CD01F08.0

Signup

අළුත්වීම් ගැන දැනගැනීමට කැමතිනම් මෙම Google සමූහයට එක්වන්න  (ඔබට Google Account එකක් තිබේනම්)

නැතිනම් පහත ලිපිනයට හිස් email එකක් එවීමෙන්ද සමූහයට එක්විය හැක.

මේ ලිපිය ටයිප් කර දුන් H.M විමලාවතී මහත්මියට ඉක්මන් නිවන් සුව!

අපි දකින්න ඕන, සං කියන වචනය.  අපිට මේ හිත කියන එක වැටහෙන්නෙ වේදනා, සඥ්ඤා, සංඛාර, විඤ්ඤාණ කියන මේ ඔක්කෝම එකතු වෙලා. ඕව වෙන් වෙන් කරල වෙලා වටහා ගන්න ගියොත් එහෙම හිත වටහා ගන්න බැහැ. එහෙනං හිත හැදිල තියෙන්නෙත් සං වෙලා. ගත හැදිල තියෙන්නෙත් සං වලින්. ලෝකය හැදිල තියෙන්නෙත් සං නිසා. මේ සං කියන වචනයෙ විස්තරය ඔහොම තෝර ගන්න ඕන. සං යම් තැනක නැද්ද, ලෝකය එතන නැහැ‍. සං ඔය විදිහට තෝර ගත්තහම හරි. මා කියන වචනයෙන් පෙන්නන්නෙ මිදෙනව කියන එකයි. මා හෝතු ජාති ජාතිනං. ජාතිවත් මට නොවේවා. මා මේ බාල සමාගමෝ. මට බාල සමාගමයක් නොවේවා. යම් තැනක මිදෙනවද නොවෙනවද, අන්න ඒ අර්ථය පෙන්වන වචනය තමයි මා කියන පදය.

සං කියන එකතුවෙන් මිදීමට හේතුවෙන යමක් වේද සං මා. ලෝකයෙන් මිදීමට හෙවත් ලෝකෝත්තරත්වයට කියන තවත් වචනයක් තමයි සම්මා. මෙන්න මෙච්චර කල් යටපත් වෙලා තිබුන සම්මා කියන වචන‍යෙ දහම් අර්ථය, නිරුක්තිය, ශාසනික අර්ථය. සං කියන එකතුවෙන් යම් මිදීමක් සඳහා දැකිය යුත්තක් ඇද්ද ඒකට කියනව සම්මා දිට්ඨි. දැන් අපිට අර හරි දැකීම නිවැරදි දැකීම යහපත් දැකීම කියනකොට යම් වැටහීමක් ආවද, ඒ ඔක්කොම ලෞකිකයි. සං කියන එකතුවෙන් මිදීම සඳහා දැකිය යුත්ත සම්මා දිට්ඨියයි කියන කොටම අපිට අවශ්‍ය ප්‍රශ්නෙට පිලිතුර හම්බ වෙනව.

සං කියන මේ පැවැත්මෙන් එකතුවෙන් මිදීම සඳහා දකින්න ඕන මොකක්ද? මටත් ඕන ඒක දැකගන්න තමයි. අන්න අපේ ප්‍රශ්නයට අදාල පිලිතුර එනව.  කෙනෙකුට නිවන් දකින්න සම්මා දිට්ඨිය තෝරගන්න ඕන නම් මෙන්න අදාල පිලිතුර ලැබෙන අදහස එන හැටි. සං කියන එකතුවෙන් මිදීමට යමක් දැකිය යුතුද, ඒක සම්මා දිට්ඨියයි. ආන්න මගේ ප්‍රශ්නයට අදාල තැනට ආව. මටත් ඕන අන්න ඒක දැන ගන්නයි. අන්න ඒ සං කියන එකතුවෙන් මිදීමට දැකිය යුත්ත මොකක්ද කියල දැනගත්ත නම් මට මගේ ප්‍රශ්නයට නියම පිලිතුර  හම්බවුනා කියල සන්තෝෂ වෙන්න පුලුවන්. එහෙනං සම්මා දිට්ඨි තෝරා ගැනීම අත්‍යවශ්‍යයි.

දැන් මේ වෙලාවෙදි අපිට ප්‍රශ්නයක් එනව ලෝකෙ සම්මා දිට්ඨි කියල එකක් තියනව. ඒකයි අපි අහල තියෙන්නෙ. එතකොට බුදු පියාණන් වහන්සේ හොඳට පැහැදිලිව දේශනා කරනව “මේ ආර්ය අශ්ඨාංගික මාර්ගයේ පෙන්වන අදහස දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බමුණන් සහිත ලෝකයෙහි මා හෝ මාගෙන් අසා දැනගත්තෙක් හැර තවත් දන්න කෙනෙක් නැහැ. මං පෙන්වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය මෙන්න මෙහෙම එකක්” කියල.

එහෙනං අපි දැනගන්න ඕන මෙච්චර කල් ලෝකයේ තිබිච්ච අතරමං ‍වෙච්ච මුලා වෙච්ච අර සුගතියට හේතුවන කෙලෙස් සහිත සම්මා දිට්ඨි කථාවෙන් අපට ඇති වැඩක් නැහැ. හැබැයි වෙන් කරල දැනගන්න ඕන නිසා ඒකත් දැනගන්න ඕන. හැබැයි ඒක අපිට භාවිතා කරන්න වැඩක් නැහැ. භාවිතා කරන්න වටිනා එකක් අපිට ඒකෙ නෑ. දැන් අපිට වටින්නෙ මොකක්ද? සං කියන එකතුවෙන් මිදීමට යම් දැකිය යුතු සම්මා දිට්ඨියක් ඇද්ද අපිට ඒක අවශ්‍යයි සසර දුකෙන් මිදෙන්න, අනාතයෙන් මිදෙන්න. අන්න ඒකයි අපිට ඕන කරන බණ. මෙන්න මේ සම්මා දිට්ඨිය අපි දැනගන්න ඕන. අන්න “සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය හැටියට දැනගනී. මිච්චා දෘෂ්ඨිය මිච්චා දෘශෂ්ඨිය හැටියට දැන ගනී”. අන්න ඉස්සලේලම තෝරගන්න එක.  “සම්මා දිට්ඨිය දෙආකාරයි කියා දැනගනී. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සුගතියට හේතු වෙනව. අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙනව”.

එතකොට මිත්‍යා දෘෂ්ඨිය කිව්වෙ මොකක්ද? දස වස්තුක මිත්‍යා දෘෂ්ඨියයයි යමක් වේද ඒක මේක ලෝකයේ මිත්‍යා දෘෂ්ඨියයයි කියන සම්මතයට අයිතියි. මේවා තමයි ලෝක සම්මතයේ මිත්‍යා දෘෂ්ඨිය. මොනවද, නත්ථි දානං. දන් දීල වැඩක් නැහැ. ඒකෙන් පිනක් නැහැ. ඒවාගෙම එකින් එකට විග්‍රහ වෙනව. දානයෙ ඵලක් නැහැ. ඒවගෙම පූජාවෙ ඇති ඵලයක් නැහැ. ඕවයෙ පිනකුත් නැහැ. ඕවයෙ ඇති වැඩක් නැහැ. හරයක් නෑ හිස් දේවල්. යම් කෙනෙක් මලාට පස්සෙ ඔක්කොම ඉවරයි. ආයෙ සැරයක් උපදින්නෙත් නැහැ. කරපු පිං පව් වලට විපාක දෙනව කියන ඒව ඔක්කොම කථා බො‍රු. ඔහොම කථා කියනව. පිං එහෙම කියල විශේෂයක් නැහැ. මොනව කලත් පිං කියල එකක් හැදෙන්නෙ නැහැ. පව් කියල කිව්වට කොච්චර මැරුවත් පව් කියල එකක් නැහැ. අසාධාරණය කලාට පව් කියල පල දෙන්න එකක් නැහැ. මවුට සැලකුව කියල විශේෂයක් නැහැ. පියාට සැලකුව කියල විශේෂයක් නැහැ. ඒවගෙම යහමගට පත් වෙලා මග පෙන්නන මහණ බමුණො ඉන්නව කිවුවට එහෙම එකක් නැහැ. ඕව ඔක්කොම වාසියට කන්න හදාගත්ත බොරු කථා.  ඔය විදිහට එකින් එකට විග්‍රහ වෙනව.

දැන් මෙන්න මෙ‍හෙම කියල මිත්‍යා දෘෂ්ඨියක් ලෝකයාගෙ තියනව. මෙන්න මේවට කියනව දස වස්තුක මිත්‍යා දෘෂ්ඨිය කියල. ලෝක සම්මතයේම යම් මිත්‍යා දෘෂ්ඨියක් තියෙනවනං, මෙන්න මේකටයි මිත්‍යා දෘෂ්ඨිය කිව්වෙ කියල දැනගන්නව.

ඒ වගේම ලෝකයේ සම්මා දිට්ඨියක් තියනව. “නෑ නෑ එහෙම කියන්න එපා. දීමේ විපාක තියනව. පූජාවෙ විපාක තියනව. මව්ට සැලකීමේ ආනිසංසයක් තියනව. පියාට සැලකීමේ ආනිසංසයක් තියනව. ඒවගෙම මෙලොවක් තියනව. පරලොවක් තියනව. ඕව නැතුව නෙවෙයි. ඒවයෙ පල දෙන කර්ම බලවේගයක් තියනව. ඒව ඒ විදිහට පෙන්වන මහණ බමුණන් ඉන්නව”. මේ ආදී වශයෙන් එසේ විශ්වාස කරන්නාවූ සම්මා දිට්ඨියක් තියනව. මේක කෙලෙස් සහිතයි. සසර ගමනට හේතු වෙනව. ඒ වගේම සුගතියට හේතු වෙනව මේ සම්මා දිට්ඨිය. මෙන්න මේක තමයි ලෞකික සම්මා දිට්ඨිය. ඔය සම්මා දිට්ඨිය බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ඉස්සෙල්ලත් ලෝකෙ තිබුන. එතකොට බුදුරජාණන් වහන්සේ  පෙන්නපු සම්මා දිට්ඨිය මොකක්ද?

මෙන්න මෙතෙන්දි දැනගන්න ඕන ලෝකයා ප්‍රිය ස්වභාවයෙන් මධුර ස්වභාවයෙන් බදාගෙන, අල්ලගෙන ඡන්ද රාගයෙන් බැඳිල සැපයි සැපයි කියන වැරදි ආකල්පයකින් යම්කිසි දෘෂ්ඨියකින් ඉන්න යමක් ඇත්නම් ඒ දුකෙහි සැප සංඥාවක් දකිනව. ඒ වාගෙම නිවනෙහි දුක්ඛ සංඥාවක් දකිනව. නිවනට කැමති නැහැ. දුකට කැමතියි. සැපයි කියන්නාවූ ලෝකයේ සම්මතයක් තියනවනම් ඒ සම්මතයට කැමතියි. ඒක දුකයි කියල පිලිගන්න කැමති නැහැ. දැනගන්න හේතු නැහැ. අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනත්ත වශයෙන් මේ ප්‍රිය මනාප කියන හැම දෙයකම යථාර්ථය දැක්ක කෙනා “මම දැන් දැකල තියනව ලෝකයේ ප්‍රියයි මනාපයි යහපතයි කියල කවුරු මොනව කිවුවත් ඒ හැම එකක්ම අනිච්චයි දුක්ඛයි අනත්තයි කියන ත්‍රිලක්ෂණයෙන් යුක්තයි” කියල. එහෙනම් ඒව අනාථ දහම්. ඒවයෙ සැරිසරන්න ගිය කෙනෙකුට සසර ගමනක් හැදෙනව. සසර ගමනෙන් බේරෙන්න බැහැ. දුකෙන් නිදහස් වෙන්න බැහැ.

මෙන්න මේ කාරණය දැනගත්ත කෙනාගේ දෘෂ්ඨිය පිරිසිදු වෙනව. “මට නම් මේ ලෝකයේ, කාම ලෝකයේ වේවා රූප ලෝකයේ වේවා අරූප ලෝකයේ වේවා කොයි ලෝකයක වේවා, පවතින යමක් ඇත්නම් අල්ලගන්න වටින එකක් ඔය කොතනකවත් නැහැ. රවුං ගහන්න වටින එකක් නැහැ කියල මම ධර්මානුකූලව දැකල තියෙන්නෙ”. මෙන්න මේ දැකීම යම් කෙනෙක් දැක්ක නම්, අන්න ඒ දැකීමේදී ඔහු නිගමනයක් කරනව. “එහෙනම් මා විසින් ගතයුතු තීරණය මොකක්ද? අනාථ ලෝකයෙන් අතහැරී යන්න ඕන නොඇලී යන්න ඕන මිදී යන්න ඕන. එහි යම් ඡන්ද රාගයක් තියෙනවනං ඒකෙන් මිදෙන්න ඕන. මෙන්න මේකයි මා විසින් දැක්ක ඇත්ත”. මෙන්න මේක දැක්ක නම් නම් එයාට කියනව ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත් වුනා. ඔන්න ලෝකෝත්තර සම්මා දිට්ඨිය.

සැප සැප යන සංඥාවෙන් ගත්ත නම් අරන් තියෙන්නෙ දුකක්, දුකට හේතුවක්. ඒ හේතුව ඇසුරු කරන්න ගිහිල්ල විඳින්න සිද්ධ වෙලා තියෙන්නෙ දුකක්. වැටිල තියෙන්නෙ අනාථයකට. ඒකෙන් මිදෙන්න නම් ඒ ඡන්ද රාගයෙන් මිදිල අත්ඇරී නොඇලී මිදී ගියොත් එදාට එහි තියෙන උපාදානය ඉවරයි. බැඳීම ඉවරයි. ඇලීම ඉවරයි. ඇලීමෙන් බැඳීමෙන් තොර වුනහම ඒ භවයත් ඉවරයි. භවය නැත්නම් ජාතියත් ඉවරයි.  ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සත් උපායාසත් ඉවරයි. ඒකයි මාර්ගය. මෙන්න මේ කාරණය තමා විසින් නුවණින් දැක්ක දාට ලෝකෝත්තර සම්මා දිට්ඨිය පහල වුනා. එයා දුක දුක හැටියට දැකල තියනව. දුකට හේතුව දුකට හේතුව හැටියට දැකල තියනව. දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධය හැටියට දැකල තියනව. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා මාර්ගය හැටියට දැකල තියනව.

මෙන්න මේකට දුක්ඛේ ඥාණං දුක්ඛ සමුදයේ ඥාණං දුක්ඛ නිරෝධේ ඥාණං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥාණං අයං උඡ්චති භික්ඛවේ සම්මා දිට්ඨි කියල ඥාණ සම්මා දිට්ඨිය කියනව. ඥාණ සම්මා දිට්ඨියෙන් පටන් ගෙන ලෝකෝත්තර සම්මා දිට්ඨියට වැටෙනව. ඔයින් එහා කම්මස්සගත සම්මා දිට්ඨිය ධ්‍යාන සම්මා දිට්ඨිය කියන මේ දෙක ලෞකික සම්මා දිට්ඨි වලට වැටෙනව. ධ්‍යානලාභීව වැඩ කලොත් ධ්‍යාන ලාභීව හිටියොත් ඒ කෙලෙස් යටපත් කරගෙන හිටපු කෙනාට බඹලොව උපදින්න පුලුවන්. ඒ වාගෙම කෙලෙස් සහගත ඒවයින් පීඩිත අසත්පුරුසකම් දූෂ්‍ය දස අකුසල් නොකර දස කුසලයේ යෙදිල ඉන්න පුද්ගලයාට කාම සුගතියේ උපදින්න පුලුවන්. මෙන්න මේ දෙක සම්මත ලෝකයේ තිබිච්ච ලෝකෙදි දැකගන්න පුලුවන් හරිය.

දුක්ඛේ ඥාණං දුක්ඛ සමුදයේ ඥාණං දුක්ඛ නිරෝධේ ඥාණං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥාණං අයං උඡ්චති භික්ඛවේ සම්මා දිට්ඨි කිව්ව හරිය, ඒ කියන්නෙ ලෝකෝත්තර සම්මා දිට්ඨිය, ලොව්තුරා බුදුවරයෙක් ලෝකෙ පහල වෙලා දේශනා කරල, ඒ දේශනාව ශ්‍රවනය කරල ඒ තුලින් වටහා ගත්ත කෙනෙක් තේරුම් ගත්ත ඇරෙන්න ලෝකෙ අනික් කිසිම කෙනෙකුට දැනගන්න තේරුම් ගන්න විදිහක් නැහැ. මේ සම්මා දිට්ඨිය එච්චර දුර්ලභයි, එච්චර වටිනව.

මෙන්න මේ සම්මා දිට්ඨියට පත් වුන කෙනාට චතුරාර්ය සත්‍යය පිලිබඳ දර්ශනය පහල වෙලා දර්ශන ඥාණය හෙවත් දහම් ඇස පහල වුන කෙනෙක් කියනව. සෝතාපන්නයි. මෙන්න මෙතෙන්ට සකස් වුන කෙනා  “සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය සේ දැන ගනී. සම්මා දිට්ඨිය දෙආකාරයි. එකක් ලෞකිකයි. එකක් ලෝකෝත්තරයි” කියන්නෙ මෙන්න මේකයි කියල දැනගන්නව. මේ ටික දැනගත්තම සම්මා දිට්ඨිය පිලිබඳ දැනගත යුතු සම්මා දිට්ඨිය පහල වෙලා ඉවරයි. මෙන්න මේකට කියනව සම්මා දිට්ඨිය පිලිබඳ සම්මා දිට්ඨියට පත් වුනා කියල.

අන්න එයාට දැන් කවුරුවත් නොකිව්වට එක දෙයක් මතුවෙලා එනව. ඉතින් මේ දැනගත්ත මෙච්චර වටිනා නිදහස් වීමේ මග මට වැටහිලා තියෙද්දි, මම ඒක අමතක කරල තව දුරටත් ඉන්නවද? එහෙම නැත්නං යලි යලි ආවර්ජනය කරල ප්‍රගුණ කරල මේකෙන් ලැබිය යුතු ඵලය දරා ගන්නවද?  මා විසින් බැසිය යුතු තීරනය මොකක්ද? කියන ප්‍රශ්නයක් එනව. මෙන්න මේ වෙලාවෙදි දකිනව “මම කරන කියන හිතන යමක් ඇත්නම් මෙන්න මේ නිවන් දැකීමට හේතුවෙන සම්මා දිට්ඨියට අනුකූලද කියල නිතර බලන්න පුරුදු වෙන්න ඕන. නිතර හිතන්න පුරුදු වෙන්න ඕන. හිතල ඊට අනුකූලව හිතන්න කියන්න කරන්න පුරුදු වෙන්න ඕ‍නෙ” කියල. ඔය අදහස ගත්තහම සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා වායාමය නැගෙනව.

සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨිය කියන්නෙ පරිවාර ධර්මය. සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා වායාමය කියන්නෙ හැම වේලෙම ඔහු විසින් කරන කියන හිතන කටයුතු පිළිබඳව සතියෙන් යුක්තව ජීවත් වෙනව කියන එකයි. මේක නිවනට හේතු වන එකද, සසරට හේතු වන එකද, නැත්නම් සතර අපායට යන මිත්‍යා දෘෂ්ඨියට හේතු වන එකද. මෙන්න මේ මනා සිහියෙන් ඉන්නකොට ඔහුට සතිය වැඩෙන්න පටන් ගන්නව. මේකට කියනව සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා සතිය පරිවාර කරගෙන තියෙනව කියල. ඔන්න ඔය කාරණා ටික තේරුම් ගත්ත කෙනාට ආයෙත් කාගෙන්වත් සම්මා දිට්ඨියට පත් වෙන්නෙ කොහොමද, සම්මා දිට්ඨිය කියන්නෙ මොකක්ද, ගුරුවරයෙක් මට දැන් ඕනද කියන ප්‍රශ්න ඔක්කොම ඉවරයි.

දැන් තමාටම නුවණින් තෝරාගන්න පුලුවන් සම්මා දිට්ඨිය පත් වෙන හැටිත්, යමක් සම්මා දිට්ඨිද නැද්ද කියලත්. ඒ තුල මා විසින් ක්‍රියාත්මක විය යුතුද නැද්ද කියන තමාගේ තීරණයත්, ඊට අනුකූලව තමා විසින් අප්‍රමාදයෙන් යුක්තව සම්මා දිට්ඨිකව කටයුතු කිරීමේ හැකියාවත් ඔක්කොම ලබල ඉවරයි. දැන් ඔහුට තියෙන්නෙ මාර්ගය වඩාගෙන යන්න. කාගෙවත් ප්‍රශ්නයක් නෑ. පරප්‍රත්‍යය රහිතයි. ආධාර අවශ්‍යය නෑ. ඔන්න ඔතෙන්ට පත්වුනාම කියනව සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨියට පත් වුනා. සම්මා සතියෙන් සහ සම්මා වායාම‍යෙන් වටකරගත්ත. මෙන්න මෙතෙන්ට ආවට පස්සෙ බුදුරජාණන් වහන්සේ දේශනා කල සම්මා දිට්ඨියට පත්වෙලා වඩන්න පුලුවන් කෙනෙක් බවට පත් වුනා. මෙන්න පලවෙනි එක. දැං කොච්චර වැදගත්ද, කොච්චර හැංගිලද?  ඔය ටික මතුඋනා නම් අද ඔය ප්‍රශ්න එකක්වත් තියනවද? දැන් ඉතින් සම්මා දිට්ඨිය කොච්චර ලස්සනට තේරුනාද?

එතකොට අපිට දැනගන්න පුළුවන් අපිට සම්මා දිට්ඨිය තිබුනද? අපි සම්මා දිට්ඨි‍යේද ගියේ. අපිට ගුරුවරයෙක් නැතුව සම්මා දිට්ඨිය හොයාගෙන යන්න මාර්ගය වඩාගන්න ක්‍රමයක් තිබුනද? දැන් තියෙනවද? දැන් ඔක්කොම අහුවෙලා. එහෙනම් මෙතෙන්ට පත් වුනාට පස්සේ ආ‍යෙ සැරයක් අපිට මේ සම්මා දිට්ඨි කථාවක තර්කයක් වාදයක් කරන්න මොකුත් ඉතුරු වෙලා නැහැ. ඕක බොරුයි කියන්න සමතෙකුත් ලෝකෙ නැහැ. බුදුරජාණන් වහන්සේම දේශනා කරනව මේ රටා ක්‍රමය මෙහෙම නෙවෙයි කියන්න සමතෙක් තුන් ලෝකෙම නැහැ කියල. හේතු සාධක ඇතිව ඔප්පු කරන්න බෑ. පරමාර්ථ සත්‍යය ඕකයි. අන්න සම්මා දිට්ඨිය ඔය විදිහට දැං තේරුම් ගත්ත.

ඊලග මාර්ගහංගය තමයි සම්මා සංකප්ප මාර්ගහංගය. “සම්මා සංකප්පය සම්මා සංකප්පය සේ දැනගනී. මිච්ඡා සංකප්පය මිච්ඡා සංකප්පය සේ දැනගනී. සම්මා සංකප්පය දෙආකාරයි කියා දැනගනී. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සසර ගමනට සුගතියට හේතු වෙනව. අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙනව”. මෙන්න මේ ටික පිළිබඳ විස්තරයක් ඊළගට දැනගන්න ඕන. කාම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා විහිංසා සංකල්පනා යයි යමක් වේද, මේවා මිච්ඡා සංකප්ප හැටියට දැනගන්නව. අව්‍යාපාද සංකල්පනා අවිහිංසා සංකල්පනා නෙක්ඛම්ම සංකල්පනා යයි යමක් වේද සම්මා සංකප්ප වලට වැටෙනව කියල දැනගන්නව.

සම්මා සංකප්ප දෙආකාරයි. අව්‍යාපාද සංකල්පනා අවිහිංසා සංකල්පනා නෙක්ඛම්ම සංකල්පනා වලින් ලෝකෙ ඉස්සරත් තිබිච්ච හරියක් තිබුන. ‍වෛර නොකරාවා ක්‍රෝධ නොකරාවා හිංසා නොකරාවා සමගියෙන් සමාදානයෙන් ජීවත් වෙන්න ලැබේවා කියල වඩන ලෞකික මෙත් වැඩීමක් තිබුන. ඔතන තියනව ලෞකික වූ අව්‍යාපාද අවිහිංසා සංකල්පනාව. මේ සසරෙ ඉන්න කොට මේ පැවැත්මෙ ඉන්නකොට ගහ මරා ගන්න හේතු වෙනව කපා කොටා ගන්න හේතු වෙනව තරඟ කරන්න පොරකන්න හේතු වෙනව. ඒක හින්ද මට මහණවෙන එක ‍හොඳයි නැත්නං  පැවිද්දට යන එක හොඳයි කියල ඔය පරිබ්‍රාජක පැවිද්දෙන් තවුස් පැවිද්දට ගියා. ඒගොල්ලො ඒකට ඒ අදහස ගත්තම කියකව නෙක්ඛම්ම සංකල්පනා. මෙන්න මේක ලෞකික වූ නෙක්ඛම්ම සංකල්පනාවයි.

යම් කෙනෙක් මේ අනිච්ච දුක්ඛ අනත්ත ත්‍රිලක්ෂණයෙන් ලෝකයේ යථාර්ථය දැක්ක නිසා “මට මේ ලෝකෙ මොනව හම්බ කරන්නද? මොනව රැස් කරන්නද? කවුරු වෙන්නද? මොන හරයක් ඇති කෙනෙක් වෙන්නද? එහෙම වෙන්න වටිනා තත්ත්වයක් වටිනා කෙනෙක් වටිනා තානාන්තරයක් මට නම් මේ ලෝකෙ පේන්නෙ නැහැ. එ‍හෙනම් මේව බදාගන්න ගිහිල්ල බල්ලන්ට අහුවෙච්ච මස් කටු වාගෙ උගුස්සන්ට අහුවෙච්ච මස්කැටි වාගෙ මේවාට පොර කකා මේ නිස්සාර තත්ත්ව තානාන්තර පස්සෙ කුල මල බේද පස්සෙ ලොකුකම් පස්සෙ මහන්තත්තකම් පස්සෙ යනවනං මොන තරම් මෝඩ කමක්ද? මට නම් ඒකෙන් වැඩක් නැහැ” කියල අන්න ඒක දැක්ක කෙනාට “ලෝකයාගේ තරඟකාරී බඩු පොදියෙන් අහක් වෙලා ඉන්න ඕන. මම ඉවත් වෙන්න ඕන” කියල අදහසක් එනව. මෙන්න මේ සංකල්පනාව ආර්ය ධර්මය තුලින් නැගිල ආපු ආර්ය නෙක්ඛම්ම සංකල්පනාවයි.

ඒ වාගෙම “මං වෛර කරන්නෙ ක්‍රෝධ කරන්නෙ මොකටද? සත්ත්වයින්ට හිංගි හිංසා කරන්නෙ මොකටද? මොනව ලබා ගන්නද? මේ අසාධාරණ කරන්නෙ මොකටද? මේ සත්ත්වයෝ වැටිල ඉන්න අනාථත්වය මදිවටද? මේ අනාථයෝ වශයෙන් ඉන්න මේ ලෝක සත්වයාට නාථත්වය හෙවත් මේ නිවන පිළිබඳව යමක් කියා දීල කෙසේ ‍හෝ මේකට ගන්න මං රෑ දවල් උත්සාහ කල යුතුයි මිසක් මොනවද මේ ලෝක සත්ත්වයාට කරන්න තියන හිංගි හිංසා? වැඩක් නෑ නේද මේව?” කියල ධර්මාවබෝධය ලැබූ  කෙනාට අදහසක් එනව. මෙන්න මෙයාට එනව අව්‍යාපාද සංකල්පනා සහ අවිහිංසා සංකල්පනා. මෙන්න මෙබඳු අව්‍යාපාද සංකල්පනාවකින් අවිහිංසා සංකල්පනාවකින් නෙක්ඛම්ම සංකල්පනාවකින් යම් කෙනෙක් ගත කරනව නම් අන්න ඒයාට කියනව නිවන් දැකීමට හේතුවන ලෝකෝත්තර සම්මා සංකප්පයෙන් යුක්තයි. එයා දන්නව නිවන් දකින්න හේතුවෙන්නෙ මේකෙන් මෙන්න මේ ටිකයි කියල.

මේ ලෝක සත්ත්වයාට ලෞකික මෙත් වඩ වඩා ඉන්න අය‍ගෙ වැඩ පිලිවෙල ලෞකික සම්මා සංකප්පයට වැටෙනව. හැබැයි ඕක කෙලෙස් සහිතයි, සසර ගමනට හේතු වෙනව. නිවන් දකින්න හේතු වන එක නෙවෙයි. නමුත් ලෝක සම්මතයෙ තියන සුගතියට වැටෙන එකක්. “මට ඒකෙන් වැඩක් නැහැ. මට ඕන නිවන් දකින එක නම් නිවන් දකින්න හේතු වෙන එක ලබා ගන්නෙ මෙන්න මේ රටාව තුලින්”. එහෙම කියල  අනිච්ච දුක්ඛ අනත්ත තත්ත්වයෙං ලෝකයේ නිස්සාරත්වය දැකල, නිස්සාර ලෝකයේ අත්හැරී නොඇලී මිදීමෙන් ලබන්නා වූ අව්‍යාපාදය නෙක්ඛම්මය මෙසේ තේරුම් අරගෙන, අන්න ඊට අනුකූලවද මම කල්පනා කරන්නෙ? ඊ‍ට අනුකූලවද මම සිතුවිලි නගන්නෙ? අන්න එහෙම බලා ඉඳල මා විසින් මේ ටික කරගත්තොත් නම් මට නිවන් දකින්න පුලුවන් කියල කල්පනාවක් තුල තේරුම් ගන්නව. මෙන්න මේ කල්පනාව ‍තේරුම් ගත්තට පස්සෙ එයා දකිනව සම්මා සංකප්පය පිළිබඳ පරිවාර වූ සම්මා දිට්ඨිය පහල වුනා කියල. සම්මා සංකප්පය පිළිබඳ සම්මා දිට්ඨිය ඕකයි.

සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨිය පහල වුනා. දැන් සම්මා සංකප්පය පිළිබඳ ආර්ය සම්මා දිට්ඨිය පහල වුනා. මෙන්න පරිවාර ධර්ම. “දැන් සිතන සෑම සිතුවිල්ලක් ගානෙම අව්‍යාපාද අවිහිංසා නෙක්ඛම්ම යන හැම සිතුවිල්ලක්ම නිවන මූල් කරගෙන නිවනට හේතුකාරක වන්නාවූ අව්‍යාපාද සංකල්පනාවක් අවිහිංසා සංකල්පනාවක් නෙක්ඛම්ම සංකල්පනාවන් වශයෙන් මම නිතර වඩන්න ඕන. මෙන්න මේ වඩන කොට මගේ සංකල්පනා නිවන‍ට හිටිනව. නිවන අරමුණු කරගෙන හි‍ටිනව නිවන සිහිකරගෙන පිහිටනව”. මෙන්න මේ මනා සතියෙන් යුක්තව ඉන්න කොට සම්මා සංකප්ප පිළිබඳ සම්මා සතිය පහල වෙනව.

මෙන්න මේ සම්මා සතියෙන් යුක්ත වෙච්ච කෙනාට ඒ හේතුවෙන් මෙහෙම අදහසක් එනව. “දැන් ඉතින් ප්‍රමාද වෙලා බැහැ. වෙන වෙන සංකල්පනා වලින් හිටියොත් මට පාඩුයි. අප්‍රමාදයෙන් යුක්තව මෙන්න මේ සම්මා සංකප්පය තුල මා කටයුතු කරගෙන යන්න ඕනෑ” කියල. ඒ සඳහා උත්සාහයක් වීර්යයක් වැඩුව නම් ඒකට කියනව සම්මා සංකප්පය පිළිබඳ පරිවාර වූ සම්මා වායාම මාර්ග හංගය කියල. සම්මා සංකප්ප කියන මාර්ග හංගය තේරුම් ගත්තට පස්සෙ සම්මා දි‍ට්ඨි සම්මා සති සම්මා වායාම කියන මාර්ග හංග 3කින් සම්මා සංකප්ප මාර්ගය පරිවාර කරගෙන තියනව.

මෙන්න මේ ටික තේරුම් ගත්තහම නැවතත් සම්මා සංකප්ප කියන්නෙ මොකක්ද කියල කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. නිවන් දකින සම්මා සංකප්පය හොයන්නත් වඩන්නත් කාගෙන්වත් රුකුල් අවශ්‍යය නෑ. මෙන්න මෙතෙන්ට පත් වුනහම කියනව බුදු පියාණන් වහන්සේ දේශනා කරපු යම් සම්මා සංකප්පයක් ඇත්ද ඒක දැනගත්ත. නිවන් දකින සම්මා සංකප්පය කාගෙන්වත් අහන්නෙ නැතුව, අනුන්ගෙ උත්තර නැතුව, තමං හිතිය යුත්තෙ කොහොමද, කල්පනා කල යුත්තෙ කොහොමද කියන එක දැනගන්න තමන්ට හැකියාව ලැබුන. මෙන්න මේකට කියනව ආර්ය වූ සම්මා සංකප්පය පහල වුනා. දැන් මේව කොච්චර වැහිලද තියෙන්නෙ?

ඊලඟ මාර්ග හංගය, සම්මා වාචා කියන මාර්ග හංගය.  සම්මා වාචා සම්මා වාචා සේ දැනගනී. මිච්ඡා වාචා මිච්ඡා වාචා සේ දැනගනී. සම්මා වාචා දෙආකාරයි කියා දැනගනී. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි. සසර ගමනට හේතු වෙනව. එකක් ලෝකෝත්තරයි නිවනට හේතු වෙනව. මෙන්න මේ ටික විග්‍රහ කරල දැන ගන්නව. මුසාවාදා පිසුනාවාචා පරුෂා වාචා සම්පප්‍රලාපා යන යමක් ඇත්ද මේ ටික මිච්ඡා වාචා වලට අයිතියි. ඒ වාගෙම මුසාවාදයෙන් වෙන්වීම පිසුනා වාචාවෙන් වෙන්වීම පරුෂා වාචවෙන් වෙන්වීම සම්පපුලාපයෙන් වෙන්වීම සම්මා වාචාවට අයිතියි. සම්මා වාචා දෙආකාරයි.

මුසාවාදා පිසුනාවාචා පරුෂා වාචා සම්පප්‍රලාපා කියන ඒව වැරදි නිසා අයුතු නිසා මම කරන්නෙ නැහැ කියල ඒව නොකරපු අය අබුද්ධෝත්පාද කාලයෙත් හිටිය. හැබැයි ඒගොල්ලන්ට තිබුන මොකක්ද? සම්මා වාචා කියන ලෞකික මාර්ග හංගය. ඒගොල්ලො ‍ඒවයෙං ඉඳල සුගතියට පත්වුනා. බඹලොවටත් ගියා. හැබැයි නිවනට ගියේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සම්මා වාචා ඒ කාලෙ තිබුනෙ නැති නිසා. එහෙනම් ඒක මොකක්ද? ඒකෙ වෙනස මොකක්ද?

“මේ අනිච්ච වූ දුක්ඛ වූ අනත්තවූ නිස්සාරවූ ලෝකය තුල මොනව ලබා ගන්න බොරු කියන්නද? බොරුව අසාධාරන නිසා නෙමෙයි නොකිය ඉන්නෙ. වැඩක් නැති නිසා. බො‍රුවෙන් රවටල මොනව ලබා ගන්නද? අසාධාරණ ලෝකෙ නිස්සාර ලෝකෙ මොනව ‍කොටු කරගන්නද බොරු කියල? කේලාම් කියල අනුන් බිඳවල මං මොනව ලබා ගන්නද? පරුෂ වචන කියල අනුන් සැඩ බවට පත් කරල මට මොනව ලබා ගන්නද? ප්‍රලාපයෙන් ලෝකයා රස්තියාදු කරල මුලා කරල මොනව ලබා ගන්නද? එබදු නිස්සාර කථාවෙන් මට ඇති වැඩක් නැහැ. ලෝකයා මුලා වෙනව මිසක්, මුලා සහගත සසර ගමනට හේතු වෙනව මිසක් මට ඇති වැඩක් නැහැ. එහෙනම් මට එබඳු වන්නා වූ බොරු කීමක කේලාම් කීමක පරුෂ වචනයක ප්‍රලාපයක යම් කිසි අවශ්‍යතාවයක් තියනව නම් මට දැන් ඒව අවශ්‍ය නැහැ. මං ඒවයින් නික්මිල”.

මෙන්න මේ ධර්මාවබෝධය නිසා යම් කිසි කෙනෙක් මෙසේ බොරු කේලම් පරුෂ වචන ප්‍රලාප වලින් අත්ඇරී නොඇලී මිදී යාමක් සිද්ධ වෙනවනං මේකට කියනව ආර්ය වූ සම්මා වාචාව. ආර්ය අශ්ඨාංගික මාර්ගයේ නිවන් දකින සම්මා වාචාව කියන්නෙ මේකයි. මේක යමෙක්  ‍තේරුම් ගත්ත නම් එතනට පත්වුනා නම් ඊට පස්සෙ ඔහු යම් බොරුවෙන් වැලකිලා ඉන්නෙ කේලමෙන් වැලකිලා ඉන්නෙ අපායෙ යනවට ‍බ‍යෙන් වත් දිව්‍ය ලෝකයෙ යන්න ආශාවටවත් එහෙම මොකකටවත් නෙවෙයි. “මේ අයුතුකම් අසාධාරණකම් සසර ගමනට හේතු වන නිස්සාර දේවල්. සසර ගමනෙන් නික්මීමට මේව බාධාවක්. මේ සසර ගමනේ දුක්ඛිත ස්වභාවය, නිස්සාර ස්වභාවය දැනගෙන ඉන්න මට බොරුවෙන් රවටල ගන්න දෙයක් නැහැ. කේලමෙන් බිඳවල කරගන්න දෙයක් නෑ. පරුෂ වචනයෙන් සැඩ බවට පත් කරල කර ගන්න දෙයක් නැහැ, ප්‍රලාපයන් කිය කිය ඉඳල ලෝකයේ මට ගන්න වටින තත්ත්ව තානාන්තරයක් වාසනාවක් වාසියක් නැහැ. හරයක් නැති දේවල් බව දැනගෙන මම මේ අත්හැරල දැම්මෙ. මට වැඩක් නැහැ ඒවයෙං”.

මෙන්න මේ කාරණය සිහි කර ගත්තහම එයා දකිනව නිවනට හේතුවන ලෝකෝත්තර වූ සම්මා වාචා මාර්ග හංගය කියන්නෙ ඔන්න ඕකයි කියල.‍ දැන් ඕක දැනගත්තහම මිත්‍යා වාචා මිත්‍යා වාචා හැටියට දැනගෙන ඉන්නව. සම්මා වාචාවල දෙආකාරය දැනගෙන ඉන්නව. එකක් ලෞකිකයි කෙසලස් සහිතයි කියල දැනගෙන ඉන්නව. ලෝකෝත්තර වීමට හේතු ‍වෙන්නා වූ සම්මා වාචාව ලැබෙන්නෙ මෙහෙමයි කියල දැනගත්ත. මෙන්න මේ ටික දැනගත්තහම කියනව සම්මා වාචා පිළිබඳ සම්මා දිට්ඨිය පහල වුනා. අන්න තව සම්මා දිට්ඨියක්. සම්මා වාචා පිළිබඳ සම්මා දිට්ඨිය. ඒ වාගෙම දැන් එයා දකිනව මේ දැනගත්ත දහම තුල අප්‍රමාදව නිවන් දැකීමට කටයුතු කරගන්න නම් මේ තුල මම හිඳිය යුතුයි. මේ තුල ප්‍රගුණ කර ගත යුතුයි. නිතර මේක ආවර්ජනා කල යුතුයි. මේකෙ අවැඩ මේකෙ තියන නිස්සාරත්වය නිතර බැලිය යුතුයි. නිතර බල බලා මං එබඳු වන්නාවූ ‍බොරු කේලම් පරුෂ වචන ප්‍රලාප අංශු මාත්‍රයෙන් හෝ ‍කෙරෙන්න සසර හේතුවකින් හරි ඉඩ තියනව නම් ඒව වලක්වල දාන්න ඕන.

ඔය ටික තෝරගෙන සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා සතියෙං ඉඳල අන්න ඒ වැඩක් නැති කොටස අත් හැරල දාන කොට, සම්මා වාචා පිළිබඳ සම්මා සතියෙන් වචන වල ස්වභාවය තෝර‍ගෙන උත්සාහයක් වීර්යයක් යොදල ඒ වැඩක් නැති ඒවයින් සහමුලින් මිදිල යන්න කටයුතු කර ගන්නව නම් ඒකට කියනව සම්මා වාචා පිළිබඳ සම්මා වායාමය.

සම්මා වාචා මාර්ග හංගය සම්මා දිට්ඨි, සම්මා සති, සම්මා වායාම කියන මාර්ග හංග 3කින් වට කරල පවතින්නෙ. මෙන්න මේ ටික විග්‍රහ කරල දැනගත්තහම කාගෙන්වත් අහන්නැතුව සම්මා වාචාවට පත් වෙන්නෙ කොහොමද, සම්මා වාචා ක්‍රියාත්මක කරන්නෙ කොහොමද, නිවන් දකින්නෙ කොහොමද කියල දන්නව. අනික් කෙනෙක් දිහා බැලුවහම නිවනට හේතුවන ගමනක සම්මා වාචාවක්ද ‍මොහුට තියෙන්නෙ? සසර සුගතියට හේතුවන සම්මා වාචාවක්ද ‍මොහුට ති‍යෙන්නෙ. එසේ නැත්නම් සතර අපා ගත වන දුගතියට හේතුවන මිච්චා වාචාවක්ද මොහු මේ කථා කරන්නෙ. අනුන්ගෙ කථාවට සවන් දීගෙන අවධානයෙන් හිටියොත් ඔය තුලින් හොයා ගන්න පුළුවන් මොහු නිවන් මග යන කෙනෙක්ද, මොහු ලෞකික සුගති මග යන කෙනෙක්ද, මොහු සතර අපා පැත්තට යන කෙනෙක්ද කියල. කාරණා තුලින් ලෝකයත් හඳුන ගන්නව. වැරැද්ද වැරැද්ද හැටියටත් දකිනව. නොකල යුත්ත නොකල යුත්ත හැටියට පහකල යුත්ත පහකල යුත්ත හැටියටත් දකිනව. ඇසුරු කලයුත්ත හෙවත් ආශ්වාස කල යුත්ත ආශ්වාස කල යුත්ත හැටියටත් දකිනව දැනගෙන ඒ දහම් ආශ්වාසය කරල නිවන අවබෝධ කර ගන්නව. සම්මා වාචා මාර්ග හංගය ඔහොම තෝර ගත්තහම මේ එකක්වත් ගැන කාගෙන්වත් අහන්න දෙයක් නැහැ.

ඊලඟට තියෙන්නෙ සම්මා කම්මන්ත මාර්ග හංගය. “සම්මා කම්මන්තය සම්මා කම්මන්තය සේ දැනගනී. මිච්ඡා කම්මන්තය මිච්ඡා කම්මන්තය සේ දැනගනී. සම්මා කම්මන්තය දෙආකාරයි කියා දැනගනී. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි. සසර ගමනට හේතු වෙනව. එකක් ලෝකෝත්තරයි නිවනට හේතු වෙනව”. මෙන්න මේ ටික ගැන විස්තර කරල දැන ගන්නව. ප්‍රාණඝාතය අදත්තාදානය කාමමිත්‍යාචාරය යන යමක් වේද මිච්ඡා කම්මන්තයට අයිතියි කියල දැනගන්නව. ප්‍රාණඝාතයෙන් වෙන්වීම අදත්තාදානයෙන් වෙන්වීම කාම මිත්‍යාචාරයෙන් වෙන්වීම යන යමක් ඇද්ද සම්මා කම්මන්තයට අයිතියි කියල දැනගන්නව. සම්මා කම්මන්තයෙන් ලෞකිකත්වයට පත් වෙන්නෙ කොහොමද? ප්‍රාණඝාතය නිසා අදත්තාදානය නිසා කාම මිත්‍යාචාරයනිසා සතර අපා ගත වන්න හේතු වෙනව දුකට හේතු වෙනව ඒක හින්ද මම ඒව කරන්නෙ නැහැ ආදී වශයෙන් යම්කිසි සම්මතයක් නිසා නොකරන කොටසක් ඉන්නව. මෙන්න මෙහෙම නොකර ඉන්න එකත් සම්මා කම්මන්ත මාර්ග හංගයක් තමයි. නමුත් ලෞකික එක. ඒක යථාවබෝධයෙන් අත් හැරිය එක නෙමෙයි. ඒ නිසා එයාට සුගතියක් නම් හම්බ වෙනව, හැබැයි නිවනක් නම් හම්බ වෙන්නෙ නැහැ එහෙම හිටියට.

එහෙනම් නිවනට හම්බවෙන සම්මා කම්මන්තය කොහොමද හොයා ගන්නෙ. මේ අනිච්ච වූ දුක්ඛ වූ අනත්ත වූ නිස්සාර වන්නාවූ ලෝකයේ මං මොනව ලබාගන්න ප්‍රාණඝාත කරන්නද, සත්ත්ව හිංසා කරන්නද? හොර මැර වංචා කරල මොනව මං අයිති කර ගන්නද? සුරා සූදු දුරාචාර කරල මොනව ලබා ගන්නද? මොන ආස්වාදයක් ලබාගෙන සැනසෙන්නද? හරයක් නැති ඒවනෙ. හරයක් නැති නිසා, නිවනට බාධකයක් වන නිසා, නිවනට ගෝචර නොවන එකක් නිසා එබඳු වන්නා වූ සම්මා කම්මන්තයෙන් මට ඇති වැඩක් නැහැ කියල යම් කෙනෙක් ධර්මාවබෝධයෙන් දැකල යම් කිසි සම්මා කම්මන්තයක් අයින් කලාද , අන්න ඒ හේතුවෙන් ප්‍රාණඝාතය අදත්තාදානය කාමමිත්‍යාචාරයෙන් වැලකුන ය‍මෙක් ඇත්නම් මෙන්න මේකට කියනව ආර්යඅෂ්ඨාංගික මාර්ගයේ සම්මා කම්මන්ත කියන මාර්ග හංගය කියල. මේක නිවන‍ට හේතු වෙනව. නිවන් මගට හේතු වෙනව. මෙන්න මේ ටික දැනගත්තහම සම්මා කම්මන්තය පිළිබඳ දැනගත යුතු දැනුවත් වීම සිද්ධ කරගත්ත, හෙවත් සම්මා දිට්ඨිය පහල වුනා. මේකට කියනව සම්මා කම්මන්තයේ සම්මා දිට්ඨිය කියල.

දැන් ඒ තත්ත්වය දැනගත්තට පස්සෙ “ප්‍රමාදවීම මට බාධකයක්, අප්‍රමාදයෙන් යුක්තව හොඳ මනා සිහි නුවණින් ඉඳල ප්‍රාණඝාත අදත්තාදාන කාමමිත්‍යාචාරයන්ට හේතුවන සිතුවිල්ලක් ක්‍රියාවක් වචනයක් මට නැගිල එනව නම් ධර්මානුකූලව සිහි කර නිස්සාරත්වය දැකල නිවනට බාධකය දැකල ඒක අයින් කරල දමන්න ඕනෑ” කියන්නාවූ අදහස ගන්නව. “අන්න ඒක තමයි මා විසින් වැඩිය යුතු ආර්ය සම්මා කම්මන්තය” කියල දැක්කට පස්සෙ එයා මොකද කරන්නෙ, මනා සතියෙන් ඉන්නව තමාගේ ක්‍රියා කලාපය ගැන. බලා ඉඳල එබඳු දෙයක් එන්න තියනව නම් වහාම පහ කරල දමනව. ඒකෙන් වෙන්වෙන්නාවූ තත්ත්වයේ තිබෙන්නාවූ නිවනට හේතුවන ආශ්වාසය නැත්නම් අස්වැසිල්ල ඇසුරට ගන්නව. මෙන්න මෙබඳු ආස්වාසයක් පස්වාසයක් ඇසුරු කරගෙන කටයුතු කරන කොට ඔහුට සම්මා කම්මන්ත කියන්නාවූ ආර්ය මාර්ග හංගය වඩන කෙනෙක් හැ‍ටියට ප්‍රතිඵලේ ලබාගන්න පුලුවනි.

මෙන්න මේ ටික කරන කොට කාගෙන්වත් අහන්න ඕන නැහැ දැන් සම්මා කම්මන්තය මොකක්ද, වඩන්නෙ කොහොමද, එහෙම ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන්න අපි මොකක්ද කරන්න ඕන? කියල. අහන්න දෙයක් මොකුත් නැහැ. මෙන්න මේ ටිකෙන් පූර්ණ වෙනව.

එතකොට ඊළඟට තමයි සම්මා ආජීවය. මිච්ඡා ආජීවය මිච්ඡා ආජීවය සේ දැනගනී. සම්මා ආජීවය සම්මා ආජීවය සේ දැනගනී. සම්මා ආජීවය දෙආකාරයි කියා දැනගනී. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි. සසර ගමනට හේතු වෙනව. අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙනව. මෙන්න මේ ටිකත් විග්‍රහ කරල ගන්නව. අයුතු සහගත අසාධාරණ කිරුම් මිනුම් ආදී වන්නාවූ නොයෙක් වංචා ක්‍රම මුල් කරගෙන තමාගේ ජීවිතය හැඩගස්වා ගන්න කටයුතු කරනවද, මෙන්න ‍මේක මිච්ඡා ආජීවයයි කියල දැනගන්නව. ඒව ඔක්කොම අත හැරල දැහැමෙන් සාමයෙන් දහඩිය මහන්සියෙන් උපයාගෙන හදාගෙන ජීවත් වන සාධාරණ ක්‍රමයක් තියෙනව කියල ලෝකයා සම්මත කරනවද මේක ලෞකික වූ සම්මා ආජීවයයි කියා දැනගන්නව. දැන් ඒක තමයි අර ගොවිතැන වෙළඳාම ආදී සම්මා ආජීවයයි කියන්න හේතුව‍. ඒ ලෞකික සම්මා ආජීවය. ලෝකෝත්තර සම්මා ආජීවය දැනගෙන හිටියෙ නැහැ.

එතකොට දැන් ආර්යත්වයට පත් වෙන කෙනා කල්පනා කරනව මම ජීවත් වෙන්නෙ මොන පරමාර්ථයෙන්ද? නිවන හැර නිවන් මග හැර මට මේ ජීවත් වීමේ වෙන ගන්න පරමාර්ථයක් නැහැ. මගෙ ජීවත් වීමේ අග්‍රතාවයක් තියනව වැදගත් කමක් තියනව, මොකටද? අප්‍රමාදයෙන් යුතුව යථාවබෝධය පූර්ණය කරගෙන නිවන් අවබෝධ කරන්නයි මං ජීවත් වෙන්නෙ. මගේ ජීවිතය හැඩගස්වනව ඒ මාර්ගය පූර්ණය කරගන්න ඕනෙ නිසා. ඒ සඳහායි මගේ ජීවත් වීම. මට මේ ලෝකෙ මොනව අල්ලගන්නවත් ජීවත් වෙන්න ඕනෙ නෑ. ගෙවල් දොරවල් හදාගෙන සුඛෝපභෝගී ජීවිතයක ඉන්නත් මං ජීවත් වෙනව නෙවෙයි‍. ලෝකයේ තත්ත්ව තානාන්තර රැකගෙන මට හොඳ තැනක් හම්බුනා කියල ඉන්න ජීවත් වෙන්න එහෙම ජීවිතයක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ.

“එහෙනම් මං ජීවිතයක් බලාපොරොත්තු වෙන්නෙ මොකටද? අප්‍රමාදව කෙලෙස් තවා නිදහස් වීමට යමක් කර ගත යුතුද ඒ සඳහායි මේ ජීවිතය ගත කරන්නෙ. මගේ ජීවිත පැවත්මේ වටිනාකමක් ඒකටයි”. මෙන්න මේ ටික ධර්මානුකූලව දැක්ක නම් එයා දකිනව “මගේ ජීවිතය නිකන් ගත කරල හරියන්නෙ නැහැ. ගත කරන මොහොතක් මොහොතක් පාසා හැකි තරම් දුරට අප්‍රමාදව කෙලෙස් තැවීම සඳහා කටයුතු වලට නිරත කරන්න ඕනෙ. මේ ජීවිතයෙන් ප්‍රයෝජනය ගන්න ඕනෙ. ලැබුන මිනිස් ජීවිත‍යෙ ප්‍රයෝජනය එහෙමයි මම ගන්නෙ” කියල මෙන්න මේ අදහසින් කටයුතු කරන කෙනාට අශ්ඨාංගික මාර්ගයට අයිති නිවන් දැකීමට හේතු වන සම්මා ආජීවයේ ආර්ය ජීවත් වීම ලැබෙනව.

මෙන්න මේ කාරණා ටික දැනගත්තට පස්සෙ සම්මා ආජීවය සම්මා ආජීවය හැටියටත් දෙආකාරයක් හැටියටත් දැනගත්ත. එකක් ලෞකිකයි කියන එකත් දැන ගත්ත. ලෝකෝත්තර නිවනට පත්වෙන්න ජීවත් වීම කොහොමද ගත කරන්නෙ කියලත් දැනගත්ත. මිත්‍යා ආජීවයත් දැනගත්ත. මෙබඳු යම් දැනීමක් ඇද්ද මේකට කියනව සම්මා ආජීවය පිළිබඳ සම්මා දිට්ඨිය. ඒ දැනගත්තට පස්සෙ ජීවිතය නිකන් කාලය ගත කරනව නම් තමා තමාටම නිග්‍රහ කරගන්නව. මොන අපරාධයක්ද එහෙම කරනව නං. “අප්‍රමාදයෙන් යුතුව නිතර මනා සිහියෙන් ඉන්න ඕන මගේ ජීවත් වීම ගැන. මගේ ජීවිතය ගත කරන්නෙ ධර්මානුකූලවද? විදර්ශනාත්මකවද? යථාවබෝධය ලබාගැනීම සඳහා මං පාදා ගනිමින්ද? නැත්නම් වැඩක් නැති කාලය කා කමන වැඩක් නැති විහිලු කොලොප්පම් ආදී බාහිර දේටද මේ ජීවිතය ගත කරන්නෙ”.

බොරු කේලම් පරුෂ වචන ප්‍රලාප කිය කියා ලෝක සත්ත්වයා සැරිසරන්නාවූ මුලා සහගත වැඩ පිලිවෙල වැඩක් නැහැ කියල එහෙම ජීවත් වීම වැඩක් නැහැ කියල දකිනව. දැකල ඒව ඔක්කෝ අත්ඇරල ආර්ය මාර්ගයට හිත තියල නිතරම ආර්ය නුවණකින් සිහියකින් කටයුතු කරන්න පටන් ගත්තහම ජීවිතය සම්මා ආජීවයක් වෙනව.‍ මෙන්න මෙහෙම දැනගත්තහම සම්මා ආජීවය පිළිබඳ සම්මා දිට්ඨිය පහල වුනා. මනා වූ සතියෙන් යුක්ත වෙන කොට සම්මා ආජීවය පිළිබඳ සම්මා සතියෙන් යුක්ත වෙලා රෑ දවල් දෙකේ උත්සාහයෙන් යුක්ත වෙනකොට සම්මා ආජීවය පිළිබඳ සම්මා වායාමය පහල වුනා. මෙන්න මෙච්චරයි අපිට කරන්න තියෙන්නෙ නිවන් දකින්න. 

සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මෙන්න මේ මාර්ග හංග 5න් සෝතාපන්න පුද්ගලයා යුක්තයි. පරිවාර වන මාර්ග හංග 3කින් ඕව සමන්විතයි. මෙන්න මෙතනින් සමන්විත වෙනකොට එයාට පහල වෙලා තියනව පරිවාර වුනාවූ සම්මා සතියයි සම්මා වායාමයයි දෙක. එහෙනම් සම්මා ආජීවයට සම්මා වායාම සම්මා සති දෙකත් එකතු වෙලා මාර්ග හංග 7ක් සම්පූර්ණ උනා දෙකක් නිකන් සම්පූර්ණ උනා.

දැන් මොකද වෙන්නෙ තමා විසින් ගෙන යන්නාවූ පෝෂණය සම්පූර්ණයි නැත්නං සාත්තුව සම්පූර්ණයි. සාත්තුව කරනකොට කඳ වැඩෙනව වාගෙ පිහිටුවා ගත්ත රෝපනය කරගත්ත ‍‍බෞද්ධ බීජය අනිච්ච දුක්ඛ අනත්ත ත්‍රිලක්ෂණ මුල් කරගෙන ඒ තුලින් නැගෙන්නාවූ ඒ සමයට ඇදිල ආර්ය සමයට ඇදිල හිටල සම්මා සමාධිය පහල වෙනව. නිකන් නෙවෙයි පහල උනේ අර හේතුවෙන්. සීල හේතුවෙන් සමාධිය පහල වෙන්නෙ ඔන්න ඔහොමයි. එහෙනම් වත හේතුවෙන් නෙවෙයි මෙතෙන්ට ගියේ ධර්මාවබෝධයෙන් ලැබූ සීලය හේතුවෙන්.

අන්න එයාට කියනව ශීලයෙන් සමාධිය පහල උනා. අන්න එයාට ප්‍රථම ධ්‍යාන ද්වීතිය ධ්‍යාන තෘතිය ධ්‍යාන චතුර්ථ ධ්‍යාන කියන ධ්‍යානත් පහල වෙනව ධ්‍යාන සමාපත්තිත් පහල වෙනව සමාධිත් පහල වෙනව. අමුතු‍වෙන් කරන්න දෙයක් නැහැ ධ්‍යාන වලට මහන්සි වෙන්න දෙයක් නැහැ. ලැබෙන ධ්‍යානය යථාවබෝධය නිසා කවදාවත් කඩ කරන්නත් බැහැ කඩ වෙන්නෙත් නැහැ.

මෙන්න මේ සමාධි ඥාණය පහල වෙනකොට නුවණ මෝරා යනව අති සියුම් වෙනව අන්න එතෙන්දි අනිච්ච දුක්ඛ අනත්ත කියන ත්‍රිලක්ෂණයම වැටහිලා පුර්ණ වෙලා ගිහිල්ල නිස්සාරත්වය වැටහිලා අත්හැරී නොඇලී මිදී කෙලවර කරපුවහම සම්මා ඥාණය සම්මා විමුක්තිය පහල වෙලා දස හංගය සම්පූර්ණ කරනව. එදාට කියනව අරිහතුන් වහන්සේ. ඔන්න ආර්ය අශ්ඨාංගික මාර්ගය කෙනෙක්ගෙන් අහන්නැතුව කරදරයක් නැතුව වඩා ගන්න හැටි.

දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කලා ඔන්න ඕක භාවනා කරන්න. ඔන්න භාවනාව. ආර්ය අශ්ඨාංගික මාර්ගය භාවනා කරන්න ඕනෙ කිව්ව තංඛො පනිදං දුක්ඛ නිරෝධගාමිනි පටිපදා අරිය සච්චන් භාවේ තබ්බන්ති මේ භික්ඛවෙ පුබ්බේ අනුනුස්සේතු ධම්මේසු චක්ඛුං උදපාදි ඥාණං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි” කියල. මෙන්න මේ කියන්නාවූ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය කියන මේ ආර්ය අශ්ඨාංගික මාර්ගය භාවනා කල යුතුයි කියල මට ඇස පහල වුනා ඥාණය පහල වුනා ප්‍රඥාව පහල වුනා විද්‍යාව පහල වුනා ආලෝකය පහල වුනා කියල බුදුරජාණන් වහන්සේ මංගල ධර්ම දේශනාවෙදිම දේශනා කලා ඔන්න ඕකයි භාවනාව, ඔන්න ඕකයි කරන්න තියෙන්නෙ කියල.

නිවන් දකින්න ඔන්නම් ධ්‍යාන මාර්ග ඵල ලබන්න ඔන්නම් යන එන කරන කියන කථා කරන කථා නොකරන වට පිට බලන එකතැන ඉන්න ඕනම වේලාවක අපේ භාවනාව විය යුත්තේ ඔන්න ඕකයි. හැබැයි ලබන ධ්‍යානයකවත් ඵලයකවත් කොතනකවත් ඥාණයකවත් හිත බැඳ ගන්නෙ නැහැ.  මෙසේ දකින්නාවූ යම් ඥාණයක් ඇද්ද ඒකත් කැමති සේ පවතින එකක් නෙවෙයි කියල ධර්මානුකූලව දැක්කහම ඒ ඥාණයෙත් හිත බැ‍ඳෙන්නැතුව යනව. ඥාණය ලැබෙනව ඥාණයට හිත බැ‍ඳෙන්නෙ නෑ. එහෙනම් ඥාණයක් ලැබුනා කියල ලොකුකම් කථා කරන්න යන්නෙත් නැහැ. ඒ නිසා තමයි කියන්නෙ මගඵල ලාභිත්වයට පත්උන කෙනා ලොකු කමට මගඵල කියන්න යන්නෙ නැහැ. අහංකාර කමට මගඵල කියන්න යන්නෙ නැහැ.

දැන් පුංචි උපමාවක් අරන් බලමු මෙහෙම දෙයක්. ඔය කොස් ඇටයක් පුච්චගෙන කාල මඤ්ඤොක්ක කෑල්ලක් තම්බගෙන කාල බොහොම දුකසේ ජීවත් වෙන දරුවො රංචුවක් ඉන්න අම්ම කෙනෙකුට හරි තාත්ත කෙ‍නෙකුට හරි කේක් කෑල්ලක් පුඩිං කෑල්ලක් කන්න හම්බ වෙනව කොහෙ හරි දිහාවකදි. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ ලැබිච්ච වෙලාවෙදි කෑව. ගේන්න වෙලාවක් තිබුනෙ නැහැ කියමුකො. දෙන්න විදිහකුත් නැත්නම් දැන් කාල ඇවිල්ල පුතාට දුවට “පුතේ මම කේක් කෑව පුඩිං කෑව” කියල කියනවද? අනේ අප්පොච්චියේ මම කොහොම කියන්නද මගේ දරුවන්ට? මගේ දරුවොත් ඒවට කැමතියිනෙ. ඒ දරුවො මේ මඤ්ඤොක්ක කෑල්ලක් කාල කොස් ඇටයක් පුච්චගෙන කාල බොහොම දුක සේ ජීවත් වෙනව. මට කන්න බොන්න දෙන්න විදියකුත් නැහැ. ඉතින් මේ මම කාපු එක හොඳ එකක් කියල කියපුවහම ඒ දරුවන්ට කොච්චර අසහනයක්ද?

මොනවද කෑවෙ? ඔය මොනවහරි කෑව පුතේ. මොන මොනව හරි කනව ඉතිං ලැබිච්ච දෙයක්. ඔහොම කියනව මිසක් අර කටින් ළමයින්ට කියන්න බැහැ මම කේක‍් කෑව, පුඩිං කෑව කියල. මොකද අම්මට තාත්තට හරි දයානුකම්පාවක් ඇති වෙනව අර අසරණව ඉන්න දරුවො කෙරෙහි. යම් කිසි කෙනෙක්ගෙන් ඇහුවම මම මාර්ග ඵල ලැබුව මම භව දුකෙන් නිදහස් වුනා කියල භව දුකේ සැරිසරණ ලෝක සත්ත්වයා දැකල හිටන් කට ඇරල කියන්න බැහැ, මව් ගුණයක් පිය ගුණයක් වැනි ගුණයක් ආර්යයන්ට හිමියි. ඒ ආර්යයෝ ‍ලෝකයා ගැන දකින්නෙ වෛර ක්‍රෝධ කරන්න පුලුවන් එහෙම අය හැටියට නෙවෙයි. විශාල දයානුකම්පාවකින් දරුවන් ගැන වගේ දකිනව. ඒ නිසා තමයි ආර්යයෝ අනික් අයට මවෙක් වාගේ පියෙක් වාගේ කියල බුදුරජාණන් වහන්සේ දේශනා කලේ. ඒ ආර්ය ගුණය වැඩුනට පස්සෙ ලෝකයා දකින්නෙ එහෙමයි. කොච්චර බැන්නත් කොච්චර ගැහුවත් කොච්චර හිංගි කලත් ඔහුට හෙන ගහපන් කියන වචනය ආර්යයෙක්ගෙ කටින් පිටවෙන්න හේතු නැහැ.

මොකද හේතුව. ගැහිල තියෙන හෙ‍නේ මදිවයැ. කෝටි ප්‍රකෝටි ගානක හෙනයක් ගැහිල තියන බව ආර්යයන්ට පේනව ලෝක සත්ත්වයාට. දැක්කහම විශාල කම්පාවක් ඇති වෙනව. දයානුකම්පාවක්. මොනව කරන්නද? රෑ දවල් දෙකේ කියා දෙනව නම් කියා දෙනව හැකි තරම් දුරට හික්මවල ගන්න. බලහත්කාරයෙන් දෙන්න පුලුවන් නම් එහෙම ගහල මරල හරි පොවනව. එහෙම එකක් නෙවෙයි. ඒ නිසා මොනව කරන්නද? දයාවෙන් කරුණාවෙන් කියා ‍දෙනව, පිලිගන්නෙ නැත්නම් අනේ අපොයි මොනව කරන්නද? සංවේගයක් උපද්දනව. වෙන තරහක් ආර්යයන්ට ලෝකයා කෙරෙහි ඇතිවෙන්නෑ.

ආර්යයන්ට බ්‍රහ්ම ගුණ තියනවයයි කිවුවෙ ඔන්න ඕකයි. ඒ නිසා ආර්යයෝ මග ඵල කියා පාමින් ලෝකයාගෙන් ප්‍රසංසා ලබන්න එහෙම බලාපොරෙත්තු වෙන්නෙ නැහැ. ඒ ගුණයක් අහලකවත් නැති කෙනෙකුට තමයි එහෙම ඒව එන්නෙ. දකින්න ඕන මොකක්ද? කෙසේ හෝ අන්‍යයන් එතෙන්ට ගන්න මගක් පාදා දෙන්න ඕන. ඒකට අවශ්‍ය දේ දෙන්න ඕන. ඒ මග අනුගමනය කරන්න හැම දෙයක්ම කියා දෙන්න ඕන. රෑ දවල් දෙකේ මෙහෙයවන්න ඕන. කරන්න පුලුවන් හැම උපකාරයක්ම කරල අන්න එතෙන්ට ගන්න ඕන කියන තැනට එනකොට මේකට කියනව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශ්‍රාවකයන්ට පෙන්නපු බ්‍රහ්ම විහරණය කියල. මාතා යතා නියංපුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛෙ ‍එවම්පි සබ්බ භූතේසු මානසම්භාවයේ අපරිමාණං‍ කිවුවෙ ඔන්න ඔතනයි.

මව් වාගෙ පියා වාගෙ දරුවන්ට. අන්න ඒ බුදුරජාණන් වහන්සේ අමා මෑණියන් වහන්සේ අරිහතුන් වහන්සේ නැමති යථාර්ථය දත් එකම පුත්‍රයා ලෝකයේ පහල කරන අනුරක්ෂණය කරන්නෙ කොහොමද, මෙන්න මේක ආදර්ශයට අරගෙන ඔය ශ්‍රාවකයන් වහන්සේලාටත් කිවුව ලෝකයාට ඔය විදිහට දයානුකම්පාවෙන් කටයුතු කරන්න. මෙන්න දයාව අනුකම්පාව මෙන්න බ්‍රහ්ම විහරණය කියල. ඔන්න බුදුරජාණන් වහන්සේගේගේ ආනාපානය. ඔන්න බ්‍රහ්ම විහරණය. ඔන්න ආර්ය අෂ්ඨාංගික මාර්ගය.

ඉතිං ඕක තේරුම් ගත්තට පස්සෙ අපිට අමුතුවෙන් බණ අහන්න තව ඉතිරි වෙන්නෙ නැහැ. ඔය ටික තෝර ගත්ත නම් අපිව මුලා කරන්න දස මාර සේනාවටවත් බැහැ. කාට මොන ජාතියෙ තර්කවාද ඉදිරිපත් කරලවත් ඔය මාර්ගය දැන් වෙනස් කරන්න බැහැ. අමුතුවෙන් බණ අහන්න දෙයකුත් නැහැ.

මාරයට ලෞකික සම්මා දිට්ඨිය පේනව නමුත් ලෝකෝත්තර සම්මා දිට්ඨිය එයාට පේන්නෙ නැහැ. 

Comments