ඇති බැවින් දේශපාලන විශ්වාසයන්ට වඩා විශේෂ සැළකීමක් රජය විසින් ආගම් වලට දැක්විය යුතුයි” යනුවෙන් තර්ක කිරීම ය. නමුත්, ගැඹුරෙන් බලන කළ පෙනී යන්නේ මෙම තර්කය ද සාර්ථක තර්කයක් නොවන බවයි. දේශපාලන විශ්වාස ද ආගමික විශ්වාස මෙන්ම දැඩි භක්තියකින් යුතුව ග්‍රහණය කිරීමට පුලුවණ. පසුගිය දිනෙක සිය දේශපාලන පක්ෂයට ඇති භක්තිය හා ආදරය නිසා සිරුරට ගිනි තබා ගත් එජාපයේ රියෙන්සි අල්ගම මහතා ඒ සදහා සාක්ෂි දරයි. මින් පෙනීයන්නේ ආගමික පුද්ගලයින් තුල සිය ආගමට ඇති දැඩි භක්තිය වනාහී දේශපාලන විශ්වාසයන්ට නැති විශේෂ සැළකිල්ලක් ආගම් වලට දැක්වීම සාධාරණීකරණය කරනු ලබන සාධකයක් නොවන බවයි.

ඓහිකවාදය පැහැදිලි කිරීමෙහිලා මෙහිදී කෙරුණු විස්තර දැක්වීම සාරංශ කොට දක්වන්නේ නම්, ඓහිකත්වය යනු ලෞකිකත්වය නොවන බව ප්‍රථමයෙන් අවධානය යොමුකෙරුණු කාරණය යි. එමෙන්ම, යම් අයෙකු විසින් “රජය විසින් දේශපාලන පක්ෂයන්ට වරප්‍රසාධිත තත්ත්වයක් දීම වැරදිය” යන ප්‍රස්තුථය පිළිගන්නා අතරම “රජය විසින් ආගමකට වරප්‍රසාධිත තත්ත්වයක් ලබා දිය යුතු ය” යන ප්‍රස්තුථයත් පිළිගැනීම ස්වප්‍රතිරෝධී බව මෙහිලා අවධානය යොමු කෙරෙණු අනෙක් කරුණ යි.


Who we are...

Our membership is open and all are welcome, religious as well as non-religious, atheists, agnostics, freethinkers, secularists, skeptics, humanists, and individuals who are questioning and searching beliefs with open mind.  We campaign for a Secular Sri Lanka, moving forward with an amended Secular Constitution, promoting Science and Reason as the central doctrine in democratic governance. Religion should be strictly a private matter of Sri Lanka's citizens, and The Republic needs strict separation from religion to foster freedom for religion and freedom from religion.  We encourage and promote a much needed dialogue for a constitutional amendment to separate religion from Sri Lankan State.

The ideological differences that we have within us is an encouragement as long as we agree on the common goal of secularization of Sri Lankan public affairs. We should never stop challenging our own views. If we don't do that, as a nation we would become close-minded ourselves. If everyone here thinks the same it would be uninteresting, and moreover it would be a formula for stagnation as we would become more and more self-centered, and would become oblivious to the real challenges ahead of us in achieving our goals.

Those who disagree with us that Sri Lanka is not going to be benefited by secularization; if you are honest about your opinion, then we have one thing in common; we all like to make Sri Lanka a better place. You can still join our group. We can discuss, debate or agree to disagree with each other. However, we don't have to undermine each other with false allegations. We just agree on ends, but only disagree on means to get there.

Our goal is to foster a Secular Society based on science, reason, freedom of inquiry, and humanist values. We do not encourage partisan politics in these discussions, or allow race or ethnicity based division, ethnic recognition or identification of ourselves or other Sri Lankans, and consider these ethnic identities are completely outdated and irrational divisions for a modern, progressive and forward looking Sri Lanka.

We encourage both majority and minority participation based on traditional divisions still exist in our society, and highlight the need to campaign for the equal rights, equal opportunity, affirmative action and freedom for the underrepresented groups living in a free and democratic Sri Lanka. We do not in any form support ethnic politics or ethnically divided political environment within Sri Lanka.