CD01F07.0 - D2

Signup

අළුත්වීම් ගැන දැනගැනීමට කැමතිනම් මෙම Google සමූහයට එක්වන්න  (ඔබට Google Account එකක් තිබේනම්)

නැතිනම් පහත ලිපිනයට හිස් email එකක් එවීමෙන්ද සමූහයට එක්විය හැක.

මේ ලිපිය ටයිප් කර දුන් H.M විමලාවතී මහත්මියට ඉක්මන් නිවන් සුව!

දුෂ්චරිත ගති නිසා ඉනේ තිබුන රෙද්ද පවා ඉවත් වෙලා දන්නෙ නැහැ. ඉන්න ඉන්න තැන හෙලුවෙන් ඉන්නව තේරුමක් නැහැ. සැලිච්ච හිතකින්, ලෙහුනු හිතකින් ඒ විදියට ඉන්න එක්කෙනා සැලලිහිනියා කියන්නාවූ ජාතියෙ උපදිනව. සංඛාරය ඕකයි. හැම සිංහල නමකින්ම  සංඛාරයේ, ජාති‍යේ හැටි පෙන්වනව. සංඛාරය යම්සේද අනුකූල ජාතිය ඔයාකාරයි. අනුන්ට ගිනි දීපු, දාහය දීපු අය අනුන්ට ගිනි දුන්න නිසා ගිනි අපායට ගිහිල්ල උපදිනව.

පහත් යයි එපා යයි කියන්නාවූ යම් දේ එකතු වෙච්ච තැන තමයි අපාය. එපා අය අපාය. අය කියන්නෙ එකතු වෙලා. අනේ එපා, මට එපා, ගහන්න එපා, බනින්න එපා, ගිනි තියන්න එපා, පුච්චන්න එපා. අන්න ඒ එපා කියන ඒව තමයි එතන එකතු වෙලා තියෙන්නෙ. ඒව එකතු වෙච්ච තැන තමයි අපාය කියන්නෙ. එපා කියද්දි ගිනි දීපු අය එතන ගිහිල්ල උපදිනව. ගහන්න එපා කියද්දි ගහනව. බනින්න එපා කියද්දි බනිනව. මරන්න එපා කියද්දි මරනව. අන්න ගිනි දීපු නිසා ගිනි අපායක ගිහිල්ල ගිනි කන්න උපදිනව. අන්න නිරයට යන අය.

එතකොට, තමන්ට කරන්න පුලුවන්කම තියෙද්දි අනුන් දෙන දේ කාල බීල ඔහෙ කාලය ගෙවන කොටසක් ඉන්නව. අනුන්ගෙන් කන්න තමන්ගෙ නැති බොරු කියනව, නැති අඩුපාඩුකං කියනව. අනුන්ට අත හොවල ජීවත් වෙනව. පරහේ අත කියන්නාවූ කොට්ඨාසයක් ඉන්නව, පරහේ අත කියන එක තමා ප්‍රේත කියන කොට්ඨාශයට යන්නෙ. පරහේ අතයො ප්‍රේතයො. තමන්ට පුලුවන්කම තියනව. නමුත් රස්තියාදු වෙවී කාලෙ කකා ඉන්නව. දාඩිය මහන්සියෙන් හරි හම්බ කරල කෙනෙක් ගෙනත් දුන්න දෙයක් කිසිම අසාධාරණයක් ගැන හිතන්නෙ නැතුව පුලුවන් තරං කාල බීල වනසනව. මෙන්න මේ ජාතියෙ ගති ලක්ෂණයට කියනව පරහේ අත ගති ලක්ෂණය හෙවත් ප්‍රේත ගති ලක්ෂණය. මේ වගේ අය ප්‍රේත වෙලා උපදිනව.

තමන්ට සූර වීර විදිහට වැඩ කරන්න පුලුවන් බලය, හැකියාව තියනව. ඒ වුනාට කම්මැලිකමට අනුන්ගෙන් වැඩ කරගන්න බලාගෙන ඉන්නව. ඔහෙ බුදිය බුදිය ඉන්නව. සූර භාවයෙන් වැඩ ගන්නෙ නැතිව අනුන්ගෙ දේ අරගෙන කාල ඉන්නකොට අන්න ඒ අයට අසුරයා කියනව. අසුර නිකායෙ ගිහිල්ල උපදිනව. ඔන්න නිරය, ප්‍රේත විෂය, තිරිසන් යෝනිය, අසුර නිකාය කියන හතරෙ උපදින සංඛාර ගොඩ නැගෙන හැටි. දැන් ‍මේව ඔක්කොම වෙන්නෙ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන. ‍මේ ලෝකෙ සුන්දරයි කියල හිතාගෙන, සුන්දර ලෝකෙ අල්ල‍ගෙන ඇලිල, ගැ‍ටිල, මුලා වෙලා කරපු වැඩ නිසා ‍ සතර අපාගත ලෝක සත්වයො ගොඩ දිය කියන දෙකේ උපදින ගති ලක්ෂණ ඕවයි.

ඔය කියන්නාවූ අයුතුකම් අසාධාරණකම් කරන මානසිකත්වයක් මං ලඟ නැහැ. මට ඔය අයුතුකම් අසාධාරණකම් කරල රැකගන්න දරාගන්න වටිනා දෙයක් ‍මේ නිස්සාර හරයක් නැති ලෝකය තුල නැහැ. මං මොනවට ඔය අයුතු කම් අසාධාරණකම් කරන්නද? කියන මේ අදහස ආපු නිසා යම් කිසි පුද්ගලයෙකුගේ ‍මේ පහත් ගති සිරිත් ටික නැති වෙලා ගියා නම් තමන් දන්නව තමා තුල අනුන්ට ගිනි දෙන ගති නෑ කියල. එහෙනම් නිරයට යන්න මට හේතු නැහැ කියල දන්නව.

හරස් අතට යන තිරස් විධියට වැඩ කරන්නාවූ පහත් වැඩ කරන ගති ලක්ෂණ මං ලඟ නැත්නම් තිරස්චානව උපදින්න තියන ගති ලක්ෂණ මං ලඟ නැහැ. මගේ හැකියාව පු‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ළුවන්කම තියෙද්දි, මං අනුන්ගෙන් කන්න අනුන් ගසාකන්න බලාඉන්නෙ නැතිනම් පරහේ අත හෙවත් ප්‍රේත ගති ලක්ෂණ මං ලග නැහැ. මට බලපුලුවන්කාරකම හැකියාව තියෙද්දි අනුන්ගෙන් වැඩ ගන්න ජාතියෙ වහල් කරගන්න ජාතියෙ කෙනෙක් නොවෙයි නම් මට අසුරව උපදින්න හේතු නැහැ.

එහෙනම් මම ‍මේ හේතුවෙන් සතර අපායෙන් නිදහස් කියල සෝවාන් පුද්ගලය දැනගන්නව. මට මෙන්න ‍මේ හේතුවෙන් සතර අපායෙ උපදින්න හේතු නැහැ. මේ හේතුවෙනුයි ‍මේ ඵලය කියල පටිච්ච සමුප්පන්නව දකිනව. මේ හේතු නිරෝධ නම්  ‍මේ ඵලය නිරෝධයි. ඔය ‍ධර්මය අද මතු වුනා නම් තමං කරන වැඩෙන් උපදින්න තියෙන්නෙ කොතනද කියල මිනිස්සු හොඳට දැනගන්නව. මං උපදින්නෙ කොතනද කියල කාගෙන්වත් අහන්න ඕන නැහැ. මොන කොට්ඨාශයෙද මම උපදින්නෙ කියල ඔතනින් බලාගත්තහැකි. ඔන්න ඔච්චරයි තියෙන්නෙ. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ මං පස්සති. ඔන්න දකිනව. ඕක තමයි  ප්‍රවෘත්ති සංඛාරය, ප්‍රවෘත්ති චක්‍රය. ඕක තමයි මෙලොව ප්‍රවෘත්ති ජාති හටගන්න පටිච්ච සමුප්පාද චක්‍රය යන හැටි.

යම් කිසි කාරණයකට මුල් වෙන ප්‍රධාන කාරණයක් තියනව. අන්න ඒ ප්‍රධාන කාරණය මුල් කරගත්ත අතුරු කාරණය විතරයි ලෝකයාට පේන්නෙ. දැන් අපි හිතමුකො මෙහෙම දෙයක්. කෙනෙක් බලාපොරොත්තු වෙන්න පුලුවන් තවත් කෙනෙකුගෙන් සැප සම්පත් ගන්න. උන් ඒක කලේ නැහැනෙ. උන්ට හොඳ පාඩමක් උගන්වන්නන්කො කියල තමාගෙ ප්‍රධාන අදහස දෙවෙනි කරල ඒකට වාඩුව ගන්න දෙවෙනි කාරණයක් ඉදිරිපත් කරනව. මෙන්න මෙහෙම කරගත්තහම ලෝකයාට පිටින් පෙන්නපු හේතුව පේනව. ඒකට මූල වෙච්ච ඔහුගෙ අභ්‍යන්තරයෙ රැඳිල තිබුන කාරණය අන්න අර ප්‍රේත වෙන්න හේතු වෙච්ච එකක්. තමා හොඳට ඉඳල අනුන්ගෙන් ජීවත් වෙන්න හිතක් තිබිච්ච කෙනෙක් තමන්ට ඒක කරගන්න බැරි වුනහම ඒකට විරුද්ධ වෙච්ච අයගෙන් පලිගන්න අර වගේ වැඩ කරනව. පිටට පේන එක එහෙම වුනාට මූල හේතුව අවිද්‍යාවෙන් වැහිල පේන්නෙ නෑ.

අවිද්‍යා පච්චයා සංකාරා කිවුවෙත් ඔන්න ඔතනයි. ඉතින් ඔය විද්‍යාව ඇරිල, විවෘත වෙලා තිබුන නම් අපි දකිනව ප්‍රේතව උපදින්නෙ මේ ගති ලක්ෂණයට, නිරයේ උපදින්නෙ ‍මේ ලක්ෂණයට, අසුර වෙලා උපදින්නෙ මේ ගති ලක්ෂණයට, ඒවගෙම තිරිසන් වෙලා උපදින්නෙ මේ ගති ලක්ෂණයට කියල. ඒ ඔක්කොම අපි දකින්න ඕන. ප්‍රේත වස්තු විමාන වස්තු කියන ඕවයින් තමයි ලෝකයේ ස්වභාවය ඉස්සෙල්ලම පෙන්නුවෙ. ඒ සඳහා බොහෝ කොටම ‍භාවිතා කලේ සත්ත්ව, ප්‍රේත වෙලා හිටපු හේතුවයි ඒ කයේ ස්වභාවයයි. ඕකෙ මූලධර්මය මෙහමයි. වකුටු කරන සංඛාරයන් මුල් කරගෙන වකුටු වෙන අත්බැවු ලබාගෙන උපදිනවයි කියල මේ බුද්ධ දේශනාවෙ ත්‍රිපිටකය තුල පෙන්වල තිබෙනව. එහෙනම් ඒකෙන් පේනව, සංඛාරය යම් සේද ජාතිය ඊ‍ට අනුකූලයි කියල.

දැන් හුඟ දෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුලුවන් ඔය කරන විග්‍රහය බුදු දහමෙ කිසි පොතක අපි දැක්කෙ නැහැනෙ කියල. කාරණය පිලිගන්න හේතු තියනව. නමුත් ත්‍රිටකයෙ පොතක මෙච්චර කල් අපි දැක්කෙ නැහැ කොහෙවත්. ඇයි ඒ කියල ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් අපි හිතමුකො මෙන්න මෙහෙම දෙයක්. යම් කිසි කෙනෙකුට ඇඳුම් මෝස්තර කාරයෙක් ඇඳුම් මෝස්තරයක් නිපදවල දෙනව. දැන් එයා  ‍මේක ඉනේ අඳින හැටිත් කියල දීල තියනවද? ඒකත් කියා දෙන්න ඕනෙද? අපිට දැනගන්න පුලුවන් දේවල් ඒ විස්තර කරන කෙනා කියන්න ඕන නැහැ. අපි හිතමුකො යම් කෙනෙකුට එලවලුවක් හරි පලතුරක් හරි ගෙනත් දෙනකොට මේක රසවත් කෑමක් හරි රසයි මේක උයල බලන්නකො කියල දෙනව. ඒ දෙන එක්කෙනා උයන්න දන්න අයට උයන හැ‍ටිත් කියන්න ඕනෙද?

ඒ වගෙ ශ්‍රාවක නුවණකට යමක් ගෝචර වෙනවනං බුදුරජාණන් වහන්සේ ඒව විස්තර කරන්න ගියෙ නැහැ. විස්තර කරන්න අවශ්‍ය නැහැ. ශ්‍රාවකයෙකුට ගෝචර කරගන්න බැරි යමක් තියනවනං අන්න ඒ ටික ගෝචර වෙන මට්ටම‍ට විග්‍රහ කරල දීම විතරයි බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ සිද්ධ කලේ. ලොව්තුරා බුදුවරයන් වහන්සේ නමක් ලෝකයට පහල වෙන්න ඕනෙ අනික් අයට කරන්න බැරි දෙයක් කරල දෙන්න මිසක්, අනික් අයට කරන්න පුලුවන් ඒව කර කර කාලය ගෙවන්න නෙවෙයි. මෙන්න ‍මේ නිසා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට යමක් කියන්න පුලුවන් නම්, කරන්න පුලුවන් නම් නුවණකින්, ඒ මට්ටමට මාතෘකාව විතරක් දීලත් නිහඬ වුනා. 

ඒ එබඳු පිරිසක් හිටපු නිසා, ඒ ශ්‍රාවක ඥාණයට ගෝචර බව බුදුරජාණන් වහන්සේ දන්න නිසා. අභිධර්මයට  අවශ්‍ය කරන මූලික ටික විතරක් සැරියුත් හාමුදුරුවන්ට පෙන්නල නතර කරන්න හේතුව කියන්නෙත් ඔන්න ඕකයි. සැරියුත් හාමුදුරුවන්ට මාතෘකා පාලිය දේශනා කලා. මාතිකා පාලිය. ඒ ටික තමයි සැරියුත් හාමුදුරුවො විග්‍රහ කරල දුන්නෙ. ඉතින් බුදුරජාණන් වහන්සේ දීපු දහමක් නෙවෙයි කියන්නෙ මොකද? බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයින්ට ගෝචර දහමක් දේශනා කරන්න කාලය ගෙවුවෙ නැහැ. ඒ වගේ හැම වේලෙම ඕවයෙ මූලික අවස්ථාව දුන්න. මාතෘකාව මුල් කරගෙන මාතිකා පාලිය වශයෙන් දේශනා කලා. ඉතින් ඒ වෙලාවෙදි මොකද කරන්නෙ, ඒ සුදුසු දේ අරගෙන සුදුසු පිරිස, නැත්නං සුදුසු ශ්‍රාවකයන් වහන්සේලා ඒව විග්‍රහකලා. සමහර වෙලාවට විග්‍රහ කලාට පස්සෙ උන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් වහන්සේලා පවා, දැන් ඔය ධම්මධින්නා තෙරින් වහන්සේ එහෙම, සැක නම් මේක බුදුරජාණන් වහන්සෙගෙන් අහන්න කියනව. බුදුරජාණන් වහන්සෙ කියනව, “මම කිව්වත් ඔච්චරයි”.

සාරිපුත්ත මහා ප්‍රාඥයි, ධම්මධින්නා මහා ප්‍රාඥයි කිවුව හැටියට පිලිගන්න. මම කිව්වත් ඔච්චර තමයි.මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ අනුමත කරනව. අපේ පෙල දහම තුල එහෙම දේශනා හුඟාක් තියනව. මොකද හේතුව, කෙටියෙන් කරන දේශනා විග්‍රහකරන්න, විග්‍රහ කරල දේශනා කරන්න සාරිපුත්ත දක්ෂයි කියල බුදුරජාණන් වහන්සේම දේශනා කරනව. ඒ නිසා වැඩිහරියක් දේශනා සැරියුත් හාමුදුරුවන්ගෙ. ඒ වගෙම මහා කොට්ටිත හාමුදුරුවො දක්ෂයි කියල පෙන්වල තියනව. දැන් සච්ච විභංග සූත්‍රය වශයෙන් විග්‍රහ කෙරුව වෙලාවෙත් පෙන්නුවෙ, “මා විසින් දේශනා කල ධම්මචක්කපවත්තනය අර විධියටම විග්‍රහ කරල දුන්න කියල. ‍‍තවරක්ඛනා විවරණා විවටනා විභජනා ඔය ආදී වශයෙන් එකින් එකට සැහැල්ලු කරල හරියාකාරව පෙන්වන්න විවරණය කරල දෙන්න බෙදල පෙන්වන්න විග්‍රහ කරල පෙන්වන්න මගේ  මේ සාරිපුත්ත දක්ෂයි. ඉතින් ඔය විධියට හොඳට පැහැදිලි කරල පෙන්නුව.

ඉතින් ඔය දක්ෂ දේ දකින්නෙත් බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණයට, අනාවරණ ඥාණ‍යට. ඒක ඉතිං බුද්ධ දේශනාවමයි. ඒකට ඊට පස්සෙ මොකුත් කියන්න දෙයක් නැහැ. ඉතින් එබඳු දේශනා කරන්නාවූ බුදුරජාණන් වහන්සේ දේශනා කලා නම් අහවල් දේට දක්ෂයි කියල, දක්ෂ නිසාම දක්ෂයි කියනව මිසක් අදක්ෂනම් දක්ෂයි කියල බුද්ධ වචනය කඩවෙන්න එහෙම දේශනාවක් නැහැ. එහෙනම් ඒකෙ කිසිආකාරයේ සැකයක් හිතන්න දෙයක් විමතියක් හිතන්න දෙයක් නැහැ. අභිධර්මයෙ උනත්  බුදුරජාණන් වහන්සේ කොතෙන්දි ද දේශනා කලේ කියල අහන්න දෙයක් නැහැ. මූලික වශයෙන් හොඳට පැහැදිලිව පෙන්වල තියනව.

බ්‍රහ්ම විහාරීව වාසය කිරීමෙන් බ්‍රහ්මත්වයට පත්වෙනව. හැම එකක්ම ඔයාකාරයෙන් එකිනෙකට විග්‍රහ වෙන්න ඕන. තථාගත කියන වචනය බුදුරජාණන් වහන්සේ ට වෙන් කරපු තැනුත් තියනව, රහතන් වහන්සේ පෙන්වන්න වෙන් කරපු තැනුත් තියනව. අරිහතුන් වහන්සේලා පෙන්වන්නත් තථාගත කියන වචනය ගන්නව. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් විශේෂයෙන්මත් තථාගත කියන වචනය අරගෙන තියනව. තථ කියන්නේ යම් කිසි සත්‍යතාවයට, ස්ථිරතාවයට. ස්ථිරත්වයට පත්වුන අර්ථයෙන් තථාගත කියන එක අරිහතුන් වහන්සේටත් කියනව. සියලුම දේ තත්ත්වාකාරයන් දැනගැනීමට පත්වුනාවූ ගතියට බුදුරජාණන් වහන්සේටත් තථාගත කියනව. එහෙම එකින් එකට තථාගත කියන වචනයට එක එක අර්ථ තියෙනව. ශ්‍රාවකයන්ට තථාගත කියනව එක අර්ථයකින්. බුදුරජාණන් වහන්සේට තථාගත කියනව තව අර්ථයකින්. ඔය විධියට ක්‍රමයක් තියනව.

ඉහාත්ම සුඛ විහරණය කියන එක ධ්‍යාන මාර්ගය. ධ්‍යාන සමාපත්ති ක්‍රමය වෙනයි. සමාධි කියන වචනයෙ නිරුක්තිය ගත්තහම සමයට ඇදී සිටින හෙයින් සමාධි කියනව. යම් සමයකට ඇදී සිටියේද එය සමාධියයි. සමය කියල කියන්නෙ, අපි යම් කිසි වැඩ පිලිවෙලක් කරනව නම් ඒ වැඩ පිලිවෙලට ‍කොටු වුන යම් කිසි පදාසයක්, වැඩ පිලිවෙලක් තියනව. අදහස් මාලාවක් තියනව. ඒකට සමය කියනව. අන්න ඒකට කොටු වෙලා ඒ තුල පිහිටනව නම් ඒකට සමාධිය කියනව. දැන් සමාධි කියන සියල්ලම පිනෙන් මතු වෙච්ච කුසලයෙන් මතු වෙච්ච දේවල් නෙවෙයි. මිත්‍යා දෘෂ්ඨියෙන් මිත්‍යා සමාධියක් මතු වෙනව. සම්මා දිට්ඨියෙන් සම්මා සමාධියක් මතු වෙනව. ආර්ය සම්මා දිට්ඨියෙන් ආර්ය සම්මා සමාධියක් මතු වෙනව.

අර අපි ඉස්සෙල්ල කිවුව වාගෙ යම් කිසි පුද්ගලයෙක් බලු ධර්ම ඇසුරු කෙරුව නම් ඔහුට බලු සමාධියක් හටගන්නව. බේබදු ධර්මය යනු යමක් ඇද්ද, ඒක ඇසුරු කරපු කෙනා බේබදු සමය‍ට ඇදී සිටින නිසා බේබදු සමාධිය කියනව. බේබදු සමාධියන් බේබදු භවය හටගන්නවා. ඒ සමාධිය නිසා බේබදු ඥාණයක් හටගන්නව, සමාධි ඥාණය. ඒකත් මිච්චා සමාධි ඥාණයක්. සතර අපායට ඒකාන්තයෙන් හේ තු වෙනව.

සෝතාපන්න ඵලය කියන එක ‍මේ ආර්යයෙකු වීමේදී අත්‍යාවශ්‍යම කාරණයක්. වැදගත්ම කාරණයක්. එතෙන්දී ඒ සොතාපන්න කියන තත්ත්වයට පත්වුන කෙනාට තමයි ඇලීම් ගැටීම් දෙක දුරු කරල ඒ ආර්ය සමයට පත්වීමට භාවනාව තියෙන්නෙ. “දස්සනේන පහතබ්බ භාවනාය පහාතබ්බ” කියන්නෙ දෙකක්. අන්න ඒකයි. දැන් සමාධි මට්ටම කියන එක වෙනම මට්ටමක්. ඒකෙ ලෞකික සමාධි තියනව, ලෝකෝත්තර සමාධි තියනව. ලෝකෝත්තර සමාධි කියන්නෙ මාර්ග ඵල සමාධිය. ඵල සමාපත්තිය.

මෙහෙමයි තියෙන්නෙ. සෝතාපන්න ප්‍රථම ධ්‍යාන ඵල සමාපත්තිය. ප්‍රථම ධ්‍යාන සහගත සෝතාපන්න ඵල සමාපත්තිය. ද්විතිය ධ්‍යාන සෝතාපන්න සමාපත්තිය. දැන් මෙහෙම තියෙනව. ඒ ඒ ධ්‍යානය ඵල චිත්තය සමග යෙදෙනව. ප්‍රථම ධ්‍යානය සමග යෙදෙනව නම් ඒ ධ්‍යානයට කියනව ප්‍රථම ධ්‍යාන සෝතාපන්න ඵල සමාපත්තිය. ප්‍රථම ධ්‍යාන සකෘදාගාමී ඵල සමාපත්තිය. ඒනිසා තමයි 89ක් සිත්121කට බෙදෙන්නෙ. ඒක හතලිහක් වෙනකල් බෙදෙනව. මොකද එක හිතක් 8 ආකාරයකට බෙදෙනව, ඔය විධියට. ඒ කියන්නෙ මේ සෝවාන් මාර්ගය සහ ඵලය කියන ආකාරයට මේ අ‍ට, පස් ආකාරයකට බෙදුනහම 40 ආකාරයක් වෙනව. ඒ නිසා චිත්ත ස්වභාව 40 ආකාරයක වෙනසක් හටගන්නා නිසා තමයි, සිත් 89ක ප්‍රබේධයට 40 ආකාර ප්‍රබේධ අරගෙන 121ක් සකස් කරගන්නෙ. ඒ 89න් 81යි. මොකද මාර්ග සිත් 4යි ඵල සිත් 4යි කියන 8 ඒ 89න් අහක් කරපුවහම 81යි. ඒ අට හතලිහකට බෙදෙනව. එතකොට එකසිය විසි එකක්වෙනව.

සෝතාපන්න ඵලයෙදි සිද්ධ කරන්නෙ යම් ගොඩනැගෙන සංඛාරයක් නවත්වන එක. යම් සංඛාර කොටසක් නිරෝධ උනා ඉතුරු සංඛාර කොටස ඉතුරු වෙලා තියනව. සෝවාන් ඵල චිත්තයෙ තියෙන්නෙ, කොටසක් සංඛාර ගෙවල, නිරෝධ කරල. කොටසක් ක්‍රියාත්මක වෙනව. හරියට ලොකු ගස් ටික කපල ඉවරයි. ඊලඟට පුංචි පැල ටික තියෙනව‍ වගේ. ඒවත් පැලෑටිම තමයි. ඊළගට ඒ ටිකත් කපන්න තියනව.‍

ඉතින් ඔය විදිහට යනකොට එක එක ඵල සමාපත්තියෙන් සමාපත්තියට සිද්ධ වෙන්නෙ එක එක සංඛාර කොටසක් නිරෝධ වෙන එක. ඉතුරු ටික තියනව. ඵල සමාපත්තියෙ ස්වභාවය ඒකයි. එතකොට ඒ ඵල සමාපත්තියෙන් ඉඳගෙන  ‍මේ ලෝක හැම දෙයක්ම ඇසෙන් කනෙන් දිවෙන් නාසයෙන් ශරීරයෙන් ඇසුරු කරන්න පුලුවන්. මොනවයින් ඇසුරු කලත්, මොන රූප ‍මොන ශබ්ද මොන ගන්ධ ඇසුරු කලත් ඒ තුලින් යම් කිසි ප්‍රමාණයෙ එකක් ගෙවිල ගියාද, ඒක නැගෙන්නෙ නැහැ. ඉතුරු ටිකයි නැගෙන්නෙ. අන්න ඒක තමයි ඒ සමාපත්තියෙ ස්වභාවය. ඵල සමාපත්ති‍යෙ අවිද්‍යාමානයෙන් තනිකර මනෝද්වාරයෙන් විතරක් නැගිල හිටින ඒව ‍නෙවෙයි. ඵල සිතයි ඵල සමාපත්තියයි දෙකක්. ඵල සමාපත්තියට සමවදින්න ගියහම ඒක ධ්‍යාන එක්කල ලැබෙන්න ඕනෙ. ඵල සිත හැම වෙලාවෙම උපද්දන්න පුලුවන්.

විතර්ක විචාර දෙකක්. සවිතක්ක සවිචාර තව දෙකක්. විතර්ක විචාර කියල කියන්නෙ කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක කියන 3ටයි. අව්‍යාපාද සංකල්පනා අවිහිංසා සංකල්පනා නෙක්ඛම්ම සංකල්පනා කියන ඒවට කියන්නෙ සවිතක්ක සවිචාර. දැන් අද සවිතක්ක සවිචාර කියන එක විතර්ක සහිත වූ විචාර සහිත වූ කියලයි තෝරන්නෙ. එහෙමයි තෝරන්නෙ? විතක්ක විචාර කියල කියනව. දැන් දෙවෙනි දැහැනට විතර්ක විචාර නැහැ කිවුවහම සිතුවිලි නැහැ කියල හිතාගෙන ඉන්නව. සවිතක්ක සවිචාර කියන එක විතර්ක සහිත වූ විචාර සහිත වූ කියල තෝරන නිසයි ඒක වෙන්නෙ.

විභංගප්‍රකර්ණයෙ සවිතක්ක කියන එක තෝරල තියනව ඨපෙත්වා විතක්කං ඒ කියන්නෙ විතර්කය අත්හැරපු කියල. ඉතුරු දහම් ටික සවිතක්කයි. ඒවගෙ සවිචාර කියන එක, ඨපෙත්වා විචාරං. විචාරය බහා තබල. ඒ සමග එන ඉතුරු දහම් ටිකයි සවිචාර කියන්නෙ. එහෙනං විතර්ක විචාර කියන්නෙ, කාම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා විහිංසා සංකල්පනා යම් තැනක නැගෙනවනං, ඒවට කියනව විතර්ක විචාර. අව්‍යාපාද සංකල්පනා අවිහිංසා සංකල්පනා නෙක්ඛම්ම සංකල්පනා යම් තැනක නැගෙනවනම්, ඒවට කියනව සවිතක්ක සවිචාර. එහෙනම් විතක්ක විචාර නැති සිතේ තියෙන්නෙ මොනවද? අව්‍යාපාද අවිහිංසා නෙක්ඛම්ම කියන සංකල්පනා ටික තියෙන්න ඕන.

දැන් අපි හිතමුකො මෙහෙම දෙයක්. හතරවැනි වැනි ධ්‍යානයට ගියාට පස්සෙ උපේක්ෂා ඒකග්ගතා‍වයනෙ තියෙන්නෙ. විතර්ක විචාර කියන්නෙ සිතුවිලිනම්, විතර්ක විචාර නතර කරපුවට පස්සෙ එයින් එහා දැහැන් වලට සිතුවිවිල්ලක් තියෙන්නම බෑනෙ. ඒ කියන්නෙ ද්විතීය ධ්‍යානයෙන් එහාට සිතුවිල්ලක් තියෙන්න බැහැ. හොඳයි චුල්ලපන්ථක හාමුදුරුවො අභිඥාපාදක චතුර්ත ධ්‍යානයට සමවැදිල නෙමෙයිද දාහක් මවාගෙන හිටියෙ? සමවැදිලනෙ. ඔය වෙලාවෙදි කවුද චුල්ලපන්ථක කියන්නෙ කියන්නෙ කියල අහපුවහම චුල්ලපන්ථක කියන්නෙ මම කියල ඔක්කොම කථා කලේ නැද්ද? ඔක්කොම කථා කලා. එතකොට වචනෙ අහලත් තියනව වචනෙට උත්තර දීලත් තියනව මම චුල්ලපන්ථක කියල. ඔය වෙලාවෙදි හිටියෙ මොකේද? අභිඥාපාදක චතුර්ත ධ්‍යානයට සමවැදිල. දැං විතර්ක විචාර කියන ඒව කථාවෙ වචන වල තියනව නම්, උපේක්ෂා ඒකග්ගතා පමණක් තියෙන අභිඥාපාදක චතුර්ත ධ්‍යානයෙ ඉඳල කථා කලේ කොහොමද? වෙන්න බෑනෙ. එහෙනං මම චුල්ලපන්ථක කියන එකේ විතර්ක විචාර නැද්ද? නෑ.

විතර්ක විචාර කියන්නෙ කථාව හෝ සිතිවිලියි කියල ගත්තොත්, එයින් එහාට කථාවයි සිතිවිලියි නැහැ කියල නිගමනය කලොත්, එතකොට කොහොමද උන්වහන්සේ මම චුල්ලපන්ථක කියල කිව්වෙ? මේ පෙල දහමෙ තියෙන දේශනා අපිට බොරු කරන්න බැහැ. කලේ කොහොමද? එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ එදා හිටපු අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් බඹලොව ඉඳල දසදහසක් සක්වලට එනකන් ඇහෙන්න ආරබත නික්ඛමත යුංජත බුද්ධ ශාසන ජුනාථ මඡ්ඡු සේනානං නලාගාරෝච පුංජලෝ කියන මේ ගාථාව දේශනා කලයි කියනව. දැන් බඹලොවට යන්න නම් ඒකාන්තයෙන්ම අභිඥාපාදක චතුර්තධ්‍යානයෙන්නෙ හිටියෙ. එහෙ ඉඳල ඔය ගාථාව දේශනා කරනකොට වචන ශබ්ද වු‍නේ නැද්ද, දසදහසක් සක්වලට ඇහෙන්න අධිෂ්ඨාන කරල ප්‍රකාශ කරනකොට විතර්ක විචාර නැගුන කියල ගන්නද‍‍? හැබැයි සවිතක්ක සවිචාර නම් නැගුන.

ඒක නිසා දැන් හැම වේලාවකම අපි දකින්න ඕන‍. දැන් හුඟ දෙනෙකුට ප්‍රශ්නයක් එනව දැන් අපි සමාධියකින් කථා කරනව කිවුවොත් එහෙම විතර්ක විචාර ප්‍රථම ධ්‍යානයෙන්ම ගැලවිල ගියාට පස්සෙ වචන තියෙන්න බෑනෙ කියල. කොහොමද සමාධියෙන් කථා කරන්නෙ කියල ප්‍රශ්නයක් නගනව. විතර්ක විචාර වලින්  නෙවෙයි කථා කරන්නෙ සවිතක්ක සවිචාර වලින්. අව්‍යාපාද අවිහිංසා නෙක්ඛම්ම සංකල්පනා වෙන් නැගෙන්නෙ අව්‍යාපාද කථාව අවිහිංසා කථාව නෙක්ඛම්ම කථාව. නැත්නං නිවන් දකින්න ධර්ම දේශනා කිරීම සම්පූර්ණ කරනව.

හැබැයි ඉතිං මේ සමාධි කථාවෙන් රාගයයි ද්වේෂයයි මෝහයයි ගැන කථා කරන්න බැහැ. රාගයට ද්වේෂයට මෝහයට ගියොත් විතර්ක විචාරයට බහිනව. සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීති සුඛ ඒකග්ගතා සහිතං පඨමජ්ජානං. ප්‍රථම ධ්‍යානයට තියෙන්නෙ විතක්ක විචාර නෙ‍වෙයි. විතර්ක සහිත වූ විචාර සහිත වූ ප්‍රීති සුඛ සහිත කියල ඔය ආදී වශයෙන් තමයි විග්‍රහ කරන්න යන්නෙ. විතර්ක විචාර තියනව නම් ප්‍රීති සුඛ නෙවෙයි නැගෙන්නෙ රාගය ද්වේශය මෝහයනෙ. සවිතක්ක සවිචාර වලට තමයි විවේකයෙන් ලැබෙන ප්‍රීති සුඛ නැගෙන්නෙ. විවේකයක් තියනව. විවේක නිශ්‍රිතයි. එහෙනං අවිහිංසා සංකල්පනා අව්‍යාපාද සංකල්පනා නෙක්ඛම්ම සංකල්පනා විවේක නිශ්‍රිතයි, විරාග නිශ්‍රිතයි, නිරෝධ නිශ්‍රිතයි, වොස්සග්ග පරිනාමීයි. කාරණා 4කින් යුක්තයි. අන්න ඒ 4 සවිතක්ක සවිචාර වලින් තමයි නැගෙන්නෙ. විවේකජං ප්‍රීති සුඛ ඒකග්ගතා සහිතං පඨමජ්ජානං. ප්‍රථමධ්‍යානයට කථා නොකර ඉන්න අවශ්‍ය නැහැ. හැබැයි කාම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා විහිංසා සංකල්පනා අත්හැරල, අව්‍යාපාද සංකල්පනා අවිහිංසා සංකල්පනා නෙක්ඛම්ම සංකල්පනා තියෙන්න ඕන.

එක ගාථාවක් අර්ථ දැන ධර්ම දැන ධර්මානුධර්ම ඇසුරු කරමින් අසන්නේ නම් දරන්නේ නම් ඒවාගෙම නිතර සජ්ජායනා කරන්නේ නම් සතර දැහැන් වැඩෙනව, ථෙර භාවයට පත් වෙනව කියල දේශනාවෙ තියනව. ඇසීම දැරීම වන පොත් කිරීම දහම් ගැන නිතර සිතීම හේතු කොටගෙන, සතර ධ්‍යාන ලබනව, ථෙර භාවයට පත් වෙනව. එහෙනං අහල දරල වනපොත් කරල නිතර භාවිතා කරල ලබන්න පුලුවන් එකක් මේ. මොකක් නිසාද, සවිතක්ක සවිචාර නිසා. සවිතක්ක සවිචාර අන්තිම වෙනකන්වත් අහක් වෙන්නෙ නැහැ. විතක්ක විචාර පලවෙනි දැහැනෙදි නැති වෙනව. සමහර විචාර මාත්‍රයක් ඇති දෙවෙනි දැහැනක් තිබිල ඒකත් නැතිවෙලා ගියාට පස්සෙ විතක්ක විචාර නැහැ ඉන් එහාට.

සවිතක්ක සවිචාර කිසි ප්‍රශ්නයක් නැතුව දිගටම පවතිනව. ඒ නිසා දැහැනෙ ඉඳල කථා කරන්න පුලුවන්. දැහැනෙ ඉඳල අහන්න පුලුවන්. ධ්‍යාන සමාපත්තිය වෙනයි. ධ්‍යානය වෙනයි. ධ්‍යානයයි ධ්‍යාන සමාපත්තියයි තෝරගන්න ඕන. සමාපත්ති වීථියයි ධ්‍යාන වීථියයි කියල වීථි දෙකක් තියෙන්නෙ ඕකට. අභිධර්මයෙ පැහැදිලිව තියෙනව. සමාපත්ති වීථිය තනිකර මනෝද්වාරයෙන් යන්නෙ. ධ්‍යාන වීථි කඩ වෙ‍වී යන්නෙ. ධ්‍යානයට අනුකූවන්නාවූ පංචද්වාර සිතුවිලි සම්බන්ධ වෙනව. චිත්ත වීථියෙ ජවන් දිගටම යනව කැඩෙන්නෙ නැහැ. එතකොටයි සමාපත්තිය හැදෙන්නෙ. අතරමග කැඩෙන්නෙ නැහැ.

‍ඥා‍ණ සිත්වලින් විපාක සිත් වලින් බා‍‍ධා එනව. විපාක සිත් ධ්‍යානයට ඇදෙනව. බාධාවක් වෙන්නෙ මොකද? චන්ද රාගයෙන් යුතුව ඇලීම් ගැටීම් මුලාවට අහුවෙලා හිටියොත් බාධායි. චන්දරාගය දුරු කරපු කෙනාට පොඩ්ඩක්වත් බාධාවක් නැහැ. කොච්චර සද්දෙ ආවත් මගෙ මොකද? අපිට ප්‍රශ්නයක් තියෙනවයැ? ඉතිං ඒ නිසා මේ ආර්ය භාවනාවට අතන මෙතන හැංගෙන්න කැලේ දුවන්න ඕනෙ නැහැ. අපි කියන්නෙ ඒකයි මේ සමාජය ඇසුරු කරගෙන මේ සමාධියෙ ඕනෙ තැනක ඉන්න පුළුවන්. ඒතරම් පහසු දෙයක් මේ ආර්ය සමාධිය. ඇත්තටම ඉතින් කැලේ දුවන්න හැංගෙන්න දෙයක් නැහැ.

ධ්‍යාන වඩල නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයේ කියන අරූපී බ්‍රහ්මයෙකුට වඩා සෝතාපන්න ගිහි ආර්ය ශ්‍රාවකයෙක්ගෙ වැදගත්කම වැඩියි.  ඒ වැදගත්කම බුදුරජාණන් වහන්සේ දේශනා කලේ මෙහෙමයි. මගේ ‍මේ ගිහිව ඉන්න සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නව නම් වටිනාකමෙන් බැලුවොත් පංචාභිඥා අෂ්ඨසමාපත්ති ලාභි යෝගියකුට ඒ මගේ ගිහි ශ්‍රාවකයාගේ වටිනාකමෙන් කලාවෙන් කලාවකවත් වටිනාකමක් තියන්න බැහැ කිව්ව. ඒ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා ඊ‍ට වඩා බොහෝම ඉහලයි. හැබැයි ගිහිවතක ඉඳගෙන අඹුසැමියන් පෝෂණය කරගෙන ඉන්නව. ඒ තරම් වටින්න මොකද හේතුව? එයා සදහටම සතර අපායෙන් නිදහස් වෙලා ඉන්නෙ.

පංචාභිඥා අෂ්ඨ සමාපත්ති ලාභියා ඒ අත්බැවේම පිරිහිල අපායෙ යන්නත් පුළුවන්. ඒ‍කෙන් බේරිල කොහෙ හරි ඉපදුනොත් බ්‍රහ්ම ලෝකෙක කල්ප ගානක් ඉඳල හරි ඇවිදිල්ල ආයෙත් සතර අපා ගත වෙන රවුමට හිමිකාරයෙක්. ලැබූ හරයක් නැහැ. හේතු තුව බුදුරජාණන්වහන්සේ දේශනා කරනව ඒ වගේ කෙනෙක් මගේ ගිහි සෝතාපන්න ශ්‍රාවකයෙක්ගෙ කලාවෙන් කලාවටවත් වටිනව කියල කියන්න බැහැ කියල.

අසිත තාපසයට බෝධිසත්ත්වය බුදු වෙන බව දැකලත් ධ්‍යානය අත හරින්න බැරි උනානෙ. ඒක ප්‍රගුන උනාට පස්සෙ එයාට ඉතිං එතෙන්ට යන්නම සිද්ධ වුනා. එතන හිර උනා. සාමාන්‍යයෙන් අර අසිත වගේ අය ධ්‍යාන වලින් බ්‍රහ්ම ලෝකෙට යනව. බෞද්ධයො බ්‍රහ්ම ලෝකය උපාදානය කරන්නෙ නැහැ. ඒ නිසා පංචාභිඥා අෂ්ඨසමාපත්ති ලාභී වෙලා හිටියත් අනාගාමි කෙනෙක් මැරිල නේවසඤ්ඤා නාසඤ්ඤායතනයෙ උපදින්නෙ නැහැ. මරණාසන්න චිත්ත වීථියෙදි ධ්‍යානය අතඅරින්න පුළුවන්. අත ඇරල සාමාන්‍යය තත්ත්වයට ඇවිල්ල එයා ගිහින් සුද්ධාවාසයෙ උපදිනව. මොකද ඒකට හේතුව? ලෝකය උපාදානය කරල නැහැ. උපාදානය කලොත් තමයි එතන භවයට යන්නෙ. දැන් සුද්ධ ගති ලක්ෂණ නිසා සුද්ධ ආවාසය හැටියට පවතින්නාවූ සසර අන්තිම කෙලවර කරන සුද්ධාවාස බඹ තලයෙයි ඒගොල්ලන්ගෙ උත්පත්තිය වෙන්නෙ. එතනින් කෙලවර කරනව මිසක් ආයෙත් කොහෙවත් යන්නෙ නැහැ.

දැන් අපි වැදගත්ම හරියකට ඇවිදිල්ල ඉන්නෙ. තේරුම් ගන්න ඕනම හරියක් තියනව. අපි වඩන ආර්ය අෂ්ඨාංගික මාර්ගයක් තියනව. මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුල ලෞකික ආර්ය අෂ්ඨාංගික මාර්ගයකුයි, ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගයකුයි දෙකක් තියනව කියල බුදුරජාණන් වහන්සේ දේශනා කලා. නමුත් අපි අහල තියනවද එහෙම එකක්? ආර්ය අෂ්ඨාංගික මාර්ග දෙකක් ගැන? එතකොට ලෞකික ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියල එකක් තියනව. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනව මෙහෙම එකක්. ඒ ලෞකික වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය කෙලෙස් සහිතයි. නිවනට නෙවෙයි සුගතියට හේතු වෙනව කියල. කෙලෙසුන්ගෙන් මුදවන නිවනට හේතුවන ආර්ය අෂ්ඨාංගික මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.

 ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගය අපි තෝරගන්න ඕන. කොහොමද ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පත්වෙන්නෙ කියල අපි ධර්මානුකූලව තේරුම් ගන්න ඕන. මජ්ජිම නිකායෙ මට මතක හැටියට, මහා චත්තාරීසක සූත්‍රය කියන සූත්‍රයෙ හොඳට පැහැදිලිව ඔය ටික දේශනා කරල තියනව. නමුත් අපි ඕක බැලුවෙ නැත්නම් තෝරගත්තෙ නැත්නම් අපිට හරි අමාරුයි යථාර්ථය තෝරා ගන්න. ඔන්න ඔය ආර්ය අෂ්ඨාංගික මාර්ගය වටහාගත්තොත් අපිට පුලුවන්කම ලැබෙනව හරියටම අන්න ඒ ධර්ම මාර්ගය වටහාගන්න.

දැන් අපි මුලදීම අපි මෙච්චරවෙලා සාකච්චා කරපු අවස්ථාවක් තුල බෞද්ධයෙක් වීමට අවශ්‍ය කරන මූලධර්මය තේරුම් ගත්ත. මොකක්ද? අනිච්ච දුක්ඛ අනත්ත කියන ‍මේ ත්‍රිලක්ෂණය. සෑම සියලු නාම ධර්ම රූප ධර්ම ඇතුලු ලෝකයේ සියලුම දේ මොනව බැලුවත් අනිච්චයි දුක්ඛයි අනත්තයි කියන මේ ත්‍රිලක්ෂණයට ගෝචර වන හැටි අපි තේරුම් අරන් ති‍යෙන්නෙ. ඒ නිසාම අපි නිගමනය කරගත්ත මේ ලෝකයේ පැවැත්මක් තුල කිසිම නාම ධර්මයකට කොටුවෙලා හරි රූප ධර්මයක් තුල හරි අපිට සැනසිල්ලේ පැවත්මේ ඉන්න නිච්ච සැප ආත්ම තැනක් නැහැ කියල. නිච්චයි සැපයි ආත්මයි යන දෘෂ්ඨියකින් ඉන්න, ඇසුරු කරන්න තැනක් නැහැ.

හැම තැනකම අපට ඇසුරු කරන්න ලැබෙන්නෙ අනිච්ච දහමක් නම් දුක්ඛ දහමක් නම් අනත්ත දහමක් නම්, ඒව අනාථයි කියලත් තේරුම් ගත්ත. මෙන්න මේ තේරුම් ගැනීම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහල වෙලා දේශනා කරන තුරු, ලෝකයේ වෙන කිසිම ශාස්තෘවරයෙක් ලෝකයට දේශනා කරන්නෙ නැහැ. එහෙම පුලුවන් කමක් නැහැ. මේ නිසා මේ වටිනා ධර්මයෙ පද තුන ඉතාම කෙටි වුනාට අති දුර්ලභයි. අති වාසනාවන්තයි. මෙතනින්ම තමයි විමුක්තියට මග සැලසෙන්නෙ. මෙන්න ‍මේ වචන ටික තේරුම් නොගත්ත කෙනෙක් ඇත්ත වශයෙන්ම කියනව නම් තව බණ අහල හරි ඒක තෝරාගන්න තැන ඉන්න ඕන.

ඒක තෝරගත්තට පස්සෙ දැන් එයාට මාර්ගයක් හම්බ වෙලා තියනව. දැන් එයාට දහම් ප්‍රශ්නයක් මතුවෙනව. අනිච්ච නම් දුක්ඛ නම් අනත්ත නම් දැන් අපි මොකක් ද කරන්න ඕන? මේ පැවැත්මෙන් ඉවත් වෙන්න ඕන. මේ පැවැත්මත් එක්ක හිටියොත් නම් අනාථයි. නාථ ධර්මය මොකක්ද? මෙන්න මේ ප්‍රශ්නය මතුවෙනව. ඔන්න ඔය ප්‍රශ්නය මතුවෙච්ච කෙනාට තමයි බුදු දහම ගෝචර වෙන්නෙ. අන්න එයාටයි විමුක්ති ධර්මය ගෝචර වෙන්නෙ.

අනිච්ච දුක්ඛ අනත්ථ කියන මේ පද තුන තෝරගන්නකන් දහම් ප්‍රශ්න කියල මතුවෙන්නෙ දහම් ප්‍රශ්න නෙවෙයි. විමර්ශන ආසාවෙ ප්‍රශ්න. ඒතාක් කල් විමුක්ති ධර්මයක් නෙමෙයි ගෝචර වෙන්නෙ. පර්යේෂණාත්මක මනසකට ඕන කරන අදහස් තේරුම් අරගෙන ඒව හිතේ දරාගන්න තමයි ඕන කරන්නේ. ඊ‍ට පස්සෙ ඕන කරන්නෙ දරාගන්න ඒව නොවෙයි, කොහොම හරි විමුක්තිය කරා යන්නයි. විමුක්තියට පත් වෙන්නයි. අවශ්‍ය කරන ධර්ම මාර්ගය හොයාගෙන මම ඒක අනුගමනය කරල අප්‍රමාදව ‍මේ චන්ද රාගයෙන් මිදිල යන්න ඕනෙ කියන අදහස එනව. මෙන්න ‍මේ වෙලාවෙ තමයි, අනේ ස්වාමිනී ඒකට අවශ්‍ය කරන ධර්මය දේශනා කරන්න කියල බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටින අවස්ථාව එන්නෙ. ඒ මූලධර්මය ඇහුවට පස්සෙ, අන්න ‍ඒ ධර්මය මොකක්ද කියල දැනගන්න ඕ‍නෙ කියන අවශ්‍යතාවය අපිටත් දැනෙන්නෙ ඊට පස්සෙ.

මෙන්න මෙතනට එනකොට නිර්වානගාමී මාර්ගය පිලිබඳව දර්ශනය ලබල තියනව. දස්සනේන පහාතබ්බ කියන දර්ශණයෙන් පහ කරන හරිය පහ කරාට පස්සෙ තමයි ඔය අදහස් ආවෙ. භාවනාය පහාතබ්බකියන ඇලීම් ගැටීම් දෙක පහකරල මුලාව පහකරගන්න අවශ්‍ය කරන්නාවූ වැඩපිලිවෙල ගැන ඕනකමක් ලැබෙන්නෙ අන්න ඊ‍ට පස්සෙ. මෙන්න මෙයාට තමයි මෙන්න මේ කියන්නාවූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය නිවන් දකින ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඕන වෙන්නෙත් තේරුම් ගන්න පුලුවන් වෙන්නෙත්.

මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ පහල වෙන්න ඉස්සෙල්ලත් ඔය වචන තිබුන. ඔය වචන වලට භාවිතා කරපු ලෞකික අර්ථ තිබුන. සම්මා දිට්ඨි කියන වචනය තිබුන. සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත මේ වචන තිබුන. මේවට දීපු සිංහල අර්ථයකුත් තිබුන. මෙන්න මේ සිංහල අර්ථය ලෞකික අර්ථයක්. ලෝකෝත්තර වූ මෙබඳු දහම් වචන වල අර්ථය පහු කාලයක යටපත් වෙලා ඒවාට ලෞකික අර්ථයක් ගොනුවෙලා වේදය තුල ආව කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැන් බොහෝ කොට තියනව. ත්‍රී වේදය තුල මේ දහම් වචන බොහෝ කොටම තිබුන. ආර්ය අෂ්ඨාංගික මාර්ගය සප්ත බොජ්ජංග ඒවගෙම සතර බ්‍රහ්ම විහරණ ආදී මේ වචන ඇවිදින් තිබුන. එ‍තකොට මේ වචන වලට ලෞකික අර්ථය තමයි දීල තිබුනෙ. ඒ අර්ථ අදත් මතු වෙලා තියෙනව.

ඉන්දියාවෙ හිටපු ත්‍රී වේද පරප්‍රාප්ත බ්‍රාහ්මණයො මහන වෙච්ච අය හිටියා. බුද්ධගෝෂ හාමුදුරුවො කියන්නෙ එහෙම කෙනෙක්. බුදු දහම තුල තිබිච්ච හෙල අටුවා විනාශ වුනාට පස්සෙ නැවත අටුවා ලියන කොට ඔයගොල්ලන්ට තමයි අර්ථ දෙන්න සිද්ධ වුනේ. එතකොට එදා වේදයෙන් ඉගෙනගත්ත අර්ථ තමයි ආ‍යෙ සැරයක් මේවට දුන්නෙ. මෙන්න ‍මේ නිසා තමයි අපට ආර්ය මාර්ගය පූර්ණ කරගන්න බැරුව මාර්ග ඵල ලබා ගන්න බැරුව බුදු දහම වෙනුවට ලෞකික දහමක් තුල පැටලි පැටලි ඉන්න සිද්ධ වුනේ. ආර්ය මාර්ගය පූර්ණය කරන මාර්ගය වැහිල යන්න හේතුව ඔන්න ඕකයි.

ම්මා දිට්ඨි කියන්නෙ එක්කො යහපත් දැකීම. එක්කො හරි දැකීම. එක්කො නිවැරදි දැකීම. ඔය කියන වචන තුලින් තමයි සම්මා දිට්ඨි කියන පදයට සිංහල අර්ථ දෙන්නෙ. දැන් හොඳයි, යහපත් දැකීම හරි දැකීම නිවැරදි දැකීම කියන ‍මේ වචනෙ කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කල ඒ මාර්ග හංගය අපට තේරුනාද? මාර්ග අංග නෙමෙයි වචනය. මාර්ග හංග. දැන් අරි අටඟි මග කියල අපි ඕක කෙටියෙන් කියන්න යනව. අංග 8කින් යුත් මාර්ගය කියල අපි  ‍මේකට කියනව. ආර්ය අෂ්ඨ හංගික මාර්ගය තමයි ආර්යාශ්ඨාංගික මාර්ගය වෙන්නෙ. මේ අංග නෙවෙයි හංග. මේ පද 8න් පෙන්වන්නෙ හංග 8ක්. අංග 8ක් නෙවෙයි. නමුත් අද අපි අංග 8කින් යුත් මාර්ගය කියලයි කියන්න පුරුදු වෙලා තියෙන්නෙ.

ඔය වචන තෝරගන්න ඕන. දස නාමකිං දස හංගේහි සමන්නාගතෝ අරහාති වුච්ඡතීති. දස හංගයකින් සම්පූර්ණ වෙච්ච එක්කෙනා අරිහතුන් වහන්සේ කියනව කියල උත්තරේ දුන්න. අංග වලින් නෙවෙයි. හංග 10කින්. දස අංගේහි නෙවෙයි තියෙන්නෙ. දස හංගේහි. දස හංගය හැදෙන්නෙ කොහොමද? ආර්ය අශ්ඨාංගික මාර්ගයේ හංග 8යි. සම්මා ඥාණ සම්මා විමුක්ති කියන දෙකයි එකතු වුනාම හංග 10යි. ඔන්න ඔය හංග 10න් යුක්ත වෙච්ච කෙනාට කියනව දස හංගේහි සමන්නාගතෝ අරහාති වුච්ඡතීති. එහෙනම්  ‍මේව අංග නෙවෙයි, හංග.

ඇයි අංග නොකියන්නෙ. ඇයි හංග කියන්නෙ. ඕකත් තෝරගෙන ඉන්න ඕ‍නෙ. ඕකට අංග කියන වචනයේ නිරුක්තිය දකින්න ඕන. යම් තැනක අං ගෑවෙනව නම් අංග වෙනව. අං කියන්නෙ? යම් කිසි කෙනෙකුට අඟක් යම් තැනක හට ගන්නෙ කාටහරි රිදවන්න මිසක්, අනින්න මිසක් අතගාන්න නෙවෙයි. අඟක ලක්ෂණය ඕකයි. එහෙනම් අපි අංග 10ක් අරගෙන ‍මේ සසර ගමනෙ එනව. සතර අපායට යනව. අනුන්ට රිදවන්ට ගාවන වද්දන කෑලි 10ක් අල්ලගෙන.  ප්‍රාණඝාතය අනුන්ට රිදවන අංගයක්. රිදවන්නයි ගන්නෙ. හොරමැර වංචාව අනුන්ට රිදවන්න ගන්න එකක්. සුරාසූදු දුරාචාර අනුන්ට රිදවනව. බොරු කේලම් පරුෂ වචන ප්‍රලාප අනුන්ට රිදවනව. ලෝභ තරහ මෝඩ අනුන්ට රිදවනව. අනුන්ට ගෑවිච්ච තැන රිදෙන නිසා ඒව අං හා සමානයි. අං ගෑවුනා වගෙ. තැලෙනව පොඩිවෙනව රිදෙනව කැඩෙනව. ඒක තමයි සිද්ධ වෙන්නෙ. අකුසල් 10 යම් තැනක ගැවෙනව නම් ක්‍රියාත්මක වෙනවනම්.

එතකොට අපි බලනව. කවුද  ‍මේක හැංගුවෙ. කෝ මෙතන නැත්තෙ මොකද. යමක් යම් තැනක නැද්ද ඒකට හැංගුව කියන වචනයක් අදත් අපි අතරෙ එනව. ඒක හංගල. හංග වල ස්වභාවයක් තියනව. රිදවන පැත්ත නැති කලා. නිරෝධ කලා. රිදවන පැත්ත ගාවන පැත්ත විද්‍යාමාන කරන පැත්ත නැති කලා නම් එතන හංග වුනා. හැංගුව. අන්න ඒ විද්‍යාමානව තියන ඒව හැංගුව කියන්නෙ අවිද්‍යාමාන කරන්න ගන්නාවූ කාරනා 10ක් තියනව. ඔය කාරණා 10න් මෙච්චර කල් විද්‍යාමාන වෙච්ච ලෝකය හංගනව. හංගනව කියන එකෙන් අද අරන් තියෙන්නෙ බොහොම කෙටි තේරුමක්. ඒ හැංගුව කියන එක අද අපි හිතාගෙන ඉන්නෙ මෙතන නැත්නම් කොතන හරි හංගල ඇති. හංගනව කියන එකෙන් ‍පෙන්වන්නෙ යම් තැනක විද්‍යාමාන නම් දැන් ඒක විද්‍යාමාන වෙන්නෙ නැහැ කියන එකයි.

ඒ නිසා ඒවට දස හංග කියනව. ‍මේකෙන් හංග 8ක් වඩන මාර්ගයට අයිතියි. නිදහස් වීම සඳහා ලෝකෝත්තරත්වය සඳහා වඩන මාර්ගයට 8 පොලක් හංගන්න ඕන. ඒ කියන්නෙ නැති කරල දාන්න ඕන. අක්‍රිය කරන්න ඕන. 8 පොලක අක්‍රිය වුනහම 9, 10 දෙක ස්වභාවයෙන්ම අක්‍රීය වෙනව. ඔය 8 පොලෙනුත් අපිට ක්‍රියාත්මක කරන්න තියෙන්නෙ 5යි. හංග 5 ක්‍රියාත්මක කරනකොට පරිවාර වශයෙන් හංග 3ක් ඒ 5 ව‍ට කරනව. සම්මා දිට්ඨිය වට කරපු පරිවාර හංග 3ක් තියනව. සම්මා සංකප්පය වට කරල තියන පරිවාර හංග 3ක් තියනව. සම්මා වාචා වට කරපු පරිවාර හංග 3ක් තියනව. සම්මා කම්මන්ත වට කරපු පරිවාර හංග 3ක් තියනව. සම්මා ආජීව වට කරපු පරිවාර හංග 3ක් තියනව.

ම්මා දි‍ට්ඨි සම්මා වායාම සම්මා සති කියල 3ක් තියනව. අන්න ඒ ටික තමයි පරිවාර වශයෙන් වට කරන හංග 3. සම්මා දිට්ඨිය,ම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන පරිවාර හංග 3කින් වට කරල. මෙන්න ‍මේ ම්මා දිට්ඨිය ‍තෝරගන්න ඕන. සම්මා සංකප්පය,ම්මා සංකප්පය පිලිබඳ සම්මා දිට්ඨියයි සම්මා වායාමයයි සම්මා සතියයි කියන හංග 3කින් වට කර තියනව, පරිවාර කර‍ගෙන තියෙනව. අන්න ඒක තෝරගන්න ඕන. මොකක්ද ඒ ජාති‍යෙ සම්මා සංකප්පය? සම්මා වාචා පරිවාර හංග 3කින්, සම්මා දිට්ඨිය සම්මා සති සම්මා වායාම කියන මේ හංග 3කින් වට කරල තියනව. ඒ වාගෙම සම්මා කම්මන්තයත් සම්මා ආජීවයත්, සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන පරිවාර හංග 3කින් වට කරල තියනව.

ඔන්න ඔය පරිවාර හංග 3කින් වට කරපු සම්මා ආජීවයට එනකං කරුනු තේරුම් ගත්තට පස්සෙ, සම්මා වායාම සහ සම්මා සති කියන මේ ටිකට එන්න ඕනෙ. එතන අපි විසින් ක්‍රියාත්මක කල යුතු කුසල ශීලය ති‍ෙයනව. ආර්ය මාර්ගයෙදි නිවන් දකින්න අපි විසින් ක්‍රියාත්මක කල යුතු හරිය තියෙන්නෙ ඔය ටිකේ. සම්මා සමාධිය ඒ ක්‍රියාවලියෙ ප්‍රතිඵලයක්. සම්මා ඥාණ සහ සම්මා විමුක්තියත් ඒකෙ මල් ඵල ගැන්වීමක්.  බීජයක් හිටවගත්ත ගොවියාට කඳ ඕනෙනං මල්ඵල ඕනෙනං ගොවියා මොකක්ද කරන්න ඕ‍නෙ කියල බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනව. ස්වාමීනි ඒ හිටව ගත්ත බීජයට හරියට සාත්තු කරන්න ඕ‍නෙ. කඳ වැඩේවා හෝ මල්ඵල වැඩේවා ආදී වශයෙන් කියල හෝ ඒ සඳහා කරන්නත් දෙයක් තියනවද? සාත්තුව හරියට කලොත් කඳ වැඩෙනව මල්ඵල ලැබෙනව. ඒක ධර්මතාවයක්. එහෙනම් මහනෙනි ‍මේ කුසල සීලය සාත්තුව කියල හිතාගන්න. සමාධිය කඳ, ප්‍රඥාව මල්ඵල. සමාධියටයි ප්‍රඥාවටයි අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඒක ලැබෙනව. බොහෝම පහසුවෙන් ලැබෙනව. හැබැයි සාත්තුව හරියට කරගෙන යන්න ඕන.

මෙන්න අප විසින් ක්‍රියාත්මක කල යුතු බුදු මග. ක්‍රියාත්මක කල යුතු නිවන් මග. ඔය ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඔය ක්‍රමයෙන් දැනගන්න ඕන. වැදගත්ම අත්‍යාවශ්‍යම හරියක් ඔය තියෙන්නෙ. නිවන් දකින්න ඕනෙනං කල යුත්තෙ මොකක්ද කියන එක ඔක්කෝම ඔතන තියනව. මෙතෙන්දි මහා චත්තාරීසක සූත්‍රයෙදි විග්‍රහ කරල පෙන්වනව. සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය සේ දැන ගනී. මිච්චා දිට්ඨිය මිච්චා දිට්ඨිය සේ දැන ගනී. සම්මා දිට්ඨිය දෙආකාරයි කියා දැනගනී. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සසර ගමනට හේතු වෙනව. සුගති ගමනට හේතු වෙනව. එකක් ලෝකෝත්තරයි නිවනට හේතු වෙනව. මෙන්න මේ ටික හරියාකාරව විග්‍රහ කරල දැනගත්තම, සම්මා දිට්ඨිය පිලිබද සම්මා දිට්ඨිය මතු වෙනව. ඔන්න අත්‍යාවශ්‍ය සමා දිට්ඨිය හොයාගන්න ක්‍රමය.

දැං අපි සම්මා දිට්ඨිය විග්‍රහ කරන්න කිවුවහම දුක්ඛේ ඥාණං දුක්ඛ සමුදේ ඥාණං දුක්ඛ නිරෝධේ ඥාණං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥාණං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි කිව්ව අර වාක්‍යය අරගෙන දුක සහ දුකට හේතුව දුක නැති කිරිම නැති කරන මාර්ගය සම්මා දිට්ඨියයි කියල අපි කෙටියෙන් තෝරන්න යනව. විග්‍රහ කරල තෝරන්න ගියොත් යන්නෙ ඔය විධියට. නමුත් අපිට ඕක තේරෙන්නෙ නැහැ. ඒකෙ ඔක්කොම ලෞකික අදහස්මයි තියෙන්නෙ.

ලෝකෝත්තර දහම් අදහස මතු කරන්න ඒ විග්‍රහය මදි. ලෝකෝත්තර දහම් අර්ථය මතු වුනේ නැතිනම් අපට කවදාවත් සම්මා දිට්ඨි ධර්මානුකූලව තෝරාගන්න බැහැ. තව කෙනෙක්ගෙන් අහන්නෙ නැතුව, සැක නැතුව සම්මා දිට්ඨිය තෝරගත්ත වෙන්න නම් ම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය සේ දැන ගනී, මිත්‍යා දෘෂ්ඨිය මිත්‍යා දෘෂ්ඨිය සේ දැන ගනී, සම්මා දිට්ඨිය දෙආකාරයි කියා දැනගනී. එක සම්මා දිට්ඨියක් ලෞකිකයි කෙලෙස් සහිතයි සුගතියට හේතුවෙනව. අනික් සම්මා දිට්ඨිය ලෝකෝත්තරයි නිවනට හේතුවෙනව. මෙන්න මේ කිවුව ටික විග්‍රහ කරල දැනගන්න ඕන. එතකොට ආ‍යෙ සැරයක් සම්මා දිට්ඨි කියන්නෙ මොකක්ද? සම්මා දිට්ඨිවෙන්න කොහොමද? කියල කාගෙන්වත් අහන්න කිසීම ඉතුරු වෙන්නෙ නැහැ. සම්පූර්ණයි. ඊ‍ට පස්සෙ ධර්මය දැනගන්න ගුරුවරයෙක් අවශ්‍යත් නැහැ.

මෙතෙන්දි අපි දකින්න ඕන මෙන්න මෙහෙම දෙයක්. මේ ලෝකෙ යහපත් කියල සාමාන්‍ය ලෞකික මනසට ගෝචර වෙන හරියක් තියනව. නිවැරදියි කියල ලෞකික මනසට ගෝචර වෙන හරියකුත් ති‍යෙනව. හරි කියල ලෞකික මනසට ගෝචර වෙන හරියකුත් තියනව. යහපත් දැකීම නිවැරදි දැකීම හරි දැකීම කියන ‍මේ වචන 3න්ම විග්‍රහ කරන්න ගියාට ලෞකික මනසට ගෝචර වෙන යහපත් නිවැරදි හරි කියන අදහස විතරයි ගෝචර වෙන්නෙ. එයින් එහාට ගෝචර වෙන්නෙ නැහැ.

ඕක සම්මා කියන වචනයට භාෂා නිරුක්ති දෙන්න ගියහම අපිට පැටලිලා තියන තැනක්. මෙ‍ාකද හේතුව? සම්මා කියන පදයෙ පද නිරුක්තිය නිරුක්ති පටිසම්භිදා ඥාණයෙන් මතුවෙච්ච දාට හරියටම ලෝකෝත්තර දහම් අර්ථය වැ‍ටහෙන්න පටන් ගන්නව. එතකං වැ‍ටහෙන්නෙ නැහැ. එහෙනං සම්මා කියන වචනයෙ ලෝකෝත්තර අර්ථය ඒ නිරුක්ති ආශ්‍රයෙන් දැනගන්න ඕන. සං කියන එකතුවට, නැත්නං සං කියන පදයට මා කියන පදය සම්බන්ධ වෙලා සම්මා කියන පදයක් හැදුන. සම්මා පදය හැදිල තියෙන්නෙ එහෙමයි. සං කියන්නෙ එකතුව.

‍මේ ලෝකෙ හැම දෙයක්ම එකතුවක් නිසයි හටගෙන විද්‍යාමාන වෙන්නෙ. එකතුවක් නැති එක දේකින් ‍මේ ලෝකෙ යමක් විද්‍යාමාන කරල පෙන්වන්න බැහැ. යම් සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන රූප එකතුවක් මේ ලෝකෙ කොතනින් හරි ගත්තොත් ආපෝ ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව පඨවි ‍ධාතුව කියන ධාතු හතරෙ එකතුවකින් හටගත්ත ඒවයි තියෙන්නෙ. 

Comments